කොළඹ මහනගර සභාවෙන් විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහනක්

කොළඹ මහනගර සභාවෙන් විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහනක්

*********************************************

කොළඹ මහනගර සභාවෙන් විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහනක්

(11.08.2021 – 22:11 +0530 – hirunews.lk/sinhala)

විශේෂ අවශ්‍යතා සහිත සහ වයෝවෘද්ධ පිරිස් මෙන්ම එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත ගමන්කළ නොහැකි පුද්ගලයන් සඳහන් එන්නත්කරණයට කොළඹ මහනගර සභාව විසින් විශේෂ ජංගම එන්නත්කරන සේවාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවල එවැනි පුද්ගලයන්ට අදාළ එන්නකරන වැඩසටහනට සම්බන්ධ වීමට ලියාපදිංචි විය හැකියි.

ඒ සඳහා එන්නත ලබාගත යුතු පුද්ගලයාගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය සහ අයදුම් කරන හේතුව කෙටියෙන් ඇතුලත් කර mobilevaccination@colombo.mc.gov.lk යන විද්‍යුත් තැපෑල වෙත යොමුකර යුතු වනවා.

වැඩිදුර තොරතුරු සඳහා පහත වෙබ් පිටුව වෙත පිවිසෙන්න.

( https://www.colombo.mc.gov.lk/ )

++++++++++++++++++++

(12.08.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද (12) සිට ආරම්භ කිරීමට නියමිත ව තිබෙනවා.

බස්නාහිර පළාත තුළ මෙතෙක් එන්නත් ලබාගෙන නො මැති වයෝවෘධ පුද්ගලයින් සහ විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා මෙය ක්‍රියාත්මක කරන බව ශ්‍රි ලංකා යුද හමුදාව සඳහන් කළා.

ඒ අනුව මෙම ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළ අද ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ දී ආරම්භ වීමට නියමිත යි.

යුද හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කණ්ඩායම් ඇතුළු ව විශේෂ ජංගම රථ 10 ක් මේ සඳහා සූදානම් කර තිබෙනවා.

මෙම ජංගම එන්නත්කරණය සිදු කර ගැනීමට අවශ්‍ය මහජනතාව 011 286 0002 හෝ 1906 යන දුරකතන අංක අමතා ලියාපදිංචි වීමෙන් එන්නත්කරණය සිදු කර ගැනීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළා.

එමෙන්ම යුද හමුදාව විසින් කොළඹ, යාපනය, ගම්පහ, බදුල්ල, කිළිනොච්චිය, අනුරාධපුර සහ මුලතිව් දිස්ත්‍රික්කවල එන්නත්කරණ මධ්‍යස්ථාන කිහිපයක් පවත්වාගෙන යෑමට නියමිත යි.

මේ අතර වයස අවුරුදු 18 ට අඩු ළමුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් විද්‍යානුකුල පර්යේෂණ සිදු කර නිර්දේශ ලබාදෙන ලෙස විශේෂඥයින් වෙත උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර තිබෙනවා ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(11.08.2021 – 20:16 +0530 – hirunews.lk/sinhala)

කිරිපිටි ආනයනය නොකළ ද දේශීය වශයෙන් අවශ්‍යතාව සපුරාලිය හැකි බව දේශීය කිරිපිටි නිෂ්පාදකයන් පවසනවා.

කෙසේ වෙතත්, පාරිභෝගිකයන් පවසන්නේ තවමත් වෙළඳපොල තුල කිරිපිටි හිඟයක් පවතින බවයි.

ආනයනික කිරිපිටි මත පනවා ඇති බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කළා.

ඒ කිරිපිටි මිල ඉහළ නංවන ලෙස ඉල්ලමින් සිය ආනයන සීමා කිරීමට කිරිපිට සමාගම් කටයුතු කර තිබූ පසුබිමකදීයි.

මෙලෙස බදු ඉවත් කිරීමෙන් පසු කිරිපිටි ආනයනය කිරීමට ඇති හැකියාව පිලිබඳව අප ආනයන සමාගම්වලින් විමසා සිටියා.

එහිදී එම සමාගම් සඳහන් කළේ බදු අඩු කිරීමෙන් ලැබෙනුයේ රුපියල් 70 ක පමණ වාසියක් බවයි.

තවත් රුපියල් 200 ක පමණ පාඩුවක් බදු අඩු කිරීම හමුවේ වුව ද සිදුවන බව එම සමාගම්වල මතයයි.

ඒ අනුව, ආනයනික කිරිපිටි කිලෝවක් සඳහා රුපියල් 200 ක මිල වැඩිවීමක් අවම වශයෙන් අත්‍යාවශ්‍ය බව කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුවේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, දේශීය කිරිපිටි නිෂ්පාදකයන් පවසන්නේ වෙළඳපොල තුල කිරිපිටි හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවයි.

මේ අතර, රට තුල පවතින ගෑස් හිඟයට කඩිනමින් විසඳුම් ලබාදෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා.

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේ ගෑස් හිඟයට පිලියමක් ලෙස සිලින්ඩර් ලක්ෂයක් කඩිනමින් වෙළඳපොලට නිකුත් කරන බවයි.

******************************************

(11.08.2021 – 21:39 +0530 – hirunews.lk/sinhala)

කාබනික කොම්පෝස්ට් පොහොර ආනයනය කිරීමට කිසිසේත් අවසර ලබා නොදුන් බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ප්‍රසම්පාදන ක්‍රම අනුගමනය කරමින් කාබනික පොහොර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

******************************************

(11.08.2021 – 21:42 +0530 – hirunews.lk/sinhala)

මහඔය මුන්දේනීආරු ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සිදුකළ වැලි ජාවාරමක් පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු අනාවරණ කර ගත්තා.

ඒ අනුව ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් සමඟින් අදාළ ස්ථානය වැටලීමටයි කටයුතු කළේ.

එහිදී වැලි කැනීම සඳහා නිකුත් කරන බලපත්‍රවල සටහන් මකා දමමින් දිගු කාලයක සිට මෙම ජාවාරම මෙහෙයවා ඇති බව අනාවරණ වුණා.

******************************************

පිටරට සමාගම් වලට බදු සහන දීමෙන් මේ ආණ්ඩුවටත් ආර්ථිකය සම්බන්ධයෙන් ගැඹුරු දැක්මක් නැති බව පැහැදිලියි – ජාතික සංවිධාන එකමුතුව

(11.08.2021 – 17:40 +0530 – lankaleadnews.com)

අභිනව මුදල් ඇමතිවරයා විසින් කිරි පිටි ආනයනය සඳහා බදු සහන ලබා දීම පිළිබඳව ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය ‘ජාතික සංවිධාන එකමුතුවේ’ මතය විමසන ලදී. එහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බංඩාර මහතා :

“මේක මුදල් අමාත්‍යාංශය සහ කිරිපිටි ආනයනික සමාගම් පූර්ණ අවබෝධයෙන් යුතුව සෙල්ලම් කරන ක්‍රීඩාවක්. සමාගම් මිල වැඩි කිරීමක් ඉල්ලමින් කිරි පිටි ආනයනය නවත්වන බවට තර්ජනය කරනවා. ඊට සමාන්තරව ආණ්ඩුව පාර්ශවයෙන් පොරොන්දුවක් දෙනවා මිල වැඩි කරන්න එපා බදු සහනය දෙන්නම් කියලා. ඒ අනුව කිරිපිටි ආනයනය කරණ සමාගම් මේ වන විට ආනයනය කර ඇති කිරි පිටි කිලෝ ග්‍රෑම් ලක්ෂ පනහක් (50) පමණ වන ප්‍රමාණය වරායෙන් නිදහස් කර නොගෙන තබා ගන්නවා බදු සහනය ලබා දෙන තෙක්. මේ බදු සහනය සුළු පටු ගනණක් නොවෙයි. ආසන්න වශයෙන් රුපියල් කෝටි දාහක් (1000) වත් විය යුතුයි. ඒ අනුව මෙම විශාල මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් මෙම බදු සහනය ලබා දුන් අයට ලැබෙනවා කියන කාරණය අත දරුවෙකුට වුනත් තේරෙනවා.

ආනයනික කිරිපිටි වලට බදු සහනය දෙනවා නම් එසේ ලබා දෙන බදු සහනය කොපමණද? ඉන් ආණ්ඩුවට සිදුවන පාඩුව කොපමණද ? ඒ මගින් මහජනයාට ලැබෙන සහනය කොපමණද? කියන කාරණා එලිදරව් කළ යුතුයි. එහෙම නොකියන්නේ මේ බදු සහනය ලබා දීමේ අරමුණ කොමිස් ලබා ගැනීම වන නිසාමයි.

ආනයනික කිරි පිටි වලට බදු සහන දෙන ගමන් දේශීය කිරි ගොවියාට කිරි ලීටරයකට ගෙවන මිල වැඩිකරන්න බැහැ. එහෙම දේශීය කිරි ගොවියාට කිරි ලීටරයකට ගෙවන මිල වැඩි නොකළොත් දේශීය කිරි ආර්ථිකය වැටෙනවා. ගොවියා දිරිමත් වන්නේ නැහැ. මේ වගේ මෝඩ ක්‍රියා මාර්ග ගැනීමෙන්ම තේරෙනවා මේ ආණ්ඩුවට රට මුහුණ දෙන ආර්ථික අර්බූදයෙන් රට ගොඩ ගැනීමට නොහැකි බව.” යනුවෙන් පවසා සිටියේය ෴

******************************************

(12.08.2021 – 07:16 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිත පුද්ගලයින් සමඟ සෘජු සබඳතා පැවැත්වීම හේතුවෙන් යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැල් දෙකක් (2), දින 14 ක් සඳහා වසා තැබීමට යාපනය පේදුරුතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් නියෝග ලබා දී තිබෙනවා.

මත්පැන් ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) වෙත කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති අතර, අදාළ ආසාදිතයින් මත්පැන් අලෙවිසැල්වල සේවකයින් සමඟ සෘජු සබදතා පවත්වා ඇති බවටත් අනාවරණය වි ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ, අදාළ මත්පැන් ශාලා දෙක දින 14 ක් මුද්‍රා තැබීමට පියවර ගෙන ඇති බව හා ආසාදිතයින් සමඟ සෘජු සබඳතා පැවැත්වූවන් නිරෝධායනයට යොමුකොට ඇති බවයි.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මත්පැන් ශාලා හරහා කොවිඩ් ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් උද්ගත ව ඇති බවට ද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසනවා ෴

******************************************

(12.08.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ මුදලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

අදාළ දැරිය අන්තර්ජාලය හරහා අලෙවි කිරීමට යොදාගත් වෙබ් අඩවි 04 ක් ක්‍රියාත්මක වීම වළකාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නියෝගයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ වෙබ් අඩවි තහනම් කරන ලෙසට ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය ලබා දුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(12.08.2021 – 08:43 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – ඇල්ලෙගෙදර ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ තම දියණිය අතුරුදන් ව ඇති බවට ඇගේ මව්පියන් විසින් කළ පැමිණිල්ලකට අනුව එම විමර්ශන ආරම්භ කල බවයි.

අදාළ දැරිය පසුගිය 02 වනදා ලිපියක් ලියා නිවසින් පිටත් ව ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

තමාට පෙම්වතුන් සිටින බවට විවිධ පුද්ගලයන් ප්‍රකාශ කළ ද තමාට එවැනි සබඳතාවයක් නොමැති බවත්, විවිධ පුද්ගලයන් පවසන එම ප්‍රකාශ තුළින් තමා කළකිරීමට පත් ව ඇති බවත් එම ලිපියේ සඳහන්.

එමෙන්ම ඇය ව සම්බන්ධ කර ගන්නා ලෙස දුරකතන අංකයක් ද අදාළ දැරිය විසින් එම ලිපියේ සටහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, නිවසින් පිටත් ව ගිය දැරිය ඉන් පසු වෙනත් දුරකතන අංකයක් ඔස්සේ අමතා තමා ව බේරාගන්නා ලෙස ඇයගේ මව්පියන්ට දැනුම් දී ඇති අතර, කෙසේ වෙතත් එම සියලු දුරකතන අංක මේ වන විට ක්‍රියා විරහිත බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව, දැරිය ලිපියේ සටහන් කළ අංකයේ සහ ඇය පසු ව ඇමතුම ලබා දුන් අංකයේ දුරකතන සංඥා වාර්තා ලබා ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව පොලීසිය ප්‍රකාශ කළා.

අදාළ දැරියගේ පෙර පෙම්වතා බවට ප්‍රකාශ කෙරුණු කුරුවිට ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගෙන් ද සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඒ අනුව අදාළ සිසුවියගේ අතුරුදන් වීමට එම තරුණයාගේ සම්බන්ධයක් නො මැති බවට තහවුරු වී ඇති බවයි.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ රත්නපුර – ඇල්ලෙගෙදර ප්‍රදේශයේ පදිංචි, රත්නපුර බටුහේන විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් ෴

******************************************

(12.08.2021 – 08:51 +0530 – hirunews.lk/sinhala)

ලෝක අලි සුරක්ෂිතතා දිනය අදට (12) යෙදී තිබෙනවා.

2011 වසරේ සිට සෑම වසරක ම අගෝස්තු මස 12 වනදා ලෝක අලි සුරක්ෂිතතා දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබූවේ කැනේඩියානු ජාතික ප්‍රිටිසියා සිටි මයිකල් ක්ලාක් සහ සිවපෝන් ධර්දරානන්දගේ ප්‍රධානත්වයෙන් යුත් අලි නැවත සිහිකිරීමේ පදනම මඟින්.

මෙවර ලෝක අලි සුරක්ෂිතතා දිනයේ තේමාව ‘අරුම පුදුම සතුන්ගේ ආරක්ෂාව සහ සංරක්ෂණය සොයා දැනගන්න හොඳ ම කාලයයි’ යන්නයි.

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ අලි ඇතුන් 5879 ක් වෙසෙන අතර වනජීවි දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂන වාර්තා අනුව වසරේ මේ දක්වා කාලය තුළ මිනිස් ක්‍රියාකාරකම් සහ ස්භාවික සිදුවීම් තුළින් මිය ගොස් ඇති අලි ඇතුන් සංඛ්‍යාව 219 ක්.

අලි ඇතුන් ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න මහතා හිරු ප්‍රවෘත්තී අංශයට මෙලෙස අදහස් පළ කළා.

මේ අතර මෙරට සංචාරක ආකර්ශණය දිනා ගත් පේරාදෙණි උද්භිද උද්‍යානයේ 200 වන වර්ෂ පූර්ණය ඊයේ (11) දිනට යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් වූ සැමරුම් වැඩසටහනක් පැවැත්වුණේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්.

පේරාදෙණි උද්භිද උද්‍යානය කේන්ද්‍ර කර ගනිමින් නව සංවර්ධන ව්‍යාපෘතීන් කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශෙරෝමී ක්‍රිෂ්ණරාජා මහත්මිය ප්‍රකාශ කළා.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට අයත් භූමියක් බ්‍රිතාන්‍යන් යටතට පත්වීමෙන් පසු ඇලෙක්සැන්ඩර් බෲම් නැමැති උද්භිත විද්‍යාඥයා විසින් බ්‍රිතානයේ සිට ගෙන්වන ලද ශාක විශේෂ ගණනාවක් එහි සිටුවීමත් සමග පේරාදෙණි උද්භිත උද්‍යානයේ ආරම්භය සිදුවුනේ 1821 වසරේදී යි.

එතැන් සිට මේ දක්වා පේරාදෙණි උද්භිද උද්‍යානය තුළ ඒක දේශීය ශාක වර්ග ද ඇතුළු ව ශාක විශේෂ 5,000 ක් පමණ දැක ගත හැකීයී.

සාමාන්‍ය කාල වල දී සංචාරකයන්ගේ පැමිණීම සමඟ වාර්ෂික ව රුපියල් මිලියන 800 ක පමණ ආදායමක් ලබන පේරාදෙණි උද්භිද උද්‍යානය තුළින් මෙරට ආර්ථිකයට ලබා දෙන දායකත්වය අතිශය වැදගත්.

මේ පේරාදෙණි උද්භිද උද්‍යානයේ වත්මන් තත්ත්වය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ ව හිරු ප්‍රවෘත්තී අංශයට වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශෙරෝමී ක්‍රිෂ්ණ රාජා මහත්මිය :

විඩියෝව ?

******************************************

(12.08.2021 – 08:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ පළමු නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් එඩ්වඩ් ඇපල්ටන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ඊයේ (11) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී මෙම හමුව සිදු වූ බවයි.

දෙරට අතර සහයෝගිතාව ඉදිරියටත් වර්ධනය කිරීමට ඇති කැමැත්ත අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර සිටි මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනයට තාක්ෂණික දැනුම ලබා දීමට ද කැමැත්ත පළ කර තිබෙනවා.

මිත්‍රශීලී රටක් ලෙස නවසීලන්ත රජය සමඟ ඉදිරියේදීත් සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය කැප වෙන බවට යි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහකොමසාරිස් වරයාට දැනුම් දී ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *