LTTE සංවිධානයේ සංඥා අංශයේ නායකයෙකු විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සමග අත්අඩංගුවට

LTTE සංවිධානයේ සංඥා අංශයේ නායකයෙකු විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සමග අත්අඩංගුවට

*********************************************

LTTE සංවිධානයේ සංඥා අංශයේ නායකයෙකු විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සමග අත්අඩංගුවට

(14.08.2021 – 10:33 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකා කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට මඩකලපුව නාවික හමුදා බුද්ධි අංශය මගින් ලද තොරතුරකට අනුව ඊයේ (13) වන දින කලවංචිකුඩි පොලිස් වසමේ ඔන්ඩච්චිමඩම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහි දී උදෑසන 09:30 ට පමන කලවංචිකුඩි ප්‍රදේශයේ යොදන ලද මාර්ග බාධක රාජකාරියක් අතරතුර අණ නොතකා පලාගිය පුද්ගලයකු පසුපස සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන් පිරිසක් හඹාගොස් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සොයා ගැනුනා.

අත්අඩංගුවට ගත් අදාල සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කලවංචිකුඩි පොලිස් ස්ථානය වෙත භාර දීමෙන් පසුව සිදුකල වැඩිදුර ප්‍රශ්ණ කිරීමේ දී මෙම සැකකරු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සංඥා අංශයේ සාමාජිකයකු බවට තොරතුරු හෙලි කරගෙන තිබෙනවා.

මෙම සැකකරු කංචිකුඩිආරු ප්‍රදේශයේ පිහිටි එල්.ටී.ටී.ඊ. කඳවුරක ‘කන්නර් රාම්’ යන එල්.ටී.ටී.ඊ. ප්‍රාදේශීය නායකයෙකු යටතේ ‘ආල්වාන්’ නැමති ආරූඩ නාමයෙන් සිට ඇති බවටයි හෙලිවී අත්තේ.

කෙසේ වෙතත් පසුව මොහු එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් පලා ගොස් ඇති නමුත් පුනරුත්ථාපනය නොවු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් බවට මෙතෙක් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී හෙලි කර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් 34 හැවිරිදි ‘විජේරාසා ප්‍රශාන්තන්’ නමැති අදාළ සැකකරු ජීව අත්බෝම්බයක් ලඟ තබාගෙන සිටියේ කිසියම් අනර්ථයක් සිදු කිරීමටදැයි සෙවීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

******************************************

(14.08.2021 – 10:15 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ජූලි මාසය ලොව මෙතෙක් වාර්තා වූ උණුසුම්ම මාසය බව ඇමරිකානු මධ්‍යම විද්‍යා සහ නියාමන ඒජන්සිය ප්‍රකාශ කළා.

ලැබී ඇති දත්ත අනුව ජූලි මාසයේ ලොව ගොඩබිම සහ සාගරයේ උෂ්ණත්වයන්හි ඒකාබද්ධ සාමාන්‍යය 20 වන සියවසේ එහි සාමාන්‍ය අගය වූ සෙල්සියස් අංශක 15.8 ට වඩා සෙල්සියස් අංශක 0.93 කින් ඉහළ අගයක්.

එය මීට වසර 142 කට පෙර ලොව උෂ්ණත්ව දත්ත වාර්තා සටහන් කිරීම ආරම්භ වූ දා පටන් වාර්තා වූ ඉහළම අගයයි.

මීට පෙර 2016 වසරේ ජූලි මාසයේ එලෙස වාර්තා වූ ඉහළම අගය 2019 සහ 2020 වසර වලදී සම කෙරුණා. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ලෝක කාළගුණ වෙනසේ දිගු කාලීන බලපෑම මෙලෙස උෂ්ණත්වය ඉහළ යාමට හේතුව බවයි ෴

******************************************

(14.08.2021 – 12:40 +0530 – hirunews.lk/sinhala)

යාපනය – වැල්වැටිතුරේ වෙරළ තීරයේදී රුපියල් කෝටි 5 ක පමණ වටිනා කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තුන්දෙනෙකු (3) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු නාවික විධානය මගින් වැල්වැටිතුරේ මුහුදු තීරයේ අද (14) උදෑසන සිදුකරන ලද මෙහෙයුමකදී කැබ් රථයක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

කිලෝග්‍රෑම් 126 ක් වූ කේරළ ගංජා තොගය පොලිතින් උර 3 ක පාර්සල් 60 ක් වශයෙන් අසුරා තිබූ අතර, ප්ලාස්ටික් ඇසුරුමක සූක්ෂම ලෙස පාර්සල් 3 ක් වශයෙන් අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 330 ක් ද එහි තිබූ බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් අවුරුදු 32 ත් 38 ත් අතර වයස්වල පසුවන කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා වැල්වැටිතුරේ පොලීසිය වෙත භාරදී ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ ෴

******************************************

(14.08.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

ආනයනික හාල්මැස්සන් හෝ කරවල මත නව බදු වැඩි කිරීමක් සිදු කර නෑ. ධීවර රාජ්‍ය ඇමති කියයි.

ගැසට් පත්‍රයක් මඟින් ඊයේ (13) දිනයේ සිට හාල්මැස්සන් හෝ කරවල මත නව බදු පැනවීමක් සිදු කරන නොමැති බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටින්නේ ඊයේ (13) මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන්නට යෙදුණු ගැසට් පත්‍රයේ සඳහන් ව ඇත්තේ ආනයනික හාල් මැස්සන් සහ කරවල සඳහා මීට මාස හයකට (6) පමණ පෙර වැඩි කරන ලද බදු ප්‍රමාණය ම බවයි.

එය තවදුරටත් අඛණ්ඩව ඒ ආකාරයෙන්ම ඉදිරියට පවත්වා ගැනීම පමණක් මෙම ගැසට් පත්‍රය හරහා සිදුකරන බවත් අදාළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව මීට මාස 6 කට පෙර ආනයනික මත්ස්‍ය තොග මත පැනවූ බද්ද කිලෝවකට රුපියල් 25 සිට රුපියල් 200 ක් ලෙසත්, ආනයනික කරවල සහ හාල්මැස්සන් සඳහා කිලෝවකට බද්ද රුපියල් 100 ක් ලෙසත්, ආනයනික ටින් මාළු කිලෝ එකක් සඳහා රුපියල් 100 ක බද්දක් (450g ටින් එකක් 42.50 ක්) සහ ආනයනික උම්බලකඩ කිලෝවක් සඳහා රුපියල් 300 ක් ලෙසත් බදු වැඩි කිරීමටත් තීරනය කෙරුනා.

******************************************

පළමුවන කුඹල් පෙරහර අතුරතුරදී නාථ දේවාලයේ බස්නායක නිලමේගේ හා ලේකම්වරයාගේ රථවලට ඇසිඩ් ප්‍රහාර එල්ල වේ

(14.08.2021 – 11:22 +0530 – lankaleadnews.com)

ශ්‍රී දළදා පෙරහැර ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කරමින් තිබිය දී නාථ දේවාල පරිශ්‍රයේ නවත්වා තිබූ නාථ දේවාල බස්නාය නිලමේ ගයාන් හීන්කෙන්දගේ සහ ඔහුගේ ලේකම්වරයා වූ දීඝායු අබේරත්නගේ වාහන දෙකට ඇසිඩ් ප්‍රහාර එල්ල කර සුලු අලාභානි සිදුකර තිබේ.

සතර දේවාලයේ බස්නායක නිලමේ වරුන් අතර යම් විරසකයක් තිබුණු බවත් එම විරසකය එළියට පනින ලද අවස්ථාවක් ලෙස මෙය සිතිය හැකි බවත් තතු දත් ආරංචි මාර්ග හෙළි කරයි.

සිද්ධිය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙමින් ඇති බව පොලිසිය සඳහන් කරයි ෴

******************************************

මහනුවර දළදා ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඔල් පෙරහර (13.08.2021)

@@@@@ කොවිඩ් පුවත් @@@@@

(14.08.2021 – 10:13 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (13) දිනය තුළ කොවිශීල්ඩ් එන්නතේ පළමු මාත්‍රා 22,939 ක් ලබා දී තිබෙනවා

එමෙන්ම ඊයේ (13) දිනය තුළ ලබා දී ඇති එම එන්නතේ දෙවැනි මාත්‍රා ප්‍රමාණය 1086 ක්

එමෙන්ම ඊයේ (13) දිනය තුළ දිවයින පුරා සයිනොෆාර්ම් එන්නතේ මාත්‍රා 66,722 ක් ලබා දී ඇති අතර එන්නත් මාත්‍රා 276,476 ක් ලබා දී ඇත්තේ එම එන්නතේ දෙවැනි (2) මාත්‍රාව ලෙසට යි.

ඊයේ (13) දිනය තුළ ෆයිසර් එන්නතේ මාත්‍රා 164 ක් පළමු මාත්‍රාව ලෙසත් දෙවැනි (2) මාත්‍රාව ලෙස එන්නත් 6,274 කුත් ලබා දී තිබෙනවා.

මේ අනුව ඊයේ (13) දිනය නිමා වන විට කෝවිඩ් මර්දන එන්නත්කරණය යටතේ මෙතෙක් කොවිශීල්ඩ් මාත්‍රා 1,276,412 ක් පළමු මාත්‍රාව ලෙස ලබා දී ඇති අතර එහි දෙවැනි (2) මාත්‍රාව ලෙස එන්නත් 870,939 ක් ලබා දී තිබෙනවා.

මීට අමතරව සයිනොෆාර්ම් එන්නතේ පළමු (1) මාත්‍රා 9,313,897 ක් ද ලබා දී ඇති අතර එහි දෙවැනි (2) මාත්‍රාව ලෙස එන්නත් මාත්‍රා 3,394,241 ක් ලබා දී තිබෙනවා.

මෙතෙක් දිවයිනේ විවිධ ස්ථානවල ලබා දී ඇති ස්පුට්නික් වී රුසියානු එන්නතේ පළමු (1) මාත්‍රා ප්‍රමාණය 159,081 ක්.

ස්පුට්නික් එන්නතේ දෙවැනි (2) මාත්‍රාව ලෙස ලබා දී ඇත්තේ එන්නත් 14,516 ක් පමණයි.

මේ දක්වා අමෙරිකානු ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රා 252,127 ක් ලබා දී ඇති අතර එහි දෙවැනි (2) මාත්‍රාව ලෙස ලබා දී ඇති එන්නත් සංඛ්‍යාව 22,876 ක්.

මේ අතර තවත් අමෙරිකානු කොවිඩ් මර්ධන එන්නතක් වන මොඩර්නා පළමු (1) මාත්‍රාව ලෙස එන්නත් 763,611 ලබා දී ඇති අතර මෙතෙක් එහි දෙවැනි (2) මාත්‍රාව ලබාදීමක් සිදුකර නැහැ.

++++++++++++++++++++

(14.08.2021 – 10:17 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (13) දිනය තුල පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් බස්නාහිර පළාතට ඇතුලු වීමට උත්සාහ කල පුද්ගලයන් 234 දෙනෙකු, වාහන 165 ක් සමග යළි හරවා යවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අතුරු මාර්ග වලින් බස්නාහිර පළාතට ඇතුලු වීමට හා පිටවීමට උත්සහ කල පුද්ගලයන් 3 දෙනෙකු වාහනද සමග අත්අඩංගුවට ගත් බවයි.

බස්නාහිර පළාතට ඇතුලු වන ස්ථාන 3 කදී ඊයේ (13) වාහන 1,670ක් සහ පුද්ගලයන් 2,493 දෙනෙකු පරික්ෂාවට ලක් කර තිබෙනවා.

එමෙන්ම, නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් 151 දෙනෙකු ඊයේ (13) අත්අඩංගුවට ගැණුනා.

මේ අතර සයිනොෆාම් කොරෝනා එන්නත් මුදලට අලෙවි කල පුද්ගලයෙක් මොරටුව ලුනාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලුනාව රෝහලේ සුළු සේවකයෙකු වන මොහු එක් (1) එන්නත් මාත්‍රාවක් රුපියල් දෙදහස (2000) බැගින් අලෙවි කල බවටයි චෝදනා එල්ල වී ඇත්තේ ෴

+++++++++++++++++++

(14.08.2021 – 11:09 +0530 – hirunews.lk/sinhala)

රෝහල් දැඩිසත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා අවශ්‍ය කරන ඔක්සිජන් සතියකට මෙට්‍රික් ටොන් 100 බැගින් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා මේ බව කියා සිටියේ කොරෝනා පාලනය සඳහා සෞඛ්‍ය අමාත්‍යශය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම සඳහා ප්‍රවෘත්තී අංශ ප්‍රධානීන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද පැවති හමුවකට එක් වෙමින්.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට දෛනික ඔක්සිජන් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 70 ත් 72 ත් අතර දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව, අවශ්‍යතාව මත ගෙන්වන ඔක්සිජන් ප්‍රමාණය ඉහළ දමන බවත් මෙහි පළමු ඇණවුම මේ වන විටත් ඉන්දියාව වෙත ලබා දී ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවා.

සිංගප්පූරුවෙන් ද ඔක්සිජන් ආනයනය කිරීමට අවධානය යොමු වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා මෙම හමුවේදී වැඩිදුරටත් සඳහන් කලේ.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරන ඇතැම් මාර්ගෝපදේශ නීතියක් බවට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ලබන සඳුදා (16) ප්‍රකාශයට පත් කරන බව මෙම හමුවේ දී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියා.

දැනට පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අමතරව දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඉදිරි දින 2 තුල නිකුත් කරන බවද ඇය මෙහිදී ප්‍රකාශ කළා.

සමස්ත රට තුලම ආසාදිතයන් නිවසේ සිට ප්‍රතිකාර කිරීමේ වැඩසටහන ලබන සිකුරාදා (20) සිට ආරම්භ කරන බවත් ඒ සඳහා වෛද්‍යවරුන් පුහුණුකර අවසන් බවත් මෙම හමුවේදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර, පසුගිය දින 5 තුල පමණක් මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 664 ක් වනවා.

ඉන් සියයට 75 ක් එනම් මරණ 518 ක්ම වයස අවුරුදු 60 ඉක්මවූවන්.

ඊයේ (13) දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ 155 සමග මේ වන විට මෙරටින් වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාව 5,775 ක්.

මේ අතර, කොළඹ නගරයේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා පොලීසිය හා කොළඹ මහ නගර සභාව සංවිධාන කරන කොරෝනා එන්නත් කරන වැඩසටහන අදත් (14) ක්‍රියාත්මකයි.

අද (14) පස්වරු 5 දක්වා, කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේදී හා මරදාන බොන් ස්ටාර් ක්‍රීඩාංගණයේදී එම වැඩසටහන දියත් කෙරෙනවා.

කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ එන්නත් සැපයුමේ ගැටලු පවතින බවයි.

මේ අතර, මේ දින වල රජයේ වැඩි අවදානය යොමුවී ඇත්තේ පළමු (1) මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට දෙවන (2) මාත්‍රාව ලබා දීම සඳහා බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු (13) දිනයේදී පළමු (1) සහ දෙවන (2) මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 3,73,661 ක් ෴

++++++++++++++++++++

(14.08.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (13) දිනයට සාපේක්ෂව බොහෝ නගර වලට ජනතාව පැමිණීමේ අඩුවක් අද (14) දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

කොළඹ නගරයේ ද වෙනදා සති අන්තයේ දක්නට ලැබෙන ජනතාව පොදු ස්ථානවල නිරීක්ෂණයක වූයේ නැහැ.

ගාල්ල නගරයට ජනතාව පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන අතර, පින්නදූව හුවමාරුවෙන් පිටවන සහ ඇතුළු වන පොදු ප්‍රවාහනය මුළුමනින්ම ඇණ හිට තිබෙනවා. එමෙන්ම, පෞද්ගලික වාහනවල ද සැලකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ.

උතුරුමැද පළාතෙන් ජනතාව පිටවීම සහ පළාතට ඇතුලු වීම ඉතා අවම මට්ටමක පවතින අතර ප්‍රධාන නගරවලට ජනතාව පැමිණීමේ ද අඩුවක් නිරීක්ෂණය වූ බවයි හිරු පොළොන්නරුව වාර්තාකරු රසාංග නිරෝෂන් මහතා කියා සිටියේ.

කෙසේ වෙතත්, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිහිටා තිබීම නිසා දඹුල්ල නගරයට පැමිණෙන ජනතාවගේ විශාල අඩුවක් දක්නට නොලැබුණු බවයි හිරු වාර්තාකරු කාංචන කුමාර ආරියදාස මහතා සඳහන් කළේ.

ඊයේ (13) දිනය තුල පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් බස්නාහිර පළාතට ඇතුලු වීමට උත්සාහ කල පුද්ගලයන් 234 දෙනෙකු, වාහන 165 ක් සමග යළි හරවා යවා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අතුරු මාර්ග වලින් බස්නාහිර පළාතට ඇතුලු වීමට හා පිටවීමට උත්සහ කල පුද්ගලයන් තුන්දෙනෙකු (3) වාහනද සමග අත්අඩංගුවට ගත් බවයි.

බස්නාහිර පළාතට ඇතුලු වන ස්ථාන තුනකදී (3) ඊයේ (13) වාහන 1,670 ක් සහ පුද්ගලයන් 2,493 දෙනෙකු පරික්ෂාවට ලක් කර තිබෙනවා.

එමෙන්ම, නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් 151 දෙනෙකු ඊයේ (13) අත්අඩංගුවට ගැණුනා ෴

++++++++++++++++++

(14.08.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මධ්‍යම පළාත් තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන සඳුදා (16) සිට සැප්තැම්බර් මස 14 වනදා දක්වා අත්හිටුවා තිබෙනවා.

ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයක් බැවින් ආරක්ෂාකාරී පියවරක් ලෙසයි අදාළ තීරණය ගෙන ඇත්තේ.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති කාලය සඳහා දඩ අය නොකිරීමට තීරණය කර ඇති බව සඳහන්.

+++++++++++++++++++

දිනකට කොරෝනා ආසාදන වන රෝගීන් සංඛ්‍යාව 5000 ඉක්මවමින් මියයන සංඛ්‍යාව 250 ඉක්මවා තිබෙනවා -රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා

(14.08.2021 – 10:41 +0530 – lankaleadnews.com)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසන්නේ රෝහල්වලින් නිල නොවන මට්ටමින් ලැබෙන වාර්තා වාර්තා වලට අනුව දිනකට කොරෝනා ආසාදන වන රෝගීන් සංඛ්‍යාව 5000 ඉක්මවමින් ඇති බවත් මියයන සංඛ්‍යාව 250 ඉක්මවා ඇති බවත්ය.

වෛද්‍යයවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වෛරස ඉතාම වේගවත්ව පැතිරෙන නිසා ඉදිරි දින කිහිපය තුළ මෙම සංඛ්‍යා දෙගුණ තෙගුණ විය හැකි බවයි.

එහිදී ඔහු චෝදනා කරන්නේ මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා එන්නත් ලබා දිය යුතු ප්‍රමුඛතා ලැයිස්තුවක් තම සංගමය ඉදිරිපත් කර ඇතත් බාහිර පිරිසකගේ බලපෑමෙන් එය හරියාකාරව සිදු නොවන බවටයි.

එන්නත් කරණයන් නිවැරදි ක්‍රම වේදයකට සිදුකලේ නම් සම්පූර්ණ ප්‍රතිශක්තිකරණය ජනගහනයෙන් 45% කට ළඟා කර ගැනීමට හැකියාව තිබෙන බවත් මියයන සංඛ්‍යාව ද අඩුවන බවත් වෛද්‍යයවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය ෴

+++++++++++++++++++

ඌරෙකුට වෙළෙඳ වටිනාකමක් තිබුණට මිනිස් ජීවිතයකට වෙළෙඳ වටිනාකමක් දෙන්න බැහැ – ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන

(14.08.2021 – 09:28 +0530 – lankaleadnews.com)

අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක් වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පවසා සිටියේ ඌරෙකුට වෙළෙඳපොළ තුළ මිලක් නියම කළ හැකි වුවත් මිනිස් ජීවිතයකට වෙළෙඳපොළ තුළ මිලක් නියම කළ නොහැකි නිසා ටික කාලයකට රට වසා නොදැමුවහොත් ගොවියන්ගේ වෛද්‍යවරුන්ගේ සිට විද්‍යාඥයින් දක්වා වටිනා ජීවිත රටට අහිමිවන බවයි.

“ඌරෙකු ගත්තොත් වෙළෙඳපොළ තුළ වටිනාකමක් දෙන්න පුළුවන්. නමුත්, මනුෂ්‍යයාට එවැනි වටිනාකමක් දෙන්න බෑ. මේ වගේ තීරණාත්මක අවස්ථාවක පිරිවැය අඩුම මාර්ගය තමයි අනුගමනය කරන්න ඕන.

රට ටික කාලයකට වසා දැම්මත් මේ භාණ්ඩ හා සේවා තොගය අපිට සම්පූර්ණයෙන්ම අහිමි වෙන්නෙ නෑ. මියයන පුද්ගලයින් ගොවියෙක් වෙන්න පුළුවන්. විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. වෛද්‍යවරයෙකු වෙන්න පුළුවන්. දේශපාලනඥයෙකු වෙන්න පුළුවන්. විවිධ තරාතිරමේ සේවාවන් සමාජයට සපයන පුද්ගලයෙකු වෙන්න පුළුවන්. ඔවුන්ගේ අහිමිවන ජීවිත ප්‍රමාණයයි, රට යම් කාලයකට වසා දැමුවහොත් අහිමිවන බිලියන ප්‍රමාණයයි සංසන්දනය කළාම තරාදියේ ජීවිතවල තිබෙන වටිනාකම වැඩියි.” යනුවෙන් පවසා සිටියේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *