කොරෝනා එන්නත් දෙවන (2) මාත්‍රාව ලබාදුන් වැඩිම දිනය ඊයේ (09)

කොරෝනා එන්නත් දෙවන (2) මාත්‍රාව ලබාදුන් වැඩිම දිනය ඊයේ (09)

*********************************************

කොරෝනා එන්නත් දෙවන (2) මාත්‍රාව ලබාදුන් වැඩිම දිනය ඊයේ (09)

(10.08.2021 – 09:18 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතෙන් ඊයේ (09) දිනයේදී කොරෝනා අසාදිතයින් 1500 ඉක්මවා වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, ඊයේ (09) දිනයේදී හඳුනා ගැණුනු නව ආසාදිතයින් 2953 දෙනා අතරින් 1519 ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

ඉන් වැඩිම පිරිස වන ආසාදිතයින් 767 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැණුනු අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 440 දෙනෙකු සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් අසාදිතයින් 312ක් හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම, අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 294 ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 168 සහ මොනරාගල දිස්ත්‍රිකක්යෙන් 165 ක් වාර්තා වන බවයි කොවිඩ්-19 පැතිරිම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (09) දිනයේදී පුද්ගලයින් 490,805 දෙනෙකුට කොරෝනා එන්නත් ලබාදී තිබෙනවා.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ ඉන් 311,102 ක් දෙවන (2) මාත්‍රාව ලෙස ලබාදී ඇති බවයි.

එය දිනයකදී ලබාදුන් වැඩිම දෙවන (2) මාත්‍රා සංඛ්‍යාවද වනවා.

ඊයේ (09) දිනයේදී සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 307,267 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි පළමු (1) මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 153,958 ක්.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව ඊයේ (09) දිනයේදී පුද්ගලයින් 25,576 දෙනෙකුට ලබාදෙනු ලැබුවා. එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 3,620 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළේ.

ඊට අමතරව, ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 169 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 215 දෙනෙකුට ඊයේ (09) ලබාදී තිබෙනවා.

දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි අද (10) දිනය තුලත් කොරෝනා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකයි.

එමෙන්ම, රුහුණු විශ්වවිද්‍යාලයේ හපුගල පිහිටි ඉංජිනේරු පිඨයේ සිසුන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයා සඳහන් කළා.

++++++++++++++++++++

(10.08.2021 – 08:45 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේගවත් සහ සාර්ථක කොරෝනා එන්නත්කරණ ක්‍රියාවලිය හේතුවෙන් යුරෝපයේ ඇතැම් රටවල් ශ්‍රී ලංකාව ඔවුන් සංචාරය කරන රටවල, රතු ලැයිස්තුවේ සිට ඇම්බර් ලැයිස්තුවට මාරු කර තිබෙනවා.

මෙරටට සංචාරකයින් ප්‍රධාන වශයෙන් පැමිණෙන රටවල් 03 ක් වන ජර්මනිය, ප්‍රංශය සහ නෙදර්ලන්තය එලෙස ශ්‍රී ලංකාවේ වර්ගීකරණය ධනාත්මක ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව සඳහන්.

එය මෙරට සංචාරක කර්මාන්තයට නව බලාපොරොත්තුවක් ගෙනෙන බව ශ්‍රී ලංකා සංචාරක හෝටල් සම්මේලනයේ සභාපති සනත් උක්වත්ත මහතා සඳහන් කළා.

ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව සංචාරක රතු ලැයිස්තුවට ඇතුළත් කර තිබූ අවස්ථාවේ මෙරට සංචාරය කිරීමට එම රටවල සංචාරකයින් මැලිකමක් දැක්වූ බවයි.

ශ්‍රී ලංකාව ඇම්බර් ලැයිස්තුවට ඇතුළත් කිරීම ඔවුන් මෙරට සංචාරය කිරීම සඳහා දිරිගන්වන්නක්.

පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ ඉන්දියානු සංචාරකයින් ඉදිරියේදී මෙරටට ගෙන්වීමට හැකිවනු ඇතැයිද ඔහු බලාපොරොත්තු පළ කළා ෴

++++++++++++++++++++

(10.08.2021 – 09:45 +0530 – hirunews.lk/sinhala)

ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය සඳහා අවම වශයෙන් සති හතරකටවත් (4) රට වසා දමා නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නැ යි සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැ යි වාර්තා වනවා.

රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීම සෞඛ්‍ය පද්ධතියට දරාගත නො හැකි මට්ටමට පැමිණෙමින් තිබෙන බැවින්, මෙවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම අත්‍යාවශ්‍ය බව ද ඔවුන් රජයට දැනුම් දී ඇතැ යි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරනවා.

කොවිඩ් ආසාදිතයින් තුන් දහසකට (3000) ආසන්න පිරිසක් දෛනික ව වාර්තා වෙමින් තිබෙන අතර, දෛනික මරණ සංඛ්‍යාව ද සීයයකට (100) ආසන්න වෙමින් තිබෙනවා.

ඉකුත් දින 13 ක කාලය තුළ පමණක් කොරෝනා මරණ දහසකට (1000) ආසන්න සංඛ්‍යාවක් වාර්තා වුණා.

මේ අතර, බොහෝ රෝහල්වල මෘත ශරීරාගාර ද කොවිඩ් මෘතදේහවලින් පිරී ගොස් ඇති අතර, රෝහල්වල වාට්ටු ද කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතිනවා.

මේ තත්ත්වය තුළ රෝහල් ධාරිතාවට දරාගත නො හැකි මට්ටමට රෝගීන් වාර්තා වෙමින් තිබෙන බැවින්, රෝගීන් වාර්තා වීම අවම කර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගවලට යාම අත්‍යාවශ්‍ය බව ද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇතැ යි දැනගන්නට තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයාගෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලීමක් කර ඇත්දැ යි කළ විමසීමකට සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රතිචාර දක්වමින් සඳහන් කර සිටියේ සියලු පාර්ශ්ව එකතු වී සාකච්චා කර අවසන් තීරණයක් ගන්නා බවයි.

+++++++++++++++++++++

(10.08.2021 – 11:09 +0530 – hirunews.lk/sinhala)

මාමන්ගම් පිල්ලයාර් කෝවිල් පරිපාලන සභා සාමාජිකයින් 5 දෙනෙකුට එරෙහි ව නිරෝධායනය හා රෝග මර්දන නීතිය යට‍තේ වැඩි පිරිසක් ඒකරාශී කරවීම, මුඛ ආවරණ නො පැළඳවීම , සමාජ දුරස්ථභාවය නො රැකීම හා උපදෙස් උල්ලංඝනය කිරීම යනාදී චෝදනාවන් මත අද (10) දිස්ත්‍රික් සෞඛ්‍ය අංශය විසින් නඩු පැවරුවා.

මෙහි දී අධිකරණය විසින් එක් අයෙකුට රු. 20,000 බැගින් දඩ නියම කළ අතර, එම පරිපාලක සභා සාමජිකයින් හා කෝවිල අද (10) සිට දින 14 ක් නිරෝධායනය කළ යුතු බවට මඩකලපුව සෞඛ්‍ය විද්‍යා අධිකාරි කාර්යාලය පවසනවා.

මඩකලපුව මාමෙන්ගස්වර කෝවිලේ වාර්ෂිකව මෙවර පැවැත්වුණු දියනෑමේ උත්සවයට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් දහස් ගණන් භක්තිකයින් පිරිසක් සහභාගිවීම විශේෂත්වයක්.

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(10.08.2021 – 09:21 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 2020 වසරේ මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන අතර, 2016 වසරෙන් පසු ඉහළ ම දල රක්ෂණ වාරික වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම පවසනවා.

එමඟින් ප්‍රකාශයට පත්කර ඇති ද්වි වාර්ෂික ඇගයීමට අනුව 2020 වසරේ මෙරට දල රක්ෂණ වාරිකවල වටිනාකම රුපියල් බිලියන 102.9 ක් වන අතර, එය 16% ක වර්ධනයක් ලෙස සැලකිය හැකියි.

එමෙන්ම, සාමාන්‍ය රක්ෂණ ඇතුළු සමස්ත රක්ෂණ වාරික ආදායම රුපියල් බිලියන 208.3 දක්වා 6% ක වර්ධනයක් පෙන්නුම් කරනවා.

මෙලෙස ජීවිත රක්ෂණ දල වාරික ආදායම ඉහළ යෑම රක්ෂණ ක්ෂේත්‍රය කෙරෙහි ශ්‍රී ලංකාවාසීන්ගේ විශ්වාසය පසුගිය වසර කිහිපය තුළ වර්ධනය වීම පිළිඹිඹු කරන බවයි ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම සඳහන් කළේ.

කෙසේ නමුත්, මෑතක දී ජීවිත රක්ෂණ කෙරෙහි ජනතාව වැඩි නැඹුරුවක් දැක්වීමට හේතු වී ඇත්තේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතයයි ෴

******************************************

(10.08.2021 – 10:09 +0530 – hirunews.lk/sinhala)

ලිට්‍රෝ ගැස් සමාගම විසින් ඉල්ලුමට සරිලන ගැස් තොග ලබා නො දීම නිසා ගැස් හිඟයක් මතු වි ඇති බවට ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් පවසනවා.

ලිට්‍රෝ ගැස් සමාගම විසින් ඉල්ලුමට සරිලන ගැස් තොග ලබා නො දෙන නිසා හැටන් ප්‍රදේශයේ ගැස් හිඟයක් මතු වි ඇති බවට හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටිනවා.

දෛනික අලෙවිය සදහා තමන්ට අවශ්‍ය ගැස් තොග ප්‍රමාණයෙන් අඩක් හෝ ඊට අඩුවෙන් ලිට්‍රො ගැස් සමාගම විසින් තම අලෙවි ආයතනයට ගැස් තොග ලබාදෙන බවත් එසේ ලබාදෙන ගැස් ප්‍රමාණය පැය කිහිපයක් තුළ අලෙවි වී අවසන් වන බව යි හැටන් ප්‍රදේශයේ ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ.

ලිට්‍රෝ ගැස් සමාගම විසින් නිකුත් කරන ගැස් ප්‍රමාණයට වඩා වැඩි හිස් සිලින්ඩර් ප්‍රමාණයක් තම වෙලදසැලේ තිබෙන බවට එම අලෙවි නියෝජිතයන් තව දුරටත් කියා සිටිනවා.

මේ සම්බන්ධයෙන් අප ලිට්‍රො ගැස් සමාගමේ ගැස් තොග බෙදා හරින නිලධාරියෙකුගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ තම සමාගම විසින් ලබාදෙන සිමිත ගැස් සිලින්ඩර් ප්‍රමාණය ප්‍රදේශයේ සියලු ම ගැස් අලෙවි නියෝජිතයන් වෙත බෙදා හැරිමට තමන්ට උපදෙස් ලැබි ඇති බවයි ෴

******************************************

(10.08.2021 – 10:17 +0530 – hirunews.lk/sinhala)

විශේෂ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය අනුව 2021/2022 මහකන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර ආනයනය සඳහා අදාළ ප්‍රසම්පාදන පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණේ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින්. මහකන්නය සඳහා දේශීය කාබනික පොහොර නිෂ්පාදනයන්ගෙන් සපුරා ගැනීමට නොහැකි කාබනික පොහොර ආනයනය කිරීම සඳහා මීට පෙර අනුමැතිය හිමිව තිබුණා.

ඒ අනුවයි ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම අවශ්‍ය පොහොර තොග සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලන්සු කැඳවීමට පියවර ගත්තේ.

ඊට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය අනුව අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීමටයි ඊයේ (09) පැවති අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.

******************************************

(10.08.2021 – 10:24 +0530 – hirunews.lk/sinhala)

සිය 13 හැවිරිදි සහෝදරිය ව අපයෝජනය කළ 12 හැවිරිදි සහෝදරයෙකු පිළිබඳ ව සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවට ඕමන්ත පොලිසිය පවසනවා.

ඕමන්ත ප්‍රදේශවාසීන් පැවසුවේ ඕමන්ත නව්ලි ප්‍රදේශයේ දී 12 හැවිරිදි සහෝදරයා විසින් 13 හැවිරිදි සිය සහෝදරිය අපයෝජනය කළ සිදුවීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වූ බවයි.

උදරාබාධ තත්ත්වයක් මත දැරිය රෝහල් ගත කිරීමෙන් අනතුරු ව සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වි ඇති බව ද ප්‍රදේශවාසීන් පවසනවා.

සිද්ධියට අදාළ වෛද්‍ය වාර්තා පරීක්ෂා කොට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවට ඕමන්ත පොලිසිය තවදුරටත් සඳහන් කළා ෴

******************************************

තවත් මාරාන්තික වෛරසයක් අප්‍රිකාවෙන් මතුවෙයි

(10.08.2021 – 10:48 +0530 – hirunews.lk/sinhala)

එබෝලා වෛරසයට සමාන ‘මාබර්ග්’ නමැති වෛරස් රෝගයක් අප්‍රිකානු ගිනියා රාජ්‍යයෙන් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

වැළඳුණහොත් මරණයට පත්වීමේ සියයට 88 ක හැකියාවක් සහිත මාබර්ග්, කොරෝනා වෛරසය මෙන් සත්ත්වයන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වෛරසයක් ලෙසයි සැලකෙන්නේ.

පසුගිය අගෝස්තු 02 වනදා රෝගාතුරව මියගිය ගිනියා ජාතිකයින්ගේ සාම්පලවලින් මෙම වෛරසය හමුවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා.

ගල් ලෙන් සහ පතල් ආශ්‍රිත වව්ලන් හා සම්බන්ධ මාබර්ග් වෛරසය මිනිසාට ආසාදනය වූ පසු එම ආසාදිතයින් වෙතින් මිනිසුන් අතර, සම්ප්‍රේෂණය විය හැකියි.

මේ නිසා මාබර්ග් වෛරසය වැළැක්වීම සඳහා පියවර ගත යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපීය අධ්‍යක්ෂ මට්ෂිඩිසෝ මොයෙටි ප්‍රකාශ කළේ.

මෙම නව වෛරසය මතුව ඇත්තේ, යළිත් වරක් මතු වූ එබෝලා වෛරසයෙන්, ගිනියා රාජ්‍යය නිදහස් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර මාස දෙකකින් (2) අනතුරුවයි ෴

******************************************

ආනයනික කිරිපිටි මත පනවා ඇති බදු සම්පූර්ණයෙන් ඉවතට

(10.08.2021 – 11:20 +0530 – hirunews.lk/sinhala)

ආනයනික කිරිපිටි මත පනවා ඇති බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කල බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

කිරිපිටි මිල ඉහළ නැංවීමට ආනයනික සමාගම් අඛන්ඩව ඉල්ලීම් සිදුකළද, ඊට අවසර හිමිවූයේ නැහැ. ඒ අනුව, සිය ආනයන කටයුතු සීමා කිරීමට තීරණය කර ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කළේ.

එමෙන්ම, ආනයනකරුවන් සිය ආනයන කටයුතු සීමා කිරීම නිසා වෙළඳපොලේ කිරිපිටි හිඟයක් ද නිර්මාණය වී තිබෙනවා.

මේ තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි අමාත්‍ය මණ්ඩලය මිල ඉහළ නොදමා බදු අඩු කිරීමට මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අතර, ගෑස් තොග ප්‍රමාණවත් පරිදි රට තුල පවතින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළා. මාස 3 කට ප්‍රමාණවත් පරිදි සීනි තොග ද රට සතුව පවතින බවයි ඔහු කියා සිටියේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *