ලාෆ් ගෑස් සමාගමට විරුද්ද නීතිය ක‍්‍රියාත්මක කරනු…. ආණ්ඩුවේම පක්‍ෂ ආණ්ඩුවට කියයි…

ලාෆ් ගෑස් සමාගමට විරුද්ද නීතිය ක‍්‍රියාත්මක කරනු…. ආණ්ඩුවේම පක්‍ෂ ආණ්ඩුවට කියයි…

*********************************************

ලාෆ් ගෑස් සමාගමට විරුද්ද නීතිය ක‍්‍රියාත්මක කරනු…. ආණ්ඩුවේම පක්‍ෂ ආණ්ඩුවට කියයි…

(09.08.2021 – 08:02 +0530 – lankacnews.com)

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන් පත්ව ඇති අපහසුතාවට කඩිනමින් පිළියම් යොදන්නැයි ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුනේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා විසින් සමුකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ලසන්ත අලගියවන්න මහතා,
සමුකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය,
සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය,
කොළඹ.

ගරු රාජ්‍ය අමාත්‍යතුමනි,

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන් පත්ව ඇති අපහසුතාවට කඩිනමින් පිළියම් යෙදී

මෙරට ගෑස් වෙළඳපොළින් 20% – 25% ක ප්‍රමාණයක්, එනම් ස්ථාවර පාරිභෝගිකයන් ලක්ෂ 20 ක් පමණ සිටින ලාෆ්ස් ගෑස් සමාගම මේ වන විට ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීම නවතා ඇති හෙයින් එම පාරිභෝගිකයන් බලවත් අපහසුතාවට පත්ව ඇති බව ඔබතුමන් ද හොඳින් දන්නා කරුණකි. එහෙත් මේ පිළිබඳව ඔබතුමන්ගේ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවත්නා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙතෙක් එකී අදාළ සමාගමට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. මෙසේ ස්ථාවර පාරිභෝගික පිරිසක් සහිත භාණ්ඩයක් මිල වැඩි කිරීමේ ඉල්ලීම ඉටු නොකිරීම මත, එය වෙළඳපොළට නිකුත් කිරීම නතර කිරීම, සදාචාර විරෝධී ක්‍රියාවක් පමණක් නොව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නීතිමය වරදක් ද වේ.

පාරිභෝගික භාණ්ඩ වැඩි මිලට විකිණීම ආදී චෝදනා පිරික්සමින් කුඩා වෙළඳසැල් වෙත පවා පැමිණෙන, ඇතැම් අවස්ථාවලදී එවැනි පරික්සා බැලීම් සඳහා ජනමාධ්‍යයන්හි ද විශාල ඉඩක් වෙන්කර ගන්නා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යම් සමාගමක් මෙසේ සුවිශාල පාරිභෝගික ජනතාවක් බලවත් අපහසුතාවකට පත් කර ඇති අවස්ථාවක නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක්කකි.

ඔබතුමන් යටතේ පවතින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙසේ කටයුතු කිරීමෙන් දැඩි අපහසුතාවකට පත් වන්නේ අප සියලුදෙනා නියෝජනය කරනු ලබන ආණ්ඩුව ය. මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන කඩමින් ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන් පත්ව ඇති අපහසුතාවට පිළියම් යොදන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තුතියි.

මෙයට විශ්වාසී,

මොහොමඩ් මුසම්මිල්(පා.ම.),
මාධ්‍ය ප්‍රකාශක,
ප්‍රචාරක ලේකම් ,
ජාතික නිදහස් පෙරමුණ

******************************************

සතොසේ සීනි මෙට්‍රික්ටොන් 37 ක් හොරා කලා

(08.08.2021 – 17:25 +0530 – lankadeepa.lk)

වෙන්නප්පුව කොස්ගස්හන්දිය සතොස ශාඛාවේ සීනි මෙට්‍රික්ටොන් 37 ක සොරකමක් සම්බන්ධයෙන් එම ශාඛාවේ කළමනාකාරිනිය අත්අඩංගුවට ගෙන ඇති බව සතොස උසස් නිලධාරියෙක් පැවැසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් කලාප කළමණාකරු සහ වැලිසර ගබඩා සංකිර්ණයේ භාරකරුගේ වැඩ තහනම් කර එම දෙදෙනා (2) අත්අඩංගුවට ගැනිම සදහා පොලිසි වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරියා කීය.

වෙන්නප්පුව කොස්ගස් හන්දිය සතොස ශාඛාව සාමාන්‍යයෙන් මසකට සීනි මෙට්‍රික් ටොන් 4 ක් අළෙවි කරනු ලබන අතර පසුගිය සඳුදා මෙම ශාඛාවේ කළමනාකාරිනිය සාමාන්‍ය ඇණවුමට වඩා වැඩි සීනි ඇණවුමක් සතොස වැලිසර තොග ගබඩාවට යොමු කර තිබූ බවත් අදාළ ඇණවුම ප්‍රවාහනය කරන ලද ලොරියේ පැවති සමස්ත සීනි තොගය ශාඛා ගබඩාවට ලබා ගැනීමකින් තොරව තුන්වන (3) පාර්ශවයකට අයත් ලොරි රථයකට පටවා වෙනත් අළෙවිසලක් කරා රැගෙන යමින් තිබියදී සතොස විශේෂ විමර්ශන ඒකකය වෙන්නප්පුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව වැටලීම් සිදු ඇති බවත් එම නිලධාරියා කියයි ෴

******************************************

ගුවන් හමුදා ගබඩාවෙන් ඇ ඇමෝනියම් නයිට්‍රේට් සොරකම්කල ගුවන් හමුදාවේ සිව් (4) දෙනෙක් දැලේ

(09.08.2021 – 07:37 +0530 – lankadeepa.lk)

ගුවන් හමුදාවට අයත් වැලිසර පුපුරණ ද්‍රව්‍ය ගබඩාවෙන් ඇමෝනියම් නයිට්‍රේට් නැමැති පුපුරන ද්‍රව්‍ය සොරා ගැනීම සම්බන්ධයෙන් ගුවන් හමුදා සැරයන්වරයකු, නාවික හමුදා සුළු නිලධාරියකු ඇතුළු සිව්දෙනකු (4) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම ගබඩාවේ තිබූ ඇමෝනියම් නයිට්‍රේට් පුපුරන ද්‍රව්‍යවල අඩුවක් ඇති බවට ගුවන් හමුදා විනය අධ්‍යක්ෂවරයා පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් ඉහත සැකකරුවන් සිව්දෙනා (4) සමග සමග ත්‍රිරෝද රථයක් ද අත්අඩංගුවට ගෙන තිබිණි.

මොවුන් මේවා ගල් වැඩ පොළවල් වෙත අලෙවි කර ඇති බවද පොලිසිය පවසයි.

සැකකරුවන් විසින් සොරාගන්නා ලද ඇමෝනියම් නයිට්‍රේට් තොගයෙන් කිලෝ 70 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත ෴

******************************************

(08.08.2021 – 17:25 +0530 – hirunews.lk/sinhala)

මාතර නගරයේ පැවති ගුරු විදුහල්පති විරෝධතාවක් අතරතුරදී නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත සමගි ජනබලවේගය නියෝජනය කරන හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී රංජිත් මුණසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අද (08) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ හෙට (09) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තම වැටුප් විෂමතා ගැටළුවට විසඳුමක් ලබා නොදුනහොත් දියත් කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය අඛන්ඩව ක්‍රියාත්මක කරන බවයි.

සමගි ජනබලවේගය නියෝජනය කරන හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී රංජිත් මුණසිංහ අද (08) මාතර පොලිසිය වෙත කැඳවා තිබූ අතර, ඔහු එහි පැමිණි අවස්ථාවේදියි පොලිසිය ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ.

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා පසුගිය මස 20 වනදා මාතර නගරයේ පැවති අදාළ විරෝධතාවට මුව ආවරණ නොමැතිව සහභාගිවී ඇති අතර, ඒ හේතුවෙනුයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

******************************************

(08.08.2021 – 19:28 +0530 – hirunews.lk/sinhala)

ආනයනික සුදු සීනි සහ රතු පරිප්පු ඇතුලු තවත් භාණ්ඩ කිහිපයක මිල සතියක් ඇතුළත රුපියල් 10 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට රතු පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 180 ක් ලෙස සටහන් වන අතර, සුදු සීනි කිලෝවක තොග මිල දැක්වෙන්නේ රුපියල් 140 ක් ලෙසයි.

රතු පරිප්පු ඕස්ට්‍රේලියාවෙන් සහ කැනඩාවෙන් මෙරටට ආනයනය කරන අතර, ජාත්‍යන්තර වෙළඳපොලේ මිල ඉහළ යාම, දේශීය වෙළඳපොලේ මිල ඉහළයාමට හේතුවී තිබෙනවා.

කෙසේ වෙතත් සීනි ආනයනය කිරීම මේ වනවිට සීමා කිරීම හේතුවෙන් වෙළඳපොලේ හිඟයක් මතුවීම, සීනි මිල ඉහළ යාමට හේතුව බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වන්නන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළා.

මේ අතර අනුරාධපුරය – රිටිගල බතික් නිෂ්පාදන ගම්මානයේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ නිෂ්පාදන කටයුතු සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය ගෙන්වීමේදී සීමා පැනවීමක් සිදුකර නොමැති බවයි.

මේ අතර වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, හෝමාගම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අද (08) සඳහන් කළේ නාඩු සහ කැකුළු සහල් සඳහා පාලන මිලක් ගෙන ඒමට කටයුතු කරන බවයි.

ඊට අදාළ යෝජනාව හෙට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියා.

@@@@@ කොවිඩ් පුවත් @@@@@

බස්නාහිර අවුරුදු 60 ට වැඩි පිරිස්ට එන්නත් දීම අඟහරුවාදා (10) සිට

(08.08.2021 – 17:58 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් එන්නතේ ප්‍රථම (1) මාත්‍රාව නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි හා බරපතල රෝගාබාධ ඇති ජනතාවට ලබන අඟහරුවාදා අගෝස්තු 10 සිට දින තුනක් (3) තුළ එන්නත් ලබාදීමට තීරණය කර තීරණය කොට ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

+++++++++++++++++++++

(08.08.2021 – 18:25 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් ආසාදිතයින් 2230 ක් මෙරටින් හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 329,268 ක් දක්වා ඉහළ යනවා.

එමෙන්ම අද (08) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 2,563 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සමස්ත සුවය ලැබූ ආසාදිත සංඛ්‍යාව 293,357 ක් ෴

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 94 ක් ඊයේ (07) දිනයේ තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 5111 ක් ලෙසටයි ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 726 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (08) දිනයේ හමුවූ ආසාදිතයන් ගණන 2956 ක් ෴

++++++++++++++++++

ඩෙල්ටා සහ බීටා ප්‍රභේදයන්ට සමාන නව ප්‍රභේදයක් කොළොම්බියාවෙන්

(08.08.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

කොළොම්බියාවෙන් බීටා සහ ඩෙල්ටා ප්‍රභේදයන්ට සමාන නව ප්‍රභේදයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.බී වන් 621 B1-621) ලෙස හඳුන්වන මෙම නව ප්‍රභේදය අසාදිත පුද්ගලයන් 8 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔවුන් සියළුදෙනාම කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් දෙකම (2) ලබාගත් අය බවටයි අනාවරණය වී ඇත්තේ.

සීග්‍ර ව්‍යාප්තියක් සහිත මෙම නව විකෘති ප්‍රභේදය අසාදිත පස් දෙනෙකු (5) ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන්ද හඳුනාගැනුනා.

එමෙන්ම මඩකලපුව – කලුවන්කේනි මාරිඅම්මාන් කෝවිලේ වාර්ෂික උත්සවයට සහභාගිවූ 114 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මීට දින දෙකකට (2) පෙර මඩකලපුව – කලුවන්කේනි මාරිඅම්මාන් කෝවිලේ වාර්ෂික උත්සවය පැවැත්වූ අතර, කොරෝනා වෛරසය ආසාදනය වූ 114 දෙනා අතර, එහි ප්‍රධාන පූජකවරයාද සිටින බව චෙන්කලඩි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

එවැනි තත්වයක් තුළ අද, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව 50 කට සීමා කර පැවැත්වීමට අවසර ලබාදී තිබූ මඩකලපුව මාමන්ගේෂ්වරී කෝවිලේ ආඩියාමාවාශ උත්සවය නිරෝධායන නීතීන්ට පටහැනිව පවත්වන ආකාරය දක්නට ලැබුණා.

අහංගම ප්‍රදේශයේ නිවසක අද (08) පවත්වමින් තිබූ මල්වර උත්සවයක් තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා. මහජන පැමිණිලි මත ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අදාළ නිවසට ගොස් ඇති අතර එම අවස්ථාවේ උත්සවයට පැමිණ සිටි 50 ක පමණ පිරිසක් විසුරුවා හැරීමටයි කටයුතු කරනු ලැබුවේ.

මේ අතර මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ දක්වා කොරෝනා වෛරසය ආසාදිත ළමයින් 45,000 ක් වාර්තා වී තිබෙනවා. ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා ප්‍රකාශ කළේ ඉන් 20,000 ක්ම වයස අවුරුදු 10 ට අඩු ළමයින් බවයි.

අද (08) දිනයේ මේ දක්වා කාලය තුළ අලුතින් කොරෝනා ආසාදිතයින් 2,230 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට මුළු ආසාදිත සංඛ්‍යාව 3,29,268 දක්වා ඉහළ ගියා. මරණ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 5,017 ක් ලෙසයි.

මෙරට පළමු (1) කොරෝනා මරණය වාර්තා වූ පසුගිය වසරේ මාර්තු 29 වන දා සිට කොරෝනා මරණ දහසේ (1000) සීමාව ඉක්මවා යාමට මාස 13 ක් ගත වුවද කොරෝනා මරණ 2000 ඉක්මවා යාමට ගත වූයේ මැයි මස 19 වන දා සිට ජුනි 11 තෙක් දින 23 ක් පමණයි.

එමෙන්ම, ජුනි 11 වන දා සිට මරණ 3000 සේ සීමාව ඉක්මවීමට දින 19 ක් ගත වූ අතර මරණ 5000 සේ ඉක්මවීමට ගත වූයේ ජුලි 23 වන දා සිට අගෝස්තු 06 වන දා තෙක් දින 13 ක් පමණයි.

මෙරට ආසාදිතයන් සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇති පසුබිමක රෝග ලක්ෂණ නොපෙන්වන හෝ අසාධ්‍ය නොවන රෝගීන් නිවසේ රදවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය හෙට (09) සිට ආරම්භ කිරීමට නියමිතයි.

++++++++++++++++++++++

(08.08.2021 – 19:36 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නතේ පළමු (1) මාත්‍රාව නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි සහ බරපතල රෝගාබාධ ඇති ජනතාවට ලබන 10 වන අගහරුවාදා සිට දින තුනක් (3) තුළ එන්නත් ලබාදෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

1906 අංකය අමතා නම ලියාපදිංචි කළ හැකියි.

එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 12 ත්, 18 ත් අතර පාසල් දරුවන්ට කොරෝනා එන්නත ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල කාර්යක්ෂම කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මගින් ද එන්නත්කරණ මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර යුද හමුදාව මගින් 24 පැය පුරා ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථානයක් විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ පිහිටුවා තිබෙනවා.

නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන් වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම අද (08) සිදුකෙරුණේ බොරැල්ල – තන්නියාගම දෙමළ විද්‍යාලයේදීයි.

මීට අමතරව දිස්ත්‍රික්ක මට්ටමින් තෝරා ගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කිහිපයක දී එන්නත්කරණය සිදුකෙරුණු අතර, 24 පැය පුරා ක්‍රියාත්මක තවත් එන්නත්කරණ මධ්‍යස්ථානයක් දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ද ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම, කොළඹ නගරයේ එන්නත් ලබා ගැනීම මග හරින පුද්ගලයන් සොයා ප්‍රජා පොලිස් ඒකකය සහ සෞඛ්‍ය අංශ එක්ව සිදුකරන මෙහෙයුම අදත් (08) ක්‍රියාත්මක කෙරුණා ෴

++++++++++++++++++

(08.08.2021 – 20:46 +0530 – hirunews.lk/sinhala)

අද (08) ‘හාඩ් ටෝක්’ තුලින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ගෙන් :

+++++++++++++++++++

(09.08.2021 – 06:25 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන රීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 130 දෙනෙකු ගතවූ පැය 24ක කාලය තුල අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

ඒ අනුව මේ දක්වා කාලය තුල නිරෝධායන රීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 53,701 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එමෙන්ම පොදු ස්ථානවල දී නිසා ආකාරයෙන් මුව ආවරණ නොපළඳින පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *