බලපත්‍රලාභී බැංකුවලින් රුපියල ‘අවප්‍රමාණය’ කරන ලෙස ඉල්ලා නැහැ – ශ්‍රී ලංකා මහ බැංකුව

බලපත්‍රලාභී බැංකුවලින් රුපියල ‘අවප්‍රමාණය’ කරන ලෙස ඉල්ලා නැහැ – ශ්‍රී ලංකා මහ බැංකුව

*********************************************

බලපත්‍රලාභී බැංකුවලින් රුපියල ‘අවප්‍රමාණය’ කරන ලෙස ඉල්ලා නැහැ – ශ්‍රී ලංකා මහ බැංකුව

(18.08.2021 – 10:46 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍රලාභී බැංකුවලට වහා ම බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය කරන ලෙස නිල වශයෙන් දැනුම් දී ඇති ආකාරයේ පණිවිඩ හුවමාරු වන බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර තිබෙනවා.

කෙසේ වෙතත් එවැන්නක් සඳහා කිසිදු පදනමක් නොමැති බවත් විනිමය අනුපාතය තීරණය කිරීමේ දී මහ බැංකුව සිය ස්ථාවරයේ හෝ මෙහෙයුම් විධිවිධානයන්හි කිසිදු වෙනසක් සිදු කර නොමැති බවත් මහජනතාව වෙත මෙමගින් දැනුම් දෙනු ලබනවා.

සමාජ හා සාම්ප්‍රදායික මාධ්‍ය හරහා සංසරණය වන අසත්‍ය හා නොමඟ යවනසුලු තොරතුරු මත රඳා නො සිටින ලෙස ද මහජනතාවට උපදෙස් දී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ඕනෑ ම නිල නිවේදනයක් අධිපතිවරයා , නියෝජ්‍ය අධිපතිවරයා හෝ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි වෙනත් ඕනෑ ම බලයලත් නිලධාරියෙකුගේ නම සහ තනතුරු මඟින් හදුනාගත හැකිවන පරිදි නිකුත් කෙරෙනු ලබනවා.

******************************************

(18.08.2021 – 11:00 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ලබන මස 01 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

අද (18) මෙම නඩුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ කැඳවූ අතර සැකකාර හිටපු අමාත්‍යවරයා අධිකරණයට රැගෙනවිත් තිබුණේ නැහැ.

මෙම නඩුවේ 07 වන සැකකරු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් විශේෂ කරුණු දැක්වීමක් කිරීමට අපේක්ෂා කරන බැවින් මෙම නඩුව කෙටි දිනයකදී කැඳවන ලෙස මොහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එය සලකා බැලූ විනිසුරුවරයා නියෝග කළේ එම කරුණු දැක්වීම සඳහා පමණක් මෙම නඩුව මේ මස 20 වනදා කැඳවීමටයි.

රිෂාඩ් බදියුදීන් කර්මාන්ත අමාත්‍යවරයාව සිටි සමයේ කර්මාන්ත දෙපාර්තමේන්තුවට අයත් අබලි ද්‍රව්‍ය පාස්කු ප්‍රහාරයේ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් බෝම්බකරු වන මොහොමඩ් ඊබ්‍රහිම් අහමඩ් නමැත්තාට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්තශාලාවට ලබාදී අයථා ලෙස උපයා ගත් මුදල් ත්‍රස්තවාදි ක්‍රියා සඳහා යෙදවීම ඇතුළු චෝදනා යටතේ මෙම නඩුව පවරා තිබෙනවා.

මෙම නඩුවේ සෙසු සැකකරුවන් 06 දෙනාද මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ ෴

******************************************

(18.08.2021 – 11:37 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 14 වනදා රත්ගම – සිරිකදුර වත්ත ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක දී සිරුරෙන් අතක් වෙන්වන ලෙසට පහරකෑමට ලක් ව ප්‍රතිකාර ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි යි ඊයේ (17) රාත්‍රියේ එලෙස මියගොස් ඇත්තේ.

ඔහු දොඩන්දූව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක්.

පැරණි ආරවුලක් මත දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් මියගිය පුද්ගලයා සහ තවත් කිහිපදෙනෙකු ම තුවාල ලැබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයේ ම පුද්ගලයින් හතරදෙනෙකු (4) පසුගියදා අත්අඩංගුවට ගැනුණා ෴

******************************************

(18.08.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ගැටලු‍ව සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනුකමිටුව අතර තවත් සාකච්ඡාවක් අද (18) පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

ඒ අනුව පස්වරු 6 ට එම අනුකමිටුවේ සාමාජික අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේදි යි.

මෙම සාකච්ඡාවට දැනට වර්ජනයට එක් ව සිටින ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය ඇතුළු තවත් වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් එක්වීමට නියමිත යි.

මෙම අමාත්‍ය අනු කමිටුව ඊයේ (17) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ ගුරු වෘත්තිය සමිති සමඟ අදාළ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

වැටුප් ගැටලුව මුල්කරගනිමින් ගුරුවරුන් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට (18) දින 38 ක් ගතවනවා.

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා වර්ජනයේ නිරත ගුරු – විදුහල්පති සංගම්වල නියෝජිතයින් පිරිසක් අද (18) පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී සාකච්ඡාවක නිරත වුණේ කොළඹ පිහිටි ඔහුගේ නිළ නිවසේදියි ෴

@@@@@ කොවිඩ් පුවත් @@@@@

(18.08.2021 – 11:47 +0530 – hirunews.lk/sinhala)

රට වසා දැමීමට නො හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, රට තුළ ක්‍රියාත්මක කරන සංචරණ සීමා දැඩි කිරීමට පියවර ගනිමින් සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

ඊයේ (17) රාත්‍රියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

රට අගුළු දැමුවහොත්, රටේ ආර්ථිකය බිඳ වැටෙන අතර, දෛනික වැටුප් මත යැපෙන අය දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එන්නත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කළ යුතු බවයි එහි දී සඳහන් කර තිබෙන්නේ.

මේ අතර අත්‍යාවශ්‍ය ක්ෂේත්‍ර කටයුතු සඳහා අවශ්‍ය ගිලන් රථ, වතුර බවුසර්, ඩබල් කැබ් රථ ඇතුළත් ව වාහන 164 ක් මිලදී ගැනීම සඳහා වන යෝජනාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයට ඉරිපත් කර ඇති බව ද වාර්තා වනවා.

අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත් ව ණයවර ලිපි විවෘත කර තිබී පසු ව අවලංගු කරන ලද ජිප් රථ මිලදී ගැනීමේ වැඩපිළිවෙළ වෙනුවට, මෙම නව යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ ෴

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 09 ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා ෴

+++++++++++++++++++++

(18.08.2021 – 12:32 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියන් වෛද්‍යවරුන් ඇතුලු 265 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැ යි අනාවරණ වී තිබෙනවා.

අද (18) පෙරවරුවේ නිකුත් කෙරුණු පරීක්ෂණ වාර්තා අනුවයි මේ බව අනාවරණය වී ඇත්තේ.

වෛද්‍යවරුන් 27 ක් හෙද හෙදියන් 105 ක් සහ සුළු සේවකයන් 133 ක් මෙම ආසාදිතයින් පිරිස අතර වනවා.

මීට අමතර ව ජාතික රෝහල තුල මේ වනවිට කොරෝනා වෛරස් ආසාදිතයන් 600 කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර ලබමින් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

+++++++++++++++++++

(18.08.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

නිදහස් වෙළඳ ගිවිසුම යටතේ පකිස්ථානයෙන් සහල් මෙට්‍රික් ටොන් 6000 ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

මේ අතර තවත් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 23 ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 9 ක් සහ ෆයිසර් මාත්‍රා මිලියන 14 ක් මෙලෙස මිලදී ගනු ඇති.

ලබන මස 30 වනදා වනවිට මෙරට වයස අවුරුදු 18 ඉක්ම වූ සියලු පුද්ගලයින්ට එන්නත් ලබා දී අවසන් කිරීමට ගෙන ඇති තීරණයට සමගාමීව යි මෙලෙස එන්නත් මිලදී ගනු ලබන්නේ.

මේ අතර කොරෝනා ආසාදිත රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් ආනයනය කිරීමට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා.

ඔක්සිජන් ලීටර එක්ලක්ෂ විසි දහසක් (1,20,000) මාසිකව ආනයනය කර ගබඩා කිරීම සඳහා මීට පෙර ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

ඒ අනුව මෙවර අනුමැතිය හිමි වී ඇත්තේ තවත් ඔක්සිජන් ලීටර 3,60,000 ක් ආනයනය කිරීමට යි ෴

+++++++++++++++++++

(18.08.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (17) පුද්ගලයින් 137,221 කට කොරෝනා මර්දන එන්නත් ලබා දී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 13,846 කට සහ එහි පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 21,685 කට ලබාදුන් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 7,712 කට සහ දෙවන (2) මාත්‍රාව 237 දෙනෙකුට ඊයේ (17) ලබා දී තිබෙනවා.

එමෙන්ම, ෆයිසර් එන්නතේ දෙවන (2) මාත්‍රාව 3,415 දෙනෙකුට සහ පළමු (1) මාත්‍රාව 116 දෙනෙකුට ලබා දුන්නා.

මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාවද පුද්ගලයින් 210 දෙනෙකුට ඊයේ (17) ලබාදුන් බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.

මේ අතර අද (18) දිනයේ ස්ථාන රැසක එන්නත්කරණ කටයුතු ක්‍රියාත්මක යි.

ඒ අනුව ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව මෙන්ම දෙවන (2) මාත්‍රාව ද ලබාගැනීමේ හැකියාව පවතිනවා.

ත්‍රිවිධ හමුදාවේ එන්නත්කරණ වැඩසටහන යටතේ කොළඹ විහාරමහාදේවි උද්‍යායනය සහ දියත උයන පරිශ්‍රයේ දී සයිනොෆාපාම් පළමු (1) එන්නත ලබාදීම අද (18) දිනයේත් සිදු කරනවා.

එම ස්ථානවලට අමතරව ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, බදුල්ල, කිලිනොච්චිය, අනුරාධපුර සහ මුලතිව් ඇතුලු දිස්ත්‍රික්ක 20 ක දී එන්නත් ලබාගත හැකියි.

මේ අතර බේරුවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සයිනොෆාම් දෙවන (2) මාත්‍රාව ලබා නො ගත් පුද්ගලයින්ට එන්නත් ලබාදීම දර්ගා නගරයේ සහිරා මහා විද්‍යාලයේ දී අද (18) සිදු කෙරෙනවා ෴

++++++++++++++++++++

(18.08.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ වෙළඳසැල් වසා දැමුව ද ආනයන අපනයන ක්‍රියාවලිය හෝ තොග හුවමාරුව නතර නො කරන ලෙස වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (18) ඉල්ලීමක් කළා.

මේ අතර දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක වෙළඳසැල් වසා දැමීමට වෙළඳ සංගම් අද (18) දිනයේ තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුවන්වැල්ල, අඟුරුවැල්ල, සියඹලාණ්ඩුව, වැලිමඩ, මීගමුව සහ කොච්චිකඩේ යන නගරවල වෙළඳසැල් හෙට (19) සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා.

එසේ ම ඇඹිලිපිටිය නගරය ද අද (18) සිට සති දෙකක් (2) වසා දැමීමට පියවර ගත් අතර, කඹුරුපිටිය නගරයේ සියලු ම වෙළඳසැල් අනිද්දා සිට 25 වනදා දක්වා වසා තැබෙනු ඇති.

කෙසේ වෙතත් වෙළඳසැල් වසා දැමුව ද ඖෂධ අලෙවිසැල්, ඉන්ධන පිරවුම්හල්, වෛද්‍ය මධ්‍යස්ථාන ඇතුළු අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩ ව ක්‍රියාත්මක බවයි බොහෝ වෙළඳ සංගම් ප්‍රකාශ කර සිටියේ.

පිටකොටුවේ වෙළදසැල් වසා දමන්නේ ද යන්න සම්බන්ධයෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමය ඊයේ (17) සාකච්ඡාවක් පැවැත්වූ අතර, අනතුරු ව ඔවුන් තීරණය කර ඇත්තේ වෙළඳසැල් වසා නොදැමීමටයි.

+++++++++++++++++++

(18.08.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හමුවේ රට වසා දමනවා ද නැද් ද යන්න සම්බන්ධයෙන් ගනු ලබන තීරණය පවතින තත්ත්වයන් සමඟ විටින් විට වෙනස් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

මේ අතර කොළඹ ජාතික රෝහලේ පමණක් කොරෝනා ආසාදිත වූ හෙද හෙදියන් 105 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

දැනට දෛනික ව වාර්තා වන කොරෝනා රෝගීන් සැලකිල්ලට ගනිමින් ජාතික රෝහලේ කොරෝනා රෝගීන් සඳහා වාට්ටු 15 ක් වෙන් කිරීමට මේ වන විට කටයුතු කර තිබෙනවා.

ජාතික රෝහලේ ඇඳන් 3500 ක් පවතින බවත් දැනට ඇඳන්වල තදබදයක් නොමැති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ඊයේ (17) දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 3609 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 365,683 දක්වා ඉහළ ගියා.

කොරෝනා ආසාදිත ව සිටි පුද්ගලයින් 314,340 ක් මේ වන විට සුවය ලබා ඇති අතර, තවදුරටත් ප්‍රතිකාර ලබන සක්‍රීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 45,080 ක්.

මේ අතර, හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල කොවිඩ් පරීක්ෂණ සිදු නො කරන ලෙසට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය උපදෙස් ලබා දී ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලයට අනුයුක්ත හැටන් තැපැල් පියසෙහි සේවය කළ පුද්ගලයින් දෙදෙනෙකුට (2) ද කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එය තාවකාලිකව වසා දැමුණා.

මේ අතර නාවලපිටිය නගරයේ සුපිරි වෙළද සංකීර්ණයක් ඉදිරිපිට පුද්ගලයෙකු මිය ගොස් සිටිය දී ඊයේ (17) සොයා ගැනුණු අතර, ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත් ද යන්න සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

ගාල්ල – දොඩම්දූව ප්‍රදේශයේ නිවසක 91 හැවිරිදි කාන්තාවක් මියගොස් සිටි අතර පසු ව කළ පරීක්ෂණයේ දී අනාවරණ වී ඇත්තේ ඇයට වයිරසය ආසාදනය වී ඇති බවයි.

මේ අතර, නාවලපිටිය – බව්වාගම ප්‍රදේශයේ පිහිටි ආදාහනාගාරයේ විදුලි පරිපථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් අවසන් කටයුතු සදහා රැගෙන ආ කොරෝනා මෘතදේහ ආදාහනය පමා වී තිබෙනවා.

පසුගිය මාසයක පමණ කාලය තුළ එහි දේහයන් 165 ක් ආදාහනය කළ බවත් ඉන් 58 ක් ම කොරෝනා ආසාදිතයන් බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේ පවතින තත්ත්වයත් සමඟ ගන්නා තීන්දු තීරණ වෙනස් විය හැකි බවයි.

ඒ ඔස්සේ රට වසා දමනවා ද නැද්ද යන්න පිළිබදව තීරණය කරන බව ද කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවේ දී ඔහු ප්‍රකාශ කළා.

රෝගීන්ගේ වැඩිවීමත් සමඟ අවශ්‍ය වන ඔක්සිජන් ප්‍රමාණය ගබඩා කිරීමට පහසුකම් සපයා ඇති බවත් ප්‍රාදේශීය වශයෙන් රෝහල්වලට අවශ්‍ය ඔක්සිජන් නිෂ්පාදනය කිරීම සදහා කටයුතු කර ඇති බව ද ඔහු එහි දී වැඩිදුරටත් කියා සිටියා ෴

+++++++++++++++++++++

ජලසම්පාදන මණ්ඩලයෙන් ඉල්ලීමක්

(18.08.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් නිවෙස් වෙත පැමිණෙන ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන්ගේ සහ පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ ව අවධානය යොමු කරන ලෙස එම මණ්ඩලය ඉල්ලීමක් කරනවා.

ඒ අනුව මනු සටහන්කරුවන්ගේ රාජකාරියට ඉඩ දී පාරිභෝගික ජනතාව මීටර 2 ක් පමණ දුරින් සිටින ලෙසයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ.

එසේ ම බිල්පත් පිළිබඳ ඍජු විමසීම් සිදු නො කරන ලෙසත් තොරතුරු අවශ්‍ය නම් 1939 දුරකතන අංකයට ඇමතීමක් සිදුකරන ලෙසත් ජලසම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එසේ නොමැති නම් ජල බිල්පතේ ගිණුම් අංකය, 071 939 9999 දරණ දුරකතන අංකයට කෙටි පණිවුඩයක් යොමු කරමින් අදාළ තොරතුරු ලබාගත හැකියි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *