ඇමති අනු කමිටුව – අද (13) සිට ගුරු සංගම් මුණ ගැසේ – ගුරු විදුහල්පතිවරුන් දේශපාලන පක්ෂ හමුවට

ඇමති අනු කමිටුව – අද (13) සිට ගුරු සංගම් මුණ ගැසේ – ගුරු විදුහල්පතිවරුන් දේශපාලන පක්ෂ හමුවට

*********************************************

ඇමති අනු කමිටුව – අද (13) සිට ගුරු සංගම් මුණ ගැසේ – ගුරු විදුහල්පතිවරුන් දේශපාලන පක්ෂ හමුවට

(13.08.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හමුවට ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය අද (13) දිනයේදී කැඳවා තිබෙනවා.

ඒ පවතින තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.

මේ අතර තම ගැටලුව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (13) සිට ආරම්භ කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති ප්‍රකාශ කළා.

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ඊයේ (12) රැස්වූ අවස්ථාවේදී තීරණය කරනු ලැබුවේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද (13) සිට වෙන වෙනම මුණ ගැසී සාකච්ඡා කිරීමටයි.

ඒ අනුව අද (13) පළමු වරට ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය කැඳවා ඇති අතර එම සාකච්ඡාව පස්වරුවේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිවසේදී සිදු වනු ඇති.

මේ අතර ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කල වෘත්තීය ක්‍රියාමාර්ගය අද (13) ක්‍රියාත්මක වන්නේ 32 වන දිනටයි.

******************************************

(13.08.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

මිශ්‍ර මැතිවරණ ක්‍රමයක අවශ්‍යතාව සහ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර තිබෙනවා.

ඒ මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යූහයේ නීතිරීති වල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීම සහ අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදීයි.

ඊට අදාල යෝජනා ඔවුන් ලිඛිතව භාරදී ඇති අතර, නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය කරුණක් බවයි.

ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එකම දිනකදී පැවැත්වීමට ඇති හැකියාව මෙන්ම පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය එකම දිනක පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව විශේෂයෙන් සොයා බැලිය යුතු බව ද ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

පළාත් සභා බලය විමධ්‍යගත කිරීමේදී දිස්ත්‍රික් සභා ක්‍රමයක් හඳුන්වාදීමේ අවශ්‍යතාවය ද මෙහිදී නිදහස් පක්ෂය අවධාරණය කළා.

මැතිවරණ වලදී සෑම පක්ෂයකටම සාධාරණ ප්‍රචාරණ අවස්ථා පැවතිය යුතු බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, පොදුජන එක්සත් පෙරමුණ වෙනුවෙන් අදහස් පළ කළ අතර, මැතිවරණ ප්‍රචාරණ වියදම් අවම කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුකළා.

සියලු ජනකොටස් වල අයිතීන් ආරක්ෂා වන නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීමක් අවශ්‍ය බව ලංකා සමසමාජ පක්ෂය වෙනුවෙන් කාරක සභාවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට අවධානය යොමුකළ යුතු බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කාරක සභාව හමුවේ ප්‍රකාශ කළා ෴

******************************************

හෙට (14) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 9 ක් ජලය කැපේ

(13.08.2021 – 10:08 +0530 – hirunews.lk/sinhala)

හෙට (14) පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා පැය 9 ක කාලයක් කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ගයේ සිදුකරන ප්‍රතිසංස්කරණ කටයුත්තක් නිසා අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට එළි-හවුස් ජලාශය වෙත සපයනු ලබන ජලය අත්හිටුවීම හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බවයි ෴

******************************************

(13.08.2021 – 11:06 +0530 – hirunews.lk/sinhala)

කැළණි ගඟට කැලිකසල දමන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හංවැල්ල සිට පෑලියගොඩ දක්වා පාලම් කිහිපයකට සී.සී.ටී.වී කැමරා සවි කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට අමතරව, කැලිකසල ගඟට වැටීම වැළැක්වීමට පාලම් යටින් දැල් සවි කිරීමට ද අපේක්ෂිතයි.

බස්නාහිර පළාතේ ප්‍රධානම ගංගාවක් වන කැළණි ගඟ සංරක්ෂණයට සුරකිමු ගංගා වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මකයි.

මෙරට 103 කින් සමන්විත සමස්ත ගංගා පද්ධතියෙන් දූෂිතම ජලය සහිත ගංගාව ලෙස මේ වනවිට කැළණි ගංගාව හඳුනාගෙන තිබෙනවා ෴

@@@@@ කොවිඩ් පුවත් @@@@@

(13.08.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ කොරෝනා ව්‍යාප්තිය හමුවේ ආරක්ෂිතව සේවා කටයුතු කිරීමට දුම්රිය නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබා දී නොමැති බව පවසමින්.

මේ අතර රට තුල ක්‍රියාත්මක කොරෝනා මර්ධන රාජකාරී සඳහා තම නිලධාරීන්ව ද ඵලදායි ලෙස යොදා ගන්නා ලෙස මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.

එහි සභාපති පී.ජී.එන්.සී. සමරතුංග මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ දිවයින පුරා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් 500 ක් පමණ සේවයේ නිරත වන බවයි.

කෙසේ වෙතත්, ඔවුන්ගෙන් බහුතරයක් කොරෝනා මර්ධන රාජකාරී සඳහා යොදා ගෙන නොමැති බව ඔහු පෙන්වා දෙනවා ෴

++++++++++++++++++

(13.08.2021 – 08:35 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොලිසිය සහ කොළඹ මහ නගර සභාව විසින් පවත්වනු ලබන කොවිඩ්-19 එන්නත් කිරීමේ වැඩසටහන අදත් (13) පැවැත්වෙනවා.

මෙය උදෑසන 09:00 සිට පස්වරු 05:00 දක්වා මෝදර මිහිජය සෙවණේ ප්‍රජා මධ්‍යස්ථානයේදී සහ දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පිහිටුවන ලද නව මධ්‍යස්ථානයේදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

කොළඹ නගර සීමාවේ අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ට මෙම මධ්‍යස්ථාන වලදී එන්නත ලබා ගත හැකියි ෴

+++++++++++++++++++

(13.08.2021 – 09:21 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (12) දිනයේදී මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා 3,34,020 ක් ලබාදී තිබෙනවා.

එහිදි සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව 76,694 කට ලබාදී ඇති අතර එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 2,17,962 ක්.

ඊට අමතරව, කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව ඊයේ (12) දිනයේදී 31,041 කට ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව 955 දෙනෙකුට ලබාදී තිබෙනවා.

මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව 92,46,429 කට ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති මුළු සංඛ්‍යාව 31,16,114 ක්.

එමෙන්ම, මේ අතර, ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ශ්‍රි ලංකා පොලීසිය සහ කොළඹ මහනගර සභාව මගින් කොළඹ නගරයේ සහ අනෙකුත් දිස්ත්‍රික්කවල සංවිධාන කරන කොරෝනා එන්නත්කරණ වැඩසටහන් අදත් (13) ක්‍රියාත්මකයි ෴

+++++++++++++++++++

(13.08.2021 – 10:11 +0530 – hirunews.lk/sinhala)

දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිත ඇතැම් පුද්ගලයන් සඳහා ෆයිසර් හෝ මොඩර්නා කොරෝනා එන්නත් වලින් 3 වන මාත්‍රාවක් ලබා දීම යෝග්‍ය බවට ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ එන්නත් දෙක (2) සඳහා ලබාදී ඇති හදිසි භාවිත අනුමැතියේ යාවත්කාලීන කිරීමක් ලෙසයි එම අනුමැතිය ලබාදී ඇත්තේ.

විශේෂයෙන් අවයව බද්ධ කිරීම් සිදුකළ හෝ වෙනත් එවැනි ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපාන වෙනස්කම්වලට භාජනය වූ පුද්ගලයන්ට මෙය අදාළ වන බවයි ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය සඳහන් කළේ.

එමගින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ සී.ඩී.සී. හෙවත් ඇමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ ආයතනයේ උපදේශක කමිටුව මගින් තුන්වන (3) කොරෝනා එන්නත්කරණ මාත්‍රාවක් පිළිබඳ තීරණයකට සැරසෙද්දීයි.

කෙසේ නමුත්, වෛද්‍ය විද්‍යාඥයන් බහුතරයක් පෙන්වා දෙන්නේ තුන්වන (3) වර්ධක එන්නත් මාත්‍රාවක අවශ්‍යතාව දත්ත මගින් තහවුරු නොකරන බවයි.

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ කෙරුණු මෙම අනාවරණය ට්විටර් පණිවුඩයක් මගින් සටහන් කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ද දරන්නේ එවැනි මතයක්.

කෙසේ නමුත්, ඊශ්‍රායලය ඇතුළු රටවල් කිහිපයක් දැනටමත් තුන්වන (3) වර්ධක මාත්‍රාව ලබාදීම ආරම්භ කර තිබෙනවා ෴

++++++++++++++++++++

ජනවාරි වන විට කොවිඩ් මරණ 18,000 ක් – විශේෂඥ වාර්තාවකින් හෙළි වෙයි

(13.08.2021 – 10:31 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට රට තුළ කොවිඩ්-19 වෛරසය පැතිර යන වේගය අනුව එය පාලනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් සහ රජය සාධනීය පියවරක් නොගතහොත් තවත් මාස 5 ක් ඇතුළත මෙරට ජනතාව දහඅට දහසක් (18,000) මෙම වෛරසයට ගොදුරු වී මිය යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයය අනතුරු අඟවනවා.

ඔවුන් මෙම අනතුරු ඇඟවීම සිදු කරන්නේ මෙරට වෛද්‍ය විශේෂඥයින් තිස් දෙනකු (30) සමග එක්ව සිදුකළ සමීක්ෂණයකින් අනතුරුවයි.

මෙම සමීක්ෂණ වාර්තාව ඊයේ (12) දිනයේ සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදී තිබෙනවා.

මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මෙම වාර්තාවෙන් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර ඇති අතර ඉන් ප්‍රමුඛතම නිර්දේශය වන්නේ තදබල සංචරණ සීමා පැන්වීමයි.

පළාත් සංචරණ සීමා වෙනුවට දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැන්විය යුතු බවට මෙම වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා.

එමෙන්ම කෙටි කාලයක් සඳහා හෝ ඇඳිරිනීතිය පැනවීමත්, සියලුම මහජන ඒකරාශී වීම් සහමුලින්ම නවතා දැමීමත්, අවම තරමෙන් රට සති තුනක් (3) හෝ වසා දැමීමත්, සෞඛ්‍ය අමාත්‍යංශයට භාර කෙරුණු විශේෂඥ වාර්තා වේ ඇති නිර්දේශ අතර ප්‍රමුඛයි.

එමෙන්ම සෞඛ්‍ය අංශ සේවකයින්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමත්, මහජනතාව වඩාත් විධිමත් ක්‍රමවේදයන් හරහා දැනුවත් කිරීමත් සිදු කළ යුතු බව මෙම වාර්තාව පෙන්වා දෙනවා.

එමෙන්ම මෙම විශේෂඥයින් අවධාරණය කරන්නේ කොවිඩ්-19 වෛරසයට ගොදුරුව මිය යන පුද්ගලයින් පිළිබඳ නිවැරදි සංඛ්‍යා ලේඛන සමාජයට ඉදිරිපත් කළ යුතු බවයි.

ඒ හරහා මෙම රෝගයේ ඇති බරපතළකම පිළිබඳ සමාජයට හොඳින් ප්‍රේරණය කළ හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව මෙම විශේෂඥ වාර්තාව සැකසීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් වන පාලිත අභයකෝන්, නිහාල් අබේසිංහ, රජීව් ද සිල්වා, ලක්මාලී ප්‍රනාන්දු, පද්මා ගුණරත්න සහ ආනන්ද විජේවික්‍රම යන මහත්ම මහත්මීන් එක්වී තිබෙනවා.

මීට අමතරව මහාචාර්යවරුන් වන අසිත ද සිල්වා, රජීව් ද සිල්වා, සරෝජ් ජයසිංහ, ඉන්දික කරුණාතිලක, නීලිකා මලවිගේ, කාමිනී මෙන්ඩිස්, මලික් පීරිස් සහ මංජු විජේසිංහ යන සෞඛ්‍ය විශේෂඥයින් ද මෙම වාර්තාව සැකසීමට එක්වී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *