අන්තර් පළාත් බස් රථ ධාවනය සීමා කෙරේ

අන්තර් පළාත් බස් රථ ධාවනය සීමා කෙරේ

*********************************************

අන්තර් පළාත් බස් රථ ධාවනය සීමා කෙරේ

(11.08.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

පළාත් සංචරණ සීමා යලි සක්‍රිය කිරීමත් සමඟ පොදු ප්‍රවාහන කටයුතු සීමා කර තිබෙනවා.

ඒ අනුව, පෞද්ගලික බස්රථ අන්තර් පළාත් ධාවනය අත්‍යාවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් සිදුකරන අතර පළාත් තුල ධාවනය ද සමස්ත ධාවනයෙන් සියයට 40 ක් දක්වා අඩු කර තිබෙනවා.

ලංගම බස් රථ ද අන්තර් පළාත් ධාවනය අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කළ බවයි එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා සඳහන් කළේ.

පළාත් අතර දුම්රිය ධාවනය වුව ද එහි ගමන් කළ හැක්කේ රාජකාරි කටයුතු සඳහා යන පුද්ගලයින්ට පමණයි. එහිදී ඔවුන් සිය අනන්‍යතාව තහවුරු කළ යුතු බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ.

++++++++++++++++++++++

(11.08.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වංසගතයේ දැඩි බලපෑමකට ලක් වුව ද මෙරට සංචාරක කේෂ්ත්‍රය සඳහා පසුගිය මාස 15 ක කාලය තුළ ඩොලර් මිලියන 950 ක් ද පිරි ඇති බව සංචාරක සංවර්ධන අධ්කාරිය පවසනවා.

එහි සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ එලෙස ආයෝජන හිමි වු ව්‍යාපෘති 64 අතුරෙන් ඩොලර් මිලියන 102 ක් වටිනා ව්‍යාපෘති 38 ක් මේ වනවිට අනුමත කර ක්‍රියාවලට නැංවිමට ක්‍රියාවලට නැංවිමට කටයුතු කර ඇති බවයි.

දේශිය සංචාරක කේෂ්ත්‍රයේ ඉහළ ශක්‍යතාව හේතුවෙන් ගෝලීය අයෝජකයන් විශාල උනන්දුවක් දක්වන බවයි ඇය සඳහන් කළේ ෴

++++++++++++++++++++++

(11.08.2021 – 15:41 +0530 – hirunews.lk/sinhala)

ගර්භනී සහ පසු ප්‍රසව මව්වරුන් 700 ක් පමණ කොරෝනා වෛරසය ආසාදිතව දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කලා.

අද (11) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ මේ වනවිට ගර්භනී මව්වරුන් 19 දෙනෙකු පමණ කොරෝනා වෛරසය ආසාදිතව මියගොස් ඇති බවයි ෴

කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 2,244 දෙනෙකු අද (11) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව යාමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව තුන් ලක්ෂය (300,000) ඉක්මවා ගියා.

ඒ අනුව, කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත සමස්ත සංඛ්‍යාව 300,406 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ෴

අද (11) දිනයේ මේ දක්වා තවත් කොරෝනා ආසාදිතයන් 2154 ක් වාර්තා වී තිබෙනවා ෴

මෙරට සමස්ත ජනගහණයෙන් වයස 30 ට වැඩි සියයට 95 කට කුමන හෝ එන්නතකින් එක් (1) මාත්‍රාවක් හෝ ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++

(11.08.2021 – 17:02 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිත ව යාපනය මන්දිකෙයි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනය, වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපති කේ. කරුණානන්දරාසා මහතා අද (11) උදෑසන ජිවිතක්ෂයට පත්ව ඇති බවට යාපනය වැල්වැටිතුරෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් හා වැල්වැටිතුරෙයි පොලිසිය පවසනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් පැවසූවේ කොවිඩ් ආසාදිත නගරාධිපතිවරයා යාපනය පේදුරුතුඩුව මන්දිකෙයි රෝහලට පසුගිය 09 වැනිදා යොමුකොට සිටි බවයි.

නගරාධිපතිවර‍යාගේ ආශ්‍රිතයින් හා නගර සභාවේ නිලධාරින් රැපිඩි ඇන්ටිජන් පරීක්ෂාවන්ට හා පි.සි.ආර්. පරීක්ෂාවන්ට යොමු කළ බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසුවා.

මේ වනවිට නගරාධිපතිවරයාගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායනය වෙනුවෙන් යොමුකොට ඇත.

ජිවිතක්ෂයට පත් වූ වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් නගර සභාවට තේරී පත් වී තිබුණි ෴

++++++++++++++++++

(11.08.2021 – 17:19 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ලේ ධම්මික පැණිය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබූ තාවකාලික බලපත්‍රය අහෝසි කර ඇති බව ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

සායනික පරීක්ෂණවලින් ශක්‍යතාව තහවුරු තහවුරු නොවීම හේතුවෙනුයි මෙලෙස ඒ සඳහා ලබා දී තිබූ තාවකාලික බලපත්‍රය අහෝසි කර ඇත්තේ ෴

++++++++++++++++++

(11.08.2021 – 17:33 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – දෙවට ප්‍රදේශයේ හෝටලයක මුව ආවරණ නොමැතිව ආහාර සකස් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

හිරු ගාල්ල අධිකරණ වාර්තාකරු සඳහන් කළේ සැකකරුවන් දෙදෙනා (2) ඊයේ පස්වරුවේ ගාල්ල වරාය පොලීසිය මගින් මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

දිගින් දිගටම ලබාදුන් අවවාද නොතකා ඔවුන් මුව ආවරණ නොමැතිව ආහාර සකස් කරමින් සිටි බවයි පොලීසිය අධිකරණයට දන්වා ඇත්තේ ෴

++++++++++++++++++++

(11.08.2021 – 18:15 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුල ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (12) සිට මෙම මස 31 දක්වා අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මෙම කාලසීමාව තුළ කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර නැවත ලබා ගැනීමේදී 2021.09.30 දක්වා දඩ මුදල් අය නොකරන බවයි බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චන්දිමා දිසානායක මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර එම කාලසීමාව තුළ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර නැවත ලබාගැනීම සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න.

( http://www.motortraffic.wp.gov.lk/ )

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(11.08.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

මෙරට ක්‍රීඩාංගණ නඩත්තුව සහ පවත්වාගෙන යාම පෞද්ගලික අංශයට පවරා දීමේ සූදානමක් පිළිබඳ ව වාර්තා වනවා.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමත් සමඟින් එයට අමාත්‍ය මණ්ඩල‍යේ අනුමැතිය හිමි වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙරට ක්‍රීඩාංගණ පෞද්ගලික අංශයට පැවරෙන්නේ කෙසේ ද ? එහි නඩත්තු කටයුතු සිදුවන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව වැඩිදුර තොරතුරු වාර්තා වී නැහැ.

නමුත් මෙම තීරණය හරහා මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට සිදු වන බලපෑම නම් අතිමහත්.

මෙරට බොහෝමයක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු සිදු කරනුයේ දහසකුත් එකක් බාධා කම්කටොලු මධ්‍යයේ.

නිසි ක්‍රීඩාංගණ පහසුකම් නො මැති වීම ඔවුන් හමුවේ ඇති ‍ප්‍රබල අභියෝගයක්.

නිසි පෝෂණය නිසි පුහුණු වීම් ක්‍රමවේද, තාක්ෂණයෙන් පරිපූර්ණ ක්‍රීඩා පුහුණු ක්‍රමවේදයන්ගෙන් පිරිපුන් පුහුණුකරුවන් නො මැති වීම, ඔවුන් හමුවේ ඇති ප්‍රබල ම අභියෝගයි.

කුසට හරිහමන් අහරක් නො ගෙන තමන්ගේ මූලික ක්‍රීඩා උපකරණ පහසුකම් සපුරා ගන්නට නො හැකි නමුත් දක්ෂතාවෙන් අගතැන්පත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහොමයක් මෙරට ක්‍රීඩා කෙතේ සිටිනවා.

කොළඹින් දුර බැහැර බොහොමයක් ප්‍රදේශවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසන්නයේ ඇති ක්‍රීඩාංගණයට පැමිණීමට ගමන් වියදම පවා සරි කර ගන්නේ දහසකුත් එකක් කැපකිරීම් කරමින්.

ඔවුන් කෙරෙහි බලධාරීන්ගේ නිසි අවධානය යොමු නො වීම හේතුවෙන් බොහෝ දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් කැලේ පිපී කැලේ පර ව යන මල් මෙන් ජාත්‍යන්තරය ස්පර්ශ කිරීමට පෙර ක්‍රීඩාවට සමුදුන් අවස්ථා අප දැක ඇත්තේ වරක් දෙවරක් නො වෙයි.

මෙරට ක්‍රීඩාව ගොඩ ගැනීමට ජාතික ප්‍රතිපත්ති සකස් කරන බොහෝ දෙනා ක්‍රීඩාවේ පහළ මට්ටමේ තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයක් නැතිකම මෙරට ක්‍රීඩාව ගොඩ ගැනීමට ඇති ප්‍රබලතම බාධාවයි.

නිසි පරිදි නඩත්තු වෙන ක්‍රීඩාංගණ යනු ක්‍රීඩාව ගොඩ ගැනීමට අවශ්‍ය වන එක් සාධකයක් පමණි.

නමුත් ඊට වඩා බොහෝ දේවල් මෙරට ක්‍රීඩාව ගොඩගැනීම සඳහා සිදු කිරීමට මෙරට බලධාරීන් කටයුතු සිදුකළ යුතු ව ඇත.

උදාහරණයක් ලෙස ගතහොත් මෙරට සුපිරි මට්ටමේ ක්‍රීඩාව ලෙස ක්‍රිකට් ක්‍රීඩාව අද වැටී ඇති තත්ත්වය පිළිබඳ ක්‍රීඩාව කරවන බලධාරීන් නිසි අවධානය යොමු කළහොත් ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකිවනු ඇති.

අද වන විට ක්‍රිකට් ක්‍රීඩාවට ලොව ඇති හොඳ ම ක්‍රීඩාංගණ පහසුකම්, හොඳ ම පුහුණුකරුවන්ගේ සේවය, හොඳ ම පුහුණු කළමනාකරණ මණ්ඩල, එකී නො කී මේ සියල්ල ඇතත් ක්‍රීඩාව ඇත්තේ කොතැන ද ?

මෙම ගැටලුව විසඳා ගැනීමට නො හැකි, එය හරියාකාර ව වටහාගැනීමට නො හැකි, ක්‍රීඩා බලධාරීන් එතැනින් පහළ ඇති අනෙකුත් ක්‍රීඩාවන් සංවර්ධනය කිරීමට ගනු ලබන ක්‍රියා මාර්ග කවරේ ද?

එදා වේල සපයා ගත නො හැකි මෙරට බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනාගතයේ යම් දිනක සිය පුහුණු සැසි සඳහා පිටියට පිවිසෙන්නට පෙර බිලක් කැඩෙන ක්‍රීඩා අනාගතයක් හිමිවේ ද?

මෙරට ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිත බව මෙයයි එමෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ ක්‍රීඩාව කරවන බලධාරීන් සිදු කළ යුත්තේ දිවයින පුරා හොඳින් නඩත්තු කළ යුතු ‍ක්‍රීඩාංගන එසේ නඩත්තු නො වන්නේ මක්නිසා ද යන්න සොයා බලා එම නඩත්තු කටයුතු ඉහළ දැමීමේ ක්‍රමවේදයක් සැකසීම නොවේ ද ?

මෙම ක්‍රීඩාංගණවල පරිපාලන කටයුතු යාවත්කාලීන කර දුර්වල පරිපාලන කණ්ඩායම් ඉවත් කර ඒවා නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම නො වේ ද ?

එසේ නො මැති ව ක්‍රීඩාංගණ පෞද්ගලික අංශයට පවරා දී එහි දොරටු විවර වන වාරයක් වාරයක් පාසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බරපැන දැරීමේ ක්‍රමවේදයක් විවෘත කිරීම ද ක්‍රීඩාවේ සංවර්ධනය ?

මේ ආකාරයේ මුග්ධ තීරණ හරහා ක්‍රීඩාවේ සංවර්ධනයක් සිදු කළ නො හැකි බව අපගේ වැටහීම යි.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩාංගණ පෞද්ගලික අංශ වෙත පැවරෙන්නේ කුමන පදනමක් යටතේ ද ? ඒ හරහා පළාත්, ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සැලසෙන සාධනීය සෙත කවරේ ද යන්න පිළිබඳ පුළුල් කතාබහක් ඇති විය යුතුයි.

එසේ නො මැති ව ඈත මෑත ඉතිහාසයේ ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකු ව සිට ක්‍රීඩා ඇමැති තනතුර බාර ගත් තරුණ ක්‍රීඩා අමාත්‍යවරයා ඉතිහාසයේ බරපතල ම ක්‍රීඩා ඛේදවාචකයට අත ගසන්නේ නම් එය මෙරට ක්‍රීඩාවේ හෙට දවසට එක් කෙරෙන තවත් අභියෝගයක් ම වනු ඇති ෴

******************************************

(11.08.2021 – 15:45 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ පැවති විරෝධතාව අතරතුර මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගැනුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිව්දෙනා (4) ලබන 17 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පසුගිය 03 වනදා සිදුකළ විරෝධතාවයකදී පොදු දේපල හානි කිරීම යටතේ නඩු පවරමින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති අමිල සංදීප, කෝසලා හංසමාලි සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පරිපාලන ලේකම් චමීර කොස්වත්තයි.

කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා තල්දූව හමුවේ අද (11) නඩුව සලකා බැලුණු අතර, සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් නොකෙරුණු බව ද හිරු වාර්තාකරු සඳහන් කළා ෴

******************************************

(11.08.2021 – 16:02 +0530 – hirunews.lk/sinhala)

නව කැළණි පාලම හා පිට රවුම් මාර්ගය හදන්න රැගෙන ආ කෝටි දෙකක (2) උපකරණ සොරකම් කර පුද්ගලයින් තුන්දෙනෙකු (3) ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නව කැළණි පාලම ව්‍යාපෘතිය ඇතුළු පිට රවුම් මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන ජපන් සමාගමට අයත් ඉදිකිරීම් භාණ්ඩ ගබඩාවක් බිඳ ඉතා ඉහළ වටිනාකමකින් යුත් Generator ඇතුළු විදුලි උපකරණ තොගයක් මෙලෙස සොරකම් කර තිබෙනවා.

එම ජපන් සමාගම ඇණ සවි කිරීමේ යන්ත්‍ර සහ Generator ඇතුළු භාණ්ඩ ඉදිකිරීම් වලින් පසුව ජපානය වෙත නැවත රැගෙන යාමට නියමිතය ව තිබුණු භාණ්ඩ වනවා.

මෙම සොරකම පිළිබඳව ග්‍රෑන්ඩ්පාස් පොලිසියට ජපන් සමාගම විසින් කර පැමිණිල්ලකට අනුව දින තුනක් (3) තුල කළ විශේෂ මෙහෙයුමකින් පසුව පෑලියගොඩ ප්‍රදේශයේ උපකරණ කුලියට දෙන වෙළඳසැලක තිබී මෙම උපකරණ සොයාගෙන තිබෙනවා.

එම වෙළඳසැලේ තිදෙනෙකු (3) මේ සමග අත්අඩංගුවට ගෙන අද (11) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට ග්‍රෑන්පාස් පොලිසිය කටයුතු කළා.

ඉතා ඉහළ තාක්ෂණයෙන් යුත් මෙම උපකරණවල වටිනාකම රුපියල් කෝටි දෙකකට (2) ආසන්න බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම මහා පරිමාණයේ සොරකමට අදාළ තවත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සිටින බව ග්‍රෑන්පාස් පොලිසිය පැවසුවා ෴

******************************************

(11.08.2021 – 18:47 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික අධිකාරිය විසින් සිදුකරන වැටලීම්වලදී රජයේ මිල නියාමනයට පටහැනිව ක්‍රියා කරන වෙළඳුන් සහ ආයතන සඳහා පැනවෙන දඩ මුදල් සංශෝධනය කිරීමට තීරණය කෙරුණා.

ඒ අනුව 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පනත සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුවූවා.

පාරිභෝගික අධිකාරිය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩයන් ලෙස ප්‍රකාශයට පත්කර උපරිම සිල්ලර මිලක් ගැසට් පත්‍රයේ පලකලද මීට පෙර වෙළඳපොල තුළ එම ගැසට් පත්‍රයන් වල පලකරන ලද මිලගණන් යටතේ භාණ්ඩ අලෙවිය සිදුනොකල අවස්ථා බහුලව වාර්ථා වීමත් සමඟයි රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ සම්බන්ධව පාරිභෝගික අධිකාරිය මගින් විමර්ශණ සිදුකර එවැනි වෙළඳුන් අධිකරණයට ඉදිරිපත් කලද දඩමුදල රුපියල් 1000 ඉතා අඩු මුදලක් වන බැවින් ගැසට් නිවේදනයේ පලකරන ලද අයුරින් කිසිදු මිල පාලනයක් වෙළඳපොළ තුළ සිදු නොවූ බවයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙනු ලැබුවේ.

එම අයකරනු ලබන දඩ මුදල් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදී නීති කෙටුම්පත් කර නීතිපතිවරයාගේ නිරීක්ෂණද සහිතව එම සංශෝධන ගැසට් පත්‍රයේ පලකර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කෙරෙන බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම අවසන් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ගැසට් පත්‍රයේ පලකර සැප්තැම්බර් මාසය අවසන්වීමට ප්‍රථම පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර නීතිගත කිරීමටයි නියමිතව ඇත්තේ.

අදාළ සංශෝධන දඩ මුදල් පහතින් :

******************************************

(11.08.2021 – 20:09 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පතිවරුන් මහනුවරදී ආරම්භ කළ පාගමන සංවිධාන කළ පිරිස අතරින් 25 දෙනෙකුට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කළා.

ඒ ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කිරීමෙන් පසු ඔවුන් අද (11) අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදීයි.

මෙහිදී මහනුවර මහේස්ත්‍රාත්වරයා සිද්ධිය පිලිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන ලෙසට පොලීසියට උපදෙස් ලබාදුන්නා.

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව කඩිනමින් විසඳන ලෙස බලකරමින් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්ව ගුරු සංගම් ආරම්භ කල වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට (11) මාසයක් ගත වනවා.

මේ අතර, ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත් කළ කැබිනට් අනුකමිටුව හෙට (12) රැස්වනවා.

මේ අතර, පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ පැවති විරෝධතාවක් අතරතුර මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගැනුණු සිව්දෙනෙකු (4) ලබන 17 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් අද (11) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති අමිල සංදීප, කෝසලා හංසමාලි සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පරිපාලන ලේකම් චමීර කොස්වත්ත ඒ අතර සිටිනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *