කොළඹ විදෙස් සබඳතා පවත්වන ආයතනයකට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

කොළඹ විදෙස් සබඳතා පවත්වන ආයතනයකට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

*********************************************

කොළඹ විදෙස් සබඳතා පවත්වන ආයතනයකට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

(14.08.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොල්ලුපිටියේ පිහිටි විදෙස් සබඳතා පවත්වන ආයතනයකට යම්කිසි ප්‍රහාරයක් එල්ල වන බවට යම් තොරතුරක් ලැබුණු බවත් එම තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් එම ආයතනයේ ආරක්ෂාව භාර නිලධාරීයකු විසින් ඊයේ (13) දහවල් 01:00 ට පමණ කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

මෙම පැමිණිල්ලට අදාළව කොල්ලුපිටිය පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර එය පසුව කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ.

පැමිණිල්ල සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ විමර්ශනවලින් අනතුරුව මහනුවර හිඳගල ප්‍රදේශයේ පදිංචි හතළිස් පස් (45) හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙලෙස සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ පියාසර ලුතිතන් වරයකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ නිරතව සිට විනය හේතු මත 2001 වසරේදී ගුවන් හමුදාවෙන් නෙරපන ලද ‘කීර්ති රත්නායක’ නමැති පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගත් පුද්ගලයා හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ තාවකාලික පදිංචියක් සහිත පුද්ගලයකු බවත් වාර්තා වනවා.

කොළඹ පිහිටි විදේශ සබඳතා පවත්වන ආයතනයකට යම්කිසි ප්‍රහාරයක් එල්ල විය හැකි බවට වන කෙටි පණිවිඩයක් මෙම පුද්ගලයාගේ ජංගම දුරකථනයට ලැබී තිබෙනවා.

ඔහු එම කෙටි පණිවිඩය අදාළ ආයතනයේ ආරක්ෂාව සම්බන්ධ යම්කිසි නිලධාරියෙකුට යොමු කර ඇති බවටයි වාර්තාවන්නේ.

පසුව එම විදේශ සබඳතා පවත්වන ආයතනයේ නිලධාරීයකු විසින් මෙම සිද්ධිය පිළිබඳව කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාට ලැබුණු මෙම කෙටි පණිවිඩය පිළිබඳව වැඩිදුර තොරතුරු විමර්ශනය සඳහා ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බවයි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති වෙත කියා සිටියේ.

මෙම සිද්දිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය තවදුරටත් විමර්ශන සිදුකිරීමට නියමිතයි ෴

++++++++++

අත්අඩංගුවට ගත් ‘ලංකා ඊ නිව්ස්’ කීර්ති රත්නායක ගුවන් හමුදාවෙන් පන්නා දැමූ හොරෙක්

(15.08.2021 – colombotoday.com)

දැනට ශ්‍රී ලංකා පොලිස් අත්අඩංගුවට පත්ව සිටින හිටපු ගුවන් හමුදා බුද්ධි නිලධාරියෙක් ලෙස තමන්ව හඳුන්වා ගන්නා ‘ලංකා ඊ නිව්ස්’ නැමති මඩ වෙබ් අඩවියේ ආරක්ෂක වාර්තාකරු ලෙස සඳහන් වෙන ‘කීර්ති රත්නායක’ නැමැත්තා ගුවන් හමුදාවේ සේවය කරන සමයේදී සිදුකල මුදල් සොරකමක් හසුවී සේවයෙන් ඉවත්කර දැමූ පුද්ගලයෙක් බව වාර්තා වෙනවා.

මේ පිළිබඳව ‘Colombo Today’ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතාගෙන් විමසීමක් කල අතර එහිදී කීර්ති රත්නායක නැමැත්තා ගුවන් හමුදා බුද්ධි අංශයක කිසිම අවස්ථාවක සේවය කර නොමැති බවත් කටුනායක ගුවන් හමුදා කඳවුරේ මුදල් අයකැමියෙකු ලෙස සේවය කරමින් සිටියදී සිදු කල මුදල් සොරකමක් හේතුවෙන් ගුවන් හමුදාවෙන් නෙරපා දැමු බවත් සඳහන් විය.

කීර්ති රත්නායක නැමැත්තා 1997 වසරේදී ගුවන් හමුදා පරිපාලන අංශයට බැදී සේවය කර ඇත ෴

******************************************

(14.08.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

අභාවයට යමින් තිබෙන ඓතිහාසික වටිනාකමින් යුත් පුරාණ විහාරස්ථානයක් පිළිබඳ අනුරාධපුර – ගලෙන්බිඳුනුවැව – පලුගොල්ලාගමින් වාර්තා වනවා.

ඒ හේතුවෙන් එහි වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.

මේ අනුරාධපුර – ගලෙන්බිඳුනුවැව – පලුගොල්ලාගම – වේරගල පිහිටි පුරාණ බෝසෙවන විහාරස්ථානයයි.

ඉතා සුන්දර වටපිටාවකින් සමන්විත මෙම විහාරස්ථානය අඩි විස්සක් (20) පමණ උසකින් යුත් විශාල ගල්පර්වතයක් මත පිහිටා තිබීම විශේෂත්වයක්.

අතීතයේ මෙම ස්ථානයේ භික්ෂූන් වහන්සේ රැසක් වැඩ විසුවද මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පවා නොහැකිවීමෙන් එහි වැඩ වාසය කිරීමට භික්ෂුන් වහන්සේ රුචිකත්වයක් නොදක්වන තත්ත්වයක් මතුව තිබෙනවා.

මෙහි නටබුන් වු ධර්ම ශාලාවක් මෙන්ම භික්ෂූන් වහන්සේ වැඩ විසු කුටි තුනක් (3) ද දැකිය හැකිය.

නව ආවාස ගෙයක් තැනීම මිට වසර කිහිපයකට පෙර ආරම්භ කළ ද එහි වැඩ අතරමග නවතා දමා ඇත්තේ ආර්ථික සවියක් ඇති දායක පිරිසක් නොමැතිකමින් බවයි විහාරාධිපති හිමියන් සඳහන් කළේ.

මේ වනවිට භික්ෂුන් වහන්සේ තුන් නමක් එහි වැඩ වාසය කළ ද ජල ගැටලුව මෙන්ම වැසිකිලි පහසුකම් නිසි පරිදි නොමැතිකමින් උන්වහන්සේ පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.

******************************************

(14.08.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

සංවර්ධනයේ අරුනලු නොවැටුණු ගම් දනව් පිළිබඳ පුවත් අපට තවමත් අසන්නට නැතුවාම නොවේ.

ඇල්ල ගෝවුස්ස ප්‍රදේශයෙන් ද එවැනි පුවතක් වාර්තා වනවා.

ඇල්ල පහේ කණුව ගෝවුස්ස මාර්ගය මාර්ගය දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට නොහැකිව තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවට ප්‍රදේශවාසීන් මැසිවිලි නගනවා.

මාර්ගය අබලන්වීම හේතුවෙන්ම අසනීප තත්ත්වයකදී මෙන්ම තම අස්වනු නගරය වෙත රැගෙන යාමේදී දැඩි ලෙස පිඩාවට පත්වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

******************************************

(14.08.2021 – 18:42 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සහ අවි ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකු සොයා තමිල්නාඩුවේ සහ කේරළයේ අද (14) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ ග්‍රන්ථ කිහිපයක් සොයා ගැණුනු බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය ප්‍රකාශ කළා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ තමිල්නාඩුවේ චෙන්නායි සහ තිරිවල්ලූර් ප්‍රදේශවල මෙන්ම, කේරළයේ එරන්කුලම් ප්‍රදේශයේ එම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.

හෙරොයින් තොගයක් සහ ගිනි අවි සමග කේරළ මුහුදේදී මාර්තු මාසයේදී අත්අඩංගුවට ගත් යාත්‍රාව සම්බන්ධයෙන් කල විමර්ශන වලට අදාළවයි මෙම සෝදිසි මෙහෙයුම සිදුකර ඇත්තේ.

මෙම කල්ලිය ඉරානය සහ පාකිස්ථානයෙන් මත්ද්‍රව්‍ය මෙන්ම, ආයුධ රැගෙන ශ්‍රී ලංකාවට සැපයීමේ ජාවාරමක නිරත වී ඇති බවට මෙම විමර්ශනයේදී කරුණු අනාවරණය වුණා.

අද (14) සිදුකළ මෙහෙයුමේදී ඉන්දියාවේ ද, තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ ලිපිලේඛන හා ග්‍රන්ථ මෙන්ම, ජංගම දුරකථන ඇතුළු ඩිජිටල් මෙවලම් රැසක් සහ ටැබ් පරිගණයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මාර්තු 18 වනදා කේරළයේ විලින්ජම් වෙරළට ඔබ්බෙන් වූ අරාබි මුහුදේ දී කිලෝග්‍රෑම් 300 ක හෙරොයින් තොගයක් සහ ඒ.කේ. 47 වර්ගයේ ගිනි අවි 5 ක් මෙන්ම, ජීව උණ්ඩ වට දහසක් (1000) සමග ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

ඔවුන්ට එරෙහිව පසුගිය අප්‍රේල් 5 වනදා කේරළයේ ත්‍රිවේන්ද්‍රම් හිදී නඩු පවරා තිබෙනවා.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මගින් මෙම ජාවාරමට අදාළ විමර්ශනවලදී සුරේෂ් සහ සෞන්දර්රාජන් නමැති තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) පසුගිය අගෝස්තු 2 වනදා අත්අඩංගුවට ගත්තා. ඔවුන්ගෙන් ලද තොරතුරු මතයි ස්ථාන 7 ක් අද පරීක්ෂා කර ඇත්තේ ෴

@@@@@ කොවිඩ් පුවත් @@@@@

(14.08.2021 – 14:23 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරස් ව්‍යාප්තිය හේතුවෙන් සබරගමුව පළාත් තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන සඳුදා (16) සිට සැප්තැම්බර් මස 15 වනදා දක්වා අත්හිටුවා තිබෙනවා.

අදාළ කාර්යාල, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයක් බැවින් ආරක්ෂාකාරී පියවරක් ලෙසයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති කාලය සඳහා දඩ අය නොකිරීමට ද තීරණය කර තිබෙනවා ෴

++++++++++++++++++++

(14.08.2021 – 15:00 +0530 – hirunews.lk/sinhala)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගමන් ගන්නා ගුවන් මගීන් හට පහසුකම් සැලසීම සඳහා අධි සංවේදී රැපිඩ් – පී.සී.ආර් පරීක්ෂණාගාරයක් අද (14) කටුනායක ගුවන්තොටුපලේදී ආරම්භ කර තිබෙනවා.

දිවයිනට පැමිණ යළි රැකියා කටයුතු සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යාමට සූදානම්ව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බොහෝ දෙනෙකු මෙම පරීක්ෂණය සිදුකර ගැනීමට නොහැකි නිසා අපහසුතාවට පත්ව සිටියා.

ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අවස්ථා කිහිපයකදී බලධාරින්ගේ අවධානය යොමුකළ අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ මෙම සතිය අවසන් වීමට පෙර අදාළ පරීක්ෂණ පහසුකම් ස්ථාපිත කරන බවයි.

ඒ අනුව අද මෙම පරීක්ෂාගාරය කටුනායක ගුවන්තොටුපලේදී විවෘත කෙරුණා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ප්‍රාන්ත රාජ්‍ය 7 ක ගුවන්තොටුපල වෙත පිවිසීමට අවසර හිමිවන්නේ පැය 4 ක කාලසීමාවක් තුල ලබා ගත් අධි සංවේදී පී.සී.ආර්. පරීක්ෂණයකට සහභාගි වී එයින් ඍණාත්මක ප්‍රතිඵල ඇති ගුවන් මගීන්ට පමණයි.

ඒ සඳහා පර්යේෂණාගාරයක් මෙතෙක් ශ්‍රී ලංකාව තුල නොතිබුණු අතර එම ගැටලුව මුල් වරට හිරු ප්‍රවෘත්ති අංශය මගින් අනාවරණ කළා.

මෙම අධි සංවේදී පී.සී.ආර්. ඍණාත්මක වාර්තාවට අමතරව පිටත්වීමට පැය 48 ක කාලයක් තුල ලබා ගත් කොරෝනා පරීක්ෂණ වාර්තාව ද මෙම රාජ්‍ය වෙත ඇතුළු වීමට අත්‍යාවශ්‍ය වී තිබෙනවා.

ඒ අනුව, අදාළ පරීක්ෂණ සිදුකර ගැනීමට නම් ගුවන් යානය පිටත්ව යාමට පෙර මගීන් පැය 4 කට පෙර ගුවන්තොටුපල වෙත පැමිණිය යුතුයි.

එමෙන්ම, විදෙස් ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත සහ ගුවන් ප්‍රවේශපත්‍රය මෙම පරීක්ෂණය සඳහා අනිවාර්යයෙන් රැගෙන ආ යුතු වනවා.

එක් යන්ත්‍රයකින් පැයකදී සිව් දෙනෙකුට (4) පරීක්ෂණ සිදුකළ හැකි අතර, මේ වනවිට එවැනි යන්ත්‍ර 6 ක් පරීක්ෂණාගාරය තුල ස්ථාපිත කර ඇති බවයි වාර්තා වන්නේ.

++++++++++++++++++++++++

(14.08.2021 – 15:05 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2717 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේවන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 307,345 ක්.

තවත් ආසාදිතයන් 35,150 ක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වයිරස් ආසාදිතයන් 2423 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 350,693 ක් ලෙසටයි ෴

+++++++++++++++++++++++++

(14.08.2021 – 15:20 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගත තත්වය ඉතා සීග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු දිවයින පුරා බන්ධනාගාරගතව සිටින රැඳවියන් හට අමුත්තන් පෙන්වීමේ කටයුතු තාවකාලිකව නතරකර තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා පවසනවා.

මේ අනුව නඩු කටයුතු වෙනුවෙන් නීතිඥවරුන්ට ද රැඳවියන් හමුවීමට අවස්ථාව ලබා නොදෙන අතර නඩු කටයුතු වලට අවශ්‍ය ලියකියවිලි පමණක් අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ලබාදීමට කටයුතු යොදා ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

පාලනයකින් තොරව කොවිඩ්-19 වසංගතය දිවයින පුරා පැතිර යන අතර බන්ධනාගාර පද්ධතිය තුල කොරෝනා ව්‍යාප්තිය බොහෝ දුරට පාලනය කරගෙන ඇති බැවින් එය තවදුරටත් එලෙස පවත්වාගෙන යාම සඳහා මෙම තීරණයට එළඹුණු බව බන්ධනාගාර ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියාසිටියා ෴

+++++++++++++++++++++++

(14.08.2021 – 16:28 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරස ආසාදිතයන් නිවෙස් තුලම වෛද්‍ය අධීක්ෂණය මත රැකබලා ගැනීමේ වැඩපිළිවෙල දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් රෝහල් ධාරිතාවය ඉක්මවා යාම පාලනය සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් මත රෝගීන් රෝහල්ගත කිරීම ප්‍රමුඛතාව අනුව සිදු කරමින් වයිරස ආසාදිතයන් වෛද්‍ය අධීක්ෂණය මත නිවෙස් තුල රැකබලා ගැනීමේ වැඩසටහන පසුගියදා බස්නාහිර පළාතේ ආරම්භ කෙරුණා.

අමාත්‍යවරියගේ උපදෙස් අනුව එම වැඩසටහන මුලු දිවයිනම ආවරණය වන පරිදි වෛද්‍යවරුන් 1000 කගේ පමණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම වැඩසටහන අද (14) රත්නපුර දිස්ත්‍රික්කයේ ද ආරම්භ කළ අතර ක්‍රමානුකූලව දිවයිනම ආවරණය වන පරිදි ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇති.

ආසාදිතයන් නිවෙස් තුල රඳවා රැකබලා ගැනීමේ වැඩසටහන පිළිබඳ මෙරට සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පුහුණු කටයුතු අවසන් කර ඇති අතර පූර්ව සීමාවාසික පත්වීම් අපේක්ෂාවෙන් සිටින වෛද්‍යවරුන් 426 කට ද පුහුණුව ලබාදී තිබෙනවා.

තවත් එවැනිම වෛද්‍යවරුන් පිරිසක් පුහුණු කිරීමට ද කටයුතු යොදා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.

සංකූලතා නොමැති, වයස අවුරුදු 02 ට වැඩි 65 ට අඩු, අඩු අවධානම්, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝග ලක්ෂණ පෙන්වන කාණ්ඩයන්ට අයත් කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුල වෛද්‍ය අධීක්ෂණය මත රැකබලා ගැනීම මෙන්ම අවධානම් තත්ත්වයේ පසුවන පිරිස් රෝහල්ගත කිරිමට මෙහිදී පියවර ගනු ලබනවා.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් ඔවුනට ලබාදී ඇති මාර්ගෝපදේශ හා නිර්ණායකයන්ට අනුකූලව වයිරසය ආසාදිතව නිවෙස් තුල ප්‍රතිකාර සදහා ලියාපදිංචි කර යොමු කරන රෝගීන්ට පමණක් පැය 24 පුරා ක්‍රියාත්මක ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානය (Call Center – 1390) සමග සම්බන්ධ විය හැකියි.

දින 14 ක වෛද්‍ය අධීක්ෂණයෙන් පසු ද දින 07 ක් යන තෙක් රෝගීයාට මෙම සේවාව ලබාගත හැකිවීම ද විශේෂත්වයක්.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් රෝගීයා පරික්ෂා කර නිවසේ රඳවා ප්‍රතිකාර කිරීම හෝ රෝහල් ගත කිරීමට පියවර ගැනිම සිදු කරනු ලබන අතර මෙහිදී රෝගියා නිවෙස් තුල ප්‍රතිකාර ලබාගන්නේ නම් ඒ සදහා තම කැමැත්ත ද පළ කළ යුතුයි.

පරිගණක තාක්ෂණ ක්‍රමවේදය ඔස්සේ රෝගීන් ලියාපදිංචිය සිදු කෙරෙනවා.

එම තොරතුරු ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානය හා සම්බන්ධ වන අතර දුරකථන මධ්‍යස්ථානය ඔස්සේ රෝගීයාගේ තොරතුරු ලබාගෙන තහවුරු කර ගැනීමෙන් පසු ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානයේ සිට විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයට රෝගියා ලක් වනවා.

රෝගීයාට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ද මෙහිදී ලබාදෙන අතර, රෝගියාගෙන් ලබාගන්නා තොරතුරු ද පරිගණක ගත කරනු ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.

එම අධීක්ෂණ කටයුතුවල දී රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සදහා යොමු කිරීමට අවශ්‍ය වන්නේ නම් රෝගී තත්ත්වය අනුව රෝගියා යොමු කළ යුතු රෝහල හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ක්ෂණිකව යොමු කිරීමට පියවර ගනු ලබනු ඇති.

ඒ සදහා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හරහා වැඩපිළිවෙළක් ද සකස් කර තිබෙනවා.

අම්බලන්තොට නගරයේ සියලු වෙළඳසැල් හෙට (15) සිට සතියක කාලයක් වසා දැමීමට අම්බලන්තොට වෙළඳ සංගමය තීණය කර තිබෙනවා.

නගරය හා අවට ප්‍රදේශවලින් වැඩි වශයෙන් කොරෝනා වයිරස් ආසාදිතයන් වාර්තාවීම හේතුවෙනුයි ඔවුන් මෙම තීරණයට එළඹ ඇත්තේ.

එම ප්‍රදේශවල කොරෝනා වයිරසය පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බැවින් ජනතාව නිරන්තරයෙන් නගරයට පිවිසීම හමුවේ අනෙක් ජනතාව ද අවදානමකට ලක්වන බව වෙළඳ සංගමය පෙන්වා දෙනවා.

මෙම තීරණය සතියක කාලයක් ක්‍රියාත්මක කරන අතර ඉදිරියේදී රටේ තත්වය සලකා බලා නගරයේ වෙළඳසැල් විවෘත කිරීමට හෝ තවදුරටත් වසා තැබීමට කටයුතු කරන බවයි අම්බලන්තොට වෙළඳ සංගමයේ ලේකම් ඒ.එච්. ප්‍රේමචන්ද්‍ර මහතා කියාසිටියේ ෴

+++++++++++++++++++++

(14.08.2021 – 18:43 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා සමග තවත් වසර දෙකක් (2) පමණ ජීවත් වීමට සිදුවනු ඇති බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා පවසනවා. මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති අංශය සමග සංවාදයකට එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *