බණ්ඩාරවෙල බස් නැවතුම්පොළේ දී පුද්ගලයෙක් හදිසියේ ඇද වැටෙයි

බණ්ඩාරවෙල බස් නැවතුම්පොළේ දී පුද්ගලයෙක් හදිසියේ ඇද වැටෙයි

*********************************************

බණ්ඩාරවෙල බස් නැවතුම්පොළේ දී පුද්ගලයෙක් හදිසියේ ඇද වැටෙයි

(09.08.2021 – 11:25 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ සිටි පුද්ගලයෙකු හදිසියේ ඇද වැටීම හේතුවෙන් එහි සිටි පිරිස කලබලයට පත්ව තිබෙනවා.

එම අවස්ථාවේ බස් නැවතුම්පොළේ සිටි කිසිවෙක් ඔහුට සහයවීමට කමැත්ත පළකර නැහැ.

කෙසේ වෙතත් පොලිසිය පැමිණ 1990 සුවසැරිය ගිලන්රථ සේවයට මේ පිළිබඳව දැනුවත් කර තිබෙනවා.

අනතුරුව එම ගිලන්රථ සේවකයින් පැමිණි අදාළ පුද්ගලයා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

එම පුද්ගලයාට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී නැහැ.

කෙසේ වෙතත් ඔහුගෙන් PCR සාම්පලයක් ද ලබාගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ පුද්ගලයා රෝහලේ දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට යොමුකර ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු කොවිඩ් ආසාදිතයෙකු නොවන බවත් ක්ලාන්තය ගතියක් හේතුවෙන් එලෙස ඇද වැටී ඇති බවය. මේ වන තෙක් එම පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු වී නොමැති අතර බණ්ඩාරවෙල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. (sinhala.adaderana.lk)

+++++++++++++++++++++++

(09.08.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඇස්තමේන්තුගත ජනගහනයෙන් 94% කට වැඩි පිරිසකට කොරෝනා මර්දන එන්නතක පළමු (1) මාත්‍රාව මේ වනවිට ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මේ අතර, අද (09) දිනයේදීත් කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මකයි.

ඒ අනුව සෞඛ්‍ය අංශ මෙන්ම ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීමෙන් එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක අතර, ජනතාව එන්නත් ලබාගැනීම සඳහා විශාල වශයෙන් පැමිණ සිටින අයුරුද දැකගත හැකි වනවා.

එසේම, තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක (100,000) තොගයක් අද (09) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. කටාර් ගුවන් සේවයට අයත් යානයකින් අද (09) අලුයම 02:15 ට දෝහා සිට මෙම එන්නත් තොගය රැගෙන එනු ලැබූ බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, ඊයේ (08) දිනයේදී පුද්ගලයින් 2,48,656 දෙනෙකුට කොරෝනා එන්නත් ලබාදී තිබෙනවා.

ඒ අනුව, සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 153,678 දෙනෙකුට සහ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 69,041 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ. එසේම, ඇස්ට්‍රාසෙනෙකා පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 23,135 දෙනෙකුට සහ එහි දෙවන (2) මාත්‍රාව 1,021 දෙනෙකුට ඊයේ (08) ලබාදී තිබුණා.

මේ අතර, කොවිඩ් මර්දන එන්නතේ පළමු (1) මාත්‍රාව නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි සහ බරපතල රෝගාබාධ ඇති අය සඳහා හෙට (10) සිට දින 3 ක් එන්නත් ලබාදෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ 1906 අංකය අමතා ඒ සඳහා ලියාපදිංචි වන ලෙසයි.

මේ අතර, කොවිඩ් ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය ආයතන වෙත සේවකයින් කැඳවීමේදී සිදුකළ සංශෝධන අද (09) සිට ක්‍රියාත්මක වනවා.

ඒ අනුව සියලු‍ම රාජ්‍ය ආයතනවල සේවකයින් අවම වශයෙන් සතියකට දින තුනක් (3), වාර්තාකළ යුතු වන ආකාරයට කණ්ඩායම් සකසා රාජ්‍ය සේවාවන් අඛණ්ඩව සැපයීමට හැකි ආකාරයට සේවයට කැඳවිය යුතු වනවා.

එසේම ගර්භනී සහ වයස අවුරුදු එකට (1) අඩු ළදරුවන් සිටින මව්වරුන් සේවයට නොකැඳවීමට පියවර ගත යුතුයි.

එසේම සැක කටයුතු රෝග ලක්ෂණයකින් පෙළෙන බවට අනුමාන කළ හැකි සේවකයින් සේවයට නොකැඳවීමේ බලය ආයතන ප්‍රධානීන් වෙත පැවරෙන බවයි රාජ්‍ය සේවා අමාත්‍යාංශය අදාළ චක්‍රලේඛයෙන් දැනුම්දී තිබුණේ.

මේ අතර, අද (09) සිට ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන බව ලංගම සභාපති කිංස්ලි රණවක මහතා සදහන් කළා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ හේතුවෙන් ලංගම සේවක සේවිකාවන් ද සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බවයි.

කෙසේ වෙතත් ප්‍රමාණවත් තරම් බස්රථ නොමැති බව පවසමින් කිසිදු බස් රථයක ආසන ධාරිතාව ඉක්මවා මගීන් ගෙනයා නොහැකි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඊයේ (08) සඳහන් කළා.

කෙසේ වෙතත්, අද (09) දිනයේදීත් ඇතැම් බස් රථවල ආසන සංඛ්‍යාව ඉක්මවා ප්‍රවාහනය කරන ආකාරය දක්නට ලැබුණු බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළා.

මේ අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

තවත් කොරෝනා ආසාදිතයන් 2161 ක් සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 295,518 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා ෴

තවත් කොරෝනා ආසාදිතයන් 1928 ක් අද (09) දිනය තුළ මේ දක්වා වාර්තා වී තිබෙනවා ෴

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 5205 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද (09) තවත් මරණ 94 ක් වාර්තාවීමත් සමගයි ෴

++++++++++++++++++++

(09.08.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්ත්වය හමුවේ සැප්තැම්බර් මස මුල් සතියේදී පාසල් විවෘත කිරීම අවිනිශ්චිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

මේ, කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළ අමාත්‍යවරයා :

++++++++++++++++++++

(09.08.2021 – 14:18 +0530 – hirunews.lk/sinhala)

දැනට ශ්‍රී ලංකාව තුළ රැඳි විදේශිකයින් ලබා ගෙන ඇති සියලු වර්ගයේ විසාවන්හි කාලය 2021 අගෝස්තු මස 08 වන දින සිට 2021 සැප්ත්තන්බර් 07 වන දින දක්වා දින 30 කින් දීර්ඝ කර තිබෙනවා.

මෙම කාල සිමාව තුළ කල් ඉකුත් වන විසා සඳහා එම කාල සීමාවට අදාළ වීසා ගාස්තු පමණක් අය කරන අතර කිසිදු දඩ මුදලක් අය කරනු නො ලැබේ ෴

++++++++++++++++++++

(09.08.2021 – 16:08 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය තීන්දු තීරණ ගනු ලබන්නේ කැබිනට් අමාත්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසකගෙන් බව එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු ලබාදෙමින්.

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(09.08.2021 – 12:47 +0530 – hirunews.lk/sinhala)

ගල්ගමුව – මහනාන්නේරිය ප්‍රදේශයේදී 28 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ දස (10) හැවිරිදි පුත්‍රයා ඝාතනය කර 28 හැවිරිදි තරුණයකු සියදිවි හානි කරගත් බව කියන සිද්ධියට අදාල පශ්චාත් මරණ පරීක්ෂණ අද (09) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

පොලීසිය සඳහන් කළේ මෘත දේහ වල කොරෝනා පරීක්ෂණ වාර්තා අද (09) ලැබීමෙන් අනතුරුව එම කටයුතු සිදු කරන බවයි.

දැනට ලැබී ඇති සාක්ෂි වලට අනුව ඝාතන සිදු කර ඇත්තේ සියදිවි හානිකර ගත් 28 හැවිරිදි තරුණයා විසින් බවට පොලීසිය සැක කරනවා.

ඔහු විසින් ලියූ බවට සැක කෙරෙන ලිපියක් ද අදාළ නිවස තුළ තිබී පොලීසිය විසින් පසුගියදා සොයා ගැණුනා.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ, ඇගේ දරුවාගේ සහ සියදිවි හානිකරගත් තරුණයාගේ සිරුරු කාන්තාවගේ නිවස තුළ තිබී හමු වුනේ පෙරේදා (07) දිනයේදීයී.

මවට සහ පුතුගේ දෑස්වලට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතන සිදුකර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණා. ඝාතනය අතරතුර නිවසේ සිටි අදාළ කාන්තාවගේ 5 හැවිරිදි පුත්‍රයා යාබද නිවසට පළා ගොස් දිවි බේරාගෙන ඇති බවටයි අනාවරණය වුනේ.

මිය ගිය කාන්තාව සහ සියදිවි හානි කර ගත් බවට සැක කෙරෙන තරුණයා අතර අනියම් සබඳතාවක් පැවති බවට ද පොලිසිය තොරතුරු හෙළි කරගෙන තිබුණා ෴

******************************************

(09.08.2021 – 12:50 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට (09) දින 28 ක් ගතවනවා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ අද (09) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේදී මෙම ගැටලුව සම්බන්ධයෙන් යහපත් පිළිතුරක් අපේක්ෂා කරන බවයි.

දැනටමත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ඒ සම්බන්ධයෙන් තම සංගම් වෙත පොරොන්දු ලබාදී ඇති අතර, එසේ නොවුනහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවත් දැඩි කරන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ.

මේ අතර, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය පළ කරමින් යාපනය – වීරසිංහම් ශාලාව ඉදිරිපිට සිට විරෝධතා රථ පෙළපාලියක් අද (09) දහවල් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ආසන්නයට ගමන් කරනු ලැබුවා.

******************************************

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිදුකළ විස්මිත සැත්කම

(09.08.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

අක්මා බද්ධ කිරීමේ සැත්කමක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ප්‍රථම වරට සාර්ථකව සිදු කර තිබෙනවා.

ඒ සිරෝසිස් රෝගයෙන් පෙලුණු 37 හැවිරිදි තරුණයෙකු සඳහායි.

ඔහුට මෙලෙස බද්ධ කර ඇත්තේ මොළය මිය ගිය 62 හැවිරිදි පුද්ගලයෙකුගෙන්, රාගම රෝහලේදී ලබා ගත් නීරෝගී අක්මාවක්.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් මෙම සැත්කම සිදු කර ඇති අතර ඒ සඳහා පැය 12 ක කාලයක් ගත වී තිබෙනවා.

++++++++++++

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී සිදුකළ පළමු අක්මා බද්ධය

(08.08.2021 – 17:00 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ පළමු වරට අක්මා බද්ධ කිරීමේ සැත්කමක් පසුගිය දා සිදුකළ බව රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පවසයි.

එම සැත්කම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරුන් හා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරු රැසකගේ දායකත්වයෙන් සිදුකර තිබේ.

37 හැවිරිදි සිරෝසීස් රෝගයෙන් පෙළුණු පුද්ගලයෙකුට එම අක්මා බද්ධය ඉතා ඉක්මනින් සිදුකළ යුතුව තිබු බව ද වෛද්‍යවරු පවසති.

පසුව ඉකුත් 30 වන දා සැත්කම ඉතා සාර්ථකව සිදුකළ බවත් වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා සඳහන් කළේය.

ඒ සඳහා මොළය මියගිය 62 හැවිරිදි පුද්ගලයකුගේ අක්මාව රාගම රෝහලේ දී ලබාගත් ගෙන තිබේ.

පැය ‍12 කට ආසන්න වේලාවක් සැත්කම සඳහා ගතවී ඇත.

අක්මා බද්ධය අධික වියදම් සහිත සැත්කමක් වන නමුත් ජයවර්ධනපුර රෝහලේ දී සිදුකළ පළමු සැත්කම සඳහා කිසිදු අයකිරීමක් නොකිරීම ද විශේෂත්වයකි.

අක්මා බද්ධය සිදුකිරීම සඳහා වසර 3 ක පමණ කාලයක් පුරා පරීක්ෂණ කටයුතු සිදුකර ඇති අතර, වෛද්‍යවරුන්ගේ දැඩි කැපවීම මත එය සාර්ථක කර ගැනීමට හැකිවු බව විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය රොහාන් සිරිසේන මහතා පවසයි.

සැත්කම සඳහා එක්වු වෛද්‍යවරුන් පහතින් දැක්වේ :

  • වෛද්‍ය රත්නසිරි හේවගේ – අධ්‍යක්ෂ – ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල
  • විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය රොහාන් සිරිසේන – ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල
  • අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය රුවන් දිසානායක – ජාතික රෝහල
  • වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ඔලිවර් පාතමන්පෙරුම – අවයව බද්ධ කිරීමේ ඒකකය – ජාතික රෝහල
  • අක්මාව, පිත්නාල හා අග්න්‍යාංශය සම්බන්ධ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය ප්‍රභාත් කුමාරසිංහ – ජාතික රෝහල
  • අක්මාව හා ආන්ත්‍රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත දිසානායක
  • විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය සඳුන් බුලත්සිංහල – ජාතික රෝහල
  • නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජීවනී රාජසිංහ – ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල
  • විකිරණ ශිල්පය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය බුද්ධි අබේවික්‍රම – ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල
  • නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රගීත් පතිරගේ – ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල
  • රුධිර පාරවිලයනය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය අයේෂා අබේවර්ධන – ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල

******************************************

(09.08.2021 – 14:50 +0530 – hirunews.lk/sinhala)

හිසට සෙවණක් නොමැතිව කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ දිවි ගෙවු අසරණ පවුලක් පිළිබඳ පුවතක් අප පසුගිය 07 වැනිදා හිරු ප්‍රවෘත්ති ඔස්සේ විකාශය කළා.

එම පුවත සැලවීමත් සමඟ එම අසරණ පවුලට නිවසක් ලබාදීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

කුමුදුනී සෙනෙවිරත්න, අවුරුදු 07 ක දරුවා සහ වයෝවෘද්ධ මව සමඟ ජීවත් වූයේ කොළඹ විහාර මහාදේවි උද්‍යානයේයි.

අවුරුදු ගණනාවක සිට වාසය කළ කුලී නිවසින්ද පිටවයාමට සිදුවීම හේතුවෙන් තමන්ට වෙනත් විකල්පයක් නොවූ බවයි කුමුදුනී පැවසුවේ.

සැමියාද තම දරුවා හෝ තමන් පිළිබඳ කිසිදු සොයාබැලීමක් සිදුනොකරන බව ඇය පැවසුවා.

දහවල් කාලයේ විහාර මහාදේවි උද්‍යානයේ කල්ගෙවන මොවුන් තිදෙනා රාත්‍රී කාලයේ එම ස්ථානයේ රැදීමට අවසර නොදෙන බැවින් මාර්ගය අසල නිදාගන්නා බවද කුමුදුනී සඳහන් කළා.

කෙසේ වෙතත්, මෙම ගැටලුව පිළිබඳ හිරු ප්‍රවෘත්ති ඔස්සේ පසුගිය 07 වැනිදා අනාවරණය කිරීමත් සමඟ බලධාරීන්ගේ අවධානය ඊට යොමුව තිබෙනවා.

ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් අවිස්සාවෙල්ල මාණික්කවත්ත නිවාස යෝජනා ක්‍රමයෙන් රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා නිවසක් එම පවුල වෙත ලබාදීමට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා කටයුතු කළා.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා එම පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් විමසීමට දුරකථනය ඔස්සේ එක්වුණා.

******************************************

(09.08.2021 – 14:53 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී 16 හැවිරිදි හිෂාලිනී දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ඔහුගේ බිරිඳ ඇතුළු සිව් (4) දෙනා ලබන මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *