“මේක කොරෝනා තත්වය ගැන මම පෙරේදා (13) ලිව්ව කතාව ගැන අප්ඩේට් එකක්!” – අවිස්සාවේල්ල රෝහලේ වෛද්‍ය නජිත් ඉන්දික මහතා

“මේක කොරෝනා තත්වය ගැන මම පෙරේදා (13) ලිව්ව කතාව ගැන අප්ඩේට් එකක්!” – අවිස්සාවේල්ල රෝහලේ වෛද්‍ය නජිත් ඉන්දික මහතා

*********************************************

“මේක කොරෝනා තත්වය ගැන මම පෙරේදා (13) ලිව්ව කතාව ගැන අප්ඩේට් එකක්!” – අවිස්සාවේල්ල රෝහලේ වෛද්‍ය නජිත් ඉන්දික මහතා

(15.08.2021 – facebook.com/najith.indika)

වෛද්‍ය නජිත් ඉන්දික මහතා

පෙරේදා (13) හවස මම මේ වෙනකොට තියෙන කොරෝනා තත්වය ගැන ලිපියක් ලියල මේකෙ දැම්මෙ ඒ වෙලාවෙ දැනෙමින් තිබුණු හිතේ අමාරුවට වෙන කරන්න දෙයක් නොතිබුණු නිසා. එහෙම ලිව්ව කියල ප්‍රශ්න විසඳෙන්නෙ නෑ කියල දන්නවනෙ. ඒත් ලොකු අසරණකමක් දැනෙන වෙලාවට අපි ලොකුවට ඵලදායී නෑ කියල දැනගෙන උනත් සමහර දේවල් කරනවා. එහෙම කරන එකේ එකම අරමුණ හිත හදාගන්න එක විතරමයි. ඒකත් එහෙම වැඩක්.

ඒත් ඒ ලිපිය, දවසක් ඇතුළත, හිතුවෙවත් නැතිවිදියට අසීමිතව ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව කල්පනා කරද්දි මට හිතෙන්නෙම මෙහෙමයි.

මේ දවස් වල එක සෞඛ්‍ය සේවකයෙක්, තමන්ගෙ දවස ගතකරද්දි සිද්ධවුණු දේවල්, ඒ විදියට අපිළිවෙලට පෙළගස්සල ලියල දැම්මම එච්චර වයිරල් වෙලා යන්නෙ, ඒ කිව්ව තොරතුරු මිනිස්සු නොදන්න නිසා. නැත්තන් ප්‍රශ්නය ඒ මට්ටමේ ඇති කියල නොහිතපු නිසා. පහුගිය සතියක දෙකක කාලය ඇතුළත කොරෝනා තත්වෙ වඩා මාරාන්තික වෙනසක් ඇතිවෙලා තියෙනබව අතිබහුතරයක් දෙනා දැනගෙන හිටියෙ නැතිනිසා. එහෙම හිතුවම, ඒක මහජනතාවගේ දැනුවත්වීමට බලපෑව නිසා ලිව්ව සටහන ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒක එක්කෙනෙක්ගෙ හරි ජීව්තයක් බේරාවි.

හරි. දැන් කියන්නම් ඊට පස්සෙ ඊයෙ (14) දවසෙ වෙච්ච කතාව.

ඊයෙ (14) මම පුරුදු විදියටම වාට්ටුවෙ වැඩකරමින් හිටියා. වැල නොකැඩි ලෙඩ්ඩු. එක්කෙනෙක්ට පස්සෙ එක්කෙනෙක් එනවා. එනවා – බලනවා – අමාරුනම් කොහෙන් හරි හොයන් ඔක්සිජන් දානවා – අමාරු නැති යන්න පුලුවන් අය යවනවා. බැරි අය ඇඳක් යටට හරි යවනවා.

ඔය අතරෙ වාට්ටුවට කෝල් එකක් ආව. කොහොමත් මේ වාට්ටුවෙ දුරකථනෙට හැමතිස්සෙම කෝල්. කොරෝනා ලෙඩ්ඩුන්ව, අනික් ලෙඩ්ඩු වගේ ඇවිත් බලන්න බැරි නිසා හැමෝම දිගට හරහට වාට්ටුවට ඇමතුම් ගන්නවා.

මේ පාර මිස් කෙනෙක් ආන්සර් කරල, “ඩොක්ට, කෝල් එකක්” කිව්ව. ගිහින් බැලුවම අපේ රෝහලේම “එක්ස්චේන්ජ්” එකෙන්.
“සර්, මේ CID යෙන් කියල දෙන්නෙක් (2) ඇවිත් සර්ව අහනවා. මොකද්ද එයාලට කියන්න ඕනෙ?”
එතකොටම වැඩේ තේරුණ නිසා මට හිතුණා මෙයාල මෙච්චර මහන්සි වෙන හේතුව හොයල බලන්න.
“මම දැන්… වාට්ටුවෙ වැඩ. ඒ දෙන්න මෙතනට එවන්න. මම කතා කරන්නන්.”
එහෙම කියල මම දුරකථනය තිබ්බා.
ආයෙත් ගිහින් අර කවුලුවෙන් අත් ඔබාගෙන, අලුතෙන් ආව ලෙඩ්ඩු පෝලිමේ ප්‍රෙෂර්, ඔක්සිජන් මට්ටම් බල බල ඉද්දි වාට්ටුවෙන් එළියෙ, ටිකක් ඈතට වෙලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් හිනාවෙලා අත වැනුවා. මම ඔවුන්ට ටිකක් ඉන්න කියල, ලෙඩ්ඩු ටික බලලා ඉවරවෙලා එහෙම, එලියට ගිහින් ඔවුන් දෙන්නට කතා කලා.

ඒ කතාව ගියේ මෙහෙමයි :

මම : එන්න. ඔයාල දෙන්නද අර CID එකෙන් කියල කිව්වෙ?
CID : (සිනාසෙමින්) ඔව් සර්.
මම : (සිනාසෙමින්) ආ. ඉතින් අර මම ෆේස්බුක් එකේ දාපු එක නිසා වෙන්නැතිනෙ ආවෙ?
CID : (සිනාසෙමින්) ඔව් සර්.
මම : කොළඹින්ද ආවෙ නැත්තන් මෙහෙද අවිස්සාවෙල්ලෙද?
CID : මෙහේ සර්.
මම : (සිනාසෙමින්) දැන් මෙහෙන්ද කිව්වෙ ඒක බලන්න කියල නැත්තන් කොළඹින්ද ආවෙ ඕඩරේ?
CID : මෙහෙන් නෙමෙයි සර්.
මම : හරි. දැන් මොනවද ඔයාලට හොයන්න කිව්වෙ? ඒ ලියපුව බොරුද කියලද?
CID : අනේ නෑ සර්. DIG මහත්තයා කිව්වෙ, මේක ලිව්ව ඩොක්ටගෙ මානසික තත්වය පොඩ්ඩක් බලන්න කියල, ඒ ඩොක්ට ආතතියෙන්ද ඉන්නෙ කියලා බලන්න කියලා. (අහිංසක ලෙස සිනාසෙයි)
මම : (හොඳින් සිනාසෙයි) හරි. ඒක ඉතින් ඔයාල ලියල යවන්න. මම කියන්න ඕනෙ නෑනෙ නේද. ඕව කෙරෙන හැටි අපි දෙන්නම දන්නවනෙ නේ. ඊට අමතරව මොනවත් දැනගන්න තියේද?
CID : සර්, ඇත්තටම අවිස්සාවේල්ලෙ කොරෝනා තත්වය ඔච්චරම දරුණුයිද සර්? අපිත් මේවයෙ ජීවත්වෙන මිනිස්සුනෙ.(අවංක මුහුණක්)

මම පසුගිය මාසය තුළ කොරෝනා රෝගීන් වාර්තාවීම හා මරණ වැඩිවූ හැටි, වාට්ටුවේ පහසුකම් දියුණුවී ඇති ආකාරය, පසුගිය සතියේ සිදුවූ ලොකු වෙනස්කම් ආදී සියල්ලම විනාඩි 10 ක් අරගෙන ඔවුන් දෙදෙනාට පැහැදිලි කරදුන්නා.

ඊට පස්සෙ ඔවුන් දෙන්න මට ස්තුති කරල යන්න ගියා. මමත් ඔවුන්ට සමුදීලා ඊළඟට ආව ලෙඩ්ඩු පෝළිම බලන්න ගියා. මේ ටික සිද්ධවෙලා ඉවරවෙනකොට හවස 06:40 ට ඇති.

ඔය දේවල් ඔක්කොම මැද්දෙ, කොහොමහරි අදත් උදේ වෙද්දි හත් (7) දෙනෙක් ඇස් පියාගෙන තිබුණා !

++++++++

(13.08.2021 – facebook.com/najith.indika)

අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා වාට්ටුව පටන් ගත්තු දවසේ ඉඳන් මම වැඩ කරන්නෙ ඒකෙ. වෛද්‍යවරු විදියට අපි දොළොස් (12) දෙනෙක් කොරෝනා වාට්ටු දෙකක (2) වැඩ කරනවා.

මේ වෙද්දි ඒවා පිරිලා ඉතිරිලා ගිහින්. පුටු වලත්, බිමත් පොදිකකා ආසන්න වශයෙන් කොරෝනා රෝගීන් සීයක් (100) වගේ ප්‍රමාණයක් දිනපතා ප්‍රතිකාර ලබනවා.

“රැකියාව සම්බන්ධ මානසික ආතතිය” කියන දේ අහල, කියවල තිබුණට ඒක ඇත්තටම මොන වගේ දෙයක්ද කියල දැනෙන්නෙ දැන්. ඒක කොච්චර අමාරු දෙයක්ද කියල දැනෙන්නෙ දැන්. මේ රස්සාවෙ අමාරුම කාලය කියල හඳුන්වන ‘සීමාවාසික අවුරුද්ද’ (Internship) ඇතුළත නම්, මේ ඊයෙ පෙරේද ඉඳන් දැනෙන අමාරුකම දැනුනෙ නෑ කියන එක ස්ථිරයි.

මෙතෙක් ආව කොරෝනා රෝගීන් ප්‍රමණය, ඔවුන්ට අමාරුවෙන විදි, ඔක්සිජන් දිය යුතු රෝගීන් සංඛ්‍යාවන්, අමාරු වෙන රෝගීන්ගෙ වයස් මට්ටම්, මේ හැම දෙයක්ම එක සතියකින් වෙනස් වෙලා ගියා.

ඒක ලොකු වෙනසක්. වාට්ටුවට ඇතුළත්වෙන රෝගීන් සංඛ්‍යාව හරියටම තුන් (3) ගුණයකට වඩා වැඩිවෙලා. ඒ වෙනදට වඩා සෑහෙන්න තෝරාබේරාගෙන රෝගීන් ඇතුළත් කිරීම කරන තත්වයක් ඇතුළෙ. ඉස්සර ටික ටික අමාරුවෙන අවුරුදු හැත්තෑවෙ අසූවෙ (70-80) අම්මල තාත්තල වෙනුවට දැන් බලන් ඉද්දි අමාරුවෙන්නෙ අවුරුදු තිස් හතලිස් (30-40) ගණන් වල අයට.

තවමත්, මතක තබා ගන්න ‘තවමත්’, ඔක්සිජන් සැපයුම, ඒවාට අදාළ යන්ත්‍ර උපරිම සීමාව යටතේ හරි ක්‍රියාත්මක වෙමින් තියෙන තත්වයක් ඇතුළෙත්, මිනිස්සු මැරෙන්නෙ බලන් ඉද්දි!

අවුරුදු හතලිස් (40) ගණන් වල අම්මා කෙනෙක් තමන්ගෙ දුව ඉස්සරහ අමාරුවෙන් හුස්ම අදිමින් ඉඳල මැරෙද්දි,
CPAP යන්ත්‍රයකට සවි කරල තියෙන නිසා, කතා කරන්න අපහසු බිරිඳක් තමන්ගෙ සැමියගෙ අතින් අල්ලන් ඇස් වලින් තමන්ගෙ සමුගැනීම ප්‍රකාශ කරල මැරෙද්දි,
තමන්ගෙ බිරිඳ නිවුන් දරු උපතකට සූදානම් වෙන මේ වෙලාවෙම, අවුරුදු 27 ක තරුණ සැමියෙක්, කරන්න තියෙන හැමදේම කරලත් බැරිඋනාම අමාරුවෙන් හොයාගත්තු දැඩිසත්කාර ඒකකයකට පටවල යවනව දකිද්දි,
මේ ඔක්කොම එකම දවසක වෙද්දි ඔලුවට දැනෙන බර, අමාරුව, ඇත්තටම අමාරුයි. කලින්ට වඩා වැඩකිරීම, වැඩ වැඩිවීම නිදිමැරීම නෙමෙයි ගැටළුව. ඔලුවට දැනෙන මේ බර වැඩිවීම.

ඒ ඔක්කොටම වඩා අමාරු දේ තමයි තමන්ගෙ ඇස් ඉස්සරහ වෙන අය මැරෙද්දි, තමන් අමාරුවෙන් හුස්මගනිද්දි, ‘අපි මොනවහරි කරල තමන්ව බේරගන්නව නේද’ වගේ එල්ලවෙන බැල්මවල් වලට මුහුණදීම.

දවස් දෙකකට (2) එකක් (1) වගේ පහුගිය කාලෙ සිද්ධවුණු මරණ සංඛ්‍යාව, දවසකට (1) හතරක් පහක් (4-5) මට්ටමට සතියකින් වෙනස් වුණා.

තව සති දෙකක් (2) මේ සීඝ්‍රතාවයෙන් රෝගීන් වැඩිවුනොත්, මිනිස්සු ඔක්සිජන් ටැංකියක් නැතිකමෙන් පුටුවල, බිම, මිදුලෙ මැරෙන තත්වෙට මේක පත්වෙනවා.

ඉතින් මේ ඔක්කොම දැකබලාගෙන ඊයෙ (12) හවස ගෙදර ආවම තමයි දැක්කේ කෙහෙළිය රඹුක්වැල්ල කියන ගස්ලබ්බා කියල තිබ්බ කතාව.

“මොනව උනත් රට වහන්නෙ නෑ, ජීවිතේ එන්නතට හා දෙවියන්ට බාරදෙන්න” කියලා.

මේ ලියමන මෙතනින් නවත්තනවා. මොකද බ්ලොක් නොවන භාෂාවකින් මෙතනින් එහාට ලියන්න මම දන්නෙ නැහැ.
හැකි අයුරින් ප්‍රවේශම් වෙන්න!

පුළුවන්කමක් තියේනම් සියලුවැඩ තාවකාලිකව නවත්තලා ගුහාගත වෙන්න!

මිනිස්සු මැරෙන්නෙ මැස්සො වගේ!

ප.ලි. : කොරෝනා වාට්ටු දෙකේ (2) වැඩ කරන වෛද්‍යවරු 12 න් එක් (1) අයෙකුටත්, හෙදියන් 30 කට ආසන්න ප්‍රමාණයෙන් 10 ක් වගේ ප්‍රමාණයකටත් පහුගිය මාසයක කාලය ඇතුළත කොරොනා වැළඳිලා තියෙනවා ෴

ගස්ල¤¤

++++++++

++++++++

ෆේස්බුක් එකෙන් බෑ කොවිඩ් ලෙඩ්ඩු හොඳ කරන්න නජිත් ඉන්දික මහත්තයෝ – චන්න ජයසුමන (18.08.2021)
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *