එන්නත ලබා නො ගත් කොළඹ පුද්ගලයින්ට අද (09) දිනයේත් එන්නත්

එන්නත ලබා නො ගත් කොළඹ පුද්ගලයින්ට අද (09) දිනයේත් එන්නත්

*********************************************

එන්නත ලබා නො ගත් කොළඹ පුද්ගලයින්ට අද (09) දිනයේත් එන්නත්

(09.08.2021 – 06:45 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කළ එන්නත් වැඩසටහන අද (09) දිනයේත් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ කොළඹ නගරයේ මෙතෙක් කිසිඳු එන්නතක් ලබා නොගත් අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ට මෙහිදී එන්නත් ලබාගැනීමට හැකියාව ඇති බවයි.

ප්‍රජා පොලිස් නිලධාරීන් සහ පොලිස් ආරක්ෂණ කමිටු නිලධාරීන් විසින් එන්නත් ලබා නොගත් පුද්ගලයන් සොයා ගොස් ඔවුන් දැනුවත් කර එන්නත් මධ්‍යස්ථානය වෙත යොමු කිරීම ද සිදුවනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ කොළඹ නගරයේ සිටින එන්නත් ලබා නොගත් ඕනෑම අයෙකුට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී එන්නත් ලබාගැනීමට හැකියාව අද (09) දිනයේත් පවතින බවයි ෴

++++++++++++++++++++

(09.08.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක (100,000) තොගයක් අද (09) අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

කටාර් ගුවන් සේවයට අයත් යානයකින් අද (09) අලුයම 02:15 ට දෝහා සිට මෙම එන්නත් තොගය රැගෙන එනු ලැබූ බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, ඊයේ (08) දිනයේ දී පුද්ගලයින් 248,656 දෙනෙකුට කොරෝනා එන්නත් ලබාදී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 153,678 දෙනෙකුට සහ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 69,041 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

+++++++++++++++++++++

(09.08.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය ආයතන වෙත සේවකයින් කැඳවීමේදී සිදුකළ සංශෝධන අද (09) සිට ක්‍රියාත්මක වනවා.

මීට අදාළ චක්‍රලේඛය ඉකුත් 06 වනදා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා විසින් අමාත්‍යාංශ, රාජ්‍ය අමාත්‍යාංශ, පළාත් ප්‍රධාන ලේකම්වරුන් වෙත සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, ප්‍රධානීන් මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කෙරුණා.

ඒ අනුව සියලුම රාජ්‍ය ආයතනවල සේවකයින් අවම වශයෙන් සතියකට දින තුනක් (3), වාර්තාකළ යුතු වන ආකාරයට කණ්ඩායම් සකසා එම කණ්ඩායම් ආයතනයේ සේවය අඛණ්ඩව සැපයීමට හැකි ආකාරයට සේවයට කැඳවිය යුතු වනවා.

එසේම ගර්භනී සහ වයස අවුරුදු එකට (1) අඩු ළදරුවන් සිටින මව්වරුන් සේවයට නොකැඳවීමට පියවර ගත යුතුයි.

එසේම සැක කටයුතු රෝග ලක්ෂණයකින් පෙළෙන බවට අනුමාන කළ හැකි සේවකයින් සේවයට නොකැඳවීමේ බලය ආයතන ප්‍රධානීන් වෙත පැවරෙන බවයි රාජ්‍ය සේවා අමාත්‍යාංශය අදාළ චක්‍රලේඛයෙන් දැනුම්දී තිබුණේ.

මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ බස් රථවල ආසන සංඛ්‍යාවට වඩා මගීන් රැගෙන යන රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ෴

+++++++++++++++++++

(09.08.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිත, එහෙත් රෝග ලක්ෂණ නොපෙන්වන හා අසාධ්‍ය නොවන රෝගීන් නිවසේ රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය අද (09) සිට ආරම්භ කෙරුණා.

මේ අතර, ගතවූ දිනයේදී (08) කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 852 ක් වාර්තා වී තිබෙනවා.

ගෙවුණු දිනය (08) තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 2,961 ක් හඳුනාගත් අතර ඒ සමඟ මේ වනවිට ප්‍රතිකාර ලබන ආසාදිතයාන් සංඛයාව 31,620 ක් දක්වා ඉහළ ගියා.

ආසාදිතයින්ගෙන් 1,491 ක්ම වාර්තා වී තිබුණේ බස්නාහිර පළාතෙන්. ඉන් 852 ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබීමන් විශේෂත්වයක්.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 320 ක් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 319 ක් වාර්තා වී තිබුණා. මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ගෙවුණු දිනයේදී කොරෝනා ආසාදිතයින් 255 ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර, කොරෝනා ආසාදිත, එහෙත් රෝග ලක්ෂණ නොපෙන්වන හා අසාධ්‍ය නොවන රෝගීන් නිවසේ රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය අද (09) සිට ආරම්භ කෙරුණා.

ආසාදිතයන් නිවසේ සිට රැකබලාගැනීමේ වැඩපිළිවෙල පළමුව නියමු වැඩසටහනක් ලෙස කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණු අතර, පසුව එය බස්නාහිර පළාතේ සෙසු දිස්ත්‍රික්ක තුළද ක්‍රියාත්මක කළා.

මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හරහා නිවසේ සිට ප්‍රතිකාර කිරීමට විශේෂ පුහුණුව ලත් වෛද්‍ය කණ්ඩායමක් ආසාදිතයන් වෙත යොමුකරනු ලබනවා.

එම වෛද්‍ය කණ්ඩායම දිනකට එක් (1) වරක් හෝ කිහිපවරක් දුරකථනයෙන් ආසාදිතයා සම්බන්ධ කරගනිමින් සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීම සිදුකරනු ඇති.

ප්‍රතිකාර සපයන වෛද්‍ය කණ්ඩායම ලබාදෙන දුරකථන අංකයක් හෝ 1390 ක්‍ෂණික ඇමතුම් අංකය භාවිත කළ හැකියි.

යම් අපහසුතාවක් ඇත්නම් සංකූලතා උත්සන්නවීමට පෙර අදාළ අංශ වෙත ඒ බව දැනුම්දීම අත්‍යවශ්‍ය වනවා.

මේ අතර කළුතර නාගොඩ මුලික රෝහලේ තැන්පත් කර තිබූ කොරෝනා ආසාදිතව මියගිය මෘත දේහ 23 ක් අදාහනය කිරීම ඊයේ (08) රාත්‍රියේ සිදුකර තිබෙනවා.

ඒ මතුගම, දොඩම්ගොඩ, පයාගල , පොතුවිල හා කලු‍තර ඇතුළු ආදාහනාගාර වලදීයි.

ඒ අනුව මතුගම හා දොඩම්ගොඩ ප්‍රදේශයේ ආදාහනාගාරවලදී පමණක් මළසිරුරු 13 ක් අදාහනය කර තිබෙනවා.

අදාළ සිරුරු ආදාහනය කිරීමට ප්‍රමාණවත් සුළු සේවකයින් සංඛයාවත් නොසිටීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් එම කටයුතු සිදු කළ බව අප වාර්තාකරු සඳහන් කළා.

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(09.08.2021 – 07:02 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) විටින් විට වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 – 50 දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, අද (09) උදෑසනින් අවසන් වූ පැය 24 තුළ මිලිමීටර් 140 ක ඉහළම වර්ෂාපතනයක් රත්නපුර දිස්ත්‍රික්කයේ එරත්න ප්‍රදේශයට ලැබී තිබෙනවා.

මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ කළුපහන වතුයායට මිලිමීටර් 133 ක සහ දැරණියගලට මිලිමීටර් 123 ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර, කණ්ඩල්ඔය වතුයායට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 111 ක් ෴

******************************************

සෙල්ෆියා පාලමෙන් වැටී මරුට

(09.08.2021 – 12:05 +0530 – lankadeepa.lk)

යාපනය තීවගම් මාර්ගයේ පන්නෙයි පාලම මතදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ ගත් තරුණයෙකු එම පාලමෙන් වැටී මියගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.

ඊයේ (08) සවස මෙම තරුණයා සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගෙස් මුහුදු ජලයට වැටී ගසාගෙන ගොස් දියේ ගිලීමෙන් පසු මළ සිරුර අද (09) උදෑසන සොයාගත් බවට යාපනය පොලීසිය පවසයි. පන්නෙයි පාලම මතට නැගගත් තරුණයා අත තිබූ ජංගම දුරකතනයෙන් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ ගනිද්දී පය ලිස්සා එකවරම පාලමෙන් පහලට වැටී ඇති බව අසල්වාසීන් පොලීසියට පවසා ඇත.

මෙලෙස පාලමෙන් වැටී මිය ගොස් ඇත්තේ යාපනයේ පදිංචි 31 හැවිරිදි වී ගෞතමන් නැමති තරුණයෙක් බව යාපනය පොලීසිය කියයි.

කෙසේ වෙතත් පාලමෙන් වැටී ඇත්තේ මුහුදු රළ සහිත ප්‍රදේශයකට වන අතර මේ හේතුවෙන් ප්‍රදේශවාසීන්ට වැටුණු තරුණයා සෙවීමට නොහැකිවීමෙන් පොලීසියට දැනුම් දී පසුව ඒ බව නාවික හමුදා නිලධාරීන්ටද දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් පැය කිහිපයක් සෙවීමෙන් පසුව අද (09) අලුයම් කාලයේදී පාලමෙන් වැටුණු තරුණයාගේ සිරුර සොයාගැනීමට නාවික සෙබලුන් සමත්විය.

– රොමේෂ් මධුෂංඛ

++++++++++

******************************************

(09.08.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

කෘෂි ව්‍යාපාර වානිජ කේන්ද්‍රස්ථානයක් හම්බන්තොට – මත්තල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම කේන්ද්‍රස්ථානය මීට පෙර වැලිපැන්න ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට සැළසුම් කර තිබුණද, ඒ සඳහා ඉදිරිපත්ව සිටින ආයෝජකයන් පෙන්වා දී ඇත්තේ වරාය සහ ගුවන් තොටුපල ආසන්නයේ එවැනි වානිජ කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීම වඩාත් සුදුසු බවයි.

ඒ අනුව හම්බන්තොට – මත්තල ප්‍රදේශයේ අක්කර දහසක (1000) මෙම කෘෂි ව්‍යාපාර වානිජ කේන්ද්‍රය ස්ථාපිත කිරීමට නියමිතයි ෴

******************************************

(09.08.2021 – 09:43 +0530 – hirunews.lk/sinhala)

ත්‍රීරෝද රථ රියදුරන් විසින් රාත්‍රී කාලයට මගීන් රැගෙන යෑමේ දී විමසිලිමත් ව කටයුතු කළ යුතු බවට පොලීසිය අවධාරණය කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, මගීන් ලෙස ත්‍රීරෝද රථයට ගොඩවෙන පුද්ගලයින් ඇතැම් විට අපරාධකරුවන් ද විය හැකි බවයි .

ඊයේ (08) රාත්‍රීයේ දී අනුරාධපුර ප්‍රදේශයේ ත්‍රීරෝද රථයකට ගොඩ වී ඇති පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් එම ත්‍රීරෝද රථය මංකොල්ල කා පළා ගොස් ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

යම් ස්ථානයකට රැගෙන යන ලෙස ත්‍රීරෝද රථ රියදුරුට පවසා එම ස්ථානයට යන අතරමඟ දී මෙලෙස ත්‍රීරෝද රථය මංකොල්ලකා ඇත.

කෙසේ වෙතත් විමර්ශන සිදුකළ අනුරාධපුර පොලීසිය විසින් පැහැරගත් එම ත්‍රීරෝද රථය සමඟ එක් (1) පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 28 හැවිරිදි නිට්ටඹුව, රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවට අනාවරණය වු බවත් අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වන විට විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළා.

******************************************

(09.08.2021 – 10:03 +0530 – hirunews.lk/sinhala)

ආනයනික කිරිපිටි මිල ඉහළ දමන ලෙස කළ ඉල්ලීම් අධිකාරිය ඉවත දමයි.

කිරිපිටි මිල ඉහළ නැංවීමට ආනයනකරුවන් කර ඇති ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එලෙස මිල ඉහළ නොදැමීමට ගෙන ඇති තීරණය සමග බොහෝ ආනයනකරුවන් සිය කිරිපිටි ආනයනය සීමා කර ඇති බවයි.

කිරිපිටි ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ආනයනකරුවන්ගේ සම්මේලනයෙන් ද විමසීමක් කළා.

එහිදී එම සම්මේලනයේ කමිටු සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කළේ ආනයන සීමා කිරීමට තීරණය කිරීමත් සමඟ මෙලෙස වෙළඳපොල තුල කිරිපිටි හිඟයක් පවතින බවයි.

කිරිපිටි සඳහා වන මිල ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම සහ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් කිරිපිටි කිලෝවක මිල ඩොලර් 4 යි ශත 20 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම හේතුවෙන් කිරිපිටි කිලෝවකට පාඩුව රුපියල් 270 ක්.

මෙම තත්ත්වය කිරිපිටි ආනයනය සීමා කිරීමට හේතු වූ බවයි ආනයනකරුවන් ප්‍රකාශ කළේ ෴

******************************************

(09.08.2021 – 10:23 +0530 – hirunews.lk/sinhala)

ගුවන් හමුදාවේ වැලිසර පිහිටි පුපුරන ද්‍රව්‍ය ගබඩාවකින් ඇමෝනියම් නයිට්‍රේට් නමැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගුවන් හමුදාවේ හා නාවික හමුදාවේ දෙදෙනෙකු (2) ඇතුළු සිව් දෙනෙකු (4) පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ පුපුරණ ද්‍රව්‍යවලින් කිලෝ 70 යි ග්‍රෑම් 500 ක පමණ ප්‍රමාණයක් මේ වනවිට සොයා ගෙන ඇති බවයි.

ඔවුන් අදාළ පුපුරණ ද්‍රව්‍ය ගල් වැඩපොළ වෙත ලබාදී ඇති බවට අනාවරණ වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා ෴

******************************************

(09.08.2021 – 10:56 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – මහවැලි ගඟ සීමාව තුල ඉදිකර ඇති සියලු අනවසර ඉදිකිරීම් පිලිබඳව තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී තිබෙනවා.

ඒ ගන්නෝරුව, මහවැලි ගඟ හරහා ඉදිකර ඇති එල්ලෙන පාලම අසල පවතින අනවසර ඉදිකිරීම් කිහිපයක් සම්බන්ධයෙන් හා මහවැලි ගඟේ ඊට ආසන්නව අලුතින් නිර්මාණය වී ඇති වැලිකඳු කිහිපයක් පිලිබඳව අමාත්‍යවරයා වෙත ඉදිරිපත් වූ පැමිණිල්ලක් පිළිබඳව අවධානය යොමුකරමින්.

එසේම, එම ප්‍රදේශය තුල මහවැලි ගඟේ අලුතින් නිර්මාණය වී ඇති වැලිකඳු කිහිපයක් නිසා අධික වර්ෂාවක් ලැබුණු අවස්ථාවක එම ස්ථානයේදී ගඟ පිටාර ගැලීමට ඉඩ ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළා.

එම වැලිකඳු ඉවත් කිරීම සම්බන්ධව වහාම නිලධාරින් පිරිසක් එම ස්ථානයට යවා පරික්ෂාවට ලක් කරන ලෙසටයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දී ඇත්තේ ෴

******************************************

(09.08.2021 – 10:59 +0530 – hirunews.lk/sinhala)

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් අගය දර්ශකය මේ වසරේ පළමු අර්ධය තුල 155.1 දක්වා ඉහළ ගොස් ඇති බවට මහ බැංකුව ප්‍රකාශ කළා.

එය සියයට 9.5 ක වාර්ෂික වර්ධනයක් සහ සියයට 6.8 ක අර්ධ වාර්ෂික වර්ධනයක් ලෙස සැළකිය හැකියි.

කෙසේ නමුත් පසුගිය වසර දෙක (2) තුළ කොළඹ ඉඩම් අගය දර්ශකයේ පහත වැටීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණා.

මහ බැංකුව ප්‍රකාශ කරන පරිදි නිවාස ඉඩම්, වාණිජ ඉඩම් සහ කර්මාන්ත ඉඩම් යන අංශ සියල්ලේ ම වර්ධනයක් දැකිය හැකි අතර, කර්මාන්ත ඉඩම් අගය දර්ශකයේ වාර්ෂික වර්ධනය සියයට 10.1 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *