අගෝස්තු 21 හර්තාල් ව්‍යාපාරයක් – සිරිල් ගාමිණී පියතුමන්

අගෝස්තු 21 හර්තාල් ව්‍යාපාරයක් – සිරිල් ගාමිණී පියතුමන්

*********************************************

අගෝස්තු 21 හර්තාල් ව්‍යාපාරයක් – සිරිල් ගාමිණී පියතුමන්

(19.08.2021 – 20:28 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේ නිර්දේශවල දැක්වෙන පරිදි සිය වගකීම් ඉටු නොකළ රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයින් සහ උසස් පොලිස් නිලධාරීන් රැසකට එරෙහිව ක්‍රියා කිරීමට අවංක චේතනාවක් රජයට නොමැති බව සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කළා.

අද (19) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ ප්‍රකාශ කළේ ප්‍රහාරයේ වින්දිතයින්ට තවමත් සාධාරණයක් ඉටු නොවූ බැවින් අගෝස්තු 21 වන දා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බවයි.

+++++++++

******************************************

ඉන්ධන හිඟයක් අත ළඟ ?

(19.08.2021 – 22:42 +0530 – hirunews.lk/sinhala)

මේ අතර ඉදිරියේදී රට තුළ ඉන්ධන හිඟයක්ද ඇතිවීමේ අවදානමක් මතුව ඇතිබව ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා.

අද (19) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කළේ මේ වන විට මෙරට ඩීසල් සංචිත දින 11 කටත් පෙට්‍රල් සංචිත දින 10 කටත් සීමා වී ඇති බවයි.

******************************************

බලංගොඩ – බගවන්තලාව මාර්ගයේ යන ලොරි රථ වලින් බඩු බෑ හොරු මාට්ටු

(19.08.2021 – colombotoday.com)

බලංගොඩ හා ඇඹිලිපිටිය ප්‍රදේශවල සිට තොග වෙළඳාම සඳහා කුළුබඩු ඇතුළු විවිධ භාණ්ඩ රැගෙන බලංගොඩ – බගවන්තලාව මාර්ගයෙන් හැටන් ප්‍රදේශයට ධාවනය කෙරෙන ලොරි රථ වලින් එම භාණ්ඩ සොරා ගන්නා සංවිධානාත්මක සොරුන් තිදෙනෙකු (3), 18 දා අළුයම නෝර්වූඩ් පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් බව නෝර්වුඩ් පොලිස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ඒ.පී.ආර්. ප්‍රේමලාල් මහතා පැවසීය.

හැටන්, මස්කෙළිය, බලවන්තලාව, නෝර්වූඩ්, සාමිමලේ, තලවාකැලේ යන නගර වලට එළවළු, ධාන්‍ය වර්ග, කෙසෙල් කැන්, කුළුබඩු ඇතුළු විවිධ භාණ්ඩ තොග වෙළඳම සඳහා ව්‍යාපාරිකයින් විසින් වසර කීපයක් තිස්සේ ලොරි රථවලින් ප්‍රවාහනය කරන්නේ බලංගොඩ – බගවන්තලාව දක්වා ඇති මාර්ගයෙනි.

බගවන්තලාව – නෝර්වුඩ් ප්‍රධාන මාර්ගයේ, සෙන්ජෝන් ටිලරි ප්‍රදේශයේ, මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ගය අලුත්වැඩියා කරන කොටසක් ඇති බවත්, එම ප්‍රදේශයේදී අළුයම් කාලයේ ධාවනය කරමින් පවතින, පිටුපස කිසිවෙක් නොමැති ලොරි රථවලට එක් සැකකරුවෙක් නැග ලණු භාවිතා කරමින් භාණ්ඩ බිමට බෑම සිදු කරන බවත්, ලොරි රථය පිටුපසින් පැමිණෙ ත්‍රීවීල් රථයකට සිටින සැකකරුවන් දෙදෙනෙක් විසින් සොරාගත් භාණ්ඩ පටවාගෙන යාම වසර කීපයක් තිස්සේ සිදු කර ඇති බවට මූලික පරීක්ෂණවලදි අනාවරණය වී ඇති බව නෝර්වූඩ් පොලිස්ථානාධිපති ප්‍රේමලාල් මහතා පැවසීය.

නොර්වුඩ් පොලීසියට ලද තොරතුරක් අනුව පෙරේදා (18) දා අළුයම පොලිස් නිලධාරීන් පිරිසක් සෙන් ජෝන් ටිලරි ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ සැඟවී සිට ලොරි රථයකින් සොරා ගනිමින් සිටි එළවළු තොගයක්ද සමග මෙම සැකකරුවන් තිදෙනා (3) අත්අඩංගුවට ගත් බව පවසන පොලිස්ථානාධිපතිවරයා, සැකකරුවන් එක් වාරයකදී රුපියල් 50.000 කට ආසන්න භාණ්ඩ සොරා ගැනීමක් සිදු කරන බවත්, පසුව එම භාණ්ඩ ප්‍රදේශයේ වෙළඳල්වලට අලෙවි කරන බවට සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බවත් කිවේය.

අවුරුදු 21, 22 හා 28 යන වයස් කාණ්ඩවල පසුවන සෙන් ජෝන් ටිලරි ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් තිදෙනා (3) හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය පැමිණවිමට නියමිත බව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් මහතා වැඩිදුරටත් පැවසීය.

ක්‍රිෂාන්තන්

******************************************

මත් පෙති 3000 ක් ප්‍රවාහනය කළ සැකකරුවකු අත්අඩංගුවට

(19.08.2021 – colombotoday.com)

විදේශ රටකින් නීති විරෝධීව ගෙනෙන ලද මත් පෙති 3000 ක ප්‍රමාණයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කළ සැකකරුවකු කල්මුණේ දී විශේෂ කාර්ය බළකා භට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කල්මුණේ විශේෂ කාර්ය බළකා කදවුරේ කණ්ඩායමක් කල්මුණ රෝහල අසල දී මොහු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පරීක්ෂාවට ලක් කිරීමේ දී ඔහු සන්තකයේ මෙම මත මත්පෙති තොගය තිබී ඇත.

සැකකරු කල්මුණේ ප්‍රදේශයේ පදිංචි (32) පුද්ගලයෙකි ෴

@@@@@ කොවිඩ් පුවත් @@@@@

දෛනික මරණ වාර්තාව යළි අලුත් වෙයි – අද (19) මරණ 186 ක්

(19.08.2021 – 20:43 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු දෛනිකව ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ මරණ සංඛ්‍යාවේ වාර්තාව අද (19) යළි අලුත් වුනා.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් මරණ 186 ක් තහවුරු කිරීමත් සමගයි.

ඊයේ (18) තහවුරු කළ මෙම මරණ අතරට කාන්තාවන් 75 ක් සහ පිරිමි පුද්ගලයන් 111 ක් අයත්.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 6790 ක් ලෙසටයි.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු මියගිය පිරිස අතර වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමි පුද්ගලයන් 17 ක් සහ කාන්තාවන් 18 ක් ද මියගොස් තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (18) තහවුරු කළ මරණ අතර අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 91 ක් සහ කාන්තාවන් 56 ක් ද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාවෙන් දෛනිකව හමුවූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද (19) සටහන් වුනා.

අද (19) මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3793 ක්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයන් 373,152 ක් හමුවී ඇති අතර ඉන් 46,761 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

+ [ https://www.youtube.com/watch?v=DvejYRIVjQ0 ]

Age-restricted video (based on Community Guidelines)

++++++++++++++++++

නිවෙස් නිරෝධායනය වන අයට දැනුම්දීමක්

(19.08.2021 – 21:01 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් රෝගීන්ගේ ශීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඔවුන් නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් පසුගියදා ආරම්භ කෙරුණද එලෙස යොමුවූවන්ද රෝගී තත්ත්වය උත්සන්න වී මියයාමේ පුවත් මේ දිනවල වාර්තාවනවා.

මේ නිසා නිවසේ නිරෝධායනයවන අය මෙන්ම සෙසු ජනතාවද කොවිඩ් රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත්.

මේ ඒ සඳහා කරන දැනුවත් කිරීමක්.

කොවිඩ් රෝගීන් මේ වනවිට ශීඝ්‍ර ලෙස ව්‍යාප්තවීමේ අවධානමක් මතු වීමත් සමඟ රෝග ලක්ෂණ ඉතා අඩුවෙන් පෙන්නුම් කරන රෝගීන් නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් පසුගියදා ආරම්භ කෙරුණේ බරපතල තත්ත්වයේ පසුවන රෝගීන්ට රෝහල්තුළ ඉඩ පහසුකම් ලබාදීමේ අරමුණ ඇතිවයි.

ඒ නිසා ඔබත් නිවසේ නිරෝධායනය වන්නේ නම් නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට වගබලා ගත යුතුයි.

නිවසේ සිටින ඔබට, විවේකීව සිටියදී හෝ සුළු මහන්සිවීමකින් පසු හුස්ම ගැනීමේ අපහසුතාවක් හෝ හතියක් ඇතිවන්නේ නම් වහාම රෝහල්ගතවීමට වගබලා ගත යුතුයි.

එමෙන්ම රුධිරයේ ඔක්සිජන් මට්ටම, විවේකීව සිටියදී හෝ සුළු මහන්සිවීමකින් පසු 96% කට වඩා අඩුවේනම් එයද නිවසේ රැඳී සිටීමට සුදුසු තත්ත්වයක් නොවේ.

යම් පුද්ගලයෙකු නිවෙස්ගත කොවිඩ්-19 ප්‍රතිකාර සම්බන්ධීකරණ පද්ධතියේ ලියාපදිංචි වීමෙන් පසු මෙවන් තත්ත්වයක් ඇතිවුවහොත් වහාම අදාළ වෛද්‍ය කණ්ඩායමට දැනුම් දිය යුතුයි.

ඉන් පසු එම වෛද්‍ය කණ්ඩායම විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කිරීමෙන් පසු රෝගියා රෝහල් ගත කිරීමට කටයුතු කරනු ඇති.

රෝහල් ගත කිරීම සම්බන්ධීකරණය කිරීමට ගතවන කාලය ඇතුළත හුස්ම ගැනීමේ අපහසුතාව පවතින්නේ නම් රෝගියා හට පහත ආකාරයට ඉරියව් වෙනස් කිරීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාව අවම කරගැනීමට හැකියි.

  1. විනාඩි 20 – 30 ක් මුනින් අතටද,
  2. විනාඩි 20 – 30 ක් දකුණු ඇලයටද,
  3. විනාඩි 20 – 30 ක් වාඩිවී
  4. විනාඩි 20 – 30 ක් වම් ඇළයටද ස්ථානගතවීමෙන් මෙම අපහසුතාව අවම කරගත හැකියි.

කෙසේ වෙතත් ගර්භණී කාන්තාවන් හා ස්ථුල පුද්ගලයින් විසින් මෙම ඉරියව් මඟ හැරිය යුතු බවත් ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතුයි.

අවධාරණය කළ යුතු සහ වඩාත්ම වැදගත් කරුණවන්නේ හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගනිමින් එම උපදෙස්වලට අනුකූලව රෝහල් ගතවීමට කටයුතු කිරීමයි.

මේ අතර කොවිඩ් ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සහ කළමනාකරණය සඳහා අද (19) සිට නව ක්‍රමවේයක් හඳුන්වා දී තිබෙනවා.

මෙම නව ක්‍රමය දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ ඔස්සේ ක්‍රියාත්මකවන අතර 1904 දුරකථන අංකයට ආසාදිතයන්ගේ තොරතුරු යොමු කළ යුතුයි.

ශ්වසන අපහසුතා සහිත රෝගියෙක් නම් – A (space)
උණ තත්ත්වය ඇති රෝගියෙක් නම් – B (space)
කිසිදු රෝග ලක්ෂණයක් නොමැති රෝගීන් – C (space)

ලෙස සදහන් කර වයස (space) ජාතික හැඳුනුම්පත් අංකය (space) හා ලිපිනය සඳහන් කර 1904 ට කෙටි පණිවුඩයක් යොමු කළ යුතුයි.

ඒ අනුව එම තොරතුරු ‘කොවිඩ්-19 රෝගය පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානය’ විසින් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් වෙත දැනුම් දෙනු ලබනවා.

රෝගීන් සපයන තොරතුරු වර්ගීකරණයකින් පසු 247 කෙටි දුරකථන අංකය මගින් ඔවුන් සම්බන්ධ කර ගනිමින් අවශ්‍ය ගිලන් රථ හා සේවා පහසුකම් සැපයීම හෝ නිවෙස් නිරෝධායනයට යොමු කෙරෙන රෝගීන් සමඟ 1390 දුරකථන අංකය ඔස්සේ පහසුකම් සැලසීමටයි පියවර ගෙන ඇත්තේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *