මංගල උත්සවත් අද (17) සිට තහනම්

මංගල උත්සවත් අද (17) සිට තහනම්

*********************************************

මංගල උත්සවත් අද (17) සිට තහනම්

(17.08.2021 – 08:31 +0530 – hirunews.lk/sinhala)

මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඊයේ (16) රාත්‍රී 10 ට පනවනු ලැබූ නිරෝධායන ඇඳිරි නීතිය අද (17) අළුයම 4 ට ඉවත් කෙරුණා. කෙසේ වෙතත් අද (17) රාත්‍රී 10 ට යළි නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන අතර එය පසුදා (18) අළුයම 4 ට යළි ඉවත් කෙරෙනවා. මෙලෙස නැවත දැනුම් දෙනතුරු පැය 6 ක කාලයක් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ ‘විවාහ මංගල උත්සව’ පැවැත්වීම ද අද (17) සිට තහනම් කර තිබෙනවා. කෙසේ වෙතත්, මනාල යුවළ, ඔවුන්ගේ දෙමව්පියන් සහ විවාහ රෙජිස්ට්‍රාර්වරයා සහභාගි කර ගනිමින් විවාහ ගිවිස ගැනීමේ කටයුතු සිදුකිරීමේ හැකියාව පවතින බවයි රජය නිවේදනය කළේ.

එමෙන්ම බෙලිඅත්ත සහ තංගල්ල නගරවල වෙළදසැල් ද අද (17) සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම හෙට (18) සිට ඇඹිලිපිටිය, අම්පාර සහ බදුල්ල යන නගරවල පිහිටි වෙළදසැල් වසා දැමීමටයි වෙළද සංගම් තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත්, කොරෝනා ව්‍යාප්තිය හමුවේ බදුල්ල, බණ්ඩාරවෙල, අම්බලන්තොට, බෙලිඅත්ත, තංගල්ල, ඇඹිලිපිටිය, අම්පාර යන නගරවල ද වෙළදසැල් වසා දැමීමට පසුගිය දා කටයුතු කෙරුණා ෴

++++++++++++++++++++

(17.08.2021 – 08:35 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද (17) වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඊයේ (16) රාත්‍රියේ යෙදුණු සුබ මොහොතින් සිව්වන කුඹල් පෙරහර වීථි සංචාරය කෙරුණා ෴

++++++++++++++++++++

(17.08.2021 – 09:19 +0530 – hirunews.lk/sinhala)

සෑම දිනකම රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා නිරෝධායන ඇදිරි නීතිය පැනවීමට කටයුතු කර තිබුණ ද ඇතැම් ප්‍රදේශවල පුද්ගලයින් ඒවා කඩ කරන ආකාරයක් දක්නට ලැබුණා.

හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සදහන් කළේ ප්‍රදේශ කිහිපයකම වෙළදසැල් රාත්‍රී 10 න් පසුව ද විවෘත කර තිබූ ආකාරයක් දක්නට ලැබුණු බවයි.

එසේම අත්‍යාවශ්‍ය කටයුතුවල නොයෙදෙන පිරිස් ද රාත්‍රී 10 න් පසු මාර්ගවල ගමන් ගන්නා ආකාරයක් දක්නට ලැබුණා.

මේ අතර, ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් ඊයේ (16) දිනයේදී පුද්ගලයින් 277 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 54,889 ක්.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ නීති ක්‍රියාත්මක කිරීමට හැකියාව පැවතිය ද ජනතාව වගකීම්සහගතව කටයුතු කළ යුතු බවයි.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රාත්‍රී කාලයේදී පමණක් නිරෝධායන ඇදිරි නීතිය පැනවීම මෙන්ම පළාත් අතර සංචරණ සීමා පැනවීමට ද කටයුතු කිරීමේ වැඩපිළිවෙලට ජනතාව අනුගත විය යුතු බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළා.

මේ අතර, අලව්ව, කෑගල්ල, බෙලිඅත්ත සහ තංගල්ල නගරවල වෙළදසැල් ද අද සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම, හෙට (18) සිට බලංගොඩ, රත්නපුර, ඇඹිලිපිටිය, අම්පාර සහ බදුල්ල යන නගරවල පිහිටි වෙළදසැල් වසා දැමීමටයි වෙළද සංගම් තීරණය කර ඇත්තේ ෴

+++++++++++++++++++++++

(17.08.2021 – 09:29 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තුව තුළ අද (17) අහඹු කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්, ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙන්ම පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය ද මෙලෙස කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කරන බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සදහන් කළේ.

ඒ අනුව අවශ්‍ය ඕනෑම අයෙකුට පෙරවරු 9 සිට දහවල් 12:30 දක්වා අදාළ පරීක්ෂණ සඳහා සහභාගි විය හැකියි ෴

++++++++++++++++++

සායනික ඔක්සිජන් තොගයක් රැගෙන ඒම සඳහා ශක්ති නෞකාව ඉන්දියාව බලා පිටත් වේ

(17.08.2021 – news.navy.lk)

මෙරට රෝහල් තුල කොවිඩි-19 අසාධිත රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් ධාරීතාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ඉන්දිය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ‘ශ්‍රි ලංකා නාවික නෞකා ශක්ති’ නෞකාව අද අළුයම (2021 අගෝස්තු 17) ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත් විය.

පවත්නා වසංගත තත්වය හමුවේ මෙරට රෝහල් තුල ඔක්සිජන් ධාරිතාවය නිසි ලෙස පවත්වා ගැනීම සදහා ඇනවුම් කරන ලද සායනික ඔක්සිජන් මෙරටට රැගෙන ඒමේදී වරායන් තුල සිදු විය හැකි ප්‍රමාදවීම් වළක්වා ගැනීමේ අරමුණෙන් අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් නාවික හමුදාධිපති වයිස් අද්මීරාල් නිශාන්ත උළුගේතැන්න වෙත එම සායනික ඔක්සිජන් නාවික හමුදාව මගින් රැගෙන එන ලෙස උපදෙස් දෙන ලදි. ඒ අනුව, මෙරටට ඇණවුම් කරන ලද එම සායනික ඔක්සිජන් තොගය රැගෙන ඒම සඳහා ශක්ති නෞකාව ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත මෙලෙස පිටත් කර හැරීමට නාවික හමුදාව විසින් අද අළුයම (2021 අගෝස්තු 17) කටයුතු කෙරිණි.

ඒ අනුව, ශක්ති නෞකාව 2021 අගෝස්තු 18 පස්වරුවේදී ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත ලඟා වීමට නියමිතව ඇත. තවද, මෙම සේවාව අවශ්‍යතාවය අනුව අඛණ්ඩව පවත්වාගෙන යාමට නාවික හමුදාව කටයුතු කරනු ලබන අතර, රටේ ඇති වන ඕනෑම හදිසි තත්වයකදී සිය ශඛ්‍යතාවයන් කාර්‍යක්‍ෂමව සහ ඵලදායිව යොදවා අවශ්‍ය දායකත්වය ඉදිරියටත් නොපමාව ලබා දිමට නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටි.

++++++++++++++++++

(17.08.2021 – 11:11 +0530 – hirunews.lk/sinhala)

එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (16) පුද්ගලයින් 2,85,288 කට කොරෝනා මර්දන එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 2,26,516 කට ලබාදී ඇති අතර, එහි පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 48,764 කට ලබාදී තිබෙනවා.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 4235 කට සහ දෙවන (2) මාත්‍රාව 826 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

එමෙන්ම, ෆයිසර් එන්නතේ දෙවන (2) මාත්‍රාව 4863 දෙනෙකුට සහ පළමු (1) මාත්‍රාව 84 දෙනෙකුට ලබා දී තිබෙනවා ෴

++++++++++++++++

(17.08.2021 – 11:22 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක මේ වන විට ප්‍රතිකාර ලබමින් පසුවන හිටපු මුදල් ඇමති මංගල සමරවීරගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් බව වාර්තා වනවා.

හිටපු මුදල් ඇමති කොරෝනා වෛරසයට ගොදුරු වීම හේතුවෙන් රෝහල් ගත කෙරුණේ පසුගිය සිකුරාදායි.

රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් ඇමතිගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තාවන්නේ ෴

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලන්ට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පක්ෂයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මන්ත්‍රීවරයා වයිරසය ආසාදිතව මේ වන විට සිය නිවසට වී සිටින බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටම දැනටමත් කොරෝනා ආසාදනය වී තිබෙනවා ෴

++++++++++++++++++

(17.08.2021 – 12:48 +0530 – hirunews.lk/sinhala)

නවසීලන්ත රජය එරට සියලු සමාජ ක්‍රියාකාරකම් වහාම නවතා දමා රට දින තුනකට (3) අගුළු දැමීමට තීරණය කර තිබෙනවා.

මීට හේතු වී ඇත්තේ, නවසීලන්තයේ ඔක්ලන්තයෙන් එක් (1) කොවිඩ් රෝගියෙක් වාර්තා වීමයි.

මේ වන විට, නවසීලන්තයේ කොරෝනා සිව්වන (4) දැඩි අවදානම් තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති අතර, ඔක්ලන්තය සහ රෝගීයා සොයා ගත් කොරමන්ඩෙල් ප්‍රදේශය දින හතකට (7) වසා දැමීමටත් බලධාරින් තීරණය කර තිබෙනවා ෴

++++++++++++++++++

(17.08.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

මේ මස 23 වන දා සිට 31 වන දා දක්වා ගැබිණි මව්වරුන් එන්නත්කරණයට ලක් කිරීමේ අරමුණෙන් එන්නත් සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තමන් සිටින ස්ථානයට ළඟම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හෝ එන්නත්කරණ කටයුතු සිදුකරන ස්ථානයකට පැමිණ ගැබිණි මව්වරුන්ට එන්නත් ලබාගැනීමේ හැකියාව පවතිනවා.

බොහෝ ගැබිණි මව්වරුන් එන්නත්කරණයට දක්වන මැලිකම හේතුවෙනුයි මෙලෙස එන්නත් සතියක් ප්‍රකාශයට පත් කර ඇත්තේ.

කෙසේ වෙතත්, පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ගැබිණි මව්වරුන්ගෙන් ඉල්ලා සිටියේ 23 වන දා තෙක් නොසිට එන්නත ලබා ගත හැකි ඕනෑම මොහොතක එය ලබා ගන්නා ලෙසයි.

එමෙන්ම අවුරුදු 12 ත් 18 ත් අතර වයස්වල පසුවන ළමයින් එන්නත්කරණ කටයුතු ලබන මාසයේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර අදත් දිවයිනේ ස්ථාන රැසක එන්නත්කරණ කටයුතු සිදු කෙරුණා. ඊයේ (16) පමණක් පුද්ගලයින් 2,85,288 කට එන්නත් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 2,26,516 කට ලබාදී ඇති අතර, එහි පළමු (1) මාත්‍රාව 48,764 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 4235 කට ලබාදී ඇති අතර එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 826 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

එමෙන්ම, ෆයිසර් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 4863 දෙනෙකුට සහ එහි පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 84 දෙනෙකුට ලබා දී තිබෙනවා ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

කිරිබත්ගොඩ මහල් 4 ක ගොඩනැගිල්ලක ගින්නක්

(17.08.2021 – 10:06 +0530 – hirunews.lk/sinhala)

කිරිබත්ගොඩ – මාකොළ පාරේ, කිරිබත්ගොඩ පොලීසියට නුදුරු සිව්මහල් (4) ගොඩනැගිල්ලක හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.

ගින්නට මැදි වී, සිර වී සිටි කුඩා ළමයින් සිව් දෙනෙකු (4) ඇතුළු 12 දෙනෙකු බේරාගෙන තිබෙනවා. ඒ, පොලීසියේ සහ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන්.

අදාළ ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ 3 ක් යොදවා ඇති බවයි ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙලෙස ගිනි ගැනීමට ලක්වූ ගොඩනැගිල්ල සාප්පු සංකීර්ණයක් බව පොලීසිය ප්‍රකාශ කළා.

+++++++++++

+++++++++++

(17.08.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

කිරිබත්ගොඩ – මාකොළ පාරේ කිරිබත්ගොඩ පොලීසියට නුදුරු මහල් 3 ක ගොඩනැගිල්ලක පළමු (1) මහලේ හටගත් ගින්නත් සමඟ දුම ආඝ්‍රහනය වීම හේතුවෙන් 5 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

අද (17) පෙරවරු 08:30 ට පමණ හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම නිවා දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ සඳහා ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ දෙකක් (2) සහ කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථ දෙකක් යොදවා තිබෙනවා.

ගින්න ඇතිවූ අවස්ථාවේ ඊට මැදිව සිරවී සිටි කුඩා ළමයින් ඇතුළු 12 දෙනෙකු බේරාගනු ලැබුවා.

මෙලෙස ගිනි ගැනීමට ලක්වූ ගොඩනැගිල්ල සාප්පු සංකීර්ණයක් වන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ ෴

******************************************

(17.08.2021 – 11:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වුණු මුදල් පනත් කෙටුම්පතේ වගන්ති 12 කට යෝජනා කරන ලද සංශෝධන එක්කර, 17 වන වගන්තිය සම්පූර්ණයෙන් ඉවත් වේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීර්ණය කර ඇත්තේ.

මේ තත්ත්වය යටතේ මුදල් පනතේ එම වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කරන ආකාරයට සංශෝධනය කළ හැකිනම් එය පාර්ලිමේන්තුවේ සරළ බහුතරයකින් සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වා තිබෙනවා ෴

******************************************

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට (18) ජල සැපයුම අත්හිටුවයි

(17.08.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට (18) පෙරවරු 10 සිට පස්වරු 10 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව වත්තල, හැදල, ඇලකන්ද, අල්විස් ටවුම, වැලිකඩමුල්ල, කෙරවලපිටිය, මාබෝල, හුණුපිටිය, වෙඩිකන්ද, වේවැල්දූව, ප්‍රංශවත්ත, කිරිබත්ගොඩ නව පාර, පාදිලියාතුඩුව පාර, දළුපිටිය පාර හා අක්බාර් පාලම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති ෴

******************************************

(17.08.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

නොච්චියාගම – රලපනාව ගම්මානයේ ජනතාව කළු ගල් කොරියක් හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.

මෙම ගල් කොරියෙහි බෝර දැමීම හේතුවෙන් අසළ පිහිටි නිවාස රැසකට ද හානි සිදුව ඇති බවයි ගම්වාසීන් ප්‍රකාශ කළේ.

ඇතැම් නිවාසවල පාදමේ සිට බිත්ති දක්වා ඉරි තැලීම් ද දක්නට ලැබෙනවා.

එමෙන්ම එම ගල් වළේ වැඩ කටයුතු නිසි ආරක්ෂිත ක්‍රමවේදයක් අනුව සිදුනොකිරීම හේතුවෙන් බීමට ගන්නා ජලය පවා දැඩි ලෙස දූෂිත තත්ත්වයකට පත්ව ඇති බවයි ගම්වාසීන් ප්‍රකාශ කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *