පළාත් පනින්න පුලුවන් මේ අයට විතරයි

පළාත් පනින්න පුලුවන් මේ අයට විතරයි

*********************************************

පළාත් පනින්න පුලුවන් මේ අයට විතරයි

(19.08.2021 – 11:23 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (18) සිට දැඩි කෙරුණු නව සංචරණ නීති රීති යටතේ පළාත් සීමා මායිම් හරහා ගමන් කළ හැකි අවසරලත් ඒකක හතක් (7) සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව අගෝස්තු 31 වැනිදා දක්වා බලපැවැත්වෙන කෝවිඩ්-19 පිළිබඳ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පළාත් සීමා මායිම් තරණය කිරීමට අවසර දෙනු ලබන අත්‍යාවශ්‍ය සේවා අංශ වන්නේ (1) සෞඛ්‍ය සේවා, (2) පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව, (3) රාජ්‍ය අංශයේ නිලධාරීන් (අත්‍යාවශ්‍ය නිල චාරිකා සඳහා), (4) අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහරින්නන්, (5) උපයෝගිතා සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන්නන්, (6) සමීපත ම පවුලේ සාමාජිකයෙකුගේ මරණයක් සඳහා ගමන් කරන්නන් (සාක්ෂි අවශ්‍යයි), (7) වරායන් වෙත භාණ්ඩප්‍රවාහනය සහ ගුවන් තොට වෙත ගමන් කරන්නන් (සාක්ෂි අවශ්‍යයි) යන අයට යි.

මීට අමතර ව හුදකලා කරන ලද ප්‍රදේශවල වෙසෙන අත්‍යාවශ්‍ය සේවා සේවකයින් සුවිශේෂී අවස්ථාවන්හි දී හැර භෞතික ව සේවයට වාර්තා කිරීම දැඩි ලෙස අධෛර්යමත් කරන ලෙසත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

++++++++++++++++++

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 කින් ජනපතිට විශේෂ ලිපියක්

(19.08.2021 – 12:05 +0530 – hirunews.lk/sinhala)

අවම වශයෙන් සති තුනකට (3) රට අගුළු දමන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් යොමුකරමින් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන කරුණු 07 කින් සමන්විත යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත එම පක්ෂ යොමු කර තිබෙනවා.

අපේ ජනබල පක්ෂයේ නායක අතුරලියේ රතන හිමි සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ජාතික කොංග්‍රසය, එක්සත් මහජන පක්ෂයේ නායක ඒ.එල්.එම් අතාවුල්ලා, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ටිරාන් අලස්, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න හා යුතුකම ජාතික සංවිධානයේ නායක ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු විසින් අදාළ යෝජනාවලියට අත්සන් තබා තිබෙනවා.

+++++++++++++++++++

(19.08.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හමුවේ කොළඹ නගරයේ අත්‍යාවශ්‍ය ම සේවාවන් හැර අනෙකුත් සේවාවන් සහ ව්‍යාපාරික කටයුතු සති කිහිපයකට නවත්වන ලෙසට කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඇය ජනතාවගෙන් යළිත් ඉල්ලා සිටියේ අත්‍යාවශ්‍ය කරුණකට හැර කොළඹට පැමිණීමෙන් වළකින ලෙසටයි.

පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ නගර කිහිපයක ම වෙළඳසැල්, ව්‍යාපාරිකයන් එක් වී වසා දැමීමට තීරණය කිරීම අගය කළ යුත්තක් බව ද ඇය කියා සිටියා.

කොළඹින් වාර්තාවන ආසාදිතයන් සියයට 90 ක් ම ඩෙල්ටා ප්‍රභේදය සහිත රෝගීන් බවට ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය තහවුරු කර ඇති බව ද කොළඹ පුරපතිනිය සඳහන් කළා.

මේ අතර කොරෝනා වසංගතය හමුවේ අනුරාධපුර නගරය සහ සියලු උපනගරවල ව්‍යාපාරික ස්ථාන අද (19) සිට වසා දැමීමට ව්‍යාපාරිකයන් එකඟතාව පළකර තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් ව්‍යාපාරික සංසදය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඊයේ (18) පැවති තම සංසද රැස්වීමේ දී ව්‍යාපාරිකයන් මේ සඳහා එකඟතාව පළ කර ඇති බවයි.

එමෙන්ම අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් අනුරාධපුර නගරයට පැමිණෙන ලෙසත් ඔවුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මෙම තීරණය ගත් බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ.

එමෙන්ම කොටගල නගරයේ සියලු ම වෙළඳසැල් අද (19) සිට මේ මස 26 වනදා දක්වා වසා දැමීමට කොටගල ප්‍රාදේශීය සභාව හා කොටගල වෙළඳ සංගමය එක් ව පියවර ගෙන තිබෙනවා. කොටගල නගරය හා අවට ප්‍රදේශවල කොරෝනා ආසාදිතයින් සහ මරණ වාර්තා වීමත් සමඟයි මෙම පියවර ගෙන ඇත්තේ.

බදුල්ල නගරයේ වෙළඳසැල් අද (19) දෙවන (2) දිනටත් වසා තැබීම නිසා නගරයේ මංමාවත් රැසක් අද (19) පාළු ස්වභාවයක් ගෙන තිබුණා.

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ පවතින තත්ත්වය හමුවේ කඩිනමින් එන්නත්කරණය සිදුකර රට වසා දැමිය යුතු බවටයි.

මේ අතර කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා මාස හයක (6) කාලයක් ලබාදී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා ප්‍රකාශ කළා.

තවත් කොරෝනා ආසාදිතයින් 2186 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 318,714 ක්. තවදුරටත් පුද්ගලයින් 44,041 දෙනෙකු රෝහල්ගතව සහ නිවෙස්වල ප්‍රතිකාර ලබනවා ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(19.08.2021 – 11:14 +0530 – hirunews.lk/sinhala)

කැබිතිගොල්ලෑව – හේරත්හල්මිල්ලෑව ප්‍රදේශයේ මියගිය වන අලි දෙදෙනෙකුගේ (2) මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

ගම්වාසීන් සිදුකළ දැනුම්දීමක් අනුව අද (19) මෙම මළ සිරුරු සොයාගෙන ඇති අතර විදුලි සැර වැදීමකින් මෙම සතුන් මියයන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.

මෙම වන අලි දෙදෙනාගේ (2) සිරුරු සම්බන්ධයෙන් අනුරාධපුර වනජීවී කාර්යාලයට දැනුම් දී තිබෙනවා.

******************************************

(19.08.2021 – 08:27 +0530 – hirunews.lk/sinhala)

පාපාස්කු ඉරු දින ප්‍රහාරයට අදාළ ව කොළඹ කිංග්ස්බරි හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ‘මොහොමඩ් මුබාරක්’ නැමැත්තාගේ බිරිද ඇතුළු සිව් (4) දෙනා ලබන සැප්තැම්බර් 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ ඊයේ (18) කැදවූ අවස්ථාවේදී.

පවතින කොරෝනා තත්ත්වය හමුවේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නො කළ අතර, දැනට ඔවුන් රදවා සිටින බන්ධනාගාරවලට අදාළ නියෝගය යොමු කරන ලෙසට යි මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ.

මීට අමතර ව සැකකරුවන්ට අයත් ජංගම දුරකතන දෙකක් (2) සහ ලැප්ටොප් පරිඝනක දෙකක් (2) රජයේ රස පරීක්ෂක වෙත යොමුකර තිබෙනවා.

******************************************

(19.08.2021 – 09:11 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද (19) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. පළමු රන්දෝලි පෙරහැර ඊයේ (18) වීථි සංචාරය කෙරුණා ෴

******************************************

(19.08.2021 – 09:38 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලිකල සමුපකාර හවුල්කාරීත්වය යටතේ දිස්ත්‍රික්ක 5 ක සහල් මෝල් 5 ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මේවා ස්ථාපිත කිරීමට නියමිත ව ඇත්තේ කුරුණෑගල, අනුරාධපුර, මඩකලපුව, හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවලයි.

නවීන තාක්ෂණයෙන් යුත් මෙම සහල් මෝල් මඟින් ලබන මහ කන්නයේ මිලදී ගන්නා වී සහල් කර සතොස සහ සමුපකාර සමිති මඟින් බෙදා හැරීමට යි සැලසුම් කර ඇත්තේ.

ඉහළ යන සහල් මිල පාලනය කිරීම මෙහි අරමුණ වී තිබෙනවා ෴

******************************************

(19.08.2021 – 11:11 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ පසුගිය 16 වනදා දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන මහතා සහ විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ගාමිණී ලොකුගේ අද (19) එම අමාත්‍යාංශවල වැඩ භාරගනු ලැබුවා.

දිනේෂ් ගුණවර්ධන මහතා පෙරවරු 10:15 ට පමණ නව අමාත්‍යාංශයේ වැඩ භාරගනු ලැබුවේ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුවයි. එම අවස්ථාවට හිටපු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද සහභාගි වුණා.

එසේම ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාද විදුලිබල අමාත්‍යාංශයේදී අද (19) සිය ධුරයේ වැඩ භාරගනු ලැබුවා ෴

******************************************

(19.08.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන සඳුදා (23) සිට පාන් මිල රුපියල් පහකින් (5.00) වැඩි කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඊට අමතරව අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කිනුත්, කේක් කිලෝවක මිල රුපියල් 100 කිනුත් වැඩි කිරීමට තීරණය කර ඇති බවයි එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *