ගුරු වෘත්තීය සමිති සත්‍යග්‍රහයකට සැරසේ – ඉගැන්වීමට එන්නැයි අධ්‍යාපන ඇමති ඉල්ලයි

ගුරු වෘත්තීය සමිති සත්‍යග්‍රහයකට සැරසේ – ඉගැන්වීමට එන්නැයි අධ්‍යාපන ඇමති ඉල්ලයි

*********************************************

ගුරු වෘත්තීය සමිති සත්‍යග්‍රහයකට සැරසේ – ඉගැන්වීමට එන්නැයි අධ්‍යාපන ඇමති ඉල්ලයි

(10.08.2021 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව කඩිනමින් විසඳන ලෙස බලකරමින් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්ව සිටින ගුරු සංගම් අද (10) රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික වෘත්තීය සමිති කිහිපයක් සමග සාකච්ඡාවක නිරත වුණා.

ඒ සිය වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගය ලබා ගැනීමේ අරමුණින්.

කොළඹදී පැවති මෙම සාකච්ඡාවට අන්තර් සමාගම් සේවක සංගමය, රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සහ බැංකු සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නායකයින් එක්ව සිටි බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් සඳහන් කළේ.

මේ අතර, මෙම ගැටලුව කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාව වන අතර, ඒ සඳහා අදාළ කටයුතු සිදුකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

ඒ අද (10) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මේ අතර, අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේ පාසල් ආරම්භ කිරීම අවිනිෂ්චිත වීම හේතුවෙන් සිසු දරුවන් ගැන සිතා ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලට එක්වන ලෙසයි ෴

******************************************

(10.08.2021 – 20:13 +0530 – hirunews.lk/sinhala)

විමසීම් සිදුකිරීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.

එම ක්ෂණික ඇමතුම් අංකය 1935 යි.

පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සිදු කරනු ලබන විමසීම් එහි අරමුණ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙන්නේ ෴

******************************************

(10.08.2021 – 20:20 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොර ආනයනයේදී රට තුල ප්‍රමාණවත් පරිදි සපුරා ගත නොහැකි, නයිට්‍රජන් ඇතුලු අමුද්‍රව්‍ය අඩංගු ජාත්‍යන්තර ප්‍රමීතීන්ට අනුකූල කාබනික පොහොර පමණක් ආනයනය කරන බව ඒ සඳහා පත්කල විශේෂඥ කමිටුව පවසනවා.

එහි සභාපති සබරගමුව විශ්ව විද්‍යාලයේ පාරිසරික කෘෂිකර්මය පිළිබඳ මහාචාර්ය ප්‍රියන්ත ඉන්ද්‍රලාල් යාපා මහතා සඳහන් කළේ වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා රසායනික පොහොර භාවිතයේදී ලබා ගත් නයිට්‍රජන් ප්‍රමාණයම නොවෙනස්ව සපුරාගත හැකි පරිදි කාබනික පොහොර කළමණාකරනයට කටයුතු කල යුතු බවයි.

ඉදිරි මහ කන්නය සඳහා දේශීය නිෂ්පාදකයින්ගෙන් සපයාගත නොහැකි කාබනික පොහොර ප්‍රසම්පාදන ක්‍රම අනුගමනය කරමින් ආනයනය කිරීමට මේ වනවිට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

තිරසර කෘෂිකර්මාන්තයක් සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ලබාගැනීමට විද්වත් කමිටුවක සේවය ලබා ගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ අතර, එම යෝජනාව ඉදිරිපත් කර තිබුනේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ෴

******************************************

(10.08.2021 – 20:26 +0530 – hirunews.lk/sinhala)

රට තුල සීනි සහ ගෑස් හිඟයක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.

ඒ රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුවේ අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ආනයනික කිරිපිටි මත පනවා ඇති බද්ධ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කල බව ද එහිදී ප්‍රකාශ කෙරුණා.

කෙසේ වෙතත් අදත් ඇතැම් ප්‍රදේශ වල ගෑස් වෙළඳසැල් ආශ්‍රිතව ගෑස් මිලදී ගැනීම සඳහා දිගු පෝලීම් පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, ජනතාවට අත්‍යවශ්‍ය ගෑස් සහ කිරිපිටි වල බරපතල හිඟයක් මේ වන විට රට පුරා පවතින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ද පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා සඳහන් කලේ අත්‍යාවශ්‍ය භාණ්ඩ විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන තත්වයක් හට ගෙන ඇති බවයි ෴

******************************************

(10.08.2021 – 21:04 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද (10) මූලික අධිචෝදනා ගොනු කළා.

අධිචෝදනා ගොනු කළ සැකකරුවන් අතර නවුෆර් මවුලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ හෙවත් ගෆූර් මාමා, මොහොමඩ් සනස්දීන් සහ මොහොමඩ් රිස්වාන් වනවා.

කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය, කිංග්ස්බරි හෝටලය, ෂැංග්‍රිලා හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, මඩකලපුව සියොන් දේවස්ථානය සහ දෙහිවල ට්‍රොපිකල් ඉන්හි සිදු වූ බෝම්බ පිපිරීම් අටට (8) අදාලව මෙම අධිචෝදනා ගොනු කර තිබෙනවා.

අධි චෝදනා ගොනු කරමින් නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇත්තේ චෝදනා විභාග කිරීම සඳහා ත්‍රි පුද්ගල (3) විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසයි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සැකකරුවන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා ගණන 23,270 ක්.

කුමන්ත්‍රණය කිරීම, සැලසුම්කිරීම, ආධාර හා අනුබල දීම, පුපුරණද්‍රව්‍ය හා ගිනි අවි එක්රැස් කිරීම, මනුෂ්‍ය ඝාතනය සහ මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම යන චෝදනා ඒ අතර වනවා.

මෙම චෝදනා ගොනු කිරීමේදී විමර්ශන නිලධාරීන් විසින් මියගිය සහ තුවාල ලැබූ සියලු පුද්ගලයින් පිළිබඳ සැලකිල්ලට ලක් කර තිබෙනවා ෴

@@@@@ කොවිඩ් පුවත් @@@@@

(10.08.2021 – 20:32 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මෘතදේහ ආදාහනය සඳහා ගෑස් සපයා ගැනිමේ අර්බුදයක් ඉදිරියේදී මතුවිය හැකි බැවින් ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව පළාත් පාලන ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙකු පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ආදාහනාගාර නඩත්තු සම්බන්ධයෙන්ද විවිධ ගැටලු මතුව ඇති බවයි ෴

++++++++++++++++++++

(10.08.2021 – 20:42 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (09) දින සිදුවූ තවත්කොරෝනා අසාදිත මරණ 118 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (10) තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා අසාදිත මරණ සංඛ්‍යාව 5,340 ක් දක්වා ඉහළ යනු ඇති.

දෛනිකව වාර්තා වන කොවිඩ් මරණ 100 ට ආසන්න වීමත් සමඟ රෝහල් කිහිපයකම මෘත දේහ කළමනාකරණය සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් වී තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ මෙම තත්ත්වය උග්‍රවීමත් සමඟ වැඩිම බලපෑම එල්ල වී තිබුණේ පානදුර මූලික රෝහලටයි.

කෙසේ වෙතත් කළුතර ප්‍රදේශයේ මෘතදේහ අදාහනය කිරීම පැය 24 පුරා සිදුකිරීමට පියවර ගැනීමත් සමඟ උද්ගත වූ තත්ත්වය සමනය කර ගැනීමට සෞඛ්‍ය අංශ මේවන විට සමත් වී තිබෙනවා.

මේ අතර කොවිඩ් මෘතදේහ ආදාහනය සඳහා ගෑස් සපයා ගැනිමේ අර්බුදයක් ඉදිරියේදී මතුවිය හැකි බැවින් ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව පළාත් පාලන ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙකු පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ආදාහනාගාර නඩත්තු සම්බන්ධයෙන්ද විවිධ ගැටලු මතුව ඇති බවයි.

මේ අතර රත්නපුර ආදාහනාගාර අද (10) සිට දින 5 ක් වසා දමා ඇත්තේ සාමාන්‍යයෙන් කළ යුතු සේවා කටයුතු සඳහායි.

එක් සේවා සැපයීමකින් පසු සාමාන්‍යයෙන් දේහයන් 400 ක් පමණ ආදාහනය කිරීමේ හැකියාව පැවතියත් අවසන් වරට සිදුකළ සේවා සැපයීමෙන් පසු දේහයන් 650 ක් පමණ ආදාහනය සිදුකර ඇති බව රත්නපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා සඳහන් කළා.

මේ අතර කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ කොළඹ මහනගර සභාවේ මල් ශාලා තුළ තවත් ගැටලුවක් මතුවී තිබෙනවා.

ඒ කොවිඩ් පරීක්ෂාව සඳහා යොමු කරන මෘත දේහ අතරින් ආසාදිත නොවන බවට තහවුරු වූ මෘත දේහ බහා එවන කවර යළි බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් සකසා නොතිබීම හේතුවෙන් ෴

++++++++++++++++++

(10.08.2021 – 21:19 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් කිහිපදෙනෙකු වාර්තාවීම හේතුවෙන් කොළඹ-01 ලොයිඩ් පෙදෙසේ පිහිටි මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් මහජන සම්බන්ධතා කවුළු හෙට (11) සිට 20 වනදා දක්වා වසා තැබෙනු ඇති.

වැඩිදුර තොරතුරු සඳහා පහත දුරකථන අංක අමතන්න :

011 220 6690 – 3

+++++++++++++++++++

(10.08.2021 – 21:23 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 912 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද (10) දිනට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 2,904 ක් වනු ඇති ෴

+++++++++++++++++++

(10.08.2021 – 22:15 +0530 – hirunews.lk/sinhala)

මගී බස් රථයක ගමන්කරමින් සිටි කාන්තාවක් හදිසියේ මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හොරණ සිට පානදුර දක්වා ධාවනය වූ බස් රථයක ගමන්කරමින් සිටි කාන්තාවක් බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.

ඇය ගැන සැකසිතුනු කොන්දොස්තරවරයා එම කාන්තාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව පානදුර රෝහල කරා රැගෙන යාමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී ඇය මියගොස් සිටි බවයි අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් ඇයගේ අනන්‍යතාව පිළිබඳව තොරතුරු මෙතෙක් තහවුරු වී නෑ.

+++++++++++++++++++++

(10.08.2021 – 22:59 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මෘත දේහ කළමනාකරණය සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති අවස්ථාවක කොළඹ ජාතික රෝහලේ හඳුනානොගත් මළ සිරුරු 40 ක් ඇති බවට අද (10) අධිකරණයේදී හෙළි වුණා.

2017 වසරේ සිට එකතු වී ඇති අදාළ සිරුරු භූමදානය සඳහා නීතිපති දෙපාර්තමේන්තුව මාලිගානක්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමට අද (10) අවසර හිමිවී තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ මෘත ශරිරාගාරය සතු මෘත දේහ බහාලුම් සංඛ්‍යාව 58 ක්.

කෙසේ වෙතත් කොවිඩ් මරණ ඉහළ යාමත් සමඟ මේ වන විට එහි ගොඩ ගැසී ඇති මෘතදේහ ප්‍රමාණය ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති මෘත දේහ සංඛ්‍යාව 77 ක්.

බාහිර ශීතාගාරද යොදා ගනිමික් තැන්පත් කර ඇති එම මෘත දේහ අතරින් 21 ක්ම කොවිඩ් මරණ බවයි වාර්තා වන්නේ.

ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ ඇති මෘත දේහ 77 න් 40 ක්ම 2017 වසරේ සිට ගොඩ ගැසී ඇති හඳුනානොගත් මළ සිරුරු බවයි මරදාන පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ.

ඒ අනුව එම මළ සිරුරු භූමදානය කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන ලෙස මරදාන පොලිසිය ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (10) ඉල්ලා සිටියේ අදාළ මළ සිරුරු මඩකලපුව ඕට්ටමාවඩි ප්‍රදේශයේ භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙසයි.

ඇතැම් පිරිස් අදාළ මළ සිරුරු කොවිඩ් මරණ ලෙස හුවා දක්වමින් සෞඛ්‍ය අංශ අපහසුතාවට පත්කිරීමේ උත්සහයක නිරත වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණේයේදී පෙන්වා දී තිබෙනවා.

එම මෘත දේහ 40 වෙන් වෙන්ව අධීක්ෂණය කර, DNA පරීක්ෂණ සඳහා සාම්පල ලබාගෙන, ඇඟළි සලකුණුද ලබාගැනීමෙන් පසු හෙට (11) දිනයේ ඕට්ටමාවඩි ප්‍රදේශයේ භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී ඉල්ලා ඇත්තේ.

ඒ අනුව එම ඉල්ලීම සඳහා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දුන්නා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේදී සඳහන් කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුල තවත් හඳුනා නොගත් මළ සිරුරු 97 ක් පවතින බවයි.

මෙම සතිය ඇතුලත අදාළ මරණ පිළිබඳවද කරුණු වාර්තා කර ඒවාද භූමදානය කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබා ගැනීමට බලාපොරොත්තුවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ඇති හඳුනානොගත් මළ සිරුරු පිළිබඳ මරණ පරීක්ෂණ හෙට (11) පෙරවරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදු කිරීමට නියමිතයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *