පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ට පැනවෙන දඩය රුපියල් ලක්ෂය යි

පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ට පැනවෙන දඩය රුපියල් ලක්ෂය යි

*********************************************

පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ට පැනවෙන දඩය රුපියල් ලක්ෂය යි

(09.08.2021 – 21:48 +0530 – hirunews.lk/sinhala)

පාලන මිල ඉක්මවමින් භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ට පනවා තිබූ රුපියල් 2500 ක දඩය රුපියල් ලක්ෂය (100,000) දක්වා ඉහළ නංවා තිබෙනවා.

ඊට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියාසිටියේ.

******************************************

(09.08.2021 – 22:08 +0530 – hirunews.lk/sinhala)

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව පිළිබඳ සොයා බලා මීළග කැබිනට් රැස්වීමට කරුණු වාර්තා කිරීමට පංච (5) පුද්ගල අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කර තිබෙනවා.

බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර සහ ඩලස් අලහප්පෙරුම යන අමත්‍යවරුන් ඊට අයත්.

******************************************

පිළිස්සී මියගිය දැරිය පිළිබඳ ව හරියාකාරව නොදන්නා බව රිෂාඩ් කියයි

(09.08.2021 – 21:42 +0530 – hirunesinhala.adaderana.lk)

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ දී පිළිස්සුම් තුවාල සහිතව මියගිය දැරිය, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදි ‘තමන් විසින්ම ගිනිතබා ගත් බවට දැරිය ප්‍රකාශකළැයි’ සටහනක් යොදාතිබු වෛද්‍යවරයා මේ වනවිට විදේශගතව ඇති බව අද (09) අධිකරණයේදී අනාවරණය විය.

ඒ, මෙම සිදුවිමට අදාළ පැමිණිල්ල අද (09) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදීය.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි ඉශාලිනි ජූඩ් දැරිය පිළිස්සුම් තුවාල සහිතව ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජුලි මස 15 වැනිදා මිය ගියාය.

ඇයට දීර්ඝ කාලයක සිට ලිංගික ප්‍රවේශයක් සිදුව ඇති බවත් පිළිස්සුම් තුවාල මත විෂබීජ ආසාදනයක් හේතුවෙන් ඇති වු කම්පනයකින් මරණය සිදුව ඇති බවත් පසුව මරණ පරික්ෂණ වාර්තාවෙන් ප්‍රකාශ කෙරුණි.

අධිකරණයේ නියෝග අනුව ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය විශේෂ කමිටුවක් විසින් පසුගිය 30 වනදා දේහය යළි ගොඩගෙන පේරාදෙණිය රෝහලේ දී දේහය පිළිබඳ දෙවන (2) පශ්චාත් මරණ පරික්ෂණය සිදුකළේය.

එවන් පසුබිමක දැරියගේ මරණයට අදාළව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ බිරිඳ , මාමණ්ඩිය, මස්සිනා සහ දැරියව මෙම නිවසට රැගෙන ආ තැරැව්කරු අත්අඩංගුවට ගෙන අද (09) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

එම පැමිණිල්ල අද (09) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදි විමර්ශන සිදුකරන පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප් පිරිස් මහතා කියා සිටියේ එම දැරියගේ විමර්ශනවලට අදාළව අනාවරණය වන කරුණු අධිකරණයට වාර්තා කිරීමට මත්තෙන් ඒවා ජනමාධ්‍යවල පළවීම තුළින් මියගිය දැරියට දැඩි අගතියක් සිදුවන බවය.

මෙහිදි අතිරේක මහෙස්ත්‍රාත්වරිය පොලිස්පතිවරයාට නියෝග කළේ, එම විමර්ශනයට අදාළ තොරතුරු අධිකරණයට වාර්තා කිරීමට පෙර ජනමාධ්‍ය වෙත නිකුත් වන්නේ කෙසේදැයි සොයාබලා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.

අනතුරුව වැඩිදුරටත් කරුණු දක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මෙම දැරියගේ මරණය සිය දිවිනසා ගැනීමක් ද? අනතුරක් ද? නැතිනම් මිනීමැරීමක් ද? යන්න පිළිබඳව තවදුරටත් සැකයක් පවතින බව පෙන්වා දුනි.

තුවාල ලැබූ එම දැරිය රෝහල්ගත කිරීමෙන් පසුව බොරැල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂක ශ්‍රියාරත්න නමැති නිලධාරියා ඇය අසල ගොස් සිදුවූයේ කුමක් දැයි දැරියගෙන් ප්‍රශ්න කළ බවත් එම අවස්ථාවේදී දැරිය දැඩි අපහසුවෙන් සිටි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේය.

ඊට අදාළ වීඩියෝ පටයක් ද එම නිලධාරියා විසින් ලබාගෙන ඇති අතර එම වීඩියෝ පටය පිරික්සීමේ දී අදාළ නිලධාරියා විසින් කුමක් සිදුවූයේ දැයි විමසූ විට දැරිය දැඩි අපහසුවෙන් “ගහන්න එපා”, “ෆෝන් එක අයින් කරන්න” යනාදී පිළිතුරු ලබාදී තිබූ බව අනාවරණය වන්නේ යැයිද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පැවසුවේය.

එම දැරිය රෝහලේදී මියගිය පසු ඇයගේ සොහොයුරා සහ දෙමව්පියන් රිෂාඩ් බදියුදීන්ගේ නිවසට පැමිණි අවස්ථාවේ එහි සිටි පොලිස් ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි පුද්ගලයෙකු මෙම සිද්ධිය පොලිසියට රැගෙනයාම අනවශ්‍ය බවත් මෙය මෙතනින්ම අවසන්කර ගන්නා ලෙසත් ඔවුන්ට බලපෑම්කර තිබූ බව ඉකුත් නඩු දිනයේ පොලීසිය විසින් අධිකරණයට වාර්තාකර තිබුණි.

එම පුද්ගලයා පිළිබඳව විමර්ශනයක් සිදුකළ බව කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා එම පුද්ගලයා පොලිස් මූලස්ථානයට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂක ‘ලෆාර්’ නමැත්තෙකු බවට කරුණු අනාවරණය වී ඇතැයි පැවසුවේය.

එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ අවදියේ ඔහුගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවයකර ඇති බවද ඔහු පෙන්වා දුනි.

පිළිස්සීමට භාජනය වූ දැරිය තම කුටියේ සිට මුළුතැන් ගෙයි දොර විවෘත කර ගනිමින් කොරිඩෝව ඔස්සේ සාලයට දක්වා සැලකිය යුතු දුරක් දිවවිත් තිබුණද ඒ අසල තිබූ භාණ්ඩවලට ගින්නෙන් කිසිදු හානියක් සිදුනොවීම විමතිය දනවන කරුණක් යැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පැවසුවේය.

අපරාධ ස්ථානය පරීක්ෂා කිරීමේ දී ගිනි ගැනීමට ලක් බව තහවුරු කෙරෙන කිසිදු බාහිර සාක්ෂියක් අනාවරණය වී නොමැති බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ඒ අනුව අපරාධ ස්ථානයේ තිබූ සාක්ෂි සැකකරුවන් විසින් විනාශ කිරීමට පියවර ගෙන තිබුණේ ද යන බරපතළ සැකය මතුවන බව සඳහන් කළේය.

එම දැරිය රෝහල්ගත කළ අවස්ථාවේ ඇය තමන් විසින්ම ගිනිතබා ගත් බවට සටහනක් යොදා තිබෙන්නේ ‘රන්දික’ නමැති වෛද්‍යවරයෙකු බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසුවේය.

එම වෛද්‍යවරයා මේ වන විට විදේශගත වී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා කෙසේවෙතත් Zoom තාක්ෂණය ඔස්සේ ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් අවධානය යොමුකර ඇතැයි ද සඳහන් කළේය.

එම දැරිය රෝහල්ගත කරන අවස්ථාවේ ඇය නියම සිහි බුද්ධියෙන් සිටින බවට කිසිදු වෛද්‍යවරයෙකු විසින් සටහන් යොදා නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය පැවසුවේය.

අත්අඩංගුවේ පසුවන රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගෙන් මෙම අපරාධය සම්බන්ධයෙන් ඉකුත් සෙනසුරාදා (07) පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගත් බව ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී මෙම දැරිය පිළිබඳව තමා හරියාකාරව නොදන්නා බවට ඔහු ප්‍රකාශ කර ඇතැයි ද සඳහන් කළේය.

විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයන්ට එල්ලවී තිබෙන චෝදනා වලට ඇප ලබාදීමට අධිකරණයට බලයක් තිබෙන හෙයින් ඔවුන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළේ එම සැකකරුවන් ලබන 23 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.

******************************************

ලිට්‍රෝ ගැස් හිඟයකුත් ?

(09.08.2021 – 18:57 +0530 – sinhala.adaderana.lk)

වෙළෙඳපොළ තුළ මේ වන විට ලිට්‍රෝ ගෑස් හිඟයක් ද ඇතිවීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව මේ දිනවල දැඩි අසීරුතාවට පත්ව සිටී.

ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ, ප්‍රමාණවත් තරම් ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් කළද ගෑස් හිඟයක් ඇතිවේ යැයි සිතා ජනතාව වැඩි වශයෙන් ගෑස් මිලදී ගැනීමට කටයුතු කිරීම නිසා යම් තදබදයක් වෙළෙඳපොළ තුළ නිර්මාණය වී ඇති බවය.

ලිට්‍රෝ ගෑස් සමාගම මීට පෙර ප්‍රකාශ කළේ, රටට අවශ්‍ය ගෑස් සංචිත සිය සමාගම සතු බැවින් වෙළඳපොළ තුළ ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවය.

ඔවුන් එසේ පැවසුවද මේ වන විට වෙළෙඳපොළ තුළ ලිට්‍රෝ ගෑස් හිඟයක්ද ඇති වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු පාරිභෝගිකයින්,

“දැන් දවස් 4 ක් විතර වෙනවා ගෑස් ගන්න තැනක් නෑ. තැන් කීපයක බැලුවා.”

“කහපාට සිලින්ඩරේට නිල්පාට දෙනවා කියනවා. දැන් බැලුවහම නිල් පාටත් නැ.”

“පුදුම විදියේ දුකක් මේ මිනිස්සු විදින්නේ. අන්තිමට උයන් කන්න තියෙන ගෑස් ටිකත් නෑ.”

හොරණ පොකුණුවිට ප්‍රදේශයේ ජනතාව ගෑස් ලබා ගැනීම සඳහා අද (09) ගෑස් ප්‍රවාහන රථ පැමිණෙන තෙක් පැය ගණනාවක් පෝළිම්වල රැඳී සිටි ආකාරය ‘අද දෙරණ’ කැමරාවේ සනිටුහන් විය.

හොරණ මුලගම ප්‍රදේශයේ එවැනි ම තත්ත්වයක් දක්නට ලැබුණි.

ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නැවැත්වීමත් සමඟ මේ වන විට පාරිභෝගික ජනතාවට මිලදී ගැනීමට වෙළෙඳපොළ තුළ ලාෆ් ගෑස් ද නොමැති තත්ත්වයක් පවතී.

******************************************

මාතලේ ප්‍රදේශ කිහිපයක ට පැය 24 ක ජල කප්පාදුවක්

(09.08.2021 – 18:03 +0530 – sinhala.adaderana.lk)

මාතලේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, හෙට (10) පෙරවරු 08:00 සිට අනිද්දා (11) පෙරවරු 08:00 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.

උඩුගම, පළාපත්වෙල, දොස්තරවත්ත, දුංකොළවත්ත හා සමන්දව නිකවල බී කොටස යන සියලු ප්‍රදේශයන්වල ජල කප්පාදුව සිදුකෙරේ.

‘විසල් මාතලේ’ ජල ව්‍යාපෘතියේ නළ මාර්ග ඉදිකිරීමේදී සිදුවන අවහිරතා හේතුවෙන් එම ජලකප්පාදුව සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි ෴

@@@@@ කොවිඩ් පුවත් @@@@@

(09.08.2021 – 22:14 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1010 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද (09) දිනයේ හමුවූ සමස්ත ආසාදිතයන් ගණන 2938 ක්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයන් 332,947 ක් වාර්තාවී තිබෙනවා ෴

+++++++++++++++++++

පරිස්සම් වෙන්න; වැඳලා කියන්නේ… ආදාහනාගාර සේවකයින්ගේ අත්දැකීම්

(09.08.2021 – 16:33 +0530 – sinhala.adaderana.lk)

දිවයින පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට ජීවිත විශාල ප්‍රමාණයක් සිය සමීපතමයින්ට අහිමිව ගොස් තිබේ.

ඒ අතර රෝහල්වල ද දෛනිකව මෘත දේහ ගොඩ ගැසෙමින් පවතින අතර, එය සියලුදෙනා කම්පනයට පත්කිරීමට හේතුවී ඇත.

රෝහල්වල මෘත දේහ ගොඩගැසී ඇති අයුරු දැක්වෙන දර්ශන පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

එවන් පසුබිමක ආදාහනාගාර සේවකයින් ද මුහුණදෙමින් ඇත්තේ ඉතා අසීරු කාලසීමාවකටය.

කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල ආදාහනාගාර සේවකයින් තමන් මුහුණ දෙන අත්දැකීම් ‘අද දෙරණ’ ට කියා සිටියේ මෙලෙසිනි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ආදාහනාගාර ක්‍රියාකරුවෙක් :

“අපි මේ කරන්නේ ලොකු කාර්තව්‍යයක්. මිනිස්සු එනවා ආදාහනය කරද්දි. මිනිස්සු දන්නේ නෑ ඇත්තටම මෙතෙන මොකද්ද වෙන්නේ කියලා. අපි මෙහෙම ඉන්නකොට මිනිය ගේනකොට මිනිස්සු එනවා අඬාගෙන, එක එක කතා කියාගෙන මහත්තයෝ. මිනිය පෙන්නන්න කියනවා. මිනිස්සු දන්නේ නෑ මහත්තයෝ කොරෝනා රෝගය මොකද්ද කියලා. බලන්න මහත්තයෝ අපි ඉස්සර හිටිය විදියයි දැන් ඉන්න විදියයි. අපි කොච්චර බයෙන් ද ඉන්නේ. මේ මිනිස්සු මිනිය පුච්චද්දි ඇවිල්ලා අහනවා අනේ පොඩ්ඩක් පෙන්නන්න බැරි ද කියලා. අපි කොහොමද මහත්තයෝ උත්තර දෙන්නේ. අපිත් ගැහි ගැහි ඉන්න වෙලාවේ. අපි ඕක පෙන්නන්න ද මහත්තයෝ කොරෝනා අස්සේ. අපි ඈත්වෙලා ඉන්න කිව්වහම ළඟටම එනවා. මේකේ බැරෑරුම්කම මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. මෙතෙනට ඇවිල්ලා ගැවසෙන්න එන්න එපා. මොකද අපිත් බයෙන් ඉන්නේ.”

ගම්පහ දිස්ත්‍රික්කයේ ආදාහනාගාර ක්‍රියාකරුවෙක් :

“මිනිස්සු හැසිරෙන්නේ සත්තු විදියට. මිනිය පෙන්නන්න කියලා කෑ ගහනවා. අළු ඉල්ලනවා. ඒවා කරන්න බෑනේ. අපිත් ආරක්ෂා වෙලා කරන්න ඕනේ. අපිටත් දෙමව්පියෝ දරුවෝ ඉන්නවා. කොරෝනා මිනීත් එක්ක මිනිස්සු 20-25 එක පාර එනවා. අපි කොරෝනා මිනී දාලා දාලා ඔලුවේ කැක්කුමයි. එච්චර මිනී එනවා. කිව්වහම අපිට ගහන්න එනවා. මන්ත්‍රීවරුන්ටත් බනිනවා. බැනල කියනවා අළු ඕනේ කියලා. නූගත් උන් කියලා අපිට බනිනවා. අපි හදන්නේ රටත් බේරගෙන අපිත් බේරිලා ඉන්න. අපි පරිස්සමින් හැමදේම කරලා මිනිස්සුන්ට සහය දුන්නාට අපිට සහය දෙන්නේ නෑ. ඒත් මිනිස්සු එක්ක හරි අමාරුයි මේක කරන්න. පළවෙනි රැල්ලේ දී අපිට ගානක් නෑ. මිනී දෙකයි තුනයි අපි පිච්චුවේ. දැන් දවසකට 7 ක් විතර පුච්චනවා. ජනතාව තමයි ලෙඩ වැඩි කරන්නේ. අපි දන්නවා තත්ත්වේ. ඉගෙන ගත්ත අය හැසිරෙන්නේ මෝඩයෝ විදියට. මේ අත් දෙකෙන් මිනී 250 කට වැඩිය අල්ලලා තියෙනවා. වැඳලා කියන්නම් අපිටත් සහය දෙන්න.”

ගම්පහ දිස්ත්‍රික්කයේ ආදාහනාගාර ක්‍රියාකරුවෙක් :

“ඉස්සෙල්ලා පිච්චුවේ නෝමල් එවා. එතකොට මිනිස්සු එනවා. දැන් එහෙම නෙමෙයි. මිනිස්සුනට එන්න බෑ. කාටවත් බලන්න බෑ. අම්මගේ, තාත්තාගේ, පුතාගේ කාගෙවත් මිනිය බලන්න බෑ. අළු ඉල්ලනවා. මෙතෙන ඇවිල්ලා අඩනවා. භයානකයි. අපි කියන්නේ මිනිස්සුන්ට පරිස්සම් වෙන්න කියලා. මිනිස්සු පරිස්සම්වෙන්නේ නෑ කිසිදෙයකින්. එන්න එපා කිව්වහම ඇවිල්ලා අපිට බනිනවා. අපි බැනුම් අහනවා. අත්දෙකෙන් වැඳලා කියන්නම් පරිස්සම් වෙන්න. අපිටත් අම්මලා තාත්තලා ඉන්නවා. අපි දන්නවා මැරෙන මිනිස්සු කියලා. ඒත් අපිත් බයයි. එච්චරයි ඉල්ලන්නේ.”

++++++++++++++++++++++

ලංකාව ලෝකයේ ඉහළම කොරෝනා මරණ අනුපාතයන් වාර්තා කරමින්… වහා දැඩි සංචරණ පනවන්න.. – වෛද්‍ය විශේෂඥයන් රජයට දන්වති..

(09.08.2021 – 22:29 +0530 – lankacnews.com)

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසන් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

= මාධ්‍ය නිවේදනයයි =

අප සිටින්නේ කොරෝනා වසංගතයේ උච්චතම අවස්ථාව අබියසද ?

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ඉතා දැඩි ලෙස රට තුළ පැතිර යමින් පවතින මේ මොහොතේ රටේ සියලුම සෞඛ්‍ය අංශයන් එහි උපරිම ධාරිතාවට දැනටමත් පැමිණ ඇත. එපමණක් නොව මෘත ශරීරාගාර ද ඒවායේ උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇත. මෙය රජයේ මෙන්ම පුද්ගලික වෛද්‍ය සේවාවන් වලට ද එකසේ බලපා ඇත. දිනපතා සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර මේ දිනවල අප ලෝකයේ ඉහළ ම කොවිඩ්-19 මරණ අනුපාතයන් වාර්තා කරමින් පවතී. රෝගීන් සංඛ්‍යාව මෙන්ම විශේෂයෙන්ම ඔක්සිජන් අවශ්‍ය වන රෝගීන් සංඛ්‍යාව ඉතා දැඩි ලෙස ඉහළ යමින් පවතින මේ මොහොතේ අපට හැඟෙන්නේ ප්‍රතිකාර කිරීමේ පහසුකම් එහි උච්චතම අදියරට පැමිණ ඇති බවයි.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් සැපයීමට අපට සිදුවී ඇත්තේ අනෙකුත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ඇති හැකියාවන් සීමා කොට එම පහසුකම්ද කොරෝනා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වෙන් කර දීමෙනි. මේ නිසා රෝගීන්ට අවශ්‍ය ඇඳන් ඔක්සිජන් මෙන්ම වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු අනිකුත් පුහුණු කාර්ය මණ්ඩලය සීමාසහිත නිසා තව දින කිහිපයකින් රට ඉතාමත් විශාල අර්බුදයකට යෑමට ඇති හැකියාව සක් සුදක් සේ පැහැදිලිය. මේ තත්ත්ව යටතේ කොරෝනා රෝගීන් මෙන්ම කොරෝනා නොවන අනිකුත් ප්‍රතිකාර කළ හැකි රෝගීන්ගේ ජීවිත අවදානම අපට වැළැක්විය නොහැකි තත්වයක් උදාවෙමින් පවතී.

එමෙන්ම මාත්‍රා දෙකක් ලබාදී සති දෙකක් අවසන් වීම මගින් සංඛ්‍යාත්මක ලෙසින් එන්නත්කරණය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙන ජනගහන ඉලක්කය කරා ළගාවීමට තව දෙතුන් මසක් පමණ ගත වන බව අපගේ විශ්වාසයයි. මෙහිදී මෙම කාලය ලඟා වන තුරු තවදුරටත් රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සංචරණ සීමා දැඩි ලෙස පැනවීම අපට ඇති ප්‍රධානම අවිය ලෙස මෙහිදී සැලකිය යුතු බව අපගේ හැඟීමයි.

එම කරුණු සැලකිල්ලට ගෙන විශේෂඥ වෛද්‍ය සංගමය ලෙස අප ඉල්ලා සිටින්නේ සංචරණ සීමා ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම ඉතා ඉක්මනින් කල් නොමරා කළ යුතු අතර එසේ නොකර සිටීම සුළුකොට නොතැකිය යුතු බවයි.

එසේ කිරීම මගින් අප බලාපොරොත්තු වන්නේ දැනට උච්ඡතම අවස්ථාවට පැමිණ ඇති ප්‍රතිකාර කිරීමේ හැකියාව (රෝගීන් ප්‍රමාණයේ සුළු හෝ අඩුවකින්) යම්කිසි තරමකට හොඳ තත්ත්වයකට පත් වනු ඇති බවයි. මෙමගින් ප්‍රතිකාර කිරීමේ කටයුතුවල නියැලී ඇති සියලුම කාර්ය මණ්ඩලවලට යම්කිසි තාවකාලික හෝ සහනයක් ලබා දීමට හැකි අතර එය ලඛා දීම අත්‍යවශ්‍ය බව අපගේ හැඟීමයි. නිදහස්, නිර්දේශපාලනික වෘත්තීයමය සංගමයක් ලෙස මෙන්ම රටේ සෞඛ්‍ය පවත්වා ගෙන යාම සඳහා වගකියන ව්ශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ලෙස රට මුහුණ පා ඇති මේ දරුණු අවස්ථාවේදී එහි ඇති බරපතල බව බලධාරීන්ට පෙන්වා දීම අපගේ පරම යුතුකමක් බව අපගේ හැඟීමයි.

සංචරණ සීමා ප්‍රතිඵල දායී වීමට නම් ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කරන ඇඳිරි නීති තත්ත්වයක් වුවද ප්‍රකාශ කිරීමට සිදුවිය හැකි බව අපගේ විශ්වාසයයි. රටේ ආර්ථිකය බිඳ වැටී ඇති මෙවන් අවස්ථාවක දෛනික වැටුප් වලින් ජීවත් වන්නන් ගේ ජීවිත වැටි ඇති අසරණ තත්ත්වය ගැන සැලකීම හා රටක් ලෙස ආර්ථිකය ඉහළ නැංවීමේ රජයේ අවශ්‍යතාව අපට ඉතා පැහැදිලි ය. කෙසේ නමුදු මේ අවස්ථාවේදී මරණ බිය හා රෝගයට ගොදුරු වීමේ ඇති බිය නිසා ජනතාව පත්වී ඇති අසරණ තත්ත්වය යම් තරමකට හෝ සමනය කිරීම අනිකුත් ආර්ථික ප්‍රශ්න විසඳීමට අවශ්‍ය ප්‍රධානම කාරණය වන බව අපගේ හැඟීමයි.

එම නිසා අප විසින් රජයෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ කොරෝනා පාලනය සඳහා අවශ්‍ය නීතිමය මෙන්ම අනිකුත් දැඩි ක්‍රියාමාර්ග ගැන රෝගීන් ප්‍රමාණය මෙන්ම මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින මේ අවස්ථාවේ නැවත සිතා බලන ලෙසයි.

තවද, දැනට අප රටේ පවතින කෝවිඩ්-19 එන්නත් වැඩපිළිවෙල ලෝකයේ පවතින ඉතා කාර්යක්ෂම එන්නත් වැඩපිළිවෙලක් වුවත්, එමගින් මේ මොහොතේ පවතින ව්‍යසනකාරී තත්ත්වයට බලපෑමක් එල්ල නොවන බව අපි අවධාරණය කරමු.

– විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *