කොවිඩ් එන්නත් තෙවැනි (3) මාත්‍රාවක් ඕනෑ – GMOA කියයි

කොවිඩ් එන්නත් තෙවැනි (3) මාත්‍රාවක් ඕනෑ – GMOA කියයි

*********************************************

කොවිඩ් එන්නත් තෙවැනි (3) මාත්‍රාවක් ඕනෑ – GMOA කියයි

(17.08.2021 – 14:43 +0530 – hirunews.lk/sinhala)

එන්නත් මාත්‍රා දෙකම (2) ලබා සිටින සෞඛ්‍ය සේවකයින් පවා මේ වන විට කොවිඩ් වසංගතයේ ගොදුරු බවට පත් වෙමින් සිටින බැවින් ඉදිරි පෙල සෞඛ්‍ය සේවකයන් ආවරණය වන පරිදි තුන්වන (3) එන්නත් මාත්‍රාවක් ලබා දීමේ අවශ්‍යතාවක් අද (17) වන විට දැඩිව පැන නැගි ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

2021 වසර අග භාගය වන විට මෙරට මුහුණ දෙන ප්‍රබලතම අවදානම වන්නේ ප්‍රතිශක්තිකරණය මග හැර යාමට සමත් ශ්‍රී ලාංකික දරුණු කොරෝනා ප්‍රභේදයක් අලුතින් හටගැනීමට ඇති හැකියාව බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය වෙත නිකුත් කල සම්පූර්ණ නිවේදනය පහතින් :

+++++++++++++++++++

(17.08.2021 – 15:01 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල නගරයේ සියලුම වෙළඳසැල් අනිද්දා (19) සිට ලබන 31 වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා.

වෙළඳසැල් හිමියන්ගේ සංගම් ඒකාබද්ධව අදාළ තීරණය ගෙන ඇත්තේ පවතින කොරෝනා වසංගත තත්වය සැළකිල්ලට ගනිමින්.

කෙසේ වෙතත් දඹුල්ල නගරයේ පවතින ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැහැ.

ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගම්වලින් ඉල්ලීමක් ලැබුණහොත් පමණක් ආර්ථීක මධ්‍යස්ථානය වසා දැමෙන බවයි වෙළඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා සඳහන් කර ඇත්තේ.

මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් තඹුත්තේගම විශේෂිත ආර්ථීක මධ්‍යස්ථානයද හෙට (18) සිට දින හතක් (7) වසා දැමීමටද ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය තීරණය කර ඇති බව හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.

දැනට එම මධ්‍යස්ථානයේ වෙළඳසැල් කිහිපයක සේවක සේවිකාවන්ට කොරෝනා ආසාදනය වී ඇති බවටද තහවුරු වී තිබෙනවා ෴

++++++++++++++++++

(17.08.2021 – 15:35 +0530 – hirunews.lk/sinhala)

දිනෙන් දින උග්‍ර වන කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන්, පිටකොටුව කේසර් වීදියේ තොග සහ සිල්ලර කඩසාප්පු දින 10 කට වසා දැමීමට එම කඩසාප්පු හිමිකරුවන් තීරණය කර තිබෙනවා.

පසුගිය දින කිහිපය පුරා රටේ විවිධ ස්ථානවල නගර සහ කඩවීදි පවතින තත්ත්වයට මුහුණ දීම සඳහා ස්වෙච්ඡාවෙන් අඟුළු දැමුණා.

කොළඹ පිටකොටුවේ ප්‍රධාන තොග සහ සිල්ලර ව්‍යාපාරික වීථියක් ස්වේච්ඡාවෙන් අඟුළු දැමෙන්නේ පළමු (1) වතාවටයි ෴

+++++++++++++++++++

(17.08.2021 – 16:51 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු කොරෝනා වයිරස් ආසාදිතයන් ලෙසට හඳුනාගෙන තිබෙනවා.

ඒ අද (17) සිදු කළ අහඹු පරීක්ෂණ 275 කින්.

පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමඟයි පාර්ලිමේන්තුව තුළ අද (17) අහඹු කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට තීරණය කර තිබුනේ.

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්, ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙන්ම පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය ද මෙලෙස කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සදහන් කළා.

අද (17) උදෑසන 9 සිට මධ්‍යහ්න 12 දක්වා කාලය තුලදීයි මෙම අහඹු රැපිඩ් පරීක්ෂණ සිදු කෙරුණේ.

හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ආරක්ෂක කැමරා පද්ධතිය මගින් හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමු කිරීමට මෙන්ම අදාළ අංශ විෂබීජානුහරණය කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව හෙට (18) සිට නැවත දැනුම්දෙන තෙක් අවම කාර්ය මණ්ඩලයක් සහිතව පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමටයි තීරණය වී ඇත්තේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද මෙවැනි පරීක්ෂණ සිදු කර ආසාදිතයන් හා ආශ්‍රිතයන් හඳුනාගත් අතර ඔවුන් සම්බන්ධව ද අදාළ පියවර අනුගමනය කළ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

මේ අතර සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් තම බිරිඳ සහ දියණිය සමඟ කොරෝනා පරීක්ෂණය සඳහා යොමු වූ අවස්ථාවේ තුන්දෙනාම (3) ආසාදිතයින් ලෙස තහවුරු වී ඇති බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මන්ත්‍රිවරයා සඳහන් කළේ.

ඒ අනුව ගෙවුණු මාසයක පමණ කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

හිටපු අමාත්‍ය මංගල සමරවීරද කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබනවා ෴

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2283 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 314,340 ක් ලෙසටයි ෴

+++++++++++++++

(17.08.2021 – 17:30 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව නිවසේ ප්‍රතිකාර ලබමින් සිටි දස (10) හැවිරිදි දැරියක් හුමාළය ඇල්ලීම සඳහා ගිය අවස්ථාවේ උණු ජලය සිරුරට වැටී පිළිස්සීමෙන් රෝහල් ගතකිරීමේ පුවතක් ආණමඩුව – මැරුංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

කෙසේ වෙතත් රෝහල් ගත කෙරුණු දැරියගේ තත්වය බරපතල නොවන බවයි ආණමඩුව රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

එමෙන්ම කටුනායක – ආඩිඅම්බලම ප්‍රදේශයේ අවුරුදු 38 ක් වයසැති චීන ජාතික කාන්තාවක් කොරෝනා ආසාදිතව මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

පෙරේදා ඇය උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ (16) ඇය මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රී කාවින්ද රණතුංග ද කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කෙසේ වෙතත් මන්ත්‍රිවරයාගේ අවසන් කටයුතු සිදුවූ පෑලියගොඩ පොදු සුසාන භූමියට අද (17) දිනයේ විශාල ජනතාවක් පැමිණ සිටි බවයි අප වාර්තාකරු කියා සිටියේ ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(17.08.2021 – 16:09 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 3 වනදා පාර්ලිමේන්තු වටරවුම අසළ පැවැත්වූ විරෝධතාවයේදී පොදු දේපළවලට හානි කිරීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු සිව්දෙනා (4) අගෝස්තු 31 වනදා දක්වා අද (17) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, මීට අදාළ නඩුව කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක ඉදිරියේ කැඳවූ අවස්ථාවේදියි.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට හිමි භාෂණයේ, ප්‍රකාශනයේ හා උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතියට ඉහළින් නිරෝධායන නීතිය ක්‍රියාත්මක නොවිය යුතු බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචිනී අබේවික්‍රම ප්‍රකාශ කළා.

ඒ, පසුගිය ජූලි 20 වනදා සංචරණ සීමා උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් කොළඹ – මෝදර පොලිසිය විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩට එරෙහිව පවරා ඇති නඩුව අද (17) විභාගයට ගත් අවස්ථාවේදියි.

කොරෝනා වසංගතය පාලනයට නිරෝධායන නීතිය උපයෝගී කරගත්තද, ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් මර්දනය කිරීමට හැකියාවක් නොමැති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා ෴

******************************************

(17.08.2021 – 16:14 +0530 – hirunews.lk/sinhala)

චීනය, මෙරටට රුපියල් බිලියන 61.5 ක දස (10) අවුරුදු ණය මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගිවිසුමට චීන සංවර්ධන බැංකුව සහ ලක් රජය අද (17) අත්සන් තැබූ බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ.

ලක් රජය කළ ඉල්ලීමකට අනුව කොරෝනා වයිරසය පාලනය කිරීම, ආර්ථික පුනර්ජීවනය, මූල්‍ය ස්ථාවර භාවය සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා සහයවීමට මෙම ණය මුදල ලබා දෙන බව චීන තානාපති කාර්යාලය සඳහන් කළා ෴

******************************************

(17.08.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala)

සූරියවැව – වැවේගම ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු (2) බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අද (17) දහවල් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති අතර, පොලිසියද එම අවස්ථාවේ ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ දෙදෙනා (2) සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මේ අතර පොලිස් නිලධාරීන් පැමිණි ජීප් රථය එම අවස්ථාවේ මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් එහි සිටි පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා සූරියවැව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ ෴

******************************************

(17.08.2021 – 16:45 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රුපියල නැවත වතාවක් බරපතළ කඩා වැටීමකට ලක් වෙමින් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (17) දින ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි මිලදී ගැනීමේ සහ විකිණීමේ හුවමාරු අනුපාතය පිලිවෙලින් දැක්වුනේ රුපියල් 198.19 ලෙස හා 202.89 ක් ලෙසටයි.

නමුත් එය මුදල් වෙළඳපොලේ රුපියල් 211.00 සිට 215.00 දක්වා අලෙවි වන බවයි වාර්තා වන්නේ.

මහ බැංකුව විසින් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සඳහා රුපියල් 202.89 ක බර තැබීමක් සිදු කර තිබුණද බොහෝ පෞද්ගලික බැංකු මේ වන විට මෙම අනුපාතයන් අතහැර දමා තිබෙනවා.

අද (17) දිනය වන විට දේශීය පෞද්ගලික බැංකු ආනයන කරුවන් සඳහා ඇමරිකානු ඩොලර් එකට රුපියල් 211.00 ක විනිමය අනුපාතයක් රඳවාගත් අතර අතර විදේශීය බැංකු රඳවාගත් අනුපාතය රුපියල් 215.00 දක්වා ඉහළ දමා තිබුණා.

අද (17) වන විට කොමර්ෂල් බැංකුව විදුලි පණිවුඩ මුදල් අණකර සඳහා අමෙරිකානු ඩොලරයකට රුපියල් 206.50 ත් 211.00 අතර අනුපාතයක් රඳවා ගත් අතර හැටන් නැෂනල් බැංකුවේ එම අනුපාතය දැක්වුනේ රුපියල් 206.00 ත් 211.00 අතරේයි.

මේ අතර සෙලාන් බැංකුව රුපියල් 204.00 ත් 211.00 අතර අනුපාතයක් රඳවා ගත්තා.

කෙසේ වෙතත් ලංකා බැංකුව තවමත් ඔවුන්ගේ වෙබ් අඩවියේ මූල්‍ය අනුපාතය 198.50 සහ 203.00 අතර රඳවා ගෙන ඇත්තේ ගනුදෙනුකරුවන්ට කොන්දේසි පනවමින්.

රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට සහ බැංකු පොලී අනුපාත අඩු මට්ටමක තබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කරමින් සිටිනවා.

සති දෙකකට (2) පෙර අසාර්ථක බැඳුම්කර වෙන්දේසියකින් උපයාගත් රුපියල් බිලියන 53 ක මුදල වෙළෙඳපොළට එන්නටත් පෙර වාෂ්ප වී ගියේ ඉන් විශාල කොටසක් දේශීය ණය වාරික සඳහා කැපී යාම හේතුවෙන්.

මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරයට සාපේක්ෂව බර තබා ඇති රුපියල් 203.00 ක විනිමය අනුපාතය තවදුරටත් ප්‍රායෝගික නොවන බවටයි පසුගිය බදාදා ශ්‍රී ලංකා මහ බැංකුව සහ දේශීය බැංකු කරුවන් අතර පැවති සාකච්ඡාවකදීයි දේශීය බැංකු කරුවන් අනතුරු අඟවා ඇත්තේ.

මේ වන විට සම්පුර්ණයෙන්ම අන්තර් බැංකු ගනුදෙනු තහනම් කිරීම හා ඩොලරයේ වටිනාකම සඳහා විනිවිදභාවයක් නොමැති වීම හේතුවෙන් කේවල් කිරීමේ බලය පමනක්ම පදනම් කරගෙන අපනයන හා ආනයන කරුවන්ගෙන් විවිධ අනුපාතයන් අය කිරීමට බැංකු යොමු වී තිබෙනවා.

යුද්ධය අවසන් වීමෙන් පසු පවත්වාගත් මුදල් ප්‍රතිපත්තිය සහ භාණ්ඩාගාර වෙන්දේසි බිඳ වැටීම් හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික ආගාධයක මුවවිට හමුවේ සිටින බවයි මූල්‍ය විචාරකයින් පවසන්නේ ෴

******************************************

(17.08.2021 – 17:42 +0530 – hirunews.lk/sinhala)

සූරියවැව ප්‍රදේශයේදී පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයන් දෙදෙනෙකු (2) මියගොස් තිබෙනවා.

සූරියවැව – වැවේගම ප්‍රදේශයේදීයි මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ.

අද (17) දහවල් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති අතර, පොලිසියද එම අවස්ථාවේ ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්.

එහිදී බරපතල තුවාල ලැබූ සැකකරුවන් දෙදෙනා (2) සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා තිබුණා.

එහිදීයි ඔවුන් මියගොස් ඇත්තේ.

මේ අතර පොලිස් නිලධාරීන් පැමිණි ජීප් රථය එම අවස්ථාවේ මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් එහි සිටි පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා සූරියවැව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ රන් මාලයක් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් පොලිසියට වෙඩි තබා ඇති බවයි.

අනතුරුව පොලිසිය සිදු කළ වෙඩි ප්‍රහාරයකින් සැකකරුවන් මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මියගොස් ඇත්තේ අම්බලන්තොට කොග්ලල්ල ප්‍රදේශයේ පදිංචි ‘කඩවර පුතා’ නම් 35 හැවිරිදි අයෙක් සහ ඔහුගේ ගෝලයෙක් බව සඳහන්.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් කඩා පළායනු දුටු අසල්වැසියෙකු යතුරුපැදියේ අංකය සමග සිද්ධිය පිළිබඳ තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.

ඒ අනුවයි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් කොල්ලකරුවන් ලුහුබැඳගොස් ඇත්තේ.

කෙසේවෙතත් ඔවුන් සොයා ගැනීමට නොහැකිවී ඇති අතර පසුව සිද්ධිය පිළිබඳ ලුහුණුගම්වෙහෙර සූරියවැව සහ මත්තල ඇතුලු අවට පොලිස් ස්ථාන වෙත දන්වා තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ සූරියවැව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් පිරිසක් වැවේගම මාර්ගයේ පැමිණ ඇති අතර එහිදී කොල්ලකරුවන් හඳුනාගත් පොලිසිය ඔවුන් පසුපස හඹාගොස් ඇතැයි සඳහන්.

එහිදී යතුරුපැදියේ ගිය සැකකරුවන් පොලිස් ජිප් රථය දෙසට වෙඩි තබා ඇති අතර පොලිස් වෙඩි පහරින් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානයේ තිබී ගිනි අවියක් සහ රන් මාල දෙකක් (2) ද සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

******************************************

(17.08.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ රට මුහුණපා ඇති විදේශ විනිමය අර්බුදය හමුවේ මෙම වසරේ මුල් මාස හය (6) තුළදී ආනයන වියදමෙන් සියයට 18 ක් වැයවූයේ ඉන්ධන ආනයනය සඳහා බවයි.

අවසන් මාස හය (6) තුළදී එය සියයට 25 ක් දක්වා ඉහළ යා හැකි බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එමඟින් පෙන්වා දී තිබෙනවා.

එබැවින් ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා විදේශ විනිමය ඉතිරි කරගැනීමට ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවයි සිය ට්විටර් පණිවුඩයෙන් ඔහු තවදුරටත් දක්වා ඇත්තේ ෴

******************************************

(17.08.2021 – 21:20 +0530 – hirunews.lk/sinhala)

මතබේධාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන අතර මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවුනා ෴

@@@@@ කොවිඩ් පුවත් @@@@@

(17.08.2021 – 19:00 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන කොරෝනා මර්දන එන්නත් කිරීමේ ජංගම ක්‍රියාවලිය අදත් (17) කොළඹ සහ ගම්පහ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් සිදු කෙරුණා.

මෙහිදී ලියාපදිංචි වීමකින් පසුව වයෝවෘද්ධ පුද්ගලයන් සිටින නිවෙස් හෝ වැඩිහිටි නිවාස වෙතටම ගොස් කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා ලබාදීම සිදු කෙරෙනවා.

මෙම වැඩපිළිවෙල කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක මුල් කරගෙන නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරුණු අතර එය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටයි මේවන විට ශ්‍රී ලංකා යුද හමුදාව සහ සෞඛ්‍ය අංශවල අවදානය යොමුවී ඇත්තේ.

මෙම එන්නත්කරණ ක්‍රියාවලියට ඍජු දායකත්වය සපයන්නේ ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ නිලධාරීන් සහ භට පිරිස් එකතුවයි ෴

++++++++++++++++++++

(17.08.2021 – 19:20 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය මැඩපැවැත්වීම සඳහා ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අතර අද (17) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී කොරෝනා වෛරසය පිටුදැකීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා වෙත කරුණු දක්වා ඇති බව සඳහන්.

ජනාධිපති කාර්යාලයේදී අද (17) පෙරවරුවේ මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර, එය විනාඩි 40 ක පමණ කාලයක් පැවති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

රටේ පවතින කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයින් කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මීට පෙර ඉල්ලීමක්ද කර තිබුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *