කැබිනෙට්ටුවේ පුටු මාරුවක්

කැබිනෙට්ටුවේ පුටු මාරුවක්

*********************************************

කැබිනෙට්ටුවේ පුටු මාරුවක්

(15.08.2021 – 07:13 +0530 – hirunews.lk/sinhala)

කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධූරයන් හතරක (4) සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවට වාර්තා වෙනවා.

රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන ආකාරයට මෙම කැබිනට් සංශෝධනය සිදු කිරීමට නියමිතව ඇත්තේ ලබන අඟහරුවාදා (17) යි.

මෙම කැබිනට් සංශෝධනයේ දී කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී. එල්. පීරිස් සහ දිනේෂ් ගුණවර්ධන යන අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ වගකීම් මාරුවනු ඇති.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය ධූරය දරන දිනේෂ් ගුණවර්ධන මහතාට අධ්‍යාපන අමාත්‍යාංශයත් දැනට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ඩලස් අලහප්පෙරුම මහතාට ජනමාධ්‍ය අමාත්‍යාංශයත් භාර කෙරෙන බවයි වාර්තා වන්නේ.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වශයෙන් හා අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විදේශ අමාත්‍ය වරයා වශයෙන් වැඩ භාර ගැනීමට නියමිත බවයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

පසුගිය කාලසීමාව තුළ දී ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා දැඩි විවේචනයන්ට ලක්වුණා.

පවතින කෝවිඩ් ව්‍යාප්තිය හමුවේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට අධ්‍යාපන ඇමතිවරයා අපොහොසත් වූ අතර වැටුප් වර්ධක ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග වලට යොමු වූ ගුරු ගැටලු විසඳීමටත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යාංශයට හැකි වූයේ නැහැ.

මේ හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාට සහ අමාත්‍යංශයට එල්ල වූයේ දැඩි ජනතා විරෝධයක්.

එමෙන්ම ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස සිදුකළ ඇතැම් ආන්දෝලනාත්මක ප්‍රකාශ හරහා රජය දැඩි අපහසුතාවයට ලක් වූ බවයි රජයට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ ෴

******************************************

(15.08.2021 – 07:24 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගිණි ගැනීමත් සමඟ විනාශ වූ, එම නෞකාවේ තිබූ තම භාණ්ඩ වෙනුවෙන් මෙතෙක් කිසිඳු වන්දි මුදලක් ලබා දී නොමැති බව එම නෞකාවේ භාණ්ඩ ප්‍රවාහනය කර පීඩාවට පත්වූවන්ගේ එකමුතුව පවසනවා. එහි සාමාජිකයන් මේ බව ප්‍රකාශ කළේ ජා-ඇල ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ෴

******************************************

(15.08.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – ඇල්ලෙගෙදර ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු පොලිස් ළමා හා කාන්තා කාර්යංශය වෙත භාර දී තිබෙනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ රත්නපුර – ඇල්ලෙගෙදර ප්‍රදේශයේ පදිංචි, රත්නපුර බටුහේන විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක්.

පොලීසිය සඳහන් කළේ සිද්ධියට අදාල මූලික විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි.

ඒ අනුව අදාල දැරිය නිවසින් පිටත්ව යාමට පෙර ලියා තැබූ ලිපියේ නැන්දනියක් සහ අයියා කෙනෙකු ලෙස සටහන් කර තිබූ තැනැත්තන් කවුරුන් ද යන්න සොයා මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තමන්ට නැන්දනියක් සහ අයියා කෙනෙකු ළඟ පීඩාවකින් තොර ව සිටිය හැකි බවට වන කරුණක් අදාල දැරිය එම ලිපියේ සඳහන් කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. දැරිය ලිපියක් ලියා නිවසින් පිටත්ව ගොස් තිබුණේ පසුගිය 02 වන දා යි.

තමාට පෙම්වතුන් සිටින බවට විවිධ පුද්ගලයන් ප්‍රකාශ කළ ද තමාට එවැනි සබඳතාවයක් නොමැති බවත්, විවිධ පුද්ගලයන් පවසන එම ප්‍රකාශ තුළින් තමා කළකිරීමට පත් ව ඇති බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් ව තිබුණා.

එමෙන්ම, ඇයව සම්බන්ධ කර ගන්නා ලෙස දුරකථන අංකයක් ද අදාළ දැරිය විසින් එම ලිපියේ සටහන් කර තිබූ අතර නිවසින් පිටත්ව ගිය දැරිය ඉන් පසු වෙනත් දුරකථන අංකයක් ඔස්සේ අමතා තමා පොළොන්නරුව ප්‍රදේශයේ ලිපිනයක සිටින බවත්, තමාව බේරාගන්නා ලෙසත් ඇයගේ මව්පියන්ට දැනුම් දී ඇති බව පොලීසිය සඳහන් කළා.

එම සියලු දුරකථන අංක මේ වන විට ක්‍රියාවිරහිත බවයි පොලීසිය සඳහන් කළේ. අදාල දැරියගේ පෙම්වතා යැයි කියන කුරුවිට ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගෙන් ද සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ප්‍රකාශ ලබා ගත්තා. කෙසේ නමුත් අනාවරණය වූයේ දැරියගේ අතුරුදන් වීමට ඔහුගේ සම්බන්ධයක් නොමැති බවයි ෴

******************************************

(15.08.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා කරුණු වාර්තා කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙන් තමන්ට කැඳවීමක් ලැබුණු බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළා.

එහි නියෝජිත ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ලබන අඟහරුවාදා (17), කමිටුව වෙත සිය ගැටලු ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් බවයි.

ඒ අනුව අදාළ සාකච්ඡාව එදින පස්වරු 6 ට අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ දී පැවැත්වෙනු ඇති.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බල කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට (15) දින 34 ක් වනවා ෴

******************************************

(15.08.2021 – 09:03 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට කොළඹ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙම පුද්ගලයින් දෙදෙනා (2) සමඟ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා භාවිත කළ මුද්‍රණ යන්ත්‍රයක් ද අත්අඩංගුවට ගත් බවයි ඔහු පවසන්නේ.

මේ දෙදෙනා (2) අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව රුපියල් සීයේ නෝට්ටු 25 ක්, රුපියල් පන්සීයේ නෝට්ටු 18 ක් සහ රුපියල් දහසේ නෝට්ටුවක් (1) ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් ව්‍යාජ මුදල් නෝට්ටු වල සටහන් වී ඇති වටිනාකම රුපියල් 12,500 කට අධිකයි.

සාමාන්‍යයෙන් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නන් බොහෝ විට රුපියල් පන්දහසේ සහ රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ප්‍රවණතාවක් දක්නට ලැබුණු අතර රුපියල් 100 සහ රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම පිළිබඳ සිද්ධියක් වාර්තා වීම විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

රුපියල් 100 සහ රුපියල් 500 මුදල් නෝට්ටු සම්බන්ධයෙන් එතරම් වැඩි ජනතා අවධානයක් යොමු නොවීම හේතුවෙන් එම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නන් අවධානය යොමු කර ඇති බවටයි පොලිසිය විශ්වාසය පළ කරන්නේ.

එබැවින් එදිනෙදා ගණුදෙනුවල දී තමන් භාවිත කරන මුදල් නෝට්ටු සම්බන්ධයෙන් දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

******************************************

පාලනයෙන් ගිලිහුණු ලොරියක් කළ අනතුර (14.08.2021)

******************************************

රුධිර සංචිත පහළ ගිහින්

(15.08.2021 – 07:37 +0530 – sinhala.adaderana.lk)

‍කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පවතින රුධිර සංචිත පහළ ගොස් තිබේ.

රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් කළේ මේ වනවිට දෛනිකව රුධිර ඒකක 950 ත් 1000 ත් අතර ප්‍රමාණයක අවශ්‍යතාවක් පවතින බවය.

එම ප්‍රමාණය දෛනිකව සපයා ගැනීමට අපහසුවී ඇති බැවින් රුධිරය පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලෙස රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.

011 533 2153 හෝ 011 533 2154 යන දුරකරථන අංක ඔස්සේ වේලාවක් වෙන්කරගෙන රුධිරය පරිත්‍යාග කිරීම සඳහා දිවයිනේ ඕනෑම රුධිර පාරවිලයන මධ්‍යස්ථානයක් වෙත පැමිණීමට අවස්ථාව ඇති බවද වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් කළේය ෴

******************************************

බේරාගත් වන අලියා ජීවිතයක් බිලිගනී

(14.08.2021 – 19:47 +0530 – sinhala.adaderana.lk)

වගා ළිඳකට වැටුණු වන අලියෙකු බේරාගත් පිරිසකට එම අලියා පහරදීම හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

එම අවාසනාවන්ත පුවත අද (14) වාර්තා වී තිබුණේ මහව කරුවලගහවත්ත ප්‍රදේශයෙනි.

ළිඳකට වැටී සිටි අවුරුදු 3 ක පමණ වන එම වන අලියෙක් බේරාගැනීමට ගම්වාසීන් අද (14) උදෑසන සිට දැඩි පරිශ්‍රමයක් දරා තිබුණි.

කෙසේවෙතත් අලියා බේරී පළායන අවස්ථාවේ අවට රැස්වී සිටි පිරිස ලුහුබඳිමින් වන අලියා කලබලකාරී ලෙස හැසිරී ඇත.

එහිදී වන අලියා ගම්වාසියෙකුට පහරදී ඇති අතර ඔහු එම ස්ථානයේ මරණාසන්නව වැටී සිටියේය.

වයස අවුරුදු 55 ක් පමණ වන මෙම අවිවාහක පුද්ගලයා පසුව ජීවිතක්ෂයට පත්වී තිබුණි.

මේ අතර පුත්තලම උඩප්පුව ප්‍රදේශයට ඊයේ (13) රාත්‍රියේ පැමිණි වන අලියෙක් ප්‍රදේශයෙන් පලවා හැරීමට ගම්වාසීන් දැඩි උත්සාහයක නිරත වී තිබුණි.

මෙහිදී අලියා පලවා හැරීමට පැමිණි පිරිස් නොසැලකිලිමත් ලෙස හැසිරීම හේතුවෙන් වන අලියා කුලප්පු වී පහරදීම සඳහා ලුහුබඳින ආකාරය අප කැමරාවේ සටහන් වී තිබුණි.

එම පහරදීමකින් ද එක් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබේ.

******************************************

බැසිල්, රනිල්, රතන හිමි පාර්ලිමේන්තුවෙන් එළියට ඇදල දානවා – නාගානන්ද කොඩිතුවක්කු (12.08.2021)

******************************************

ප්‍රමිතියකින් තොරව සිදුකෙරෙන නුවරඑලිය නානුඔය ඩෙස්පොඩ් මාර්ගයේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය

(15.08.2021 – colombotoday.com)

නුවරඑලිය නානුඔය ඩෙස්පොඩ් මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල එම ප්‍රදේශයේ පවතින අධික වර්ෂාවත් සමග නිසි ප්‍රමිතියකින් තොරව එම මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන පෞද්ගලික කොන්ත්‍රාත් සමාගම විසින් සිදු කරන බව ප්‍රදේශවාසින් කියා සිටියි.

නානුඔය රදැල්ල කෙටි මාර්ගයට අමතරව නුවරඑලියට බර වාහන ධාවනයට නානුඔය මංසන්ධිය දක්වා කිලෝමිටර් 10 කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මාර්ග සංර්ධණ අධිකාරියේ අධික්ෂණය යටතේ පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙකු විසින් සිදු කරනු ලබයි.

නානුඔය ප්‍රදේශයට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවද නොතකා මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන පෞද්ගලික කොන්ත්‍රාත් සමාගම විසින් කාපට් ඇතිරිම නිසා එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමිතියකින් තොරව බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් අප එම කොන්ත්‍රාත් සමාගමේ ප්‍රතිසංස්කරණ කටයුතු භාරව කටයුතු කරන නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළුවක් වේ නම් ඒ පිලිබදව නුවරඑලිය විධායක ඉංජිනේරුවරයෙකු ගෙන් කරුණු විමසන ලෙසයි.

ඒ අනුව අප නුවරඑලිය විධායක ඉංජිනේරු කාර්යාලයේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ තාර හෙදින් රත් කර මාර්ගයට ඉස පසුව කාපට් ඇතිරිම සිදු කරන නිසා පවතින සුළු වර්ෂාව මාර්ගයේ කාපට් ඇතිරිමේ ප්‍රමිතියට බාධාවක් නොවන බවයි.

හැටන් – රංජිත් රාජපක්ෂ

@@@@@ කොවිඩ් පුවත් @@@@@

(15.08.2021 – 08:52 +0530 – hirunews.lk/sinhala)

මාතර දික්වැල්ල ප්‍රදේශයේ නිරෝධායන රාජකාරියකට පිටත්ව ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුට (2) පහර දීමේ සිද්ධියක් වාර්තා වනවා.

ප්‍රදේශයේ කොවිඩ්-19 ආසාදනය වී මිය ගිය පුද්ගලයෙක් පදිංචිව සිටි නිවසක සිටි අනෙක් පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා මාතර දික්වැල්ල ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම නිවසට ගිය අවස්ථාවේ මෙම සිදුවීම හටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

අදාල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා (2) සිය රාජකාරි කටයුතු කිරීමට සූදානම් වන අවස්ථාවේදී ප්‍රකෝප වූ නිවැසියන් විසින් මෙම නිලධාරීන් දෙදෙනාට (2) පහර දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය විසින් පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඊයේ (14) දිනයේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

නිරෝධායන නීතිරීති ක්‍රියාත්මක කරන රජයේ නිලධාරීන්ට එරෙහිව සිදු කෙරෙන මෙවැනි බලපෑම් සම්බන්ධයෙන් පොලිසිය තරාතිරම නොබලා කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකකවරයා පවසන්නේ.

මීට පෙර බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ දී මේ ආකාරයටම මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකුට කොවිඩ් ආසාදිතයකු විසින් කෙල ගැසීමේ සිද්ධියක් සිද්ධියක් වාර්තා වුණා.

ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු වසර 6 ක සිර දඬුවමකට යටත් කෙරුණා ෴

++++++++++++++++++

බණ්ඩාරගම ඇන්ටිජන් 252 කින් ආසාදිතයින් 100 ක්

(14.08.2021 – 19:20 +0530 – sinhala.adaderana.lk)

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පුද්ගලයින් 252 දෙදෙනෙකුට අද (14) රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබුණි.

ඉන් 100 දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

මෙලෙස ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ගැනීම සඳහා පැමිණ තිබුණේ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයට අයත් ප්‍රදේශ ගණනාවක පුද්ගලයින්වීම විශේෂත්වයකි.

++++++++++++++++++

මැරෙන මිනිස්සු බේර ගන්න ‘බෙහෙත් කරල’ හදපු එක වරදක් නම් ඕනම කුඩුවකට යන්න මම සුදානම් (14.08.2021)

+++++++++++++++++++

කොවිඩ් සමයේ රෝගීන් හුරගෙන කන පුද්ගලික රෝහල් මාෆියාව – කෝටිපතියෙක් ආවත් අද දෙන්න ඇදන් නෑ (13.08.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *