කොරෝනා අවදානම නිසා තවත් නගර කිහිපයක වෙළඳසැල් වසා දැමීමේ තීරණයක්

කොරෝනා අවදානම නිසා තවත් නගර කිහිපයක වෙළඳසැල් වසා දැමීමේ තීරණයක්

*********************************************

කොරෝනා අවදානම නිසා තවත් නගර කිහිපයක වෙළඳසැල් වසා දැමීමේ තීරණයක්

(17.08.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා අවදානම හේතුවෙන් දිවයිනේ තවත් නගර කිහිපයක වෙළඳසැල් වසා දැමීමට වෙළඳ සංගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව දඹුල්ල නගරයේ සියලු වෙළඳසැල් අනිද්දා සිට ලබන 31 වනදා දක්වා වසා දමනු ඇති.

කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගම්වලින් ඉල්ලීමක් ලැබුණහොත් පමණක් එය වසා දමන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා සඳහන් කළා.

මේ අතර කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තඹුත්තේගම විශේෂිත ආර්ථීක මධ්‍යස්ථානය මෙන්ම බලංගොඩ, අලව්ව සහ පොල්ගහවෙල නගරවල ව්‍යාපාරික ස්ථාන හෙට (18) සිට වසා තැබෙනවා.

එමෙන්ම, අනිද්දා (19) සිට ලබන 25 වනදා දක්වා අනුරාධපුර නගරයේ සහ සියළු උප නගරවල ව්‍යාපාරික ස්ථාන වසා තබන බවයි අනුරාධපුර දිස්ත්‍රික් ව්‍යාපාරික සංසදය අද (17) නිවේදනය කළේ.

ලබන 22 වනදා සිට සතියක (1) කාලයක් හලාවත නගරයේ වෙළදසැල් වසා තබන බව හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතා කියා සිටියා.

මේ අතර පිටකොටුවේ වෙළදසැල් වසා තබන්නේද නැද්ද යන්න පිළිබදව හෙට (18) පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු තීරණය කරන බවයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමයේ ලේකම් ජී.එස්. එලමිනාදන් මහතා කියා සිටියේ.

++++++++++++++++++++++

(17.08.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් සිකුරාදා (20) වනවිට රට වැසීම සිදු නොකළහොත් ලබන සඳුදා (23) සිට වෘත්තිය සමිති විසින් රට ලොක් ඩවුන් කිරීමට සූදානම් බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසකගේ සහභාගීත්වයෙන් කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ ෴

++++++++++++++++++++++++

(17.08.2021 – 20:24 +0530 – hirunews.lk/sinhala)

අද (17) දිනයේ තවත් ආසාදිතයින් 892 ක් වාර්තා වනවා. ඒ අනුව අද (17) දිනයේ හමු වූ මුළු ආසාදිතයින් ගණන 3555 ක් වනවා. මෙරටින් මෙතෙක් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 365,629 ක් වනවා ෴

++++++++++++++++++++++++

(17.08.2021 – 20:37 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරස් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාව තුල දෛනිකව වාර්තාවූ වැඩිම මරණ සංඛ්‍යාව අද (17) දිනයේ වාර්තාකර තිබෙනවා. ඒ මරණ 171 ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (16) මෙම මරණ තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මෙම මරණ අතර පිරිමි පුද්ගලයන් 102 ක් සහ කාන්තාවන් 69 ක් වනවා.

අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු (2) ඊට අයත්.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 35 ක් සිදුව ඇති අතර ඒ පිරිමි 23 ක් සහ කාන්තාවන් 12 ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිම පුද්ගලයන් 77 ක් සහ කාන්තාවන් 57 ක් ද මියගිය පිරිස අතර වනවා.

++++++++++++++++++++

(17.08.2021 – 22:21 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතය හේතුවෙන් නඩු කටයුතු වලට සිදුවන ප්‍රමාදයන් වලක්වා ගැනීම ඇතුළු තවත් කරුණු වෙනුවෙන් ඉදිරිපත්කළ 2019 කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත අද (17) සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එම පනත සම්බන්ධව පළවූ පක්ෂ විපක්ෂ අදහස් සමඟ දැන් මැතිසබය විශේෂාංගය.

++++++++++++++++++++++

(17.08.2021 – 22:47 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් සහ ඊයේ (16) සිදු කළ කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් දැන්.

++++++++++++++++++++

(18.08.2021 – 06:54 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරිනීතිය සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 55,173 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මේ අතර ගත වූ පැය 24 ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 284 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම ඊයේ (17) දිනයේදී බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන වාහන, පිළිවෙලින් 859 ක් සහ 630 ක් පරික්ෂාවට ලක්කළ බවයි පොලිසිය පවසන්නේ ෴

++++++++++++++++++++

(18.08.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

මෙරට දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව තවත් ඉහළ නංවමින් ඊයේ (17) කොරෝනා මරණ 171 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 6,434 ක් ලෙසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (16) සිදු වූ බවට ඊයේ (17) තහවුරු කරන ලද කොරෝනා මරණ 171 න් 134 ක් ම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්.

ඊට පිරිමි පුද්ගලයන් 77 ක් සහ කාන්තාවන් 57 ක් අයත් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මීට අමතර ව වයස අවුරුදු 30 ත් 59 ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් 35 දෙනෙකු ද අවුරුදු 30 ට අඩු පුද්ගලයන් දෙදෙනෙකු (2) ද කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මේ අතර නව ආසාදිතයන් 3,609 දෙනෙකු ඊයේ (17) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත සංඛ්‍යාව 365,683 දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 3,555 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන්හි සිට පැමිණි 54 දෙනෙකුද රෝගීන් ලෙස හඳුනා ගැනුණා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 45,080 ක් රෝහල් ගත ව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 314,340 ක්.

මේ අතර ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඊයේ (17) පෙරවරු 10 න් අවසන් වූ පැය විසි හතරක (24) කාලය තුළ බදුල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් කොරෝනා ආසාදිතයන් 398 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

එමෙන්ම කොරෝනා මරණ 4 ක් ද බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ (17) ආසාදිතයන් 440 දෙනෙකු වාර්තා වී ඇති අතර, මරණ 5 ක් ද සිදු වී ඇති බවට එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දකුණු පළාතෙන් ද කොරෝනා ආසාදිතයන් 1445 දෙනෙකු ඊයේ (17) වාර්තා වී තිබෙනවා ෴

+++++++++++++++++++

(18.08.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්ත්වය තුළ අමාත්‍යාංශ මට්ටමින් සෑම අමාත්‍යාංශයක් ම ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුවත් කරනු ලැබුවා.

ඒ, සූම් තාක්ෂණය ඔස්සේයි.

ඒ අනුව සෑම අමාත්‍යාංශයක ම කොවිඩ් මර්දන කමිටු පිහිටුවීමට මෙහි දී යෝජනා වී ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඒ සඳහා එක් ප්‍රධාන නිලධාරියෙකු යටතේ ආයතනික මට්ටමින් කමිටුවක් පිහිටුවීමට ද යෝජනා වී තිබෙනවා.

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කොළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ සෞඛ්‍ය සේවයේ නිරත පුද්ගලයින් සඳහා තුන්වන (3) කොරෝනා එන්නත් මාත්‍රාවක් ලබාදීම පිළිබඳ ව රජය අවධානය යොමු කළ යුතු බවයි.

මේ අතර කොරෝනා ආසාදිතයන් හමුවීම හේතුවෙන් දුම්රිය ස්ථාන 9 ක් ද මේ වනවිට වසා දමා තිබෙනවා.

ඉඳුරුව, රත්ගම, විල්වත්ත, තල්පේ, හෙට්ටිමුල්ල, එගොඩ උයන සහ උතුරු කළුතර ඇතුළු තවත් දුම්රිය ස්ථාන දෙකක් මෙලෙස වසා දමා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් 350 කට වැඩි පිරිසකට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති අතර, මරණ දෙකක් (2) ද සිදු ව තිබෙනවා ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(18.08.2021 – 06:16 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී ලෙස මන්නාරම සහ පුනරීන් ප්‍රද්ශයන්හි දී ප්‍රවාහනය කරමින් තිබූ වියළි කහ කිලෝග්‍රෑම් 2157 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අංශ පවසනවා.

පුනරීන් පොලිසියට ලද තොරතුරක් මත ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ වියළි කහ කිලෝග්‍රෑම් 1157 ක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

මෙහි දී ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර මන්නාරම නගරයේ යුද හමුදා මාර්ග බාධකයක දී සැකකටයුතු ලොරි රථයක් පර්ක්ෂා කිරීමේ දී එහි තිබී වියළි කහ කිලෝග්‍රෑම් 1000 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි ව තිබෙනවා.

අදාළ කහ තොගයන් නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් වෙනත් ප්‍රදේශයන් වෙතට ප්‍රවාහනය කරමින් තිබිය දී මෙලෙස අත්අඩංගුවට ගැනීමට සමත් ව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබුණා ෴

******************************************

(18.08.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු නො වූ බව පවසමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පාප් වහන්සේ වෙත යැවූ ලිපිය සම්බන්ධයෙන් පාප් වහන්සේගේ අවධානය යොමු ව ඇති බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසනවා.

මේ අතර පාස්කු ප්‍රහාරය සිදු වී වසර දෙකක් (2) ගත වී ඇතත් මෙතෙක් ඊට යුක්තිය සහ සාධාරණයක් ඉටු නො වූ බවට පවසමින් සමාජීය හා සාමයික කේන්ද්‍රයේ සාමාජිකයින් පිරිසක් ද ඊයේ (17) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා ෴

******************************************

(18.08.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක තුන (3) ප්‍රදේශයේ දී ඇතෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දෙදෙනෙකු (2) පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකළ මෙහෙයුමක දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයෙකු සහ ඒ සඳහා ගිනි අවිය ලබාදුන් පුද්ගලයා යි.

පසුගිය 14 වනදා සෙල්ලකතරගම – ගෝතමීගම – යාල විදුලි වැට සම්බන්ධ වන ස්ථානය ආසන්නයේ දී මෙම ඇතා වෙඩි තබා ඝාතනය කර හොඬවැල කපා දළ යුගලය රැගෙන ගොස් තිබුණා.

පෙරේදා ගිනි අවිය සැකකරුවන්ට ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා ඊයේ (17) ගන්දර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

කෙසේ වෙතත් ඔහු සමඟ වෙඩි තැබීමට පැමිණි ‘කළු අප්පුවා’ නැමැත්තෙකු සොයා ඊයේ (17) යාල වනෝද්‍යානයේ මෙහෙයුමක් ද සිදුකර තිබෙනවා.

එහෙත් ඔහු ව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී නොමැති අතර, ඝාතනය කළ ඇතාගේ බවට සැළකෙන දළයක් සොයාගෙන ඇති බවට වාර්තා වනවා ෴

******************************************

කිරිබත්ගොඩයාගේ ‘මහමෙවුනා දේවදත්ත නිකාය’ විසින් පැහැරගනු ලැබ තිබූ සේරුවාවිල රජමහා විහාරයේ විහාරාධිපති ධූරය පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන්ට

(17.08.2021 – colombotoday.com)

= මහමෙවුනාව අත්පත් කරගෙන සිටි සේරුවාවිල රජමහා විහාරයේ විහාරාධිපති ධූරය පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන්ට =

සේරුවාවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති තනතුරට පූජ්‍යපාද කොටපොල අමරකිත්ති මාහිමිපාණන් වහන්සේ පත් කොට තිබේ.

සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතරම මහනායක, ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ අතිගරු මහා නායක, අග්ග මහා පණ්ඩිත, පූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන විධායක සංඝ සභාව මීට පෙර දිනයකදී මෙම තීරණය ගෙන ඇත.

සේරුවාවිල රජ මහා විහාරයට අයත් මංගල ධර්ම කීර්ති ශ්‍රී, නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධූරයද, මේ සමගම පූජ්‍ය කොටපොල අමරකිත්ති නාහිමිපාණන් වහන්සේට ප්‍රධාන කොට තිබේ.

මෙම පත්වීම තහවුරු කරමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ද ලිපියක් නිකුත් කොට ඇත.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *