වෛද්‍යවරුන් 209 කට, හෙද හෙදියන් 1000 කට, සෞඛ්‍ය පරීක්ෂකවරුන් 37 කට කොරෝනා

වෛද්‍යවරුන් 209 කට, හෙද හෙදියන් 1000 කට, සෞඛ්‍ය පරීක්ෂකවරුන් 37 කට කොරෝනා

*********************************************

වෛද්‍යවරුන් 209 කට, හෙද හෙදියන් 1000 කට, සෞඛ්‍ය පරීක්ෂකවරුන් 37 කට කොරෝනා

(19.08.2021 – 14:50 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ මෙරට තුළ නව විකෘති ප්‍රභේදයන් පැතිර යාම පිළිබද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයේ වාර්තාව හෙට (20) නිකුත් කිරීමට නියමිතයි.

එම විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ ශල්‍ය ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ එම පර්යේෂණය අද (19) පස්වරුව වන විට අවසන් කිරීමට නියමිත බවයි.

මෙරට පැතිර යන ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති ප්‍රභේද 3 ක් හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පෙරේදා මුල්වරට අනාවරණ කළේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින්.

‘එස්.ඒ. 222 වී, එස්.ඒ. 701 එස් සහ එස්.ඒ. 1078 එස්’ වන ජාන කේතයන්ගේ වෙනසක් දැකිය හැකි බව නවත ම පර්යේෂණවලින් අනාවරණ වී ඇති බව එහිදී ඔහු කියා සිටියා.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 369,359 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (18) හමුවූ ආසාදිතයින් 3676 දෙනා සමඟයි.

එය මෙතෙක් දිනක දී මෙරටින් වාර්තා වූ වැඩි ම ආසාදිතයින් සංඛ්‍යාව ද වනවා.

කෙසේ වෙතත්, අද (19) පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ තාක්ෂණික වශයෙන් කොරෝනා සමාජ ගත වී ඇති බවට මේ දක්වා ප්‍රකාශ කළ නො හැකි බවයි.

කොවිඩ් ව්‍යාප්තිය පිළිබද දත්ත නිවැරදි නො වීමෙන් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

= ගම්පහ බහුතර කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් අවශ්‍යතාවයක් =

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් රෝගීන්ගෙන් බහුතරය සඳහා ඔක්සිජන් අවශ්‍ය බව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ස්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ගෝතිලක සමරසේකර මහතා ප්‍රකාශ කළා.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා කොරෝනා වැළදීම හේතුවෙන් ඔහු මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු වී තිබෙනවා.

මෙරට වෛද්‍යවරුන් 209 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති අතර, වෛද්‍යවරුන් 3 දෙනෙකු මිය ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

සමස්ත ලංකා හෙද සංගමය පවසන්නේ හෙද හෙදියන් 1000 කට වැඩි පිරිසක් ද කොවිඩ් ආසාදිතයින් බවට පත් ව ඇති අතර, ඉන් තිදෙනෙකු (3) මිය ගොස් ඇති බවයි.

රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයිගෙන් ද බහුතරයක් මේ වන විට වෛරසයට ගොදුරු වී ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 37 දෙනෙකුට ද කොරෝනා වැළදී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටියා.

එමෙන්ම, මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතාට ද කොරෝනා ආසාදනය වී තිබෙනවා.

අම්පාර – උහන, වෑරන්කැටගොඩ ප්‍රදේශයේ කොරෝනා ආසාදිත ව නිවසේ දී මිය ගිය පුද්ගලයෙකුගේ සමීපතමයන් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පැමිණීමේ දී නිවැසියන් සෞඛ්‍ය බලධාරීන්ට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණා.

කෙසේ වෙතත්, අධිකරණ නියෝගයක් මත අදාළ පවුලේ සාමාජිකයින් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණු අතර දින 14 කට පසු ඔවුන්ට එරෙහි ව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත යි.

මේ අතර, මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (18) දිනයේ දී පුද්ගලයින් 164,308 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 27,888 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 95,533 දෙනෙකුට ලබා දී ඇති බවයි.

එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයන් 7155 කට සහ දෙවන (2) මාත්‍රාව 665 කට ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 5070 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 27,320 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එමෙන්ම, මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අදත් (19) දිවයිනේ ස්ථාන කිහිපයක ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ඒ අනුව කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදීම ත්‍රිවිධ හමුදාව විසින් සිදුකරන අතර එම උද්‍යානයේ දී මෙන්ම කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සයිනොෆාම් දෙවන (2) එන්නත ලබාදීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඊට අමතර ව කළුතර, බදුල්ල, කිලිනොච්චිය, අනුරාධපුර සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලදී ද සයිනොෆාම් දෙවන (2) මාත්‍රාව ලබාදීම සිදුකරන බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

+++++++++++++++++++

(19.08.2021 – 15:06 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරස් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් හා නිර්දේශ පරිදි සතියක (1) පමණ කාලයකට හෝ රට වසා දැමිය යුතු බවට මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් ජනපතිගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මදස්සි නාහිමියන් නිවේදනයක් නිකුත් කරමිනුයි මෙම ඉල්ලීම කර ඇත්තේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භක අවස්ථාවේදී නිරෝධායන ඇදිරි නීතිය පනවා ජනතාවට සහන සලසමින් ජන ජීවිතය සුරක්ෂිත කිරීම සදහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් ගෙන ගිය විධිමත් වැඩපිළිවෙලට ප්‍රංශසා කරන බව ද මහනාහිමියන් සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, කොරෝනා වයිරසයේ දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අද වන විට සමස්ත රට වාසීන්ම මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටිනවා.

ආසාදිත සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි මහනාහිමිවරුන් නිකුත් කළ නිවේදනයේ සදහන් කළේ ෴

+++++++++++++++++++

(19.08.2021 – 15:19 +0530 – hirunews.lk/sinhala)

සූරියවැව නගරයේ වෙළඳසැල් අද (19) වසා දමා තිබෙනවා.

එසේම ගාල්ල නගරයේ වෙළඳසැල් වසා දැමීමට පියවර ගන්නා ලෙස නගරාධිපතිවරයා පළාත් ආණ්ඩුකාරවරයා ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම කිලිනොච්චිය නගරයේ වෙළඳ සංගම් විසින් සිය වෙළඳසැල් වසා දැමුවද ඇතමුන් මාර්ග ආශ්‍රිතව වෙළඳාම් කටයුතු සිදුකරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර නුවරඑළිය නගරයද අද (19) වසා දැමුණු අතර, ආර්ථික මධ්‍යස්ථානය තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කර ඇති බවයි එහි ලේකම් අරුණශාන්ත මහතා ප්‍රකාශ කළේ ෴

++++++++++++++++++

(19.08.2021 – 16:00 +0530 – hirunews.lk/sinhala)

වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්වලට ලක්වූ පිරිස් හැකි ඉක්මනින් කොවිඩ්-19 එන්නත ලබාගන්නා ලෙසට වකුගඩු රෝග විශේෂඥවරුන්ගේ සංගමය දැනුම්දෙනවා.

එවැනි පුද්ගලයන්ට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් අවදානම ඉහළ බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

වකුගඩු බද්ධ කළ පුද්ගලයන් වයිරසය ආසාදනයෙන් පසු නිවසේ සිට ප්‍රතිකාර ලබා නොගන්නා ලෙසට ද වකුගඩු රෝග විශේෂඥවරුන්ගේ සංගමය දැනුම්දෙනවා.

මේ අතර කෝවිඩ් වයිරසය ආසාදනය වූ වකුගඩු රෝගීන්ගෙන් තුනෙන් එකක් (1/3) මියයන බව ජාතික රෝහලේ වකුගඩු විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එරංග විජේවික්‍රම මහතා පවසනවා.

මෙරට පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වූ දා පටන් සිට පසුගිය මැයි 31 වෙනිදා දක්වා කොරෝනා වයිරසය ආසාදනය වූ වකුගඩු රෝගීන් 58 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මෙම 58 දෙනා ආශ්‍රයෙන් සිදු කළ සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වූ බවයි වකුගඩු විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එරංග විජේවික්‍රම මහතා පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය වෛද්‍ය එරංග විජේවික්‍රම මෙලෙස අදහස් පළකළා :

“මාස දෙකකට කලින් අපි සමීක්ෂණයක් කළා. ලංකාවේ සිටින සියළුම වකුගඩු විශේෂඥ වෛද්‍යවරුන් මෙම සමීක්ෂණයට එක් වුණා. එහිදී අපි බැලුවේ ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආරම්භයේ සිට පසුගිය මැයි තිස් වෙනිදා (30) දක්වා වකුගඩු බද්ධ කල කී දෙනෙකුට කොවිඩ් ආසාදනය වුණාද එයින් කී දෙනෙකුට සංකූලතා ඇති වූනාද කියන කාරනායි. එහිදී අපිට දැනගන්නට ලැබුණා ඒ වන විට වකුගඩු බද්ධ කල 58 දෙනෙකුට කොවිඩ් ආසාදනය වෙලා ප්‍රතිකාර අරන් තියෙනවා කියලා. එයින් දස දෙනෙකු (10) මැයි මස තිස් වෙනිදා (30) වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියා. ඉතිරි 48 දෙනාගෙන් 16 දෙනෙකු මිය ගිහින් තියෙනවා. හරියටම තුනෙන් එකක් (1/3). මේ දත්ත අත්තෙන්ම බියගන්වන සුලුයි. එය විශාල ප්‍රමාණයක්.”

වකුගඩු බද්ධ කල රෝගීන් ප්‍රතිශක්තිකරණය අඩු කරන විවිධ බෙහෙත් වර්ග භාවිතා කරන නිසා ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණය අඩු වන බැවින් මෙම රෝගීන්ට කොවිඩ්-19 වැලඳීමෙන් පසු සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බවයි ඔහු පවසන්නේ.

මේ නිසා වකුගඩු බද්ධ කරන රෝගීන් ශල්‍යකර්මයෙන් අනතුරුව අවම තරමෙන් මාස තුනක් (3) ගත වන තුරු හෝ නිවසේ වෙනම කාමරයක ඉතා දැඩි සෞඛ්‍ය ආරක්ෂක විධි අනුගමනය කරමින් ප්‍රවේශම් වන ලෙස වෛද්‍ය විශේෂඥයින් උපදෙස් දෙනවා.

“එමෙන්ම වකුගඩු බද්ධකල රෝගීන් අතර මතයක් තිබෙනවා කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා නොගත යුතුයි කියලා. අපි දන්නේ නෑ මේ මතය කොහෙන් ආවද කියලා. අපි උපදෙස් දෙන්නේ වකුගඩු රෝගීන් සියලුදෙනාම හැකි වහාම, ලද පළමු අවස්ථාවේදීම මෙම එන්නත ලබාගෙන ආරක්ෂාව සලසා ගන්න කියලයි.” විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එරංග විජේවික්‍රම වැඩිදුරටත් කියා සිටියා.

මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වකුගඩු බද්ධකල රෝගීන්හට කොවිඩ්-19 රෝගය වැළඳී කිසියම් සංකූලතාවයක් ඇති වුවහොත් ඉතා ඉක්මනින් වකුගඩු සම්බන්ධව ප්‍රතිකාර ලබන රෝහලකට පැමිණ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි.

නැතහොත් වයිරසය තුළින් පෙනහළු අසාදනය වී ඔබ මිය යෑමට ඇති සම්භාවිතාව වැඩිවනු ඇති බවයි මහාචාර්ය එරංග විජේවික්‍රම මහතා වැඩිදුරටත් කියාසිටියේ ෴

++++++++++++++++++

(19.08.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 1,998 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග විස්සක් (20) ඇතුළත් සහන මල්ලක් හෙට (20) සිට සතොස හරහා සති දෙකක (2) කාලයක් ජනතාව වෙත බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 1998 අංකය ඇමතීමෙන් මෙම භාණ්ඩ මල්ල නිවසට ම ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවයි.

සාමාන්‍යයෙන් වෙළඳපොලෙහි රුපියල් 2600 කට වඩා වැඩි මිලකට අලෙවි වන භාණ්ඩ වර්ග 20 ක් ඇතුළත් මෙම සහන මල්ල දිවයින පුරා සතොස ශාඛා මගින් හෙට (20) සිට ලබාගත හැකියි ෴

++++++++++++++++++

වැලිගම ප්‍රාදේශීය සභාවෙන් කොරෝනා රෝගීන්ට ආයුර්වේද ඖෂධ

(19.08.2021 – 16:20 +0530 – hirunews.lk/sinhala)

දැනට කොරෝනා ආසාදිත, නිවෙස්ගත ව ප්‍රතිකාර ලබන සහ නිරෝධායනයට ලක් ව සිටින පිරිස් වෙනුවෙන් ආයුර්වේද ඖෂධ නිවසට බෙදා හැරීමේ වැඩසටහනක් දියත් කිරීමට වැලිගම ප්‍රාදේශීය සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (20) සිට සෑම දිනක ම අදාළ ඖෂධ නිවෙස් වෙත ලබාදීමට යි ඔවුන් තීරණය කර ඇත්තේ.

ඒ සඳහා 070 555 1470 යන දුරකතන අංකය අමතා වැලිගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට තොරතුරු දැන ගැනීමේ හැකියාව ද පවතිනවා ෴

+++++++++++++++++++

(19.08.2021 – 16:49 +0530 – hirunews.lk/sinhala)

ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රට සම්පූර්ණයෙන් වසා දැමීමේ සූදානමක් ඇති බව වාර්තා වනවා.

මේ වනවිටත් ටික කලකට හෝ සම්පූර්ණයෙන් වසා දමන ලෙසට අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන් ඇතුළු විවිධ පාර්ශව ගණනාවකින් රජයට බලපෑම් කරන අතර දිවයිනේ නගර 25 කට වැඩි ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් අගුලු දමාගෙන තිබෙනවා.

මේ අතර ජනාධිපති කාර්යාලයට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ හෙට (20) දිනයේ දී ජනාධිපතිවරයා ජාතිය ඇමතීමේ සූදානමක් ද ඇති බවයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ එම අවස්ථාවේ දී රට වසා දමන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව ඇති බවයි.

මේ අතර මේ වනවිටත් සෑම දිනක ම රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා පැය 6 ක නිරෝධායන ඇඳිරි නීති කාලයක් රට තුළ ක්‍රියාත්මක වනවා ෴

+++++++++++++++++

(19.08.2021 – 17:54 +0530 – hirunews.lk/sinhala)

ඌව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

කොවිඩ් වයිරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ මගින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ හා සමගාමීව සේවා ස්ථානවලට මහජනතාව පැමිණීම සීමා කිරීම වෙනුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව අගෝස්තු 16 වනදා සිට සැප්තැම්බර් මස 15 වනදා දක්වා මාසයක (1) කාලයක් ඌව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම සිදු නොවනු ඇති.

ආදායම් බලපත්‍ර නිකුත්තිරීම තාවකාලිකව අත්හිටුවා ඇති කාලය සඳහා දඩ අය කිරීම සිදු නොකරන අතර අන්තර්ජාලය මගින් ආදායම් බලපත්‍ර ලබාගැනීමේ පහසුකම පෙර පරිදිම තවදුරටත් ක්‍රියාත්මක බව ද ඌව පළාත් ප්‍රධාන ලේකම්වරයා දැනුම් දෙනවා ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(19.08.2021 – 14:56 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ වගකීම තම කර පිටට පැටවීමේ සූදානමක් පවතින බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ මොණරාගල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර හේරත් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් අද අස්ගිරි මහනායක හිමියන් බැහැදැක දැනුවත් කරනු ලැබුවා.

එහි දී අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් සමඟ ඔවුන් සුහද කතාබහක නිරත වුණා.

******************************************

මහනුවර දළදා පෙරහැරේ හදිසි තත්ත්වයක් ඇති වේ

(19.08.2021 – 10:21 +0530 – lankaleadnews.com)

මහනුවර දළදා පෙරහරේ ගමන් ගත් අලියෙක් ඊයේ (18)රාත්‍රියේ දී කුලප්පු වුණේය.

මෙසේ කුලප්පු වූයේ කතරගම දේවාලයට අයත් අලි පැටවෙකි.

දළදා මාළිගාවේ සිට රැජන හෝටලයට එන අතරතුර මහ මළුව මධ්‍යයේ දී පාලනය කර ගැනීමට නොහැකි සේ එක් වරම නටන්නට පටන් ගත් බව වාර්තා විය.

මෙසේ දඟලන්නට වූයේ බෙර හඬ නිසා ද ආලෝක ධාරා නිසාදැයි නොදන්නා බවත් පෙරහර ආරංචි මාර්ග පැවසීය.

අනතුරුව දඟලන අලියාව නුවර වැව පැත්තට වන්නට පිහිටි යකඩ කණුවක ගැට ගසා තබා අනතුරුව ඌ සරසා තිබූ ඇඳුම් ආයිත්තම් සහ බැටරි පෙට්ටි ගලවා ඉවත් කරන්නට ඇත්ගොව්වා ඇතුලු පිරිසක් කටයුතු කර ඇත.

පසුව පත්තිනි දේවාලයේ රන් දෝලාව යන අවස්ථාව වනවිට පශු වෛද්‍ය නිලධාරීන් සහ ඇත්ගොව්වන් කණ්ඩායමක් පැමිණ අලියා සාමාන්‍ය තත්වයෙන් රැගෙන යන්න කටයුතු කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *