සමීපතමයෙකු ආසාදිතයෙකු වුවහොත් දින 3 ත්, 5 ත් අතර කොරෝනා පරීක්ෂණ සිදු කරගන්නැයි දැනුම් දීමක්

සමීපතමයෙකු ආසාදිතයෙකු වුවහොත් දින 3 ත්, 5 ත් අතර කොරෝනා පරීක්ෂණ සිදු කරගන්නැයි දැනුම් දීමක්

*********************************************

සමීපතමයෙකු ආසාදිතයෙකු වුවහොත් දින 3 ත්, 5 ත් අතර කොරෝනා පරීක්ෂණ සිදු කරගන්නැයි දැනුම් දීමක්

(08.08.2021 – 09:09 +0530 – hirunews.lk/sinhala)

තම සමීපතමයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හදුනා ගැනුණහොත් දින 3 ත්, 5 ත් අතර කාලය තුළ දී කොරෝනා පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙස ඇමරිකාවේ වසංගත පාලන මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශවලට ඇතුළත් කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා දැනුම් දෙනවා.

මීට පෙර කොරෝනා පරීක්ෂණයකට ලක්විය යුතු කාලසීමාව ලෙස දක්වා තිබුණේ දින 5 ත්, 7 ත් අතර කාලයක්. ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව කියා සිටියේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

එහිදී ඔහු කියා සිටියේ, කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කරගැනීම වඩාත් යෝග්‍ය බවයි.

කෙසේ වෙතත්, රෝග ලක්ෂණ නො පෙන්වන අය පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ගැනීම වඩාත් සුදුසු බව ද ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, මෙය තම පෞද්ගලික මතය බවත්, ප්‍රමාද වී සිදු කරනු ලබන පරීක්ෂණවල දී ලැබෙන ප්‍රතිඵල සාවද්‍ය විය හැකි බවත් ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පවසනවා ෴

++++++++++++++++++++

(08.08.2021 – 09:11 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (07) දිනයේත් එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 29,654 කට ලබාදී ඇති අතර එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 9570 කට ලබාදී තිබෙනවා.

සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 63,461 කටත් දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 69,730 කටත් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

එසේම ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 2962 කට සහ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 58 කට ලබාදී තිබෙනවා.

මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව ද පුද්ගලයින් 19,115 කට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ෴

++++++++++++++++++++

(08.08.2021 – 10:14 +0530 – hirunews.lk/sinhala)

රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ පවතින කොරෝනා මෘතදේහ කඩිනමින් ආදාහන කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

මිය ගිය පුද්ගලයින්ගේ ඥාතීන් අපහසුතාවට පත් නොවන අයුරින් මෙම කටයුතු සිදුකරන ලෙසට මේ සම්බන්ධයෙන් ඊයේ (07) පැවති සාකච්ඡාවට එක්වූ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා උපදෙස් ලබාදී ඇත්තේ.

රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ පවතින මෘතදේහ 26 ක් මහර, වත්තල, බියගම, ජාඇල, කටාන සහ මීගමුව යන පළාත් පාලන බල ප්‍රදේශවල පිහිටි ආදාහනාගාර වෙත යැවීමටද මෙහිදී තීරණය වී තිබෛනවා ෴

+++++++++++++++++++++

කොවිඩ්-19 යේ තවත් විකෘති ප්‍රභේදයක්

(08.08.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 තවත් විකෘති ප්‍රභේදයක් කොළොම්බියාවෙන් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසනවා.

මෙම නව වෛරස ප්‍රභේදයේ ආසාදිතයින් අමෙරිකාවේ ෆ්ලොරීඩාවෙන්ද හදුනාගෙන තිබෙනවා.

කොවිඩ්-19 වෛරස ආසාදනයෙන් ගෝලීයව වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 20,290,000 ඉක්මවා ගොස් ඇති අතර සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වුණේ 4,299,735 ක් ලෙසයි.

මේ අතර කොළොම්බියාවෙන් කොවිඩ් වෛරසයේ නව විකෘති ප්‍රභේදයක් වාර්තා වී තිබෙනවා.

කොළොම්බියානු ප්‍රභේදය හෙවත් බී වන් 621 (B-1-621) ලෙස හඳුන්වන මෙම නව ප්‍රභේදය බීටා සහ ඩෙල්ටා ප්‍රභේදයන්ට සමාන කම් දක්වන බවයි පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන මෙම නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 8 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂ්‍යට පත්ව ඇති අතර එලෙස ජීවිතක්ෂයට පත් වූ රෝගීන් 8 දෙනාම එන්නත් ද්විත්වයම ලබාගත් අය බවත් හෙළි වී තිබෙනවා.

එම වෛරස ප්‍රභේදයේ ආසාදිතයින් 5 දෙනෙකු අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන්ද අලුතින් හඳුනාගෙන තිබෙනවා.

මේ අතර ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මෙල්බන් සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයන් තුළ වාර්තාවන දෛනික ආසාදිතයින් ප්‍රමාණය තෙවන (3) දිනටත් වාර්තාගත ලෙස ඉහළ ගියා.

ගෙවුණු දිනයේදී පමණක් සිඩ්නි නුවරින් නව ආසාදිතයින් 400 ඉක්මවා වාර්තා වී තිබෙනවා.

මෙලෙස ඩෙල්ටා ආසාදිතයින් ශීඝ්‍ර ලෙස වාර්තා වන්නේ සිඩ්නි සහ මෙල්බන් නගරවලට සති 7 ක කාලයක් පුරා සංචරණ සීමා බලාත්මක කර ඇති පසුබිමකයි.

ආසියානු කලාපයේ වැඩිම දෛනික ආසාදිතයින් ප්‍රමාණයක් තවමත් වාර්තාවන්නේ අසල්වැසි ඉන්දියාවෙන්.

මේ වන විට කේරළ ප්‍රාන්තයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන ඩෙල්ටා ප්‍රභේදය පාලනය සඳහා දැවැන්ත එන්නත්කරණ වැඩසටහනක් දියත් කිරීමට ප්‍රාන්ත සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

එරට නිෂ්පාදිත දෙවන (2) එන්නත වන ‘නොවැක්’ එන්නත හදිසි භාවිතය සඳහා එරට සෞඛ්‍ය අංශයේ අනුමැතිය හිමිව ඇත්තේ මේ අතරතුරයි.

90% ක ඵලදායීතාවයක් පෙන්නුම් කරන මෙම එන්නත පවතින ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සාර්ථකව භාවිතයට ගත හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ.

ආසියානු කලාපයේ වැඩිම දෛනික මරණ සංඛ්‍යාවක් වාර්තාවන්නේ ඉන්දුනීසියාවෙන්.

ඒ ගෙවුණු දිනයේදී නව මරණ 1588 ක් අලුතින් හඳුනාගැනීමත් සමඟයි ෴

+++++++++++++++++++++

(08.08.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්වය හමුවේ ඉදිරි දෙසතිය (දින 14) තීරණාත්මක බැවින් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ක්‍රියා කළ යුතු බව රජය සහ සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

සතියක් තුළ කොරෝනා මරණ 576 ක් වාර්තාවී තිබෙනවා.

ඉන් වයස අවුරුදු 60 ට වැඩි පිරිස 453 ක් වන අතර, අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් 132 ක් ද මියගොස් තිබෙනවා.

30 ට අඩු මරණ වාර්තාවී ඇත්තේ 5 ක් පමණයි.

මේ අතර, රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ පවතින කොරෝනා මෘතදේහ කඩිනමින් ආදාහන කිරීමට රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසාගේ මැදිහත් වීමෙන් කටයුතු කර තිබෙනවා.

ඊයේ (07) පැවති සාකච්ඡාවකදී ඔහු උපදෙස් ලබාදී ඇත්තේ මිය ගිය පුද්ගලයින්ගේ ඥාතීන් අපහසුතාවට පත් නොවන අයුරින් එම කටයුතු සිදුකරන ලෙසයි.

ඒ අනුව රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ පවතින මෘතදේහ 26 ක් මහර, වත්තල, බියගම, ජාඇල, කටාන සහ මීගමුව යන පළාත් පාලන බල ප්‍රදේශවල පිහිටි ආදාහනාගාර වෙත යැවීමට පියවර ගැනුණා.

මේ අතර ඊයේ (07) දිනයේදීත් මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 2,815 දෙනෙකු වාර්තාවූ අතර ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තාවූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එමෙන්ම ගාල්ලෙන් ආසාදිතයන් 413 ක්, කළුතරින් 324 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 243 ක් ඊයේ (07) වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිත සංඛ්‍යාව 327,038 ක්.

මේ අතර, අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වැඩි වශයෙන් මිය යාම හේතුවෙන් එම වයස් කාණ්ඩයේ පසුවන්නන් වහාම එන්නත්කරණයට යොමුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඉල්ලීමක් කළා.

ඒ අනුව එන්නත්කරණය සඳහා පැමිණීමට නොහැකි යම් අයෙක් වේ නම් ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව නිවසට ගෙන්වාගෙන එන්නත ලබාගත හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

අද (08) අලුයම දිවයිනට රැගෙන ආ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.86 කොළඹ මධ්‍යම එන්නත් ගබඩාවට අද (08) පෙරවරුවේ රැගෙන එනු ලැබුවා.

ඒ අනුව මෙතෙක් මෙරටට ලැබී ඇති සමස්ත සයිනොෆාම් එන්නත් මාත්‍රා ගණන මිලියන 14.7 ක් දක්වා ඉහළ යන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ.

මේ අතර ඊයේ (07) දිනයේත් එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 29,654 කට ලබාදී ඇති අතර එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 9570 කට ලබාදී තිබෙනවා.

සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 63,461 කටත් දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 69,730 කටත් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

එසේම ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 2962 කට සහ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 58 කට ලබාදී තිබෙනවා.

මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව ද පුද්ගලයින් 19,115 කට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

මේ අතර ඉදිරි දෙසතිය තීරණාත්මක විය හැකි බැවින් ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ.

එමෙන්ම, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ පවතින කොවිඩ් ව්‍යාප්තියත් සමග ඉදිරි සතියේ සිට රටේ පවතින තත්ත්වය තීරණාත්මක විය හැකි බවයි.

ඒ අනුව හැකි තාක් නිවසට වී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(08.08.2021 – 08:36 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික අභයගිරි ස්ථූපය ආශ්‍රිතව ඉදිකිරීම් සිදුකරන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ප්‍රකාශ කළා. ඒ, අභයගිරි ස්ථූපය ආශ්‍රිත ඊයේ (07) සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුවයි ෴

******************************************

(08.08.2021 – 08:40 +0530 – hirunews.lk/sinhala)

ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට සහ ඡායාරූප අන්තර්ජාලයට එක් කළ තවත් දස (10) දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

එලෙස දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට එක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

පොලිස්, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථාපිත කරන ලද විශේෂ දත්ත පද්ධතියක් සහ පරිගණක උපාංග භාවිත කරමින් ළමයින්ගේ අසභ්‍ය දර්ශන හා ඡායාරූප අන්තර්ජාලයට එක් කරන පුද්ගලයන් සොයා පෙරේදා සිට මෙහෙයුමක් ආරම්භ කළා.

ඒ අනුව එදින මෙලෙස අන්තර්ජාලයට දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප එක්කළ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා අත්අඩංගුවට ගත් අතර ඔහු විසින් මෙවැනි ඡායාරූප 500 ක් පමණ අන්තර්ජාලයට එක් කර ඇති බවයි විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ.

******************************************

(08.08.2021 – 08:45 +0530 – hirunews.lk/sinhala)

ලාෆ් ගෑස් බෙදාහැරීම නතර කිරීම සහ ඒ හේතුවෙන් දැනට අපහසුතාවට පත්ව සිටින පාරිභෝගික ජනතාවට ලබාදෙන පිළියම් සම්බන්ධයෙන් ලබන සතිය වනවිට තීන්දුවක් ගන්නා බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ගාල්ල දිස්ත්‍රික්කයේ සතොස අලෙවිසැල් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට ඊයේ (07) එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ ෴

******************************************

(08.08.2021 – 11:06 +0530 – hirunews.lk/sinhala)

මාස හයක් (6) වයසැති බිළිඳා සහ 20 හැවිරිදි පෙම්වතිය ඝාතනය කර පිළිස්සූ පෙම්වතා වසර හයකට (6) පසු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණය කර තිබෙනවා.

2015 වසරේ අගෝස්තු මාසයේ සිට අතුරුදන් මෙම කාන්තාව සහ බිළිඳා සම්බන්ධයෙන් ඥාතීන් විසින් කිලිනොච්චියේ පිහිටි මානව හිමිකම් කාර්යාලයට පැමිණිලි කිරීමෙන් අනතුරුව වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් වසර තුනක (3) පමණ කාලයක් පූර්ණ පරීක්ෂණයකින් අනතුරුවයි මොහු ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

28 හැවිරිදි සැකකරු ඝාතනයෙන් පසු අවස්ථා දෙකකදී (2) විදෙස්ගතව සිට නැවත වව්නියාවට පැමිණ ඇති අතර පසුව පොලීසිය අතුරුදන් කාන්තාව සහ බිළිදා සම්බන්ධයෙන් සැකකරුගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පොලීසියට කිහිප විටක් ව්‍යාජ තොරතුරු ලබාදී තිබෙනවා.

පසුව දුරකතන දත්ත පරීක්ෂා කල අවස්ථාවේදී හෙළි වූ කරුණු මත මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් අනතුරුවයි මෙම පාපොච්චාරණය කර ඇත්තේ.

සැකකරු යාපනය කොණ්ඩාවිල් ප්‍රදේශයේ කොන්ත්‍රාත් කටයුත්තක් සඳහා ගිය අවස්ථාවේදී අසල්වැසි තරුණියක් සමඟ ඇති වූ ප්‍රේම සම්බන්ධයක් දුරදිග යාමෙන් තරුණිය ගැබ්ගෙන ඇති බව විමර්ශණවලදී අනාවරණය වී තිබෙනවා.

එහිදී දෙදෙනා (2) අතර අවස්ථා කිහිපයකදී ආරවුල් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව තරුණියට බිළිඳා ලැබී මාස 6 කට පසුව සැකකාර තරුණයා විසින් තරුණිය විවාහ කරගන්නා බවට ඇයගේ ඥාතීන්ට පවසා ඇයත් බිළිඳාත් රැගෙන වව්නියාවේ මුරුගන්ඌර්හි පිහිටි සිය නිවසට පැමිණ ඇත්තේ 2015 වසරේ අගෝස්තු මස 09 වනදායි.

එදින රාත්‍රියේ තරුණියත් සමඟ ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් දෙදෙනා (2) ගේම ගෙල සිර කොට ඝාතනය කර සිරුරු නිවස තුලදීම පොල්අතු සහ භූමිතෙල් යොදා පුලුස්සා අවශේෂ කොටස් ගෙවත්තේ වල දැමූ බවටයි සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ.

මියගිය 20 හැවිරිදි තරුණිය යාපනය කෙණ්ඩාවිල්හි පදිංචිකාරිණියක් ෴

******************************************

(08.08.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

නිරිත දිග මෝසම් තත්වය සක්‍රියව පැවතීම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට සහ ගාල්ල හා මාතර දිස්ත්‍රිකක්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (08) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 117 නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්ටන් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එමෙන්ම, මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශවල මෙන්ම දකුණ, වයඹ, උතුරුමැද සහ මාතර දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා ශිරෝමනී ජයවර්ධන මහත්මිය කියා සිටියේ ෴

******************************************

(08.08.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් වාහන ආනයනයට පනවා ඇති සීමා ඉවත් කරන කාලවකවානුවක් නිශ්චිතව ප්‍රකාශ කළ නො හැකි බවට ශ්‍රී ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමය සදහන් කළා.

ඩොලර් සංචිත හිඟවීම සහ කොරෝනා ව්‍යාප්තියත් සමඟ පැන නැගී ඇති ගැටලු ඊට හේතු වී ඇති බවයි එම සංගමයේ සභාපති එස්.කේ. ගමගේ මහතා කියා සිටියේ.

වාහන ආනයනය සීමා කිරීම ලබන වර්ෂය තුළ ද ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව අද (08) දිනයේ ඉංග්‍රීසි ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

එසේ ම නොවැම්බර් මාසයේ දී ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සකස් කිරීමේ මූලික කටයුතු ද මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව බදවා ගැනීම් සහ රජයේ ප්‍රාග්ධන හා පුනරාවර්ථන වියදම් සීමා කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

වාහන ආනයනය සීමා කිරීමත් සමඟ රට තුළ වාහන මිල ගණන් කැපී පෙනෙන වැඩිවීමක් ද දක්නට ලැබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *