හයිටි භූ කම්පනයෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් නැහැ

හයිටි භූ කම්පනයෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් නැහැ

*********************************************

හයිටි භූ කම්පනයෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් නැහැ

(16.08.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

හයිටි රාජ්‍යයේ සිදු වූ භු කම්පනයෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ කියුබාවේ හවානා නුවර සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා මාර්ගයෙන් ඒ සම්බන්ධයෙන් විමසීමක් කළ බවයි.

ශ්‍රී ලාංකිකයන් 250 ක් පමණ හයිටි රාජ්‍යයේ ඇඟළුම් කම්හලක සේවය කරමින් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර, ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය යටතේ එරට සේවය කරන ශ්‍රී ලාංකිකයින් 50 කට අධික පිරිසක් යළි දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඊයේ (15) සඳහන් කළා.

එමෙන්ම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ අවශ්‍යතාවක් මතුවුවහොත්, ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සියලුදෙනා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධීකරණය මත ආරක්ෂිතව එරටින් පිටවීම සඳහා කටයුතු සූදානම් කර ඇති බවයි.

හයිටියේ සිදු වූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 1,200 ඉක්මවා තිබෙනවා ෴

******************************************

(16.08.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ හතරවන (4) කුඹල් පෙරහර අද (16) වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඊයේ (15) රාත්‍රියේ යෙදුණු සුබ මොහොතින් තුන්වන (3) කුඹල් පෙරහර වීථි සංචාරය කෙරුණා.

චාරිත්‍රානුකූලව ආරම්භ කළ පෙරහර මංගල්‍යයේ දියවඩන නිලමේවරයා වෙනුවට ඊයේ (15) පෙරහරේ ගමන් කරනු ලැබුවේ නාථ දේවාලයේ බස්නායක නිලමේ ගයාන් හීන්කෙන්ද මහතා යි.

කරඬුව වැඩමවීම සිදුකළේ දළදා මාළිගාවේ ඇත් පන්තියේ සිංහරාජා හස්ති රාජයා විසින්.

දෑල ඇතුන් ලෙස කැළණිය රජමහා විහාරස්ථානයේ කණ්ඩුල හස්තියා සහ දළදා මාළිගාවේ බුරුම රාජා හස්තියා පෙරහරේ ගමන් කරනු ලැබුවා.

වසර 30 කට පසුව මහනුවර දළදා පෙරහරේ අලි ඇතුන් බතික් ඇඳුමින් සැරසී ගමන් කරනු ලබනවා.

ඒ අනුව ඊයේ (15) රාත්‍රියේ පැවති තුන්වන (3) කුඹල් පෙරහරේ සධාතුක කරඬුව වැඩම කළ සිංහරාජා හස්තියා මෙන්ම දෑලේ ගමන් කළ බුරුම රාජා සහ කණ්ඩුල යන ඇතුන් බතික් ඇඳුමින් සැරසී ගමන් කළ බවයි බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව පිටරෙද්ද, නෙත්ති මාලය සහ කණ්ජෝඩුව යන ත්‍රිත්වයම බතික් ඇඳුමින් නිර්මාණය කර තිබුණා ෴

******************************************

(16.08.2021 – 08:38 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – කිරිඇල්ල- නම්මුනියාවත්ත ප්‍රදේශයේ පිහිටි ‘කළු ගඟේ නිධානය’ නැමැති මැණික් නිධියේ මැණික් ගැරීමේ කටයුතු නව නියාමක පතල් ක්‍රමයක් යටතේ සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින්. එම අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා කියා සිටියේ නව නියාමක පතල් ක්‍රමය යටතේ මෙරට ඇරඹෙන සිව් වන (4) ව්‍යාපෘතිය ලෙස මෙම මැණික් ගැරීමේ කටයුතු සිදු කිරීමට නියමිත බවයි.

නම්මුනියාවත්ත – ‘කළු ගඟේ නිධානය’ නැමැති මෙම මැණික් නිධිය පතල් කම්කරුවන් විසින් සොයා ගෙන ඇත්තේ මීට වසර 15 කට පමණ පෙරදීයි. එතැන් සිට විවිධ ව්‍යාපාරිකයන් විසින් විශාල ප්‍රමාණයේ ‘සකර්’ යන්ත්‍ර භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස මෙම නිධියෙන් මැණික් ලබා ගැනීමේ කටයුතු සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත්, නව ව්‍යාපෘතිය යටතේ එහි මැණික් ගැරීම සිදුවන්නේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මෙහෙය වීමෙන්.

එම අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කියා සිටියේ මෙම මැණික් නිධි ව්‍යාපෘතියෙන් හිමිවන ලාභයෙන් සියයට 25 ක ප්‍රමාණයක් සමෘද්ධිලාභීන්ට බෙදා දීමට තීරණය කර ඇති බවයි ෴

******************************************

(16.08.2021 – 09:40 +0530 – hirunews.lk/sinhala)

රටපුරා කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යන සමයක එය පාලනය කිරීම වෙනුවෙන් පනවා ඇති දැඩි නීතිරීතිවලට මුවාවී දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකෙරෙන නීති විරෝධී ක්‍රියා ඉහළ යමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඊයේ (15) දින ඉඟිනියාගල පොලිස් වසමේ පරගහකැලේ රක්ෂිතය තුළ නීති විරෝධී ලෙස නිධන් හාරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු (4) මෙම කාර්යය සඳහා භාවිතා කළ උපකරණ රැසක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට ඉඟිනියාගල පොලීසිය සමත්වුණා.

ඒ ඉඟිනියාගල පොලීසියේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් අනුව සිදු කළ මෙහෙයුමකින් පසුවයි.

මේ සමඟ ඔවුන් පැමිණි යතුරුපැදි හතරක් (4) ද අත්අඩංගුවට ගැනීමට ඉඟිනියාගල පොලිසියට හැකියාව ලැබුණා.

මීට අමතරව හසලක පොලිසිය විසින් ද මෙලෙස නිධන් හෑරීමේ නිරතව සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබෙනවා.

එමෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක දී මාවතගම වෑඋඩ ප්‍රදේශයේ මේ ආකාරයෙන් ම නීති විරෝධී ලෙස පුරාවස්තු ආඥා පනත උල්ලංඝණය කරමින් නිධන් හෑරීමේ නිරතව සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ ෴

******************************************

(16.08.2021 – 09:50 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (15) දිනය තුළ දී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් දහ (10) දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයින්ගෙන් නව (9) දෙනකු ම යතුරුපැදිකරුවන් වීම විශේෂත්වයක්.

මීට අමතරව ත්‍රිරෝද රියක් පැද වූ පුද්ගලයෙක් ද ඊයේ (15) සිදු වු රිය අනතුරක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

මෙම යතුරු පැදි අනතුරු පිළිබඳව විශේෂයෙන් සොයා බැලීමේ දී අනාවරණය වූ කාරණයක් වන්නේ අනතුරට භාජනය වූ යතුරු පැදි බොහොමයක් නිසි පරිදි නඩත්තු කටයුතු සිදු නොකර අලුත්වැඩියාවන් සිදු නොකර ධාවනය වූ ඒවා බවයි.

බැවින් යතුරුපැදි ධාවනයේ දී සිය යතුරු පැදියේ ධාවන තත්ත්වය පිළිබඳව විශේෂයෙන් සැළකිලිමත් විය යුතු බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

මෙලෙස නිසි ආකාරයෙන් නඩත්තු නොකල යතුරු පැදි අධික වේගයෙන් ධාවනය කර අනතුරට ලක් වූ අවස්ථාවන් ගණනාවක් පිළිබඳව මෙහි දී හෙළි වී තිබෙනවා.

එමෙන්ම සංචරණ සීමා පැනවී රට තුළ වාහන ධාවනය යම් තරමක අඩු තත්ත්වයක තිබියදීත් මේ අයුරින් රිය අනතුරු හේතුවෙන් දින දින මියයන ජීවිත සංඛ්‍යාව ඉහළ යෑම අතිශය බරපතළ කාරණාවක් බව පෙන්වා දෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මහමඟ රිය ධාවනයේ දී මෙන්ම පදික වේදිකාවන් මත ගමන් කිරීමේ දී පවා අතිශයින් සැළකිලිමත් විය යුතු බවයි ෴

******************************************

(16.08.2021 – 10:25 +0530 – hirunews.lk/sinhala)

යාල ජාතික වනෝද්‍යානයේ ඇතෙකුට වෙඩි තබා දළ සහ වලිගය කපාගෙන යෑම සම්බන්ධයෙන් විමර්ශනයක්.

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක තුන (3) ප්‍රදේශයේ දී ඇතෙකුට වෙඩි තබා දළ සහ වලිගය කපාගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව සහ පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සෙල්ල කතරගම – ගෝතමීගම – යාල විදුලි වැට සම්බන්ධ වන ස්ථානය ආසන්නයේදීයි පෙරේදා (14) මෙම ඇතාට කිසියම් පිරිසක් විසින් මෙලෙස වෙඩි තබා තිබුණේ. අනතුරුව දළ සහ වලිගය කපාගෙන ගොස් ඇති අතර, මෙම සත්ත්වයාගේ හිසට වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා ෴

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක තුන ප්‍රදේශයේදී ඇතෙකුට වෙඩි තබා දළ සහ වල්ගය කපාගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව සහ පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴

@@@@@ කොවිඩ් පුවත් @@@@@

(16.08.2021 – 06:52 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා දිවයින පුරා සිදුකෙරෙන එන්නත් කරන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 74,880 ක් අද (16) අළුයම දිවයිනට ළඟා වුණා.

නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් සිට දෝහා වෙත රැගෙන ඒමෙන් පසු, කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්. 668 දරණ යානයෙන් එම එන්නත් තොගය මෙරටට රැගෙන ආ බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

ඇමරිකාවේ ෆයිසර් සමාගමේ නිෂ්පාදනයක් වන මෙම එන්නත් මූලික වශයෙන් ලබා දෙනු ලබන්නේ විදෙස් රැකියා සහ විදෙස් අධ්‍යාපනය සඳහා දිවයිනෙන් බැහැරව යන අයටයි.

අදාල එන්නත් තොගය ජාතික රුධිර පාරවිලයන ආයතනයේ විශේෂ ගබඩාවේ තැන්පත් කරනු ලැබුවා ෴

++++++++++++++++++++

(16.08.2021 – 08:51 +0530 – hirunews.lk/sinhala)

පළාත් අතර සංචරණ සීමා පැනවීමත් සමඟ දුම්රිය ගමන්වාර 64 කට සීමා කර තිබෙනවා. ඒ අනුව අද (16) සිට ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය අඹේපුස්ස දක්වාත්, පුත්තලම මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය කොච්චිකඩේ දක්වාත්, මුහුදුබඩ මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය අළුත්ගම දක්වාත් පමණක් ගමන් කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කියා සිටියේ ෴

++++++++++++++++++++

(16.08.2021 – 09:03 +0530 – hirunews.lk/sinhala)

රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරස් ආසාදනය පාලනය කිරීමේ අරමුණෙන් දැඩි කර ඇති සංචරණ නීතිරීති ඉතා තදින් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ අනුව රටේ පළාත් සීමා මායිම් ආවරණය වන පරිදි විශේෂ පොලිස් මුර කපොලු ත්‍රිවිධ හමුදාවේ ද සහයෝගය ද ඇති ව ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

මේ අතර පළාත් මායිම් සීමා අසලට ම බස් රථවලින් පැමිණ පා ගමනින් සීමා පැන අනෙක් සීමාවේදී වෙනත් බස්රථවලට ගොඩ වී සීමා මායිම් නීතිය උල්ලංඝණය කිරීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වන බවත් මේ සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානයෙන් සිටින බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ ආකාරයට සීමා මායිම් නීති උල්ලංඝණය කරන්නන්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බවයි.

++++++++++++++++++++

(16.08.2021 – 09:31 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පැය 24 ක කාලය තුළ දී නිරෝධායන නීතිරීති උල්ලංඝණය කරමින් හැසිරුණු පුද්ගලයින් 253 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව මේ දක්වා නිරෝධායන නීතිරීති උල්ලංඝණය කිරීම් හේතුවෙන් පසුගිය මාස 10 ක කාලය තුළ දී අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 54,612 ක් දක්වා ඉහළට යන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

මේ අතර ඊයේ (15) දිනය තුළදීත් බස්නාහිරින් පිටවන සහ ඇතුළුවන ස්ථානවල පිහිටා ඇති මුර කපොලුවල දී පුද්ගලයින් 2,411 පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී පිළිගත හැකි හේතුවක් නොමැතිව පළාත් මායිම් තරණය කිරීමට උත්සාහ කළ පුද්ගලයින් 479 දෙනෙකු සහ ඔවුන් පැමිණි වාහන 361 ක් මෙම පරීක්ෂා කිරීම්වල දී නැවත හරවා යවා තිබෙනවා ෴

++++++++++++++++++++

(16.08.2021 – 09:43 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 1,17,905 දෙනෙකුට ඊයේ (15) දිනයේත් එන්නත් ලබාදී තිබෙනවා.

එහිදී සයිනොෆාම් දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 83,518 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි පළමු (1) මාත්‍රාව 27,016 කුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව ද ඊයේ (15) 2,204 දෙනෙකුට ලබාදී තිබෙනවා. එමෙන්ම එහි දෙවන (2) මාත්‍රාව 409 දෙනෙකුට ලබාදුන්නා.

ෆයිසර් එන්නතේ දෙවන (2) මාත්‍රාව 4,697 කටත්, පළමු (1) මාත්‍රාව 61 දෙනෙකුටත් ලබාදී තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට දිවයිනේ පුද්ගලයන් 1,18,79,851 දෙනෙකුට කොරෝනා එන්නත් එක් (1) මාත්‍රාවක් හෝ ලබාදී ඇති අතර පූර්ණ එන්නත්කරණය ලැබූ සංඛ්‍යාව 46,16,266 ක් ෴

++++++++++++++++++++++

(16.08.2021 – 09:45 +0530 – hirunews.lk/sinhala)

මහරගම පොලීසියට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් පරීක්ෂකවරයකු , උප පොලිස් පරීක්ෂකවරුන් සිව් (4) දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 12 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

මේ හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස සැලකෙන තවත් නිලධාරීන් පහළොස් දෙනෙකු (15) ගෘහස්ථ නිරෝධායනයට ද ලක්කර තිබෙනවා.

මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා පසුගියදා , අනතුරකට ලක්ව රෝහල් ගතව සිටීම හේතුවෙන් ස්ථානාධිපති තනතුරේ වැඩ බැලූ පොලිස් පරීක්ෂකවරයා, ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති වරයා, ඇතුළු නිලධාරීන් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

මීට අමතරව ආසාදිත නිලධාරීන් අතර පොලිස් පරීක්ෂකවරයෙකු , උප පොලිස් පරීක්ෂකවරුන් සිවුදෙනකු (4), පොලිස් සැරයන්වරයකු, සහ පොලිස් කොස්තාපල්වරුන් හය (6) දෙනෙකු සිටින බවයි පැවසෙන්නේ.

මේ වනවිට පොලිස් ස්ථානය සම්පූර්ණ විසබීජහරණයකට ලක් කර ඇති බවත් වාර්තා වනවා ෴

+++++++++++++++++

(16.08.2021 – 10:08 +0530 – hirunews.lk/sinhala)

කොරෝනාව පිළිබඳ පුරෝකථන ඇත්ත හෝ බොරු කිරීමේ වගකීම් ඇත්තේ ජනතාව මත බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මේ අදහස් පළ කළේ ඊයේ (15) ‘හිරු ටීවී’ සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ වසංගත තත්ත්වයන් පිලිබඳ පුරෝකථනයන් සිදු කරනුයේ නියමිත ක්‍රමවේදයකට අනුව බවයි.

දීර්ඝ කාලයක් තිස්සේ සිදු කෙරෙන, සිදුවන සිද්ධිදාමයන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර විශ්ලේෂකයින් එම තීන්දු තීරණවලට එළඹෙන බවත් මෙම පුරෝකථනයන් සනාථ කිරීම හෝ එසේ නොකිරීමේ වගකීම සහමුලින්ම පැවරී ඇත්තේ ජනතාවට බවත් ඔහු පවසනවා.

නියමිත සෞඛ්‍ය ක්‍රමෝපායන් අනුගමනය නොකරමින් වගකීම් විරහිත ලෙස හැසිරුණහොත් බොහෝවිට මෙම ජාත්‍යන්තර පුරෝකථනයන් අනාගතයේ යම් දිනක අමිහිරි සත්‍යක් බවට පත්වීමට ඉඩ ඇති බවයි ඔහු පවසන්නේ.

මෙම සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසන්නේ කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලොක්ඩවුන් කිරීම්, ඇඳිරි නීතිය පැනවීම් හෝ සංචරණ සීමා පැනවීම් තුළින් සාර්ථකව සිදුකළ නොහැකි බවයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම රෝග ව්‍යාප්තියට ඇති හොඳම සහ එකම විසඳුම අනවශ්‍ය ගමන් බිමන්, සාද සම්භාෂණ, සුහද හමු ආදී අනවශ්‍යය ඒකරාශීවීම් සහමුලින්ම නවතා දැමීම බවයි.

මේ වන විට රට කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ අතිශය තීරණාත්මක තත්ත්වයකට පත්ව ඇති බවත් ජනතාව මීට වඩා වැඩි වගකීමකින් කටයුතු කළ යුතු බවත් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.

යම් ලෙසකින් තමන්ට කෝවිඩ් රෝගය වැලඳුණහොත් එය පවුලේ අනෙක් අයට, හිතවතුන්ට, බෝ නොවන ලෙස ක්‍රියා කිරීම රෝගය වැළඳුණු කෙනාගේ වගකීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම විශේෂ සම්මුඛ සාකච්ඡාවේදී තවදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා,

“වසංගත වේදය අනුව කොහොමත් වාර්තා වෙන රෝගීන්ට වඩා මේ වෙද්දී තුන් (3) ගුණයකට වැඩි පිරිසක් සමාජයේ ඉන්න පුළුවන්. මොකද පරීක්ෂණ කරන විදිහට තමයි පොසිටිව් (positive) අය වාර්තා වෙන්නේ. ඒ වගේම තව රෝග ලක්ෂණ නැති අය වගේම පරික්ෂා නොකරන අයත් ඉන්න පුළුවන්. ඩෙල්ටා ප්‍රභේදය හමුවීමත් සමඟ මෙම රෝගය ව්‍යාප්ත වන වේගය අතිශයින් වැඩි වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලය අපට දිනපතා වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමයි. ඩෙල්ටා ප්‍රභේදයේ තියෙන බරපතලම කාරණය තමයි රෝග ලක්ෂණ තිබෙන අයට ඇතිවන සංකූලතා වැඩි වීම. බොහෝ අයට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවනවා. මේ අයට ඔක්සිජන් දෙන්න වෙනවා. මේක සංකීර්ණ ක්‍රියාවලියක්. කිසිම අවස්ථාවක නිවසේ සිටියදී කැස්සත් සමඟ හුස්ම ගැනීමේ අපහසුතාවක් තියෙනවා නම් ගෙදරට වී ඉන්න එපා. කල් මරලා අවසාන මොහොතේ රෝහලට ආවට පස්සේ අපට ප්‍රතිකාර කරන්න අමාරුයි. බොහෝ වෙලාවට අපට එවැනි පුද්ගලයින් බේරා ගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒක නිසා කැස්ස සමඟ හුස්ම ගැනීමේ අපහසුවක් දැනෙනවා නම් ඉක්මනින්ම රෝහලට පැමිණීම තමයි කරන්න තියෙන හොඳම දේ.

මෙම රෝගය අතිශය භයානක මට්ටමින් දිවයින පුරා පැතිර යාම හේතුවෙන් තව නොබෝ දිනකින් සෞඛ්‍ය අංශවලටත් එය දරාගත නොහැකි මට්ටමකට පැමිණෙනු ඇති බවට විශේෂඥ වෛද්‍යවරයා අනතුරු අඟවනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *