පළාත් පනින්න හැදූ 582 ක් හරවා යවයි – වාහන 333 කුත් ඒ අතර

පළාත් පනින්න හැදූ 582 ක් හරවා යවයි – වාහන 333 කුත් ඒ අතර

*********************************************

පළාත් පනින්න හැදූ 582 ක් හරවා යවයි – වාහන 333 කුත් ඒ අතර

(15.08.2021 – 09:18 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 54,359 දෙනෙකු පසුගිය මාස 10 ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ඊයේ (14) දිනය තුළදීත් මෙලෙස රට තුළ ක්‍රියාත්මක වන නිරෝධායන නීතිරීති උල්ලංඝණය කරමින් කටයුතු කළ පුද්ගලයින් 108 දෙනකු අත්අඩංගුවට ගැණුනා.

කොවිඩ්-19 වෛරසය ඉතාමත් ශීඝ්‍රයෙන් රට පුරා පැතිර යමින් දැඩි අවධානම් තත්ත්වයක් මතුකර ඇති අවස්ථාවක මෙලෙස වගකීම් විරහිත ලෙස හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට දඬුවම් පැමිණවීමට පොලිසිය නිරන්තරයෙන් කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ.

එමෙන්ම ඊයේ (14) දිනය තුළ දී බස්නාහිර පළාතට ඇතුල්වන සහ පිට වන ස්ථානවල පිහිටුවා ඇති පොලිස් මුරපොලවල දී සංචරණ නීති උල්ලංඝණය කරමින් පළාතෙන් පිට වීමට සහ ඇතුළුවීමට උත්සාහ කළ වාහන 333 ක් සහ ඒවායේ ගමන් ගත් පුද්ගලයින් 582 දෙනෙකු නැවත හරවා යවා තිබෙනවා.

මෙම මුරපොළවල දී ඊයේ (14) පරීක්ෂාවට ලක් කෙරුණු සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 4,544 ක්.

මේ වන විට පළාත් අතර සංචරණය සඳහා දැඩි සීමා පැන වී ඇති අතර පළාත් සීමා මායිම් ආවරණය වන පරිදි ප්‍රධාන මාර්ග වලට අමතරව අතුරු මාර්ග සඳහා ද ශ්‍රී ලංකා පොලිසිය ත්‍රිවිධ හමුදාව හා එක්ව පරීක්ෂණ මුර කපොලු ස්ථානගත කර තිබෙනවා.

එබැවින් අත්‍යවශ්‍ය කරුණක දී හැර පළාත් අතර සංචරණයට කිසිදු ඉඩක් නොලැබෙන බවයි පොලිසිය පවසන්නේ.

පළාත් අතර සංචරණයට ‍අත්‍යාවශ්‍ය සේවාවන්හි නිරත වන රාජ්‍ය නිලධාරීන්ට අවසර ලැබෙන අතර ඉන් පරිබාහිර අත්‍යවශ්‍ය කරුණක් සඳහා යම් කිසි කෙනෙකු පළාත් හරහා යාමට උත්සාහ කරන්නේ නම් ඒ සඳහා සාධාරණ පසුබිම්ක් තිබිය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

+++++++++++++++++++

(15.08.2021 – 09:34 +0530 – hirunews.lk/sinhala)

රට තුළ මේ වනවිට උද්ගතව ඇති කෝවිඩ්-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සැපයීමේ වෙනසක් සිදුකර ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා පවසනවා.

ඒ අනුව නුගේගොඩ සහ වේරහැර පිහිටි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලයන්හි ඇතුළු අනෙකුත් ප්‍රාදේශීය කාර්යාලවල සේවාව ලබා ගත හැක්කේ අංක 225 ඇමතීමෙන් හෝ ඊ-චැනලින් සේවාව හරහා ලබාගන්නා වේලාවෙන් වෙන් කරගැනීමකින් පමණක් බවයි ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයනයේ දැක්වෙන්නේ.

එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් :

++++++++++++++++++

කොවිඩ් මර්දන එන්නත්කරන වැඩසටහන අදත් (15)

(15.08.2021 – 10:39 +0530 – hirunews.lk/sinhala)

රට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කොවිඩ් වසංගතය පාලනය කිරීමෙහිලා ක්‍රියාත්මක එන්නත්කරන වැඩසටහන අද (15) දිනයේත් දිවයින පුරා මධ්‍යස්ථාන රැසක ක්‍රියාත්මකයි.

අස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, මොඩර්නා, ෆයිසර්, ස්පුට්නික් යන එන්නත් මෙහි දී ජනතාවට ලබා දෙනවා.

++++++++++++++++++

(15.08.2021 – 11:16 +0530 – hirunews.lk/sinhala)

රට තුළ වර්ධනය වෙමින් පවත්නා කෝවිඩ්-19 වසංගත ව්‍යාප්තියත් සමඟ මෙරට අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අටවැදෑරුම් (8) යෝජනා මාලාවක් අගවිනිසුරුවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

දිනකට කොරෝනා මරණ සියයකට (100) වැඩි සංඛ්‍යාවක් වාර්තාවන තත්ත්වයක් යටතේ මෙරට අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය දැඩි අනතුරකට ලක්ව ඇති බවයි මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ.

මේ වන විටත් නීති වෘත්තියේ නිරත සාමාජිකයින් දහයකට (10) ආසන්න සංඛ්‍යාවක් කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බවත් මෙම ලිපියේ සඳහන්.

ඒ අනුව මෙරට අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක වීමේ දී සිය සංගමය ඉදිරිපත් කරන යෝජනා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයන් සමඟ ද සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙස ඔවුන් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටිනවා.

රට තුළ දැන් පවතින තත්ත්වය අනුව ඉදිරි සති කිහිපයේ දී මෙරට අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ අතිශය තීරණාත්මක අවධියකට පැමිණ ඇති බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය අගවිනිසුරුවරයාට යෝජනා කරන්නේ අධිකරණ පද්ධතිය තුළ කෝවිඩ්-19 රෝග ව්‍යාප්තිය වැළැක්වීමට නම් අධිකරණ තදබදය වළක්වා ගැනීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු කාරණයක් බවයි.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නේ නම් මෙම තදබදය අවම කරග ගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් අධිකරණ තුළ පවතින තදබදය සම්බන්ධයෙන් එතරම් තැකීමක් නොකරන විනිසුරුවරුන් පිළිබඳව දිවයිනේ විවිධ අධිකරණවලින් වාර්තා වන බවයි නීතිඥ සංගමය පවසන්නේ.

මේ තත්ත්වය සම්බන්ධයෙන් අදාල විනිසුරුවරුන්ට උපදෙස් නිකුත් කරන ලෙසත්, උසාවි තුළ පුද්ගල ධාරිතාවන් ඉක්මවා කටයුතු නොකරන ලෙසත්, උසාවි කාලසටහනට දැඩිව අනුගතවීමට උපදෙස් ලබා දෙන ලෙසත්, නීතිඥ සංගමය අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටිනවා.

නීතිඥ සංගමය අගවිනිසුරුවරයාගෙන් තවදුරටත් ඉල්ලා සිටින්නේ දිවයින පුරා පිහිටා ඇති විවිධ උසාවි සංකීර්ණ තුළට ප්‍රවිෂ්ට විය හැකි උපරිම පුද්ගල සංඛ්‍යාව පිළිබඳ තීරණයක් ගත් යුතු බවයි.

ඒ ඒ උසාවිවල ඇති ඉඩ පහසුකම් සලකා බලා අදාල පුද්ගල සංඛ්‍යාව තීරණය කළහොත් උසාවිය කළමනාකරණයට එය මහත් පහසුවක් වන බවයි අගවිනිසුරුවරයා වෙත යොමු කරන සංදේශයේ සටහන් වන්නේ.

එමෙන්ම පවත්නා තත්ත්වයන් යටතේ ප්‍රායෝගිකව විභාග කළ නොහැකි නඩු කල් දැමීම සහ අත්‍යවශ්‍ය සාක්ෂිකරුවන් පමණක් උසාවි වෙත කැඳවීමත් සුදුසු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගවිනිසුරුවරයාට කරන තවත් නිර්දේශ‍යක්.

එම පියවර හරහා ද උසාවි තුළ තදබදය කැපී පෙනෙන ලෙස අවම කරගත හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම මෙරට සියලු අධිකරණයන්හි විනිසුරුවරුන් සිය සංගමයේ ප්‍රාදේශීය සංගම් නිලධාරීන් සමඟ නිරන්තර සංවාදයක් පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරන නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ බොහෝ විනිසුරුවරුන් මෙම සංවාදය පවත්වා ගන්නා අතර ඒ පිළිබඳව උනන්දු නොවන විනිසුරුවරුන් පිළිබඳව ද තමන්ට දැනගන්නට ලැබී ඇති බවයි.

එලෙස සාධනීය සංවාදයකට එක් නොවන විනිසුරුවරුන් පිළිබඳ අවශ්‍ය නම් තොරතුරු පවා තමන්ට ලබා දිය හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගවිනිසුරුවරයාට දන්වා තිබෙනවා.

එමෙන්ම දිවයිනේ සෑම අධිකරණයක් තුළම ප්‍රමාණවත් වාතාශ්‍රය ලැබෙන පරිදි පරිසරය සැකසීමේ අවශ්‍යතාව අවධාරණය කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ මෙරට බොහෝ අධිකරණ වායුසමීකරණය කර නොමැති තත්ත්වයක් යටතේ මෙලෙස ස්වභාවික වාතාශ්‍රය හොඳින් ලැබෙන සේ පරිසරය සැකසීම එතරම් අප අපහසු කරුණක් නොවන බවටයි.

මෙරට අධිකරණ පද්ධතිය තුළ රෝග ව්‍යාප්තියට ඇති සියලුම ඉඩකඩ අහුරා නීතියේ ඉහළම ස්ථානයෙන් රටට පූර්වාදර්ශයක් ලබා දිය හැකි වැඩපිළිවෙළක් කරා යොමු වන්නේ නම් එයට හැකි සියලුම ආකාරයෙන් සහයෝගය දීමට සිය සංගමය බැඳී සිටින බව මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් ෴

++++++++++++++++++++

(15.08.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම, මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මන්නාරම දිසාව භාර රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (15) උදෑසන පැවැත්වුණා.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර දිව්‍ය පූජාවට වෙනත් පළාත්වල කිසිදු පුද්ගලයෙකුට මෙවර සහභාගි වීමට අවස්ථාව ලැබුණේ නැහැ.

කෙසේ වෙතත්, දේව මෙහෙය අද (15) පෙරවරුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් බැතිමතුන් 150 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් සඳහන් කළේ ෴

+++++++++++++++++++

විවේක ගන්න – හොඳ වාතාශ්‍රයක් ලබන්න – නිවෙස්වල නිරෝධායනය වන්නන්ට සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස්

(15.08.2021 – 12:57 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරසය ආසාදනය වී නිවෙස් තුල ප්‍රතිකාර ගන්නා රෝගීන් විවේකීව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළා. එමෙන්ම, හුස්ම ගැනීමේ අපහසුතාවක් පවතිනවා නම් පමණක්, රෝහල් ගතවන ලෙසටයි ඔහු රෝගීන්ගෙන් ඉල්ලා සිටියේ.

කොරෝනා ආසාදිතයන් නිවෙස් තුල තබා ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙල මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මකයි. නිවෙස් වල රැදී සිටින ආසාදිතයන් විවේකීව කටයුතු කිරීම මෙන්ම හොඳ වාතාශ්‍රයක් ලබා ගැනීම ද රෝගය කඩිනමින් පාලනය කර ගැනීමට අතිශය වැදගත් වනවා.

ආයුර්වේද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ ආයුර්වේද ප්‍රතිකාර ලබා ගත් කොරෝනා ආසාදිතයන් සම්පූර්ණයෙන්ම කඩිනම් සුවය ලබා ගෙන ඇති බවයි.

කොරෝනා ආසාදිතයන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළ ඔහු හුස්ම ගැනීමේ අපහසුතා පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසට ඉල්ලීමක් කළා ෴

++++++++++++++++++

රුධිර පරිත්‍යාග කරන්නැයි ජනතාවට ඉල්ලීමක්

(15.08.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්වය සමග ඇතිවී තිබෙන රුධිර හිඟය හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව රුධිරය පරිත්‍යාග කිරීමට එක් වන ලෙස ජාතික රුධිර පාරවිලයන සේවය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එමගින් සඳහන් කළේ කොරෝනා වසංගත තත්වය සමඟ රුධිරය දන්දීමේ වැඩසටහන් අවලංගු වීම නිසා රටතුල මෙලෙස රුධිර හිඟයක් හටගෙන ඇති බවයි.

ගර්භණී මවුවරුන්ට, තැලසීමියාවෙන් පෙලෙන රෝගීන්ට, මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ට, කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට මෙන්ම, රිජ්වේ ආර්යා ළමා රෝහලට ද, දෛනිකව විශාල රුධිර අවශ්‍යතාවයක් පවතිනවා.

ඒ අනුව, රුධිරය ලබා දීමට අපේක්ෂා කරන දායකයින්ට දිවයිනේ ප්‍රධාන රෝහල් සහ රුධිර මධ්‍යස්ථාන වලට ගොස් රුධිරය ලබාදිය හැකි බවයි ජාතික රුධිර පාරවිලයන සේවය සඳහන් කලේ.

එලෙස රුධිරය පරිත්‍යාග කරන දායකයින් සඳහා නාරාහේන්පිට රුධිර මධ්‍යස්ථානය උදෑසන 8 සිට සවස 6 තෙක් විවෘතව පවතිනවා. මීට අමතරව රාගම, මහරගම, කුරුණෑගල සහ අනුරාධපුර රෝහල්වලට හෝ ඕනෑම රුධිර මධ්‍යස්ථානයකට උදෑසන 8 ත් පස්වරු 4 ත් අතර කාලයේදී පැමිණ රුධිරය පරිත්‍යාග කල හැකියි.

රුධිරය ලබා දීමට පහසු වේලාවක් වෙන් කර ගැනීම සඳහා :
http://www.nbts.health.gov.lk/ වෙබ් අඩවිය භාවිතා කල හැකි බවයි ජාතික රුධිර පාරවිලයන සේවය සඳහන් කළේ.

මීට අදාල තොරතුරු ලබා ගැනීම සඳහා 011 533 2153 හෝ 011 533 2154 යන දුරකතන අංක ඇමතිය හැකියි ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(15.08.2021 – 09:26 +0530 – hirunews.lk/sinhala)

බලන්ගොඩ කල්තොට කූරගල රක්ෂිතයේ සිදුකෙරෙන නිධන් හැරීමක් පිළිබඳව කල්තොට පොලීසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමක දී රක්ෂිතය තුළ කැණීමක් කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු (4) අත් අඩංගුවට ගැනීමට කල්තොට පොලිසිය සමත් වුණා.

ඊයේ (14) දහවල් 02:30 ට පමණ කල්තොට පොලිසියේ කණ්ඩායමක් විසින් සිදු කළ මෙම වැටලීමේ දී කැණීම් කටයුතු සිදු කිරීමට භාවිත කළ උපකරණ සහ පුරාවස්තු ලබා ගැනීම සඳහා පූජාවකට සූදානම් කළ භාණ්ඩ රැසක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුද 46, 45, 28 හා 26 වයස්වල පසුවන පිලියන්දල, පොල්ගස්ඕවිට, මහනාන්නේරිය හා ඇහැලියගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි මෙතෙක් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වල දී හෙළි වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (15) දින බළන්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කල්තොට පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා ෴

******************************************

(15.08.2021 – 12:53 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (14) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා හිටපු බුද්ධි නිලධාරියෙක් ලෙස තමන්ව හඳුන්වා ගන්නා ‘කීර්ති රත්නායක’ නැමැත්තා කිසි දිනෙක ගුවන් හමුදා බුද්ධි නිලධාරියකු ලෙස සේවය කර නොමැති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පවසනවා.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ කීර්ති රත්නායක නැමැත්තා 2004 වර්ෂයේ දී ගුවන් හමුදාවෙන් නෙරපා හරින ලද පුද්ගලයෙකු බවයි.

කටුනායක ගුවන් කඳවුරේ අරමුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් සිදුකළ විනය පරීක්ෂණයකින් අනතුරුව වැරදිකරු වූ ඔහු 2004 වර්ෂයේ දී ගුවන් හමුදාවෙන් නෙරපා දමන්නේ ‘ඔබගේ සේවය තව දුරටත් අවශ්‍ය නොමැති’ බවට සඳහන් නියෝග යටතේයි.

1997 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා පරිපාලන අංශයට එක්වූ කීර්ති රත්නායක 2004 වර්ෂයේ ගුවන් හමුදාවෙන් නෙරපන විට ගුවන් හමුදා පියාසර නිලධාරී තනතුරේ සේවය කරමින් සිටියා.

වෙබ් අඩවි ආරක්ෂක වාර්තාකරුවකු ලෙස සඳහන් වෙන කීර්ති රත්නායක නැමැත්තා ඊයෙ (14) කොළඹ අපරාධ කොට්ඨාශයේ අත්අඩංගුවට පත්වුණේ කොළඹ පිහිටි තානාපති කාර්යාලයකට එල්ල විය හැකි ප්‍රහාරයක් පිළිබඳව කොල්ලුපිටිය පොලිසියට එම තානාපති කාර්යාලයේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

සිය දුරකථනයට ලැබුනු අදාල තානාපති කාර්‍යාලයට ප්‍රහාරයක් එල්ල කිරීම්ට සැලසුම් කර ඇති බවට සඳහන් වෙන කෙටි පණිවිඩයක් කීර්ති රත්නායක විසින් එම තානාපති කාර්යාලයේ ආරක්ෂක අංශ නිලධාරීයකු වෙත යොමුකර තිබෙනවා.

තානාපති ආරක්ෂක අංශ නිලධාරීන් කොල්ලුපිටිය පොලිසියට අදාළ පැමිණිල්ල සිදුකර ඇත්තේය මෙම කෙටි පණිවිඩය පදනම් කරගෙනයි ෴

******************************************

(15.08.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

කැරිබියානු – හයිටි රාජ්‍යයේ සිදුවූ භූ කම්පනයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් ශෝකය පළ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එලෙස ශෝකයට පත් හයිටි ජනතාව සමග ශ්‍රී ලාංකිකයන් ද එක්වන බවයි.

භූ කම්පනයෙන් මියගිය සහ අතුරුදන් වූ පවුල් වෙත මෙම විනාශය හමුවේ සොව පළ කරන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

හයිටියේ ඊයේ (14) සිදුවූ රික්ටර් පරිමාණයේ 7.2 ක ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයන් 304 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර 1800 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. එහිදී එරට දේවස්ථාන, හෝටල්, පාසල්, නිවාස ඇතුළු ගොඩනැගිලි රැසක් ද විනාශයට පත්වුණා.

මේ අතර, ලොව අංක දෙකේ (2) ටෙනිස් ක්‍රීඩිකාව වන ජපානයේ නඕමි ඔසාකා සිය ඉදිරි ටෙනිස් තරගාවලියෙන් උපයන මුදල් හයිටි භූ කම්පනයේ සහන මෙහෙයුම සඳහා පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

සිව් වරක් (4) ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව දිනූ නඕමි ඔසාකා ජපාන මවකට දාව උපත ලැබුව ද ඇගේ පියා හයිටි ජාතිකයෙක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *