ඩෙල්ටා ප්‍රභේදය විකෘතිවීමේ අවදානමක් – ඉදිරි සති දෙක (2) තීරණාත්මකයි

ඩෙල්ටා ප්‍රභේදය විකෘතිවීමේ අවදානමක් – ඉදිරි සති දෙක (2) තීරණාත්මකයි

*********************************************

ඩෙල්ටා ප්‍රභේදය විකෘතිවීමේ අවදානමක් – ඉදිරි සති දෙක (2) තීරණාත්මකයි

(15.08.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය විකෘති වී තවත් භයානක ප්‍රභේදයක් මෙරට තුල නිර්මාණය වීමේ අවදානමක් පවතින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

මෙරට පළමු වරට (1) දෛනික කොරෝනා මරණ 160 ක් ඊයේ (14) වාර්තා වුණා.

ඒ සමඟ මෙරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 5935 ක් ලෙසයි.

අවසන් දින තුනකදීම (3) දෛනික කොරෝනා මරණ 150 ඉක්මවා වාර්තා වීමද විශේෂත්වයක්. පසුගිය දින තුනකදී (3) වාර්තා වූ කොරෝනා මරණ 471 න් 356 ක්ම වයස අවුරුදු 60 ඉක්මවූවන්.

මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් 3000 සීමාව අඛණ්ඩව තුන්වන (3) දිනටත් ඊයේ ඉක්මවා ගියා.

ඒ ආසාදිතයින් 3263 දෙනෙකු වාර්තා වීමත් සමගයි.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (15) අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරි සති දෙකකදී (2) ආසාදිතයින් වාර්තා වීම ඉහළ යා හැකි බැවින් එම කාල පරිච්ඡේදය තීරණාත්මක බවයි.

මේ අතර, මාතර – දික්වැල්ල ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනෙකු (2) ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඊයේ (14) දිනයේදී මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් තුන්ලක්ෂ 3,09,559 දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා.

එහිදී සයිනොෆාම් දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 2,17,712 කට ලබාදී ඇති අතර, එහි පළමු (1) මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 65,695 ක්. කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව ද ඊයේ දිනයේ 17,219 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට දිවයිනේ පුද්ගලයන් 1,18,50,308 දෙනෙකුට කොරෝනා එන්නත් එක් (1) මාත්‍රාවක් හෝ ලබාදී ඇති අතර පූර්ණ එන්නත්කරණය ලැබූ සංඛ්‍යාව 45,27,502 ක්.

රට තුල උද්ගත වී ඇති කොරෝනා වෛරස් ව්‍යාප්තියේ දැඩි අවදානම් ස්වභාවය හේතුවෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් සැපයීම සීමා කර ඇති බවද එහි සභාපති වෛද්‍ය සචින්ද්‍ර ගමගේ මහතා ප්‍රකාශ කළා.

නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සේවා සැපයීම සඳහා හෙට (16) සිට එහි නුගේගොඩ ප්‍රධාන කාර්යාලය හා වේරහැර ඇතුළු අනෙකුත් සියලුම ශාඛා කාර්යාල මගින් සේවා සපයනු ලබන්නේ දුරකථන අංක 225 ඇමතීම මගින් හෝ ඊ-චැනලින් සේවා මගින් කලින් වේලාවන් වෙන් කර ගත් අය සඳහා පමණයි.

කෙසේ නමුත්, අධිකරණය මගින් යොමුකරන රියදුරන්ගේ වෛද්‍ය පරීක්ෂණ සඳහා සේවා සැපයීම සීමාවකින් තොරව සිදුකරන බව ද ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

පවතින තත්වය හමුවේ මරදගහමුල නගරයේ ඔසුසැල් හැර සෙසු සියලු ව්‍යාපාරික ස්ථාන හෙට (16) රාත්‍රියේ සිට වසා තැබීමට තීරණය කළ බව මරදගහමුල ව්‍යාපාරික සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා ප්‍රකාශ කළා.

එසේම අන්තර් පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් බස්නාහිර පළාතට ඇතුලු වීමට උත්සහ කල වාහන 382 ක් ආපසු හරවා යවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ගත වූ පැය 24 තුල වාහන 4,500 ක් පරීක්ෂාවට ලක් කල බවයි.

එමෙන්ම, පළාත් වලට ඇතුලු වන වාහන පරික්ෂා කිරීම සඳහා අතුරු මාර්ග ආවරණය වන පරිදි පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව ඔහු ප්‍රකාශ කළා.

මේ අතර, ගතවූ පැය 24 තුල නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් පුද්ගලයන් 108 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 2,387 දෙනෙකු අද (15) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ සමග සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 3,09,732 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ෴

++++++++++++++++++

(15.08.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ශ්‍රී ලංකාව ‘රංචු ප්‍රතිශක්තිය’ කරා ළගා විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව සටහනක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කණ්ඩායම් ප්‍රතිශක්තිකරණය දිරි ගන්වන්නේ එන්නත්කරණය තුළින් බවයි.

එසේ නොමැතිව වයිරසයට සමාජය තුළ පැතිරීමට ඉඩ දීමෙන් සිදුවන්නේ අනවශ්‍ය රෝගීන් බිහිවීම සහ මරණ වැඩිවීම පමනක් බවයි ආචාර්‍ය ජීවන්දර මහතා සිය සටහනෙන් පෙන්වා දෙන්නේ.

මිනිසුන් වයිරසයකට නිරාවරණය කරන අතර වාරයේ ‘රංචු ප්‍රතිශක්තිය’ කරා යාමට උත්සාහ කිරීම විද්‍යාත්මකව ගැටලුකාරී හා සදාචාර විරෝධී ක්‍රියාදාමයක් බව ඔහුගේ අදහසයි.

රටක ‘රංචු ප්‍රතිශක්තිය’ ඇති කිරීම සඳහා කොවිඩ්-19 මර්ධන එන්නත් ලබාදිය යුතු ජනගහන අනුපාතය පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ දක්වා තොරතුරු එළි දැක් වී නැහැ.

කෙසේ වෙතත් මේ වන විටත් ශ්‍රී ලංකාවේ පූර්ණ ප්‍රතිශක්තිකරණ අනුපාතය පවතින්නේ ප්‍රතිශක්තිකරණය ලබාදිය යුතු ජනගහනයෙන් 25% ටත් වඩා අඩු මට්ටමක බවයි ආචාර්‍ය ජීවන්දර මහතා පවසන්නේ.

‘රංචු ප්‍රතිශක්තිය’ හෙවත් ‘රැළේ ප්‍රතිශක්තිය’ යනු එන්නත්කරණය හරහා ප්‍රතිශක්තිය ලබා දෙන කණ්ඩායමක් විසින් ඇති කරගනු ලබන රෝගයට මුහුණ දීමේ හැකියාවයි.

එය එන්නත්කරණය සඳහා ඉලක්ක වන ජනගහන කොට්ඨාසයෙහි ප්‍රමාණය අනුව අඩු වැඩි වෙනවා.

ලොව බොහෝ රටවල් කෝවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා ලබා දීමේදී වයස අවුරුදු 60 ට වැඩි ජනගහනය පළමුව ඉලක්ක කළේ මෙම ‘රංචු ප්‍රතිශක්තිකරනය’ හෙවත් ‘රැලේ ප්‍රතිශක්තිකරණ’ සංකල්පය මත පිහිටායි.

මෙම ‘රංචු ප්‍රතිශක්තිකරණ’ සංකල්පය වසංගත රෝග මර්දනය සඳහා වඩාත් හොඳින් භාවිත කළ හැකි සෞඛ්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිලිගැනීමයි.

මෙසේ ප්‍රතිශක්තිකරණය ලබාගන්නා රංචු හරහා සමාජයේ සමස්ත ප්‍රතිශක්තිකරණය සැලසෙන අතර ඉන් බෝවන රෝගයකින් සමස්ත සමාජයටම වක්‍රව ආරක්ෂාව සපයනවා ෴

++++++++++++++++++

(15.08.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරිමේ අරමුණින් ප්‍රදේශ කිහිපයක වෙළෙඳ සංගම් ඉදිරි කාලය තුළ වෙළඳසැල් වසා තැබිමට තීරණය කර තිබෙනවා.

මරදගහමුල ව්‍යාපාර සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා සඳහන් කළේ ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් හෙට (16) සිට සතියක කාලයක් ඔසුසැල් හැර අනෙක් සියලු වෙළඳසැල් වසා තැබෙන බවයි.

මේ අතර අද (15) සිට අම්බලන්තොට නගරයේ සියලු වෙළඳසැල් සතියක කාලයක් වසා තැබෙන බව ද එම නගරයේ වෙළඳ සංගමය ඊයේ (14) ප්‍රකාශ කළා.

නගරය හා අවට ප්‍රදේශවලින් වැඩි වශයෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් වාර්තාවීම හේතුවෙනුයි ඔවුන් මෙම තීරණයට එළඹ ඇත්තේ.

එම ප්‍රදේශවල කොරෝනා වෛරසය පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බැවින් ජනතාව නිරන්තරයෙන් නගරයට පිවිසීම හමුවේ අනෙක් ජනතාව ද අවදානමකට ලක්වන බව වෙළඳ සංගමය පෙන්වා දෙනවා.

මෙම තීරණය සතියක කාලයක් ක්‍රියාත්මක කරන අතර ඉදිරියේදී රටේ තත්වය සලකා බලා නගරයේ වෙළඳසැල් විවෘත කිරීමට හෝ තවදුරටත් වසා තැබීමට කටයුතු කරන බවයි අම්බලන්තොට වෙළඳ සංගමයේ ලේකම් ඒ.එච්. ප්‍රේමචන්ද්‍ර මහතා කියාසිටියේ.

මේ අතර පලාපත්වල එක්සත් වෙළඳ සංගමය ද පසුගියදා තීරණය කළේ එම නගරයේ සියලු වෙළඳසැල් වසා දැමීමටයි.

ත්‍රී රෝද රථ සංගමයේ රියදුරන් කිහිප දෙනෙකු මෙන්ම වෙළඳසැල් කිහිපයක සේවකයන් ඇතුලු පිරිසක් කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වීම හේතුවෙනුයි ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ.

(15.08.2021 – 16:23 +0530 – hirunews.lk/sinhala)

අද (15) සිට ලබන 27 වනදා දක්වා කැකිරාව නගරයේ වෙළඳසැල් වසා තැබීමට එම නගරයේ වෙළඳ සංගම් තීරණය කර තිබෙනවා.

ඒ ප්‍රදේශය ආශ්‍රිතව පවතින කොවිඩ් අවධානම සැලකිල්ලට ගනිමින්.

අප වාර්තාකරු සඳහන් කළේ ප්‍රාදේශීය කොවිඩ් කමිටුව අද (15) දහවල් රැස්වූ අවස්ථාවේදී වෙළඳ සංගම් මෙම තීරණයට එළඹ ඇති බවයි.

කෙසේවෙතත් ජනතාවට අත්‍යවශ්‍ය වන ඖෂධ අලෙවිසැල් වෛද්‍ය රසායනාගාර සහ ඉන්ධන පිරවුම්හල් විවෘතව පවතින බවයි කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියාසිටියේ නගරය අවටින් හමුවන ආසාදිතයන් ගණන ද සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි.

ආසාදිත පොකුරු හමුවීමේ ප්‍රවණතාවක් ඇති බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(15.08.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

පරිසර හානි කිරීම් සහ මහජන පැමිණිලි විමර්ශනයට විශේෂ හදිසි කඩා පැනීම් ඒකකයක් හෙවත් අභ්‍යන්තර විමර්ශන ඒකකයක් සිය අමාත්‍යාංශයට අනුබද්ධිතව පිහිටුවීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා, අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අදාළ උපදෙස් ලබාදී ඇති බවයි පරිසර අමාත්‍යාංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

විමර්ශන නිලධාරින් කිහිපදෙනෙකු සිටින බැවින් පරිසර හානි කිරීම් සහ මහජන පැමිණිලි විමර්ශනය කිරීම සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව පරිසර අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම, පරිසර අමාත්‍යාංශයට අනුබද්ධව කටයුතු කරන දිස්ත්‍රික් නිලධාරින්ගේ අකටයුතුකම් සම්බන්ධයෙන් ද මහජනතාව අමාත්‍යාංශයට පැමිණිලි කර තිබීම නිසයි මෙම විශේෂ අභ්‍යන්තර විමර්ශන ඒකකය පිහිටුවීමට තීරණය කර ඇත්තේ ෴

******************************************

(15.08.2021 – 13:40 +0530 – hirunews.lk/sinhala)

විවිධ අවස්ථාවල බලයේ සිටින රජයන්, ගමට සංවර්ධනය රැගෙන යන බව පවසමින් විවිධ ව්‍යාපෘති ආරම්භකරන්නේ ජනතාව තුළ දහසකුත් එකක් බලාපොරොත්තු දල්වාලමින්.

නමුත් එසේ ආරම්භ කරන ව්‍යාපෘති අතරමග අතහැර දමන අවස්ථා පිළිබඳ අපට නිරන්තරයෙන් වාර්තා වනවා.

මොරගහකන්ද කළුගග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහවැලි අධිකාරිය මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන්නේ 2012 වර්ෂයේදීයි.

ඒ ගිරිතලේ,බකමුණ සහ ඒ ආසන්න ප්‍රදේශවල ගොවිබිම් අක්කර දහස් ගණනකට ජලය සැපයීමටත් වනජිවින්ගේ ජල පහසුව සැපයීමත් අරමුණු කරගනිමින්.

අතරමග වැඩ නවතා දමා ඇති මේම ව්‍යාපෘතිය හේතුවෙන් වැවේ පිටවාන මෙන්ම වැව බැම්ම දැඩිලෙස විනාශවී තිබෙනවා.

******************************************

(15.08.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

දැදුරු ඔය විනාශ කරමින් මහාපරිමාණයෙන් සිදුවන අනවසර වැලි ගොඩදැමීමක් පිළිබඳ හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වුණා.

මේ මහා විනාශය සිදුවන්නේ පල්ලම, ආරච්චිකට්ටුව සහ හලාවත යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින්.

අවනීතිය අතට ගනිමින් මේ කඩිමුඩියේ වනසන්නේ මෙරට වාරි කර්මාන්තයේ සුවිශේෂී ස්ථානයක් හිමි දැදුරු ඔයයි.

වැලි ජාවාරම්කරුවන්ට මෙලෙස රිසි සේ දැදුරු ඔය විනාශ කිරීමට ඉඩදී ඇත්තේ දැවැන්ත පාරිසරික හානියකට අතවනමින්.

කිලෝමීටර් 143 ක් දිගින් යුත් දැදුරු ඔයේ ජලයෙන් පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කවල අක්කර දහස් ගණනක වගාබිම් පෝෂණය කෙරෙනවා.

එවන්වූ පසුබිමක මේ වැලි ජාවාරම්කරුවන්ගෙන් දැදුරු ඔයට දරුණුතම හානියක් සිදුව ඇත්තේ පල්ලම, ආරච්චිකට්ටුව සහ හලාවත යන පොලිස් බල සීමාවන් තුළදී බවට පරිසර සංවිධාන චෝදනා එල්ලකරනවා.

ජාවාරම්කරුවන් මෙම විනාශය සිදුකරමින් සිටින්නේ දැදුරු ඔයේ කිසිදු ආකාරයේ වැලි කැනීමක් සිදුනොකරන ලෙස 2011 වසරේදී අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති පසුබිමකයි.

එම තීන්දුව ක්‍රියාත්මක වූයේ වසර කිහිපයක් පමණක් බව ‘බංගදෙණිය මිහිසර පරිසර සංවිධානය’ චෝදනා කරනවා.

******************************************

(15.08.2021 – 13:51 +0530 – hirunews.lk/sinhala)

වෙළෙඳපොළේ කිරිපිටි පිළිබඳ ගැටලුවක් පවතින අවස්ථාවක පොළෙන්නරුව දිස්ත්‍රික්කයේ දේශීය කිරි ගොවීන්ද ගැටලු රැසකට මුහුණ දී සිටිනවා.

ඔවුන් පවසන්නේ දේශීය කිරි ගොවියා නගාසිටුවීම මගින් කිරිපිටි හිඟයට ද විසදුම් සෙවිය හැකි බවයි.

පොළෙන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 28 ක් පුරා විසිරී සිටින සුළු පරිමාණ දේශීය කිරි ගොවීන් ගණන 250 කට ආසන්නයි.

නමුත් මෙම කර්මාන්තය කරගෙන යාමේදී තමන් ටලු රැසකට මුහුණ දෙන බව එම කිරි ගොවීන් පවසනවා.

කිරි ගවයින්ට අවශ්‍ය ප්‍රධාන ආහාරය වන තණකොළ ලබාදීම සඳහා තණ වගා කිරීමට භුමියක් නොමැතිකමින් කිරි ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසිරුතාවකටයි.

ඔවුන් පවසන්නේ සත්ත්ව ආහාරවල මිල ඉහළයාම නිසා දුෂ්කරතාවට පත් තමන්ට බැංකු ණය ලබාගැනීමේදී ද ගැටලුවලට මුහුණදීමට සිදුව ඇති බවයි.

කිරි ගොවීන් මුහුණ දෙන තවත් ගැටලුවක් වන්නේ සතුන්ට වැලඳෙන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රදේශයේ පශු වෛද්‍යවරයෙක් නොමැතිවීමයි.

මෙම ගැටලු විසඳෙන්නේ නම් මෙරට පවතින කිරිපිටි හිඟයට විසඳුමක්ද ලැබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *