රිෂාඩ්ගේ බිරිඳ ඇතුලු සිව්දෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපිතයි – 23 දක්වා යළි රිමාන්ඩ්

රිෂාඩ්ගේ බිරිඳ ඇතුලු සිව්දෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපිතයි – 23 දක්වා යළි රිමාන්ඩ්

*********************************************

රිෂාඩ්ගේ බිරිඳ ඇතුලු සිව්දෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපිතයි – 23 දක්වා යළි රිමාන්ඩ්

(09.08.2021 – 18:53 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනා (4) ලබන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

ඒ හිෂාලිනි ජූඩ් දැරිය මන්ත්‍රීවරයාගේ නිවසේදී පිලිස්සී මියයාම සම්බන්ධයෙන් වන නඩුව අද (09) කැඳවූ අවස්ථාවේදීයි.

සිද්ධියට අදාළ නඩුව අද (09) පෙරවරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ කැඳවනු ලැබුව ද නිරෝධායනයට යොමුකර සිටින සැකකරුවන් සිව්දෙනා (4) බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

******************************************

(09.08.2021 – 17:18 +0530 – hirunews.lk/sinhala)

අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ආ සැකකරුවෙකු අධිකරණ භූමියෙන් පලා යාමට තැත් කිරීමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිරු වාර්තාකරු පැවසුවේ ප්‍රදේශයේ රථවාහන රාජකාරි වල යෙදී සිටි පොලිස් නිලධාරින් ඇතුළු පිරිසක් සැකකරු ලුහුබැඳ ගොස් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ෴

******************************************

(09.08.2021 – 17:34 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල මිලදී ගැනීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මඟින් රුපියල් මිලියන දහයක (10,000,000) මුදලක් ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබා දී තිබෙනවා.

එම මුදලට අදාල චෙක්පත ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා වෙත බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී භාරදීම අද (09) සිදුකළ බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ.

******************************************

(09.08.2021 – 18:43 +0530 – hirunews.lk/sinhala)

ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ 48 වන සැසිවාරය ලබන සැප්තැම්බර් 13 වනදා ආරම්භ වන අතර, එහි පළමු (1) දිනයේදීම ශ්‍රී ලංකාව පිළිබඳව සාකච්ඡා කරන බව දැන් නිකුත් කර ඇති එහි කාර්ය සටහනේ දැක්වෙනවා.

සැප්තැම්බර් 13 වනදා සිට ඔක්තෝම්බර් 06 වනදා දක්වා පැවැත්වෙන සමුළුවේදී මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික රටවල් රැසක් පිළිබඳ වාර්තා ඉදිරිපත් කෙරෙන අතර, ඒ පිළිබඳ විවාද හා තීන්දු තීරණ ගැනීමට ද නියමිතයි.

සැප්තැම්බර් 13 වනදා පළමු දිනයේදී ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ සිය වාචික දේශන ඉදිරිපත් කරන අතර, වෙනිසියුලාව, නිකරගුවා සහ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා ඉදිරිපත් කරනු ඇති ෴

******************************************

ස්ලිට් (SLIIT) ආයතනයට කෝප් කමිටුවෙන් නිර්දේශ

(09.08.2021 – 18:48 +0530 – hirunews.lk/sinhala)

‘ස්ලිට්’ (SLIIT) හෙවත් ‘ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ’ රජයට තිබූ අයිතිය අහිමි කිරීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශවයන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ පියවර ගන්නා ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

ඒ කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව රැස්වූ අවස්ථාවේදීයී.

මහපොළ අරමුදලේ ව්‍යාපෘතියක් ලෙස ඊට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් යොදවා ඇරඹි ස්ලිට් ආයතනය පසුව වාණිජ ව්‍යාපාරයක් ලෙස අධික ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට විවිධ පාර්ශවයන් විසින් කටයුතු කර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, ස්ලිට් ආයතනය යළි මහපොළ අරමුදල යටතට පවරාගෙන සාධාරණ ගාස්තු ගෙවීමකට යටත්ව උසස් අධ්‍යාපනය ලැබීමට සිසුන්ට අවස්ථාව ලබා දෙන ලෙසයි කෝප් කමිටුව නිර්දේශ කර ඇත්තේ.

එමෙන්ම, ස්ලිට් ආයතනය අමාත්‍යංශයක් යටතට පවරා ගන්නා ලෙසද කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

එමෙන්ම ස්ලිට් ආයතනය පෞද්ගලීකකරණයට අදාල ගැටලු සහගත ක්‍රියාවලිය සංවිධානාත්මක වංචාවක් බවට පෙනී යන බවයි කෝප් කමිටුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ස්ලිට් ආයතනය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තා සම්බන්ධයෙන් දෙදින විවාදයක් පැවැත්වීම සඳහා කතානායකවරයා වෙත යෝජනා කිරීමටද පසුගියදා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා ෴

******************************************

(09.08.2021 – 19:01 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පති වැටුප් ගැටළුවට විසඳුම් ඉල්ලා ලංකා ගුරු සංගමය ඇතුලු‍ සංගම් කිහිපයක් සංවිධාන කළ උද්ඝෝෂණ කිහිපයක් අද (09) දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී පැවැත්වුණා.

ඒ රටේ පවතින තත්ත්වය හමුවේ ගුරු සංගම් කිහිපයක් සිය විරෝධතා තාවකාලිකව අත්හිටුවා ඇති පසුබිමකදීයී.

කෙසේ වෙතත්, ගුරු විදුහල්පති වැටුප් ගැටළු වහා විසඳන ලෙස රජයට බල කරමින් යාපනයේදී රථ පෙළපාළියක් සංවිධාන කර තිබුණා.

මීට අමතරව, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධාන කළ උද්ඝෝෂණ දෙකක් (2) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී සහ මහනුවර නගර මධ්‍යයේදී ද අද (09) පැවැත්වුණා.

එසේම, ගුරු සංගම් නියෝජිතයින් පිරිසක් අද (09) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයට ලිපියක් භාර දුන්නේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජයට බලපෑම් කරන ලෙස ඉල්ලමින්.

මේ අතර, දිවයිනේ පවතින වසංගත තත්ත්වය සමග උද්ඝෝෂණ ක්‍රියාවලිය තාවකාලිව නතර කළ විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය අද (09) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

එසේම, රටේ පවතින තත්ත්වය හමුවේ උද්ඝෝෂණ සංවිධාන කරමින් කොවිඩ් වෛරසය ව්‍යාප්ත කරන බවට චෝදනා කරමින් අපේ ජනබල පක්ෂය විසින් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පොලිස් මූලස්ථානනයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

කෙසේ වෙතත්, ඉදිරි අයවැයේදී මෙම ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇති බවටයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

******************************************

(09.08.2021 – 19:17 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල වැලි අංගනයෙන් මුහුදු වැලි, ඉදිකිරීම් ක්ෂේත්‍රයට ගත හැකි ආකාරයෙන් සකස් කිරීමේ වැඩපිළිවෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වේගවත් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

අක්කර 70 ක පැතිරුණු මුතුරාජවෙල අංගනය තුලින් සෝදා පිරිසිදු කර වියළා හලාගන්නා ලද මුහුදු වැලි ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා යොදා ගැනීමේදී ගංගා වැලිවලට වඩා කියුබ් එකක් රුපියල් 4000 ක් අඩුවෙන් ලබා ගත හැකියි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතිකරණය යටතේ සංස්ථා වැලි නාමයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අලෙවි කරන මෙම වැලි සතියේ දින 6 ක් ගැණුම්කරුවන් වෙත නිකුත් කරන බව ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කළා.

@@@@@ කොවිඩ් පුවත් @@@@@

(09.08.2021 – 17:01 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා රෝගයට ගොදුරු වීමෙන් රෝහල් ගත වන සහ මියයන ප්‍රතිශතය අඩු කර ගැනීමට ඇති සාර්ථක ක්‍රමය එන්නත්කරණය පමණක් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද (09) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එන්නත් ලබා දුන් පමණින් ප්‍රතිශක්තිය නොලැබෙන අතර, එහි පූර්ණ ශක්තිය ලැබීමට නම් දෙවන (2) මාත්‍රාව ලබාගෙන සති දෙකක (2) කාලයක් ඉක්මවිය යුතු බවයි.

පළමු (1) මාත්‍රාව ලබා ගත් සියලු දෙනාටම ඉදිරි දෙසතියේදී (දින 14) දෙවන (2) මාත්‍රාව ලබාදෙන බව ද ඔහු සඳහන් කළා.

වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනාටම දෙවන (2) මාත්‍රාව දීමෙන් පසු තුන්වන (3) මාත්‍රාවක අවශ්‍යතාවයක් පැන නැගුණහොත් ඊට ද රජය සූදානම් බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

මේ අතර, සයිනොෆාම් එන්නත් මිලියන 10 ක් සැප්තැම්බර් මාසයේදීත්, ෆයිසර් එන්නත් මිලියන 18 ක් දෙසැම්බර් මාසයේදීත් ගෙන්වීමට කටයුතු කරන බවයි සභාපතිවරයා එම සාකච්ඡාවේදී සඳහන් කළේ.

මීට අමතරව, බස්නාහිර පළාතේ කොවිඩ් එන්නතේ ප්‍රථම මාත්‍රාව නොගත් වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් සඳහා හෙට (10) සිට දින 03 ක් ඇතුලත එන්නත් ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මකයි ෴

+++++++++++++++++++

(09.08.2021 – 18:02 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මහජන සේවා සැපයීම සඳහා තැපැල් හා උප තැපැල් කාර්යාල සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල පමණක් විවෘත කර තැබෙන බව වැඩබලන තැපැල්පති එච්. හේවගේ මහතා පවසනවා.

එමෙන්ම මධ්‍යම තැපැල් හුවමාරුව මඟින් ඉටුකරනු ලබන ඊ.එම්.එස්. ජාත්‍යන්තර කුරියර් සේවාව, ස්පීඩ් පොස්ට් සේවාව, විදේශ පාර්සල් සේවාව හා මුද්දර මුද්‍රා යන්ත්‍ර අංශ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++++++

(09.08.2021 – 18:39 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා වෛරස් තත්වය හමුවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවා ලාභීන්ගේ පැමිණීම හෙට (10) සිට තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

එබැවින් නැවත දැනුම්දෙන තුරු කිසිදු විශ්‍රාමිකයෙකු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු පරිශ්‍රයට තුලට නොපැමිණෙන ලෙසටයි දැනුම්දෙන්නේ.

දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතු සේවා 1970 ක්ෂණික දුරකථන අංකය අමතා ලබාගන්නා ලෙසට ඉල්ලීමක් කෙරෙනවා ෴

++++++++++++++++++

(09.08.2021 – 19:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා රෝගයට ගොදුරු වීමෙන් රෝහල් ගතවන සහ මියයන ප්‍රතිශතය අඩු කර ගැනීමට ඇති සාර්ථක ක්‍රමය එන්නත්කරණය පමණක් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එන්නත් ලබා දුන් පමණින් ප්‍රතිශක්තිය නොලැබෙන අතර, එහි පූර්ණ ශක්තිය ලැබීමට නම් දෙවන (2) මාත්‍රාව ලබාගෙන සති දෙකක (2) කාලයක් ඉක්මවිය යුතු බවයි.

කොරෝනා මර්දන එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් සියලු දෙනාටම ඉදිරි දෙසතියේදී (දින 14) දෙවන (2) මාත්‍රාව ලබාදෙන බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කියා සිටියේ.

වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනාටම දෙවන (2) මාත්‍රාව දීමෙන් පසු තුන්වන (3) මාත්‍රාවක අවශ්‍යතාවයක් පැන නැගුණහොත් ඊටද රජය සූදානම් බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර, සයිනොෆාම් එන්නත් මිලියන 10 ක් සැප්තැම්බර් මාසයේදීත්, ෆයිසර් එන්නත් මිලියන 18 ක් දෙසැම්බර් මාසයේදීත් ගෙන්වීමට කටයුතු කරන බව සභාපතිවරයා එම සාකච්ඡාවේදී කියා සිටියා.

එසේම, මුල්වරට හඳුනාගත් කොරෝනා වෛරසයට සාපේක්ෂව ඩෙල්ටා විකෘති ප්‍රභේදයේ ව්‍යාප්තිය 100% ක් තරම් ඉහළ අගයක් බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ.

මේ අතර, කොරෝනා ආසාදිත, එහෙත් රෝග ලක්ෂණ නොපෙන්වන හා අසාධ්‍ය නොවන රෝගීන් නිවසේ රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය අද (09) සිට ආරම්භ කෙරුණා.

මේ අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් මඩකලපුව මාමංගේෂ්වර කෝවිලේ ආඩි අමාවාෂ උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් එහි භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් පස්දෙනෙකු (5) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 20,000 බැගින් වූ දඩයක් මත මුදා හැර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔවුන් ඇතුළු කොවිලේ සියළු පූජකයින් දින 14 ක් ස්වයං නිරෝධායනයට ‍යොමු කිරීමට ප්‍රදේශීය සෞඛ්‍ය බලධාරින් කටයුතු කළා.

අදාළ උත්සවය සඳහා සභභාගී වීමට බැතිමතුන් 50 දෙනෙකුට පමණක් අවසර ලබාදී තිබුණත් ඊට 5,000 කට අධික පිරිසක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, පවතින තත්ත්වය හමුවේ සැප්තැම්බර් මස මුල් සතියේදී පාසල් විවෘත කිරීම අවිනිශ්චිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 2161 දෙනෙකු අද (09) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය අතර, සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 295,518 ලෙස මේ වනවිට සටහන් වනවා.

+++++++++++++++++++

(09.08.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala)

මෙරට සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 17 ක් වාර්තාවී තිබෙනවා. අද (09) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ගතවූ පැය 24 තුල මරණ 94 ක් වාර්තාවී ඇති බවයි.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) දිනයේ තහවුරු කර ඇති සමස්ත මරණ සංඛ්‍යාව 111 ක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දෛනිකව තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාව ද මෙයයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 5222 ක් ලෙසටයි. මෙම මරණ අතර පිරිමි පුද්ගලයන් 56 ක් සහ කාන්තාවන් 55 ක් වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 21 ක් ඊට අයත්. ඒ අතර පිරිමි පුද්ගලයන් 15 ක් සහ කාන්තාවන් 06 ක් වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 41 ක් සහ කාන්තාවන් 49 ක් ද මියගිය පිරිසට අයත්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *