අද (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩ වර්ජනයක් අරඹයි

අද (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩ වර්ජනයක් අරඹයි

*********************************************

අද (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩ වර්ජනයක් අරඹයි

(12.08.2021 – 17:03 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් අද (12) රාත්‍රියේ සිට සංකේතාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම සංගමය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ හෙට (13) දින දුම්රියන් ධාවනය නො වන බැවින් දුම්රිය භාවිත නො කරන ලෙසට යි.

ඔවුන් මෙලෙස සංකේතාත්මක වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමක මහත්වරුන් හා කණිෂ්ඨ කාර්‍යමණ්ඩලයේ කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නො කිරීමට එරෙහිව යි.

ඒ අනුව ඔවුන් පවසන්නේ දුම්රිය මඟීන් හා ප්‍රවාහන උප දෙපාර්තමේන්තුව සෘජුව ම සම්බන්ධ වන බැවින්, ඔවුන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි.

ආසාදිතයින් වාර්තා වූ ඇතැම් දුම්රිය ස්ථානවල ආසාදිත සේවකයා ඉවත් කර ඉතිරි ආශ්‍රිත සේවකයින් යොදාගෙන සේවය පවත්වාගෙන යාමට ද ඇතැම් අවස්ථාවල දී උපදෙස් ලැබී ඇති බවයි එම සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

මේ වන විටත් ආසාදිතයින් 93 ක් වාර්තා වී ඇතත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම විනා අදාළ තොරතුරු පවා දෙපාර්තමේන්තුව සතු ව නො මැති බවටද එම සංගමය චෝදනා කර සිටිනවා.

‘නිවෙස් නිරෝධායනය’ රජයෙන් අනුමත කර ඇති තත්ත්වයක් යටතේ ඌණ උපයෝජිත සම්පත් උපයෝජනය කරගනිමින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවන ලෙස ඉල්ලා සිටියත් ඒ සඳහා කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නො මැති බව යි ඔවුන් පවසන්නේ.

මේ අතර දෙපාර්තමේන්තුව සතු ව ඇති දුම්රිය විවේක කාමර සහ නිවාඩු නිකේතනවල එක් වරකට රෝගීන් 200 කට පමණ පහසුවෙන් නවාතැන් ලබාදිය හැකි බව ද එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මේ හරහා අවසානයේ සිදුවන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන් හා එහි කාර්‍යමණ්ඩලය ආසාදනය වීමත් එහි අවසාන ප්‍රතිඵලය ලෙස මඟීන් කොරෝනා බෙදාහරින රෝග වාහකයින් බවටත් පත්වීමයි ෴

++++++++++++++++++

(12.08.2021 – 14:55 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මෘත දේහ ආදාහනයේදී අදාළ පවුල්වලින් කිසිදු මුදලක් අය නොකළ යුතු බවට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සියලු පළාත් පාලන ආයතනවලට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ සූම් තාක්ෂණය ඔස්සේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමඟ අද (12) පැවති සාකච්ඡාවකදීයි.

අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ සියලු ආදාහනාගාර සඳහා අවශ්‍ය ගෑස් නොමිලේ ලබාදීමට රජය කටයුතු කරන අතර, එකී සැපයුම් කඩිනමින්ම ලබාදීමට පියවර ගන්නා බවයි ෴

තවත් කොරෝනා ආසාදිතයන් 2049 ක් සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 302,455 දක්වා ඉහළ යනවා ෴

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 2420 ක් අද (12) දිනයේ වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව සංඛ්‍යාව දැක්වෙන්නේ 344,499 ක් ලෙසයි ෴

++++++++++++++++++

(12.08.2021 – 16:33 +0530 – hirunews.lk/sinhala)

බේරුවල නගර සභාවේ සියලු සේවකයන් අද (12) උදෑසන සිට කසළ ඉවත් කිරීමේ කටයුතුවලින් ඉවත්ව විරෝධතාවක නිරත වුණා.

ඒ මූලික සෞඛ්‍ය පහසුකම් ලබා නො දෙන බවට චෝදනා කරමින්.

තමන් කොරෝනා අවදානමට දැඩි ලෙස මුහුණ දී සිටිය ද අවශ්‍ය මූලික සෞඛ්‍ය පහසුකම් ලබාදීමට සභා ලේකම්වරිය කටයුතු නො කරන බවට පවසා ඔවුන් නගර සභාව ඉදිරිපිට දී විරෝධතාවයේ නියැලුණා ෴

++++++++++++++++++

(12.08.2021 – 18:41 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් පරීක්ෂණ සඳහා උපරිම මිලක් නියම කරමින් මිල නියාමන ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන ආයතන හරහා සිදුකෙරෙන PCR පරීක්ෂණය සඳහා නියම කර ඇති උපරිම මිල රුපියල් 6,500 ක් වන අතර රැපිඩ් අන්ටිජන් පරීක්ෂාව සඳහා නියම කර ඇති උපරිම මිල රුපියල් 2000ක්.

මෙම ගැසට් නිවේදනය උල්ලංඝනය කරන අවස්තාවන්හිදී මහජනතාවට ඒ සම්බන්ධයෙන් 1977 දුරකථන අංකය ඔස්සේ පැමිණිලි කළ හැකි බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එම ගැසට් නිවේදනය පහතින් :

++++++++++++++++

(12.08.2021 – 19:28 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් රෝගය තවත් වසර කිහිපයකින් බොහෝ දුරට ළමා රෝගයක් බවට පත්විය හැකි බව වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ඇමෙරිකානු සහ නෝර්වීජියානු විශේෂඥ කණ්ඩායම් සිදුකළ එම අධ්‍යයනයේ ප්‍රතිඵල ජර්නල් සයන්ස් ඇඩ්වාන්සස් වෛද්‍ය විද්‍යා සඟරාවේ ප්‍රකාශයට පත් කෙරුණා.

එහි දැක්වෙන්නේ එන්නත්කරණය හෝ වෛරසයට නිරාවරණය වීම මගින් වැඩිහිටි ජනගහනය කොරෝනා වෛරසයට ප්‍රතිරෝධයක් දක්වනු ඇති බවයි.

මේ නිසා එය එන්නත් නොකළ වෛරසයට නිරාවරණය වූ ළමා ජනගහනය වෙත හුවමාරු විය හැකියි.

කෙසේ නමුත්, කොරෝනා වෛරසයේ දරුණු බලපෑම වයස සමග ඉහළ යන නිසා ඉදිරියේදී එය ළමයින් වැළදෙන සාමාන්‍යය ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්ත්වයක් විය හැකි බවයි මෙම අධ්‍යයනයෙන් අනාවරණ කර ඇත්තේ.

එමගින් වැඩිදුරටත් සඳහන් කළේ 1890 වකවානුවේ පැවති ආසියාතික හෝ රුසියානු ඉන්ෆ්ලුවෙන්සා වසංගතය වර්තමානයේ වසරක් දක්වා ළදරුවන්ට වැළදෙන ප්‍රතිශ්‍යා වෛරසයක් බවට පරිණාමය වී ඇති බවයි.

කෙසේ නමුත්, වර්තමාන වැඩිහිටි ජනගහනය තුල කොරෝනා වෛරසය පවතින තාක් එහි දරුණු බලපෑම එම කාණ්ඩයට තවදුරටත් පවතින බවටයි වෛද්‍ය විශේෂඥ කණ්ඩායම අනතුරු අඟවන්නේ ෴

+++++++++++++++++

(12.08.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala)

දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අගෝස්තු මස 16 වනදා සිට සැප්තැම්බර් මස 15 වනදා දක්වා අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම කාලසීමාව තුළ කල් ඉකුත් වන බලපත්‍ර සඳහා ඔක්තෝම්බර් මස 15 වනදා දක්වා දඩ මුදල් අයකිරීමක් සිදු නොවන බවයි දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(12.08.2021 – 14:41 +0530 – hirunews.lk/sinhala)

මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අදාළව නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ, ගඟ ඉහළ කෝරලේ, දොලුව, දෙල්තොට, උඩුපලාත සහ උඩුනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් මෙලෙස නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි.

මේ වනවිට ලක්ෂපාන, කැනියොන්, මාවුස්සාකැලේ, විමලසුරේන්ද්‍ර සහ පොල්ගොල්ල ජලාශවල වාන්දොරටු විවෘත කර ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා ෴

******************************************

(12.08.2021 – 15:42 +0530 – hirunews.lk/sinhala)

නව ගෑස් සමාගමක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ පාලිත සමාගමක් ලෙස මෙම ගෑස් සමාගම ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

දැනට මෙරට එල්.පී. ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 5 ක පමණ ප්‍රමාණයක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිෂ්පාදනය කරන අතර එම නිෂ්පාදන ලිට්රෝ සහ ලාෆ් සමාගම් වෙත සමානව බෙදා හරිනු ලබනවා.

ඒ අනුව, ඉදිරියේදී ලාෆ් සහ ලිට්රෝ සමාගම් දෙකට (2) අමතරව, මෙම නව සමාගම තරගකාරි මිල ගණන් යටතේ වෙළඳපොලට ගෑස් සපයන බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ.

මේ අතර, ගෑස් මිල ඉහළ නැංවීමට ලාෆ් සමාගමට රජය අද (12) අවසර ලබාදුන්නා.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ යනු ඇති. දැනට රුපියල් 1493 ක් වන කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1856 ක්.

එමෙන්ම, කිලෝග්‍රෑම් 5 ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අද (12) සිට රුපියල් 145 කින් ඉහළ නැංවෙනවා.

ඒ අනුව, දැනට රුපියල් 598 කට අලෙවි වන කිලෝ ග්‍රෑම් 5 ලාෆ්ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 743 ක්.

කෙසේ වෙතත්, රජය සතු ලිට්රෝ සමාගම පෙර පැවති මිල ගණන් යටතේම තවදුරටත් ගෑස් අලෙවි කිරීමටයි තීරණය කර ඇත්තේ ෴

******************************************

(12.08.2021 – 00:00 +0530 – hirunews.lk/sinhala)

ගිනිගත්හේන නගර ආසන්නයේ දී හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

ගිනිගත්හේන නගර මධ්‍යයේ නවතා තිබූ කුඩා ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් මතට මෙලෙස පස් කන්ද කඩා වැටී ඇති බවට යි වාර්තා වන්නේ.

මේ අතර ගිනිගත්හේන – නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක දී ම ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටී ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

එසේ ම හැටන් ඔය පිටාර ගැලීමෙන් වටවල ප්‍රදේශයේ පහත් බිම් ආශ්‍රිත ප්‍රදේශවල පිහිටි නිවාස රැසක් ම මේ වනවිට ජලයෙන් යට වී ඇති බවට වටවල පොලිසිය පවසනවා.

+ [ සේයාරූ ]

******************************************

(12.08.2021 – 17:34 +0530 – hirunews.lk/sinhala)

පැළවත්ත ප්‍රදේශයේ ඉන්ධන හලක් අසල දී කිසියම් පුද්ගලයෙකු විසින් මාධ්‍යවේදියෙකුට අමානුෂික පහරදීමක් සිදුකර තිබෙනවා.

අදාළ මාධ්‍යවේදියා විසින් රට තුළ පවතින ගෑස් අර්බුදය හේතුවෙන් ජනතාව ගෑස් මිල දී ගැනිමට විකුණුම් ස්ථානවල දිගු පෝලිම්වල සිටින අයුරු රූගත කරමින් සිටියදි යි මෙම පහරදීම සිදුකර ඇත්තේ.

පසුපසින් පැමිණි අයෙකු මෙලෙස පහරදීම සිදුකර ඇති බවට යි මේ වනවිට තොරතුරු වාර්තා වී ඇත්තේ.

පහර කෑමට ලක්වීමෙන් තුවාල ලැබූ මාධ්‍යවේදියා සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට තලංගම පොලිසිය විසින් මේ වනවිට කණ්ඩායමක් යොදවා ඇති බවට යි වාර්තා වන්නේ.

******************************************

(12.08.2021 – 19:00 +0530 – hirunews.lk/sinhala)

අද (12) දිනය පුරා ඇදහැළුණු ධාරානාපාත වර්ෂාව හේතුවෙන් දැරණියගල ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

එම ප්‍රදේශයේ ගංගාවල ජල මට්ටම ඉහලගියේ මෙලෙසින් :

******************************************

(12.08.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු (1) කුඹල් පෙරහර හෙට (13) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

පෙරහර මංගල්‍යයට සහභාගි වීම සඳහා නැදුන්ගමුවේ හස්ති රාජයා ද අද (12) පස්වරුවේ ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයට ළඟා වූවා.

මෙවර ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් පසුගිය 08 වනදා කප් සිටවූ අතර, හෙටින් (13) ඇරඹෙන කුඹල් පෙරහර මෙන්ම රන්දෝලි පෙරහර ද මෙවර ජනතාවට නැරඹීමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

ඒ පවතින කොරෝනා අවදානම හේතුවෙන්.

අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 22 වනදා වීථි සංචාරය කරනවා.

මේ අතර, සෙංකඩගල පුරවරයට ඊයේ (11) පිවිසුනු අවස්ථාවේ කඩුගන්නාව බිංගෙය අසලදී නැදුන්ගමුවේ රාජා හස්තියා පිළිගැණුනේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඡායනා මධ්‍යයේයි.

වසර ගණනාවක් පුරා දළඳා කරඬුව වැඩමවීමේ භාග්‍ය ලද නැඳුම්ගමුවේ රාජා මෙරට ජනතාවගේ වැදුම් පිදුම්වලට ලක්වන පිංවන්තයෙක්.

පාගමනින්ම මහනුවරට පැමිණෙන නැදුන්ගමුවේ රාජාට ආරක්ෂාව ලබාදීමට ද කටයුතු කෙරුණේ වසර කිහිපයකට පෙර හිරු ප්‍රවෘත්ති තුලින් ඒ පිළිබඳ අනාවරණ කිරිමත් සමඟයි.

නැඳුන්ගමුවේ රාජා ගේ වටිනාකම සහ තවත් තොරතුරු කිහිපයක් පිළිබඳව අප හීලෑ අලිඇතුන් පිළිබඳ පර්යේෂකයෙකු මෙන්ම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සමග සංවාදයක නිරත වුණා.

ලෝක අලි සුරක්ෂිතතා දිනය ද අදට (12) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව ‘අරුම පුදුම සතුන්ගේ ආරක්ෂාව සහ සංරක්ෂණය සොයා දැනගන්න හොදම කාලයයි’ යන්නයි. නැදුන්ගමුවේ රාජා වෙනුවෙන් සියලුදෙනාගේ සිත්හි පවතින ගෞරවය සහ කරුණාව සියලු අලි ඇතුන් වෙනුවෙන් දැක්විය හැකිනම් එය වඩාත් කාලෝචිත වනවා නොඅනුමානයි.

******************************************

(12.08.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

ගුරු විදුහල්පති වෘත්තීය සමිති හෙට (13) සිට වෙන වෙනම මුණ ගැසී සාකච්ඡා කිරීමට විදුහල්පති හා ගුරු සේවා වැටුප් විෂමතාව විසඳීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව තීරණය කර තිබෙනවා.

මේ අතර, ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා ගුරු විදුහල්පති ඇතුලු තවත් වෘත්තීය සමිති කිහිපයක් අද (12) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සත්‍යග්‍රහයක නිරත වුණා.

මේ අතර, ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අද (12) පෙරවරුවේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිවසේදී පළමු වරට රැස්වුණා.

ඒ සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති පියවර පිළිබද තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා ගත් බව එම කමිටුව නිකුත් කළ නිවේදනයක සඳහන්.

අමාත්‍ය මණ්ඩල තීරණයට අනුකූළව හැකිතාක් කඩිනමින් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර, තමන්ට බලහත්කාරයෙන් කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට පොලිස් නිලධාරින් බලපෑම් සිදුකළ බවට, පසුගිය දිනවල පැවති විරෝධතා සඳහා එක්වූ ජාතික ගුරු සභාවේ ලේකම් නාලක ජයතිලක චෝදනා කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *