අඟහරුවාදා (17) මධ්‍යම රාත්‍රියේ සිට සියලු මංගල උත්සව තහනම්

අඟහරුවාදා (17) මධ්‍යම රාත්‍රියේ සිට සියලු මංගල උත්සව තහනම්

*********************************************

අඟහරුවාදා (17) මධ්‍යම රාත්‍රියේ සිට සියලු මංගල උත්සව තහනම්

(15.08.2021 – 15:19 +0530 – hirunews.lk/sinhala)

ලබන අඟහරුවාදා (17) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තෙක් නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍ය සඳහා අවසර හිමි නොවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ තවත් පියවරක් ලෙසටයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එමෙන්ම අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ජනතාව ඒකරාශී වන කිසිදු අවස්ථාවකට ද අවසර හිමිවන්නේ නැහැ.

අවන්හලකට වරකට රැස්ව සිටිය හැකි වන්නේ ඒවායෙහි ධාරිතාවයෙන් සියයට 50 කට නොවැඩි පිරිසකට පමණයි.

එසේ වුව ද ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් හැකිතාක් දුරට වලකින ලෙසට රජය ඉල්ලා සිටින බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ.

+++++++++++++++++++++

කොරෝනාවට hybrid ක්‍රමය ක්‍රියාත්මක කලොත් මාසෙන් තුරන් කල හැකියි – ජ්‍යෙෂ්ඨ කතිකාචාර්‍ය නෙම්සිරි ජයතිලක (14.08.2021)

+++++++++++++++++

තමන්ගේ ජීවිතයට ආසාවක් තියෙනව නම් ගෙදරම ඉන්න. මිනිස්සු මැරිලා ආර්ථිකයක් දියුණු කරල වැඩක් නෑ – මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ (15.08.2021)

++++++++++++++++

අවුරුදු 12 ට වැඩි ළමයින්ටත් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමට රජය සැළසුම් කර තිබෙනවා – ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

(15.08.2021 – facebook.com/newslk)

අග්‍රාමාත්‍ය කාර්යාලය – මාධ්‍ය නිවේදන අංක 491 – 2021.08.15

අවුරුදු දොළහට වැඩි ළමයින්ටත් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමට රජය සැළසුම් කර තිබෙනවා – ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

වයස අවුරුදු 12 ට වැඩි ළමයින්ටත් පියවරෙන් පියවර කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් රජය විසින් සැළසුම් කර ඇති බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින පැවසීය.

හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

ළමයින්ට එන්නත් ලබා දීමේ දී විවිධ සංකූලතා තිබෙන දරුවන්ට එහි දී ප්‍රමුඛත්වය ලබා දෙන බව ද අග්‍රාමාත්‍යතුමා කියා සිටියේය.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දල්වමින් හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කළාය. අනතුරුව ඇය එහි වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය සමඟ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූවාය.

හම්බන්තොට රෝහලේ කොවිඩ් ප්‍රතිකාර කටයුතු පළමුව ආරම්භ වූයේ 2020 වසරේ මාර්තු මාසයේ දී ය. එතැන් පටන් මේ දක්වා රෝගීන් 6000 කට පමණ එමගින් ප්‍රතිකාර කර තිබේ.

කොවිඩ් වැළඳෙන ළමයින් සඳහා මෙතෙක් ප්‍රතිකාර ක්‍රියාත්මක වී ඇත්තේ කාන්තා වාට්ටු සංකීර්ණයේය.

නව ඒකකය ස්ථාපිත වීමත් සමඟ ළමයින් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට හැකිවනු ඇති බව වෛද්‍යවරු පවසති.

කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකක සෑම පළාතකම ස්ථාපිත කිරීම ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සංකල්පය වී තිබේ.

දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය :

මිත්‍රවරුනි,
අපේ රටේ ළමා පරපුර ආරක්ෂා කර ගැනීම අප සියලු දෙනාම සතු වගකීමක්. ඔවුන් තමයි අපේ රටේ අනාගතය. අද දෙමාපියන් වගේම රජයක් විධියට අපිත් දරුවන් ගැන විශේෂ අවධානයක් යොමු කරන බව ඔබ තමුන්නාන්සෙලා දන්නවා.
ඉතිහාසය අරගෙන බැලුවම විවිධ වසංගත වලට ලෝකය මුහුණ පාලා තියෙනවා. කොතරම් තාක්ෂණයෙන් දියුණු වුණත් මේ වගේ වසංගතවලට නිශ්චිත විසඳුම සොයා යෑම ඉතා දුෂ්කර කාරණයක් බවයි හැමෝම පිළිගන්නෙ.

ඒ නිසා අපි මේ වගේ කාලයක වෙනදාටත් වඩා ශක්තිමත්ව, එකමුතුකමින් මෙවැනි වසංගතයන්ට මුහුණ දෙන්න ඕනෙ.

වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විශාල පිරිසක් මේ වනවිටත් කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරගන්න දිවා රෑ වෙහෙසෙනවා.

ඒ වෙනුවෙන් ඔවුන් කරන කැපවීම රජයක් විධියට අපි හැමදාමත් අගය කළා. අගය කරනවා. ඒ විතරක් නෙමෙයි රටේ මුළු මහත් ජනතාවත් ඔවුන්ගේ මේ කැපවීම හදවතින්ම අගය කරනවා.

මිත්‍රවරුනි,
අපේ රටේ තියෙන්නෙ දරුවන්ට ආදරය කරන, ඔවුන්ට ප්‍රමුඛත්වය දෙන සංස්කෘතියක්. ඒ නිසා දරුවන් රැකගන්නෙ කොහොමද කියලා අපි නිතර කල්පනා කරනවා.

කොවිඩ් වසංගතය පැතිරිලා තමන්ගෙ දරුවන්ටත් මේ වසංගතයට මුහුණ දෙන්න වෙයිද කියලා දෙමව්පියන්ට බයක් තියෙනවා.

මමත් තාත්තා කෙනෙක් විධියට, මගේ බිරිඳ ශිරන්ති අම්මා කෙනෙක් විධියට දරුවන් ගැන හිතන විධිය, එතැනින් එහාට දරු මුණුපුරන් ගැන හිතන විධිය, ඔවුන්ට දක්වන ආදරය අපිට අමුතු දෙයක් නෙමයි. අපි හැමදාමත් මේ රටේ දරුවන් ගැන කල්පනා කළෙත් එහෙමයි.

ඒ නිසා අනෙකුත් ජනතාව මෙන්ම විශේෂයෙන් මේ දරුවන්ව කොවිඩ් වසංගතතයෙන් බේරා ගන්න අපි සෑම පියවරක්ම ගන්නා බව සිහිපත් කළ යුතු යි.

මිත්‍රවරුනි,
අපේ රටේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමය රට ගැන කල්පනා කරලා කවදත් අවශ්‍ය යුතුකම ඉටු කළ වෛද්‍ය සංගමයක්.

දරුවන් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා කරගන්න, ඔවුන්ගෙ ජීවිත රැකගන්න රජයට තිබෙන උනන්දුව දැකලා, ළමයින් වෙනුවෙන්ම හම්බන්තොට රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් ආරම්භ කරන්න මේ අයට හැකියාව ලැබුණෙ ඒ නිසයි.

අද මේ කාර්යය ඉටු කරපු විශේෂඥ වෛද්‍යවරුන් මා සමඟ කිව්වේ හැකි ඉක්මනින් අනෙකුත් පළාත්වලටත් මෙවැනි ප්‍රතිකාර ඒකකයක් ලබා දෙනවා කියලා. ඒ අනුව මේ කාර්යය අවසන්වනවිට හැම පළාතකටම ළමා කොවිඩ් ප්‍රතිකාර ඒකකයකුත් ස්ථාපිත වෙනවා.

ඒ විතරක් නෙමෙයි, දරුවන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් විශේෂ කැපවීම් කරන්නත් මේ වෛද්‍යවරුන් සූදානම්.

අරලියගහ මන්දිරයේ තිබුණ ‘පාසල් නැවත ආරම්භ කිරීම’ පිළිබඳ සාකච්ඡාවක දි මේ අය රටේ අධ්‍යාපන කලාප 99 ටම විශේෂඥ වෛද්‍යවරයකු ගානේ පත්කරලා, දරුවන්ව බලාගන්නත් ඉදිරිපත් වුණා.

මිත්‍රවරුනි,
මුළු ලෝකයේම තිබෙන තත්ත්වය දැන දැනත් ඇතමුන් මේ වෙලාවෙත් ඉල්ලීම්වලටයි ප්‍රමුඛත්වය දෙන්නෙ. විසඳුමක් දෙන්න කාලයක් දෙන්න කියලා කිව්වත් මේ අය ඒවාට ඇහුම්කම් නොදී දරුවන්ට පාඩම් උගන්වන්නෙ නැතිව රජයට පාඩම් උගන්වන්න යනවා.

මේ වසංගතය ආපු වෙලාවේ අපි මුලින්ම පාසල් වහලා දැම්මේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්.

ඔබට මතක නම් විටෙන් විට අවදානම පහව ගියත් අපි පාසල් නැවත විවෘත කළේ නැහැ.

එහෙත් මේ විධියට පාසල් වහලා තියන්න අපි කැමැතිත් නැහැ.

මොකද අපි දන්නවා අධ්‍යාපනය විතරක් නෙමෙයි විෂය බාහිර දැනුමත් පාසල තුළින් ලැබෙනවා. දරුවන්ට අනාගතයට මුහුණ දෙන්න අවශ්‍ය දැනුම තිබෙන්නෙ පත පොතේ විතරක් නෙමෙයි. පාසලේ දී ගුරුවරුන් අපට ජීවිතයත් කියා දෙනවා. ඒක අදට වඩා වටින්නෙ අනාගතයට.

ඒ නිසා ගුරු විදුහල්පති අනධ්‍යන කාර්ය මණ්ඩල එන්නත් කරලා අවසන් වූ වහාම වයස අවුරුදු 12 ට වැඩි ළමයින්ටත් පියවරෙන් පියවර එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න රජය සැලසුම් සකස් කර අවසන්. එහිදිත් විවිධ සංකූලතා තිබෙන දරුවන්ට ප්‍රමුඛත්වය දෙන්නත් අප බලාපොරොත්තුවෙනවා.

මිත්‍රවරුනි,
අපිට විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ දියුණු රටවලටත් මේ වසංගතය පාලනය කර ගැනීම අද අභියෝගයක් වෙලා. දැනට තිබෙන එකම විසඳුම එන්නත්කරණය මගින් ජීවිත හානි මෙන්ම රෝගය පැතිරීම වළක්වා ගැනීම පමණයි.

අපි රටක් විධියට එන්නත්කරණය අතින් බොහෝ ඉදිරියෙන් ඉන්නවා. ඒත් මේ කටයුත්ත තව තවත් වේගවත් කරමින් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගත යුතුයි.අපි ප්‍රමුඛත්වය දෙන්නේ ඒ සඳහායි.

එහෙම තියෙද්දි අද ඇතමෙක් බොර දියේ මාලු බානවා. සමහරු ඒ අස්සෙ දේශපාලන කෝන්තරත් පිරිමහනවා. ඒක අලුත් දෙයක් නෙමෙයි. මේවා අපට හොඳට පුරුදුයි. ඒ නිසා මේවාට උත්තර දෙනවට වඩා වටින්නෙ ඒ කාලයත් තවත් ජීවිතයක් බේරාගැනීම වෙනුවෙන් යෙදවීම කියලයි අපි විශ්වාස කරන්නෙ.

මිත්‍රවරුනි,
රටේ සමස්ත ජනතාව ගැන කල්පනා කරලා ගන්න ඇතැම් තීන්දු ජනප්‍රිය නොවුනත් අපට එවැනි තීන්දු ගන්න වෙනවා. දැඩි සංචරණ සීමා පැනවීම වැනි තීන්දු ඔබේත් අපේත් සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගයි.

ඔබ මෙවැනි අවස්ථාවක රජයේ වගකීම දෙස බලා සිටිනවා වගේම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් තම තමන්ට පැවරෙන යුතුකමත් ඉටුකරනවා නම් අපට මේ අභියෝගය ජය ගැනීම අපහසු නැහැ.

එවැනි වටපිටාවක අනාගත ළමා පරපුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රජයට සහයවන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සියලුම වෛද්‍යවරුන්ටත්, අනෙකුත් වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සඳහාත් මාගේ ප්‍රණාමය නැවත වතාවක් පුද කරන්න කැමතියි.

ඔබ සැමට නිරෝගිමත් අනාගතයක් උදා වේවා! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ශාමන් රජීන්ද්‍රජිත්, ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ළමාබදුසූරිය, හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග උඹේසේකර මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ ෴

+++++++++++

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(15.08.2021 – 16:29 +0530 – hirunews.lk/sinhala)

ඇෆ්ගනිස්ථානයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් 50 කට ආසන්න පිරිසක් යළි දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා සඳහන් කළා.

මේ අතර, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ අවශ්‍යතාවක් මතුවුවහොත්, ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇතුළු සියලු රටවල තානාපති කාර්යාල නිලධාරින්ට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධීකරණය මත ආරක්ෂිතව එරටින් පිටවීම සඳහා කටයුතු සූදානම් කර ඇති බවයි.

දශකයකට වැඩි කාලයක් පැවති රුසියානු ආධිපත්‍යයටත්, ඇමෙරිකාව ඇතුළු බටහිර සන්ධානයේ දශක දෙකක සන්නද්ධ බලයටත් යටපත් කළ නොහැකි වූ තලෙයිබාන්වරුන් දැන් ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට ද ඇතුලු වී සිටින බව විදෙස් වාර්තාවල දැක්වෙනවා ෴

******************************************

(15.08.2021 – 16:46 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සංචාරක කලාපවල ඇති සියලු මාර්ග සංවර්ධනය කිරීමට කටයුතු සකස් කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

මහාමාර්ග අමාත්‍යාංශයේ අද (15) පැවති රැස්වීමකදී අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ සංචාරක කලාපවල සංවර්ධනය විය යුතු මාර්ග පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙසටයි ෴

******************************************

(15.08.2021 – 16:56 +0530 – hirunews.lk/sinhala)

කළුතර බන්ධනාගාරයට පිටතින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් දෙකක් (2) සොයා ගෙන තිබෙනවා.

එහි තිබී හෙරොයින් ග්‍රෑම් 10 ක්, ගංජා ග්‍රෑම් 25 ක්, දුම්කොළ 22 ක් සහ ජංගම දුරකථන 8 ක් සොයා ගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ තහනම් ද්‍රව්‍ය ඉදිරි කටයුතු සඳහා කළුතර – උතුර පොලීසියට භාරදීමට පියවර ගෙන තිබෙනවා ෴

******************************************

රටට එරෙහි ගතු කේලාම් කියන්නා හිවලෙක් – සුදත්ත හිමියන්ගෙන් කාදිනල්ට පාඩමක්

(14.08.2021 – colombotoday.com)

රටට එරෙහි ගතු කේලාම් කියන්න පුද්ගලයා හිවලෙක් ලෙස හැඳින්විය හැකි බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ අද (14) දින මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කරන ලදි.

ඊයේ (13) දින මාධ්‍ය හමුවක් පවත්වා ජාත්‍යන්තරයට යාමට අපේක්ෂා කරන බවට මැල්කම් රංජිත් කාදිනල් තුමා සිදුකල ප්‍රකාශයක් පිළිබඳව අදහස් දක්වමින් සුදත්ත හිමියෝ මේ බව පැවසීය.

රායප්පු ජෝසප් වැනි පියතුමාලා කොටි ත්‍රස්තවාදීන්ට උදව් කරන විට කාදිනල් ඇතුළු කතෝලික සභාව එකල නිශ්ශබ්දව සිටි බවත් සුදත්ත හිමියෝ අවධාරණය කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ සුදත්ත හිමියෝ :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *