විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

*********************************************

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

(10.08.2021 – 11:32 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් සපයනු ලබන සේවාවන් ක්‍රියාත්මක කරන ආකාරය දක්වමින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

අදාල නිවේදනය පහතින් :

මාධ්‍ය නිවේදනය – 2021.08.10 – බාගත කරන්න : [සිංහල][සිංහල 2]

++++++++++++++++++

(10.08.2021 – 14:03 +0530 – hirunews.lk/sinhala)

රජයේ කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මහා සංඝරත්නය මෙන්ම දේශපාලන‍ඥයින්ද විවිධ අදහස් පළ කලා.

+++++++++++++++++++++

(10.08.2021 – 14:28 +0530 – hirunews.lk/sinhala)

අද (10) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 2644 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 298,162 දක්වා ඉහළගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ ෴

අද (10) දිනයේ මේ දක්වා තවත් කොරෝනා ආසාදිතයන් 1992 ක් වාර්තා වී තිබෙනවා ෴

++++++++++++++++++++

(10.08.2021 – 16:19 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් රැගෙන ගිය බස් රථ 68 ක මාර්ග බලපත්‍ර අත්හිටුවීමට පියවර ගත් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

අන්තර් පළාත් බස්රථ 18 ක සහ පළාත් තුල ධාවනය වන බස් රථ 50 ක මාර්ග බලපත්‍ර මෙලෙස අහෝසී කිරීමට පියවර ගත් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ෴

++++++++++++++++++++

පළාත් සංචරණය අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණයි – මංගල උත්සවයකට 50 යි

(10.08.2021 – 16:58 +0530 – hirunews.lk/sinhala)

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව සඳහා සහභාහි විය හැකි සංඛ්‍යාව සංශෝධනය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මංගල උත්සවයකට සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 50 ක් වනු ඇති.

මේ අතර පළාත් අතර සංචරණ සීමා දැඩි කෙරෙන බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.

ඒ අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පළාත් අතර සංචරණය කළ හැක්කේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා අනුයුක්ත පුද්ගලයන්ට පමණයි.

+++++++++++++++++

මේ අතර ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය සඳහා අවම වශයෙන් සති හතරකටවත් (4) රට වසා දමා නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නැ යි සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැ යි වාර්තා වූවා.

රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීම සෞඛ්‍ය පද්ධතියට දරාගත නො හැකි මට්ටමට පැමිණෙමින් තිබෙන බැවින්, මෙවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම අත්‍යාවශ්‍ය බව ද ඔවුන් රජයට දැනුම් දී ඇතැ යි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරනවා.

කොවිඩ් ආසාදිතයින් තුන් දහසකට (3000) ආසන්න පිරිසක් දෛනික ව වාර්තා වෙමින් තිබෙන අතර, දෛනික මරණ සංඛ්‍යාව ද සීයයකට (100) ආසන්න වෙමින් තිබෙනවා.

ඉකුත් දින 13 ක කාලය තුළ පමණක් කොරෝනා මරණ දහසකට (1000) ආසන්න සංඛ්‍යාවක් වාර්තා වුණා.

මේ අතර, බොහෝ රෝහල්වල මෘත ශරීරාගාර ද කොවිඩ් මෘතදේහවලින් පිරී ගොස් ඇති අතර, රෝහල්වල වාට්ටු ද කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතිනවා.

මේ තත්ත්වය තුළ රෝහල් ධාරිතාවට දරාගත නො හැකි මට්ටමට රෝගීන් වාර්තා වෙමින් තිබෙන බැවින්, රෝගීන් වාර්තා වීම අවම කර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගවලට යාම අත්‍යාවශ්‍ය බව ද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇතැ යි දැනගන්නට තිබෙනවා ෴

++++++++++++++++++

(10.08.2021 – 17:25 +0530 – hirunews.lk/sinhala)

ජපානයේ ටෝකියෝහි පැවති මෙවර ලෝක ඔලිම්පික් තරගයට සහභාගිවී ශ්‍රී ලංකාව දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් ජපානය සතුටු වන බව මෙරට ජපාන තානාපති අකිරා සුජියාමා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ඊයේ (09) පැවති හමුවකදීයි.

මෙහිදී කොරෝනා වසංගතයෙන් ජනතාව මුදා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජපාන අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීම පරිදි ලබාදුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් පරිත්‍යාගය පිලිබඳව විදේශ අමාත්‍යවරයා සිය කෘතඥතාවය පළ කර තිබෙනවා.

+++++++++++++++++

විවිධ රෝග ඇති 60 ට වැඩි අය එන්නත්කරණයට විශේෂ වැඩපිළිවෙලක්

(10.08.2021 – 18:09 +0530 – hirunews.lk/sinhala)

විවිධ රෝගාබාධ ඇති වයස අවුරුදු 60 ඉක්ම වූ මේ දක්වා කොරෝනා මර්ධන එන්නත් ලබා නො ගත් පුද්ගලයන් සඳහා එන්නත්කරණයට විශේෂ වැඩපිළිවෙළක් හෙට (11) දිනයේ ක්‍රියාත්මක කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව එම වැඩසටහන හෙට (11) දිනයේ නාරාහේන්පිට යුද හමුදා රෝහල, ගම්පහ රෝහල, කළුතර නාගොඩ රෝහල යන ස්ථානයන්හි දී ක්‍රියාත්මක වනු ඇති ෴

++++++++++++++++++

(10.08.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ජනතා සහභාගිත්වයෙන් තොරව පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළා.

ඒ පෙරහර මංගල්‍යය සම්බන්ධයෙන් ශ්‍රී දළඳා මාලිගාවේදී අද (10) පැවති අවසන් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ෴

+++++++++++++++++++

දින 8 කදී කොරෝනා මරණ 714 ක් – ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාත් වයිරසයට බිලිවෙයි

(10.08.2021 – 19:48 +0530 – hirunews.lk/sinhala)

ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තිය මෙරට සිවි වන (4) කොරෝනා රැල්ල ලෙස හඳුන්වා දිය හැකි බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණසේකර මහත්මිය කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි සඳහන් කළේ.

මේ වනවිට මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 3,32,947 ක් ලෙසයි.

ඒ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ද 5,222 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම මාසයේ ගතවූ පළමු දින අටේදී (8) පමණක් කොවිඩ් ආසාදිතයින් 714 දෙනෙක් මියගොස් ඇති අතර ඉන් 544 දෙනෙක්ම අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන්.

එසේම, ගලිගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රනත් පද්මශාන්ත මහතා ද කොරෝනා ආසාදනය වී පේරාදෙණිය රෝහලේදී මියගොස් ඇති බව ප්‍රදේශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තහවුරු කළා.

ඉදිරි සති 2 තිරණාත්මක බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ.

මේ අතර අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පළාත් අතර සංචරණ සීමා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, පළාත් අතර ගමන් කළ හැක්කේ නිල රාජකාරිවලට අනුයුක්ත පුද්ගලයින්ට පමණක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

එසේම, මංගල උත්සව සඳහා සහභාගි විය හැක්කේ පුද්ගලයින් 50 දෙනෙකුට පමණක් බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වූවන් දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් රට තුළ ඇදිරි නිතීය පැනවිය යුතු ද යන්න සම්බන්ධයෙන් අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තිරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදි සංවාදයට බඳුන් වුණා.

මේ වනවිට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම (2) ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 30 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංඛ්‍යාව අපේක්ෂිත ප්‍රමාණයෙන් සියයට 15 කට ආසන්නයි. එක් (1) එන්නත් මාත්‍රාවක් ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව සියයට 51 ක්.

මේ අතර, අවුරුදු 60 වැඩි පුද්ගලයින් වහාම එන්නත ලබා ගන්නා ලෙසටයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉල්ලිමක් කරන්නේ.

මේ අතර, විවිධ රෝගවලින් පීඩා විඳින බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් හෙට (11) ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව, එම වැඩසටහන නාරාහේන්පිට යුද හමුදා රෝහල, ගම්පහ ශික්ෂණ රෝහල සහ කළුතර – නාගොඩ මහරෝහලේදී හෙට (11) ක්‍රියාත්මක බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, 2017 වසරේ සිට කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති හඳුනා නොගත් මළ සිරුරු 40 ක් භූමදාන කිරීමට අවසර ලබාදෙන ලෙස සෞඛ්‍ය බලධාරින් අද (10) අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා ෴

++++++++++

කොවිඩ් ආසාදනයෙන් වෛද්‍යවරයෙකු මරුට!

(10.08.2021 – 17:44 +0530 – lankaleadnews.com)

ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය පද්ම ශාන්ත මහතා කොවිඩ් ආසාදනයෙන් මරු මුවට පත්ව ඇති බව වාර්තා වේ.

මීට මසකට පමණ පෙර සිට වෛරසය ආසාදනය වී කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති වෛද්‍ය පද්ම ශාන්ත මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කෙරිණි.

පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය පද්ම ශාන්ත මහතා ඊයේ (09) දින ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

දෙදරු පියෙක් වන වෛද්‍ය පද්ම ශාන්ත මහතා කොවිඩ් වෛරසයෙන් ජනතාව බේරාගැනීමට බොහෝ කැපවී සේවය කළ අයෙකු වන අතර කෑගල්ල දිස්ත්‍රික්කය තුළ නොයෙකුත් තනතුරු දරමින් සේවය කර ඇති බවද වාර්තාවේ. ඒ මහතාගේ අවසන් කටයුතු අද (10) මහනුවර, මහයියාව ආදාහනාගාරයේ දී සිදුකෙරිණි.

මේ අතර කෑගල්ල මහ රෝහලේ ගැබිනි වාට්ටුවේ හෙදියක් ඇතුළු හෙද කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු (4) ද කොවිඩ් ආසාදිත බවට මාධ්‍යය වාර්තා පළවේ ෴

++++++++++++++++++

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(10.08.2021 – 12:39 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ වෙරළට ආසන්නව ගිනිගෙන මුහුදුබත් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ තිබී වෙරළට පාවී ආ ප්ලාස්ටික් කැට තොගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන්නේ නීතිපතිවරයාගේ සහ නෞකාවේ සිදුවූ හානිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ නිර්දේශ අනුව පමණක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

නෞකාවෙන් වෙරළට එක්රැස් වූ ප්ලාස්ටික් කැට මෙට්ට්‍රික් ටොන් 1400 කට ආසන්න තොගයක් මේ වනවිට හැඳල ප්‍රදේශයේ අංගනයක බහාලුම් 40 ක තැන්පත් කර තිබෙනවා.

මෙම ප්ලාස්ටික් තොගය නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගත හැකි බැවින් ප්ලාස්ටික් නිෂ්පාදන සමාගම් හා ඇතැම් පාර්ශව විසින් ඒවා ඉල්ලා සිටින බවයි නෞකාවෙන් සිදුවූ හානිය පිලිබඳව සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (09) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් සිදුකෙරෙන අධිකරණ කටයුතුවලදී මෙම ප්ලාස්ටික් තොගය නඩු භාණ්ඩයක් වශයෙන් වැදගත් වන බවත්, ඒවා ආරක්ෂිතව තබා ගැනීමට තමන් මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදුන් බවත්, එහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

******************************************

(10.08.2021 – 12:41 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාව වන අතර, ඒ සඳහා අදාළ කටයුතු සිදුකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

ඒ අද (10) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

කෙසේ වෙතත්, ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ වර්ජනයට අනෙකුත් වෘත්තීය සමිතිවල සහය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් අද (10) පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, ගුරුවරුන් අද (10) 29 වනදිනටත් ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත් වෙමින් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිතර වුණා.

******************************************

(10.08.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) මන්නාරම – ඉලුප්පුකඩවායි ප්‍රදේශයේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (10) අලුයම සිදුකළ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 131 යි ග්‍රෑම් 725 ක් සොයා ගෙන ඇත්තේ මත්ස්‍යයින් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරනු ලබන ලොරි රථයක සූක්ෂ්ම ලෙස අසුරා තිබියදීයි.

උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නිලධාරින් සහ මන්නාරම පොලීසිය එක් ව මෙම මෙහෙයුම සිදුකර ඇති අතර, එහි දී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

******************************************

(10.08.2021 – 15:07 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රෙස් පර්ල්’ නෞකාව ගිනි ගැනීමට ලක් වීමේ සිද්ධිය පිළිබඳව අපක්ෂපාතී හා ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශවයන් තුනක් (3) විසින්.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එහි සභාපති වරයා, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු 16 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ‘එක්ස්ප්‍රෙස් පර්ල්’ නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීමට වගඋත්තරකරුවන් පියවර ගෙන නොමැති බවයි ෴

******************************************

(10.08.2021 – 15:08 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා සහනදායී කොන්දේසී යටතේ කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයී.

පවතින කොරෝනා තත්වය හමුවේ පූර්ණ හෝ අර්ධ වශයෙන් රජයට අයත් ව්‍යාපාර 282 ක පමණ මෙහෙයුම් කටයුතු පසුබෑමට ලක්වීම සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන් ෴

******************************************

(10.08.2021 – 15:34 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අගෝස්තු මස 18 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස අද (10) අධිකරණය නියෝග කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද (10) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදීයි ඔහු අද (10) අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *