එස්.ඩී.බී.එස් නම් රසායනිකය අඩංගු දරුවන්ගේ ඇස් වලට සහ සමට අහිතකර බව ඔප්පු වී තිබෙන ව්‍යාජ සබන් වෙළෙඳ පොළට එන්නේ කොහොමද?

එස්.ඩී.බී.එස් නම් රසායනිකය අඩංගු දරුවන්ගේ ඇස් වලට සහ සමට අහිතකර බව ඔප්පු වී තිබෙන ව්‍යාජ සබන් වෙළෙඳ පොළට එන්නේ කොහොමද? – පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්

*********************************************

එස්.ඩී.බී.එස් නම් රසායනිකය අඩංගු දරුවන්ගේ ඇස් වලට සහ සමට අහිතකර බව ඔප්පු වී තිබෙන ව්‍යාජ සබන් වෙළෙඳ පොළට එන්නේ කොහොමද? – පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්

(10.08.2021 – 07:44 +0530 – lankaleadnews.com)

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේ එස්.ඩී.බී.එස් නම් භයානක රසායනික ද්‍රව්‍යය 3.1% සිට 5.1% දක්වා ප්‍රමාණයකින් ‘ලක්ස්’ සහ ‘ලයිෆ් බෝයි’ නම් සබන් වල අඩංගු බව ‘20/2018 අයි පී’ නම් නඩු තීන්දුවෙන් පිලි අරගෙන් තිබෙන බවත් ඒවා දරුවන්ගේ ඇස් වලට සහ සමට අහිතකර බව සමේ රෝග පිළිබඳ වෛද්‍යයවරුන්ගේ සහ අක්ෂි රෝග විශේෂයඥයන්ගේ මතය වී ඇති බවත්ය.

ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරිය දරුවන්ගේ ඇස් වලට සහ සමට අහිතකර සබන් තහනම් කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට පමා වන්නේ මන්ද යනුවෙන් විමසා සිටියේය.

එහිදී එතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රාජ්‍යය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියේ එවැනි අහිතකර බවක් පිළිබඳව අක්ෂි රෝග විශේෂඥයන්ගේ සංගමය සහ සමේ රෝග විශේෂඥයන්ගේ සංගමය තමන්ව දැනුවත් නොකළ බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් :

******************************************

ජවිපෙ කියන්නේ බොරු. ත්‍රිකුණාමලය ඇමෙරිකාවට ලබා දීමට මම කටයුතු කලේ නෑ – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල

(10.08.2021 – 08:39 +0530 – lankaleadnews.com)

දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ බල ශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පිළිතුරු බැඳ තිබේ. එම සම්පූර්ණ නිවේදනය පහතින් :

= ජවිපෙ කියන්නේ බොරු. ත්‍රිකුණාමලය ඇමෙරිකාවට ලබා දීමට මම කටයුතු කලේ නෑ =

දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු ලෙස පෙනී සිටිමින් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මා පිළිබඳ බොරු වැලක් ප්‍රකාශ කර තිබෙනවා. ත්‍රිකුණාමල වරාය, තෙල් ටැංකි සංකීර්ණය සහ ඒ ආශ්‍රිත අක්කර 33,000 ක් ඇමෙරිකාවට බදු දෙන්න මා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවට ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඔහුගේ ප්‍රකාශය පට්ටපල් බොරුවක්. මා එවැනි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් නොකල බවත් ඉදිරිපත් කලා නම් එහි පිටපතක් පෙන්වන ලෙසත් මම ඔහුට අභියෝග කරනවා.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ජවිපෙ සටන් සගයා වන එක්සත් ජාතික පක්ෂය විසින් 2003 දී ඉන්දියාවට වසර 35කට බදු දී ඇති බැවින් එම ටැංකි නැවත තවත් රටකට බදු දීමේ හැකියාවක් නොමැති බව වසන්ත සමරසිංහ මහතාට නොතේරිමෙන් පෙනී යන්නේ 2003 ට 35 ක් එකතු කල විට පිලිතුර 2038 බවත් අපි තවමත් ඉන්නේ 2021 බවත් එතුමා නොදන්නා බවයි.

ත්‍රිකුණාමල වරාය ඇමෙරිකාවට බදු දෙනවා නම් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කල යුත්තේ වරාය ඇමති මිස බලශක්ති ඇමති නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වන වසන්ත සමරසිංහ මහතා නොදැන සිටීම හාස්‍යජනකය. එමෙන්ම ඇමෙරිකාවට බදු දීමට තබා දේශීය අවශ්‍යතාවයකට භාවිතා කිරීමටවත් බලශක්ති අමාත්‍යාංශය සතුව ත්‍රිකුණාමලයේ අක්කර 33,000 ක් නොමැති බවත් අක්කර 33,000 ක් යනු ගම්මාන රාශියක් පුරා පැතිරෙන දැවැන්ත ඉඩමක් බවත් සමරසිංහ මහතාගේ සාමාන්‍ය දැනීම සඳහා දැනුම් දෙමි.

සමරසිංහ මහතා සැබැවින්ම කර ඇත්තේ අධිවේගි මාර්ග සඳහා දරණ වියදම පාරේ රත්තරන් ගෑමට ප්‍රමාණවත් බවටත් කොළඹ වරාය නගරය සඳහා මුහුද ගොඩ කලොත් ලංකාවේ ගල් සියල්ල අවසන් වන බවටත් හම්බන්තොට වරායට නැව් ගෙන ඒමට නොහැකි බවටත් ප්‍රකාශ කල ජවිපෙ බොරු වැලට තවත් බොරු තුනක් එකතු කිරීම පමණි. එබැවින් බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේ දේශනා කල අයුරින් යමෙකු පැවසූ පමණින් පිලිනොගෙන එහි සත්‍යාසත්‍ය බව විමසීමට ලක් කලේ නම් වසන්ත සමරසිංහ මහතාටත් ජවිපෙටත් මෙසේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමට සිදු නොවනු ඇත.

උදය ගම්මන්පිල
බලශක්ති අමාත්‍ය

******************************************

දින දෙකහමාරකට (2½) වරක් ගෑස් නැවක් ගෙනාවේ නැත්තම් ගෑස් වෙළෙඳපොල බිඳවැටෙන්නේ මෙහෙමයි

(11.08.2021 – 08:36 +0530 – truenews.lk)

අර්බුදයට විසඳුම් සෙවීම ‘අද නොවෙයි හෙට‘ ට කල් දැමීම හේතුවෙන් ගෑස් ‘සැපයුම් ජාල කළමනාකරණය‘ (Supply chain Management) මේ වන විට අර්බුදයකට ලක්ව ඇත. ඉදිරි දින 4 දී ගෑස් හිඟය උපරිම මට්ටමට පැමිණෙනු ඇති අතර, සෑම දින 2½ කට වරක්ම රටට ගෑස් නැවක් (1) ගෙන්වා ගැනීමට අසමත් වන්නේ නම් ‘සැපයුම් ජාල බිඳවැටීමේ’ තත්වයක් මතු වනු ඇතැයි ද එහි ප්‍රතිඑලය ලෙස රටේ දෛනික ජන ජීවිතය බිඳ වැටෙනු ඇත.

ලිට්රෝ සමාගමේ ගෑස් වෙළෙදපොල පංගුව 71% ක් වු අතර ඉතිරි 29% ලාෆ්ස් සතුය. රටේ ගෑස් සිලින්ඩර ලක්ෂ 101 කි. එයින් ලාෆ්ස් සමාගම සතු සිලින්ඩර ලක්ෂ 29 කි. ලිට්රෝ සිලින්ඩර ලක්ෂ 72 ට වැඩිය. බෙහෝ නිවේස්වල ගෑස් සිලින්ඩර දෙක (2) බැගින් ඇත. දෙකම (2) පිරී ඇත්තේ ඉඳහිටය. ගෑස් හිඟයත් සමඟම ලක්ෂ 29 ක් සිලින්ඩර හිස් විය. දෙවන (2) සිලින්ඩරය ලෙස නිල් ගෑස් ලබාගත් පිරිස වහා ගෑස් ලබාගැනීමට පොරකන්නට විය. දැන් කහ පාට ගෑස් ද නිල් පාට ගෑස් ද දෙකම (2) නැත.

ලාෆ්ස් කි.ග්‍රෑ. 12.5 සිලින්ඩරය පමණක් ඇති පවුල් ලක්ෂ 9 කි. කි.ග්‍රෑ. 5 තනි (1) සිලින්ඩරය පමණක් භාවිත කරන ලක්ෂ 4 ක් දැන් අන්ත අසරණය. ලිට්රෝ සමාගමේ කි.ග්‍රෑ. 12.5 ලක්ෂ 38 ක් තනි (1) සිලින්ඩරයේ හිමිකරුවන්ය. නිල් සිලින්ඩරය හිස් වන විට අලෙවි නියෝජිතයා ලඟ ගෑස් නැති නම් ඔවුන් අන්ත අසරණ වනු ඇත. තව දින 4 ක් තුල ලක්ෂ 8 ක් ගෑස් සොයා යන පෝලිමට එකතු වනු ඇත.

ලිට්රෝ සමාගම සතු එකම සක්‍රීය ගෑස් සිලින්ඩර් පිරවුම් අංගනය කෙරවලපිටියේ පිහිටා ඇත. එහි සම්පූර්ණ ගෑස් ධාරිතාවය මෙ.ටො. 8000 කි. සාමාන්‍ය තත්වය යටතේ ගෑස් ටැංකියක 10% – 15% ක ඇත්තේ වායුව යි. දියර ගෑස් 85% ක් ආසන්න ප්‍රමාණයකි. ඒ අනුව, ලිට්රෝ සමාගම සතු සම්පූර්ණ දියර ගෑස් ධාරිතාව මෙ.ටො. 7000 කි. (සටහන – ලිට්රෝ සමාගමේ හම්බන්තොට අංගනය මේ වන විට අතහැර දමා ඇත)

මෙ.ටො. 3000 ක් පමණ ඉතිරිව තිබිය දී කෙරවලපිටිය අංගනයට ගෑස් නැවක් රැගෙන ඒම ලිට්රෝ සමාගමේ ව්‍යවහාරයයි. ලිට්රෝ සැපයුම්කාර ‘ඕමාන් ට්‍රේඩින් සමාගම’ සතුව නැව් දෙකක් (2) ඇති අතර ඒවා මෙ.ටො. 3500 ට ආසන්න ධරිතාවයෙන් යුතුය. ඕමානයේ සිට ලංකාවට ගෑස් නැවක් පැමිණීමට දින 5½ ක් ගත වන අතර මෙහෙයුම් කටයුතු සඳහා අතිරේක දිනක් (1) අවශ්‍ය ය.

කහපාට ලාෆස් ගෑස් වෙළෙඳපොලට නිකුත් වූ අවධියේ ලිට්රෝ දිනකට ගෑස් මෙ.ටො. 1150 ක් පුරවා බෙදාහරිනු ලැබීය. දැන් එය මෙ.ටො. 1350 දක්වා ඉහළ ගොස් ඇත. ඉදිරි දින 2 තුල රට පුරා පෝලිම්වල ගෑස් සැපයීමට නම් දින 2½ වරක් ගෑස් නැවක් (මෙ.ටො. 3500) ක් කෙරවලපිටියට පැමිණිය යුතුය.

එවැනි අඛණ්ඩ සැපයීමක් සිදු කිරීමේ ‘ජාල කලමනාකරණයක්’ ලිට්රෝ සමාගමට සතුව නැත. ලාෆ්ස් ආයතනය මෙන් ගෑස් ගබඩා කිරීමේ පර්යන්ත පහසුකම් ද, තම සමාගම සතු ඔවුනගේම නැව් ද (ලාෆස් සමාගමට නැව් 3 ක් ඇත) නැත.

ලාෆ්ස් ගෑස්අර්බුදය ආරම්භවුවේ ණයවර ලිපි විවෘත කිරීමට ඩොලර් නැතිවීම නිසා ය. ලිට්රෝ සමාගමට ගෑස් ගෙනෙන්නට ඩොලර් මිලියන 23 බැගින් ඩොලර් දුන්නේ ස්ටෑන්ඩර්ඩ් චාටර් බැංකුවයි. දැන් එය මසකට ඩොලර් 28 දක්වා ඉහල යා යුතුය.

ගෑස් අර්බුදය පිළිබඳ මම දැන් සති දෙකක (2) සිට සවිස්තර අනතුරු ඇඟවීම් සිදු කර ඇත. මාගේ පූර්ව කථනය වූවේ අගෝස්තු තෙවන (3) සතියේ දී ගෑස් අර්බුදයේ උපරිමයට ලඟා වනු ඇති බවය. දින 13 කට කලින් එම අවස්ථාව උදාවී ඇත.

දින 2½ කට වරක් කෙරවලපිටිය ගෑස් පර්යන්තය වෙත සැපයුම් ගෙන්වා ගැනීම ලිට්රෝ සමාගම හා රජය සතු වගකීමකි. එසේ නොවන්නේ නම් ගෑස් සැපයුම් ජාලය සම්පූර්ණයෙන්ම කඩා වැටීම නොවැලැක්විය හැකි වනු ඇත.

– රජිත් කීර්ති තෙන්නකෝන්

******************************************

මහින්ද මහත්තයෝ තව ටික දවසක් යනකොට ජනතාවගේ හදවතින් ඔබ ඈත් වෙනවා – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

(11.08.2021 – 07:36 +0530 – truenews.lk)

වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම වෙනුවෙන් කැපවී ක්‍රියා කළ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත විවේචනය කරමින් අදහස් දැක්වූහ.

උන්වහන්සේ සඳහන් කළේ මේ ආකාරයට කටයුතු කළහොත් රාජපක්ෂවරුන් ජනතාවගේ හදවතින් ඈත්වෙන බවත් අනාගතයක් නැති වෙන බවත්ය.

එසේම වත්මන් පාලකයන් තමන්වහන්සේලා පවසන දේ නොපිළිගන්නා බවත් සඳහන් කළහ.

“අපි මොනවා කථා කළත් මේ පාලකයෝ අපි කියන දේවල් පිළිගන්නේ නැති තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. අද අපේ රට අවුල් වියවුල් වෙලා ඉවරයි.

හරි තැන හරි වැඩ කරන මිනිස්සු නෑ. සම්බන්ධීකරණය නෑ. දේශපාලඥයින් සුදුසු නිලධාරීන් සුදුසු තැන්වල අද එක්කෙනෙක්වත් නෑ.

ජනතා බලය ගත්තත්, ජනතාව බලය දුන්නත් අද ජනතාවට කවදාවත් නැති විදිහේ දුක් වේදනා කන්දක් විදින්න සිදුවෙලා තියෙනවා. සමහර අයට බලය ආවම ‘උද්දච්ච’ කම ඇතිවෙනවා.

අද විශේෂඥ වෛද්‍යවරු වැඩකාරයෝ බවට පත්වෙලා. ආණ්ඩුව ජයග්‍රහණය කරන්න පෙරමුණ ගත්තතනම්, ආණ්ඩුව ඉදිරියට ගෙනියන්නත් අපි පෙරමුණ ගන්නවා. නමුත් ගත්තට වැඩක් නෑ.

මහින්ද මහත්තයෝ තව ටික දවසක් යනකොට ජනතාවගේ හදවතින් ඔබ ඈත් වෙනවා. ඔබටයි ජනතාව සළකන්නේ.

ඔබ කථා බහ නොකර ඉන්නවානම් ජනතාව ටිකෙන් ටික ඈත් වෙන ගතියක් තිබෙනවා පමණක් නෙමෙයි අනාගතයේදී රාජපක්ෂලත් ජනතාවගේ හදවතින් ඈත් වෙනවා විතරක් නෙමයි අනාගතයකුත් නැතිවෙයි කියලා අපිට ඉතාම පැහැදිලිව පේනවා.

දැන් බලා හිටියා ඇති. තවදුරටත් බලා ඉන්නවද රටට උචිත වැඩපිළිවෙළක් යොදනවද කියලා දැන් බලන්න ඕන.”

+++++++++++

(විඩියෝ) [රාජපක්ෂලාගේ …]

******************************************

කාර් මිල අහසට නගී.. Premio කෝටි 02 පනී.. Vitz ලක්‍ෂ 90 යි.. ත‍්‍රිවිල් ලක්‍ෂ 20 ආසන්නයේ.. ස්කූටර ලක්‍ෂ 5 ලඟ..

(11.08.2021 – 10:40 +0530 – lankacnews.com)

මෙරට වෙළඳපොළ තුළ මෝටර් රථ ඉතා විශාල වශයෙන් මිල ඉහළ ගොස් තිබේ.

මෙරටට මෝටර් රථ ආනයනය තහනම් කර තිබීමත් තවත් වසරක කාලයක් ඉක්ම වන තෙක් ආනයනය තහනම ක්‍රියාත්මක කිරීමත් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

පාවිච්චි කරන ලද මෝටර් රථ 100% ඉක්මවූ මිල ගණන්වලට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ නිරීක්ෂණ වලින් පෙනී යයි.

2019 වර්ෂයේ ප්‍රිමියෝ රථයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් කෝටි දෙක (2) ඉක්මවූ මිලකටයි.

එම වසරේ ඇක්සියෝ රථයක් ලක්‍ෂ 120 ඉක්මවා ඇති අතර වසර 15 ඉක්මවා පැරණි අක්සියෝ රථයක් ලක්ෂ 65 ඉක්මවා මිලකට අලෙවි වෙයි.

වසර පහක් (5) පමණ පැරණි වන ‘විට්ස්’ රථයක්ද ලක්ෂ 90 පමණ මිලකට නම් කර ඇත.

වසර තුන හතරක් (3-4) පැරණි වැගන්ආර් රථයක් ලක්ෂ 65 ක සීමාවේ පවතී.

මේ අතර වසර තුන හතරක් (3-4) පැරණි ත්‍රීරෝද රථයක් ලක්ෂ 16-17 මිල ගණන් වල පවතී.

සාමාන්‍ය යතුරු පැදියක් ලක්ෂ හතර පහ (4-5) සීමාවේ පවතින අතර ස්කූටර් රථද එම මිල ගණන් ඉක්මවා අලෙවි වෙමින් ඇත ෴

@@@@@ කොවිඩ් පුවත් @@@@@

නැගෙනහිර ආයුර්වේද මහ රෝහල් කොවිඩ් රෝගීන්ට වෙන් කරයි

(11.08.2021 – 07:40 +0530 – lankaleadnews.com)

නැගෙනහිර පළාතේ ආයුර්වේද මහ රෝහල් වල කොවිඩ් රෝගීන්ට දේශීය වෙදකම හරහා ප්‍රතිකාර කිරිම වහාම ආරම්භ කරන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද (10) පෙරවරුවේ නියෝග කළාය.

ඒ අනුව, නැගෙනහිර පළාතේ කප්පල්තුරේ, කින්නියා, පුදුකුඩුඉරිප්පු සහ අඩ්ඩාලච්චේන යන ආයුර්වේද මහ රෝහල් වල මෙම ප්‍රතිකාර ලබාදීම ආරම්භ කිරීමට නියමිතය.

ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ආර්. ශ්‍රීධර් මහත්මිය සහ ආණ්ඩුකාරවරිය අතර අද (10) පෙරවරුවේ පැවති විශේෂ හමුවකදී මෙම තීරණයට එළඹිණි.

කොවිඩ් රෝගින්ට ප්‍රතිකාර කරන එම ආයුර්වේද මහ රෝහල් වල දැනට ඇති අඩුපාඩු සොයා බලා එම අඩුපාඩු කඩිනමින් සපුරා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ආණ්ඩුකාරවරිය අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නාය.

ඒ අනුව එම රෝහල් වල කොවිඩ් රෝගීන් 270 කට ප්‍රතිකාර ලබා දීම සදහා අවශ්‍ය පහසුකම් ඇත ෴

++++++++++++++++++++++

මොලය බාගෙට මැරුණු නිලධාරීන් පාලනය කළොත් රට විශාල අනතුරක.. මහලු පුද්ගලයා එහෙම චක‍්‍රලේඛයක් ගැහුවේ කොහොමද ?

(11.08.2021 – 12:00 +0530 – lankacnews.com)

මොලය බාගෙට මිය ගිය නිලධාරීන් විසින් රට පාලනය කළොත් ඉදිරියේදී විශාල අභියෝගයට රටට ජනතාවට මුහුණ දෙන සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

කොරෝනා ආසාදිතයන් එක්කෙනෙක් දෙන්නෙක් සිටියදී සම්පූර්ණයෙන්ම රට වසා දැමුවද අද විශාල වශයෙන් රෝගීන් හමුවද්දී රට සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බවද ඔහු පැවසීය.

පවතින වසංගත තත්වය හමුවේ විශේෂඥ වෛද්‍ය මතයට කන් දෙන ලෙසද මන්ත‍්‍රීවරයා ඉල්ලා සිටියේය.

මහලු පුද්ගලයකු වන ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් මගින් සියළුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවූ බවත් එය සිදු කළේ කුමන පදනමක් මතදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

ගාල්ලේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

++++++++++++++++++++++

වහාම ඇදිරි නීතිය දාන්න නැත්නම් රට විනාශයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

11-08-2021
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *