දෙසැම්බර් වන විට කොරෝනා මරණ 22,000 පනී – අලුත් අනතුරු ඇඟවීම එළියට

දෙසැම්බර් වන විට කොරෝනා මරණ 22,000 පනී – අලුත් අනතුරු ඇඟවීම එළියට

*********************************************

දෙසැම්බර් වන විට කොරෝනා මරණ 22,000 පනී – අලුත් අනතුරු ඇඟවීම එළියට

(12.08.2021 – 20:35 +0530 – hirunews.lk/sinhala)

දිනෙන් දින කොවිඩ් මරණ ඉහළ යාමත් සමඟ අපි අද (12) අවධානය යොමු කරන්නේ කොවිඩ්-19 පිළිබද පුරෝකථන ඉදිරිපත් කරන ලොව ප්‍රමුඛතම ආයතනයක් වන ‘වොෂිංටන් විශ්වවිද්‍යාලය’ට අනුබද්ධ ‘සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් පිළිබඳ ආයතනය’ හෙවත් IHME ආයතනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නවතම දත්ත පිළිබඳවයි.

මේවන විට දිනකට 100 ඉක්මවා කොවිඩ් මරණ වාර්තා වීමේ තත්ත්වය මීට වඩා බරපතළ වුවහොත් ඔක්තෝබර් මාසය වනවිට දිනකට මරණ 350 ක් සිදුවිය හැකි බවට ඔවුන් අනතුරු අඟවනවා.

මෙරට සමස්ත කොවිඩ් මරණ මේවන විට 5000 ඉක්මවා ඇති නමුත් IHME ආයතනය පුරෝකථනය කරන්නේ පවතින තත්ත්වය යටතේ තවත් මාස 4 කින් එනම් දෙසැම්බර් මාසය වනවිට සමස්ත කොවිඩ් මරණ ගණන 12,600 ඉක්මවා යන බවයි.

තත්ත්වය මීට වඩා බරපතළ වුවහොත් එම කාලය වනවිට සමස්ත මරණ 22,000 සීමාව ඉක්මවා යන බවටත් ඔවුන් අනතුරු අඟවනවා.

මේ අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙත්සිරි සෙවණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු පලා යාමට දැරූ උත්සාහයේදී රෝගී තත්ත්වය උත්සන්න වී පසුව මියගොස් තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයකු පැවසුවේ මෙම පුද්ගලයා අවසිහියෙන් ඔක්සිජන් හා සේලයින් සම්බන්ධතා ගලවා දැඩි සත්කාර ඒකකයේ වීදුරුවක්ද බිඳ පලාගොස් ඇති බවයි.

එහිදී ඇඳවැටුනු රෝගියා ජීවතක්ෂයට පත්ව ඇති අතර ඔහු 37 හැවිරිදි අනුරාධපුර පදිංචි එක්දරු පියෙක්.

එමෙන් ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආසාදිතයින් සම්බන්ධයෙන් වාර්තා කරන දත්ත හා ජාතික මට්ටමෙන් වාර්තා වෙන දත්ත අතර දැඩි පරස්පරතාවයක් පවතින ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ.

ආසාදිතයින්ගේ දත්ත සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවට හිරු ප්‍රවෘත්ති තුළින් පෙන්වා දුන් තත්ත්වයක් තුල ගම්පහ දිස්ත්‍රක්කයෙන් ගෙවුණු දිනයේ ආසාදිතයින් 35 ක් පමණක් වාර්තාකර තිබීම කැපී පෙනෙන කරුණක්.

අද (12) දිනයේදි කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 2,049 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ සමග සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 302,455 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

අධික තරබාරු පුද්ගලයින්ට කොවිඩ් අවදානම ඉහළ බව කොළඹ ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය ප්‍රකාශ කළා.

මේ අතර, කොළඹ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතු රුධිර සංචිත ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් පහත බැස ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබු හඳුනා නොගත් මළ සිරුරු 13 ක් අධිකරණයෙන් ලබාගත් නියෝග මත භූමදාන කටයුතු කිරීම සඳහා මඩකලපු ඔට්ටමාවඩි ප්‍රදේශයට අද (12) රැගෙන යනු ලැබුවා.

එසේම, කොරෝනා මෘත දේහ ආදාහනයේදී අදාළ පවුල්වලින් කිසිදු මුදලක් අය නොකළ යුතු බවට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සියලු පළාත් පාලන ආයතනවලට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ සූම් තාක්ෂණය ඔස්සේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමඟ අද (12) පැවති සාකච්ඡාවකදීයි.

අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ සියලු ආදාහනාගාර සඳහා අවශ්‍ය ගෑස් නොමිලේ ලබාදීමට රජය කටයුතු කරන අතර, එකී සැපයුම් කඩිනමින්ම ලබාදීමට පියවර ගන්නා බවයි.

මේ අතර, සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල ලබන සඳුදා (16) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ කාලය වෙන් කර ගැනීම වෙනුවෙන් හෙට (13) දිනයේ පමණක් සේවය ලබා දීම සිදු කරන බවයි.

එමෙන්ම, කොරෝනා ව්‍යාප්තිය හමුවේ අවශ්‍ය පහසුකම් නොමැති බවට පවසමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (12) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර, මීගමුව නගර සභාවේ ගිණුම් සහ ගොඩනැගිලි අංශවල කාර්ය මණ්ඩල සමාජිකයින් කිහිපදෙනෙකුට කොවිඩ් අසාදනය වී ඇති බැවින් මහ නගර සභාව අද (12) සිට ලබන සඳුදා (16) දක්වා වසා තැබෙන බව මීගමුව නගරාධිපතිවරයා සඳහන් කළා.

මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගය දෙපස අධික ලෙස ඉවතලන මුහුණු ආවරණ බැහැර කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව ද හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

දිනකට මුහුණු ආවරණ 1000 ත් 2000 ත් අතර ප්‍රමාණයක් මෙලෙස බැහැර කිරීම හේතුවෙන් කොවිඩ්-19 පැතිරයාමේ දැඩි අවධානමක් ඇති බවටයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

මේ අතර, අද (12) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 2420 ක් හඳුනා ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා සඳහන් කළේ කොරෝනා ආසාදනය වීමේදී හුස්ම ගැනීමේ අපහසුතාවය දැඩි ලෙස පවතින්නේ නම් රෝහල් ගතවීම අත්‍යාවශ්‍ය වන බවයි ෴

++++++++++++++++

(12.08.2021 – 20:02 +0530 – hirunews.lk/sinhala)

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආසාදිතයින් සම්බන්ධයෙන් වාර්තා කරන දත්ත හා ජාතික මට්ටමෙන් වාර්තා වෙන දත්ත අතර දැඩි පරස්පරතාවයක් පවතින ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඊයේ (11) දිනයේ සිදුවූ අද (12) දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කළ නව මරණ 156 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා අසාදිත මරණ සංඛ්‍යාව 5,620 ක් දක්වා ඉහල යනු ඇති ෴

තවත් කොරෝනා ආසාදිතයන් 619 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද (12) දිනට මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,039 ක්.

එසේම අද (12) වාර්තා වූ නව ආසාදිතයන් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 345,118 ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

මේ අතර මෙරට ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට වාර්තා වන්නේ 37,199 ක් ලෙසයි ෴

++++++++++++++++++++

(12.08.2021 – 22:04 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මරණ සංඛ්‍යාව 5400 ඉක්මවමින් බිහිසුණු ඛේදවාචකයකට රට පත්වීමේ සම්පූර්ණ වරද ආණ්ඩුව භාරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

++++++++++++++++++++

(13.08.2021 – 07:26 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (12) බස්නාහිර පළාතට ඇතුළු වීමට හෝ බස්නාහිර පළාතෙන් පිට වීමට උත්සාහ දැරූ පුද්ගලයින් 364 දෙනෙකු ආපසු හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ සමඟම බස්නාහිර පළාතට ඇතුළු වන හෝ පිටවන ස්ථාන වල ස්ථාපිත කර ඇතිමාර්ග බාධක වලදී ආපසු හරවා යැවුණු වාහන සංඛ්‍යාව 161 ක්.

මීට අමතරව පළාත් සංචරණ සීමා නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු (5) සහ ඔවුන් පැමිණි වාහන හතරක් (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද (13) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ඊයේ (12) දිනය වනවිට නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 54,100 ක් දක්වා ඉහළ ගියා.

මේ අතරට ඊයේ (12) දිනයේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් 64 දෙනකුද අයත් ෴

+++++++++++++++++++

(13.08.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (13) රාත්‍රියේ වීථි සංචාරය කරනවා.

මෙවර ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් පසුගිය 08 වනදා කප් සිටවූ අතර, කුඹල් පෙරහර මෙන්ම රන්දෝලි පෙරහර ද ජනතාවට නැරඹීමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ. ඒ පවතින කොරෝනා අවදානම හේතුවෙන්.

අද (13) ආරම්භ වන කුඹල් පෙරහර දින 5 ක් වීථි සංචාරය කරන අතර 18 වනදා ආරම්භ වන රන්දෝලි පෙරහර අගෝස්තු 22 වනදා දක්වා වීථි සංචාරය කිරීමට නියමිතයි.

23 වනදා පැවැත්වෙන දියකැපීමේ චාරිත්‍රයෙන් අනතුරුව දහවල් පෙරහරෙන් මෙවර පෙරහර මංගල්‍යය අවසන් වනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ පෙරහර සඳහා අලි ඇතුන් 100 ක් පමණ මෙන්ම, නර්තන ශිල්පීන් ඇතුළු කලා ශිල්පීන් 5600 දෙනෙකු පමණ මෙවර එක්වන බවයි.

පෙරහර මංගල්‍යයේ සූදානම පිලිබඳ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙලෙස අදහස් පළ කළා.

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(12.08.2021 – 19:56 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වැසි සහිත කාළගුණ තත්වය සමග මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම, මේ වනවිට ලක්ෂපාන, කැනියොන්, මාවුස්සාකැලේ, විමලසුරේන්ද්‍ර සහ පොල්ගොල්ල ජලාශවල ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් වාන්දොරටු ද විවෘත කර තිබෙනවා.

එමෙන්ම, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ගිණිගත්හේන නගරයට පස්කදු කඩා වැටීම හේතුවෙන් අද (12) පස්වරුවේ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා.

එමෙන්ම හැටන් ඔය පිටාර ගැලීම හේතුවෙන් වටවල ප්‍රදේශයේ පහත් බිම් වල පිහිටි නිවාස ජලයෙන් යටවී ඇති බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළා.

මේ අතර, අද (12) රාත්‍රියේදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.

******************************************

(13.08.2021 – 07:15 +0530 – hirunews.lk/sinhala)

අදත් (13) දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර , සබරගමුව, මධ්‍යම පළාත් වලත්, ගාල්ල ,මාතර දිස්ත්‍රිකක් වලත් වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එමෙන්ම, ඌව සහ නැගෙනහිර පළාත් වලට ද අද (13) පස්වරුවේ වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පුත්තලම සිට ගාල්ල හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ රළු වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

******************************************

(13.08.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (12) දින දිවයින පුරා සිදු වූ විවිධ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු (5) මියගොස් තවත් 26 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙම අනතුරු හේතුවෙන් වින්දිතයින් බවට ඇත්තේ පදිකයින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර ඊයේ (12) යාපනයේ මනිපායි ප්‍රදේශයේදි සිදුවු බස් රථ අනතුරක් හේතුවෙන් පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) තුවාල ලබා තිබෙනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකළ මනිපායි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ බස් රියදුරා රථය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් එය පාලනයෙන් ගිලිහී ගොස් අනතුරට පත්ව ඇති බවයි.

එමෙන්ම ඊයේ (12) දිනයේ දී පොල්ගහවෙල ප්‍රදේශයේ දී ටිපර් රථ තුනක් (3) එක පෙළට ගැටීම හේතුවෙන් භික්ෂුන් වහන්සේ නමක් අපවත් වී තිබෙනවා.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ ප්‍රදේශයේ වැසිබර කාළගුණයක් පැවත ඇති බවටයි වාර්තා වන්නේ.

මේ දිනවල පවත්නා අයහපත් කාලගුනය සහ රියදුරන් අධික වේගයෙන් රිය ධාවනය හේතුවෙන් මහමග අනතුරු කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනතුරු අඟවනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මහමගට බිළිවන ජීවිත ගලවා ගැනීමේ වගකීම ඇත්තේ රියැදුරන් සතු බැවින් පවතින අයහපත් කාලගුණ තත්වය පිළිබඳව සැලකිල්ලට ගෙන මහමග අනතුරු අඩු කර ගැනීමට කටයුතු කරන ලෙසයි ෴

******************************************

(13.08.2021 – 07:31 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (12) දිනයේ හික්කඩුව පොලීසියට ලද තොරතුරක් අනුව කළ වැටලීමකදී හික්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටින බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව ගංජා කිලෝග්‍රෑම් එකකට (1) අධික ප්‍රමාණයක්ද තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

හතළිස් තුන් (43) හැවිරිදි අදාළ පුද්ගලයා මෙරට නේවාසික පදිංචිකරුවකු බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන හික්කඩුව පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් අදාළ සැකකරු අද (13) දින ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් කාත්තන්කුඩිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා (2) සතුව කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ට වැඩි ප්‍රමාණයක් තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මීට අමතරව විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයට ලද තොරතුරු අනුව සිදුකළ වැටලීම් වල දී අක්කරේපත්තු සහ පෑලියගොඩ ප්‍රදේශවලදී කෘතිමව නිෂ්පාදනය කරන ලද මත් පෙති විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමටත් සමත් වී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *