පෞද්ගලික රෝහල්වලත් පොරොත්තු ලේඛන – මෝචරිවල තදබදයක් – ආදාහනාගාර පැය 24 පුරා

පෞද්ගලික රෝහල්වලත් පොරොත්තු ලේඛන – මෝචරිවල තදබදයක් – ආදාහනාගාර පැය 24 පුරා

*********************************************

පෞද්ගලික රෝහල්වලත් පොරොත්තු ලේඛන – මෝචරිවල තදබදයක් – ආදාහනාගාර පැය 24 පුරා

(07.08.2021 – 20:37 +0530 – hirunews.lk/sinhala)

දෛනික කොරෝනා ආසාදිතයන් සහ මරණ සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් රෝහල්වල මෙන්ම ආදාහනාගාරවල තදබදයක් හටගෙන තිබෙනවා.

පෞද්ගලික රෝහල්ද කොරෝනා රෝගීන් ඇතුළත් කරගැනීම මේ වනවිට සීමා කර ඇති අතර, දිවයිනේ බොහෝ රජයේ රෝහල් කොරෝනා වාට්ටු සංඛ්‍යාවද මේ වනවිට ඉහළ දමමින් පවතිනවා. ප්‍රධාන පෙළේ රෝහල්, අවට ඇති දිස්ත්‍රික් රෝහල්වලද සහාය ලබාගනිමින් සිටින බවටයි වාර්තාවන්නේ.

කොළඹ ජාතික රෝහලේ වාට්ටු 11 ක කොරෝනා රෝගීන් 600 ක් පමණ මේ වනවිට ප්‍රතිකාර ලබන අතර, දෛනිකව කොරෝනා මරණ 15 ක් පමණ එම රෝහලෙන් වාර්තාවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර රාගම ශික්ෂණ රෝහලේ වාට්ටු 10 ක කොරෝනා රෝගීන් 240 කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ප්‍රතිකාර ලබන අතර, දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 10 ක් පමණ කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කර ඇති බවයි වාර්තාවන්නේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේද මේ වනවිට කොරෝනා ආසාදිතයන් 100 ක් පමණ ප්‍රතිකාර ලබන අතර, දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 6 ක කොරෝනා ආසාදිතයන් රඳවා සිටින බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

එසේම පෞද්ගලික රෝහල්වලද ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවයි පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සභාපති වෛද්‍ය අනුර කුරුප්පුආරච්චි මහතා කියා සිටියේ.

රෝහල් රැසකම මෘත ශරීරාගාර මියගිය කොරෝනා ආසාදිතයන්ගෙන් පිරෙමින් පවතින අතර, ආදාහානගාරවල පවතින්නේ දැඩි කාර්යබහුල තත්වයක් ෴

තවත් කොවිඩ් ආසාදිතයින් 1820 ක් මෙරටින් හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 326,043 ක් දක්වා ඉහළ යනවා ෴

+++++++++++++++++++++++

(07.08.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

චීනයේ සිට තවත් එන්නත් මාත්‍රා මිලියන 4 ක් චීනයේ බීජිං නුවර සිට මෙරටට රැගෙන විත් තිබෙනවා.

අද (07) පස්වරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා 3 ක් විසිනුයි මෙම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපල දක්වා රැගෙන විත් ඇත්තේ.

ඒ UL1869, UL865 සහ UL869 යන ගුවන්යානා මගින්.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ ජාතික අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් පසුගිය මාර්තු මාසයේ සිට සයිනොෆාම් එන්නත් මිලියන 16.3 ක් මෙරටට රැගෙන ඒම සඳහා ගුවන් පහසුකම් ලබාදී ඇති බවයි.

+++++++++++++++++++++

(07.08.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සිදුවූ කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 5000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අද (07) තවත් මරණ 98 ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වාර්තා කිරීමත් සමගයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (06) මෙම මරණ තහවුරු කර ඇති අතර ඊට පිරිමි පුද්ගලයන් 47 ක් සහ කාන්තාවන් 51 ක් අයත්.

මේ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 5017 ක් ලෙසටයි.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 20 ක් ඊයේ (06) තහවුරු කළ මරණ අතර වනවා. ඒ පිරිමි පුද්ගලයන් 12 ක් සහ කාන්තාවන් 8 ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 78 ක් මෙම පිරිසට අයත්. ඒ පිරිමි පුද්ගලයන් 35 ක් සහ කාන්තාවන් 43 ක් වශයෙන්.

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 976 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (07) දිනයේ හමුවූ ආසාදිතයන් ගණන 2796 ක් ෴

++++++++++++++++++

(07.08.2021 – 20:42 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පැතිරයාම හමුවේ සෞඛ්‍ය සේවකයින් රැකගැනීමට හෝ ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට බලධාරීන් නිසි ක්‍රමවේදයක් සකස් කර නොමැති බවට පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය චෝදනා කරනවා.

මේ වන විට පවුල් සෞඛ්‍ය සේවිකාවන් 500 ත් 600 ත් අතර ප්‍රමාණයක් වෛරසයට ගොදුරු වී ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

මේ අතර, ගර්භනි මාතාවන්, පවතින තත්ත්වයේ බැරෑරුම් බව තේරුම් ගනිමින් කටයුතු කළ යුතු බව නැගෙනහිර කොළඹ මුලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා ප්‍රකාශ කළා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වාට්ටු 4 ක වෛරසය ආසාදනය වූ දරුවන් 150 කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිනවා ෴

+++++++++++++++++++

විදේශිකයන්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ

(07.08.2021 – 21:01 +0530 – hirunews.lk/sinhala)

මෙරට රැඳී සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය සැප්තැම්බර් මස 07 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා ෴

+++++++++++++++++++++

(08.08.2021 – 06:20 +0530 – hirunews.lk/sinhala)

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.86 ක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයක් අද (08) අලුයම දිවයිනට පැමිණියා.

ඇසුරුම් 60 ක් තුළ තිබූ මෙම එන්නත් තොගය කිලෝග්‍රෑම් 20,000 කට ආසන්න බරකින් යුක්ත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජපානයේ පරිත්‍යාගයක් ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 7,28,000 ක් ඊයේ (07) පස්වරුවේ දිවයිනට රැගෙන එනු ලැබුවා.

ඒවා කෑගල්ල ප්‍රදේශයේ එන්නත්කරණ කටයුතු සඳහා යෙදවීමට නියමිතයි.

මේ අතර සයිනොෆාම් එන්නතේ පළමු (1) හා දෙවන (2) මාත්‍රා ලබාදීම පනාගොඩ බෝධිරාජාරාමය, වේරහැර පළමු වන වෛද්‍ය බලකා කඳවුර සහ නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී අද (08) දිනයේත් සිදුකෙරෙනවා.

ඊට අමතරව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබා ගත් 60 ට වැඩි අයට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේදීත්, මාතර – මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදීත් එහි දෙවන (2) මාත්‍රාව අද දිනයේත් ලබාගැනීමට හැකියාව පවතින බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මේ අතර, කොළඹ නගරයේ එක් (1) එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සොයා එන්නත් ලබාදීම සඳහා ඊයේ (07) ආරම්භ කළ මෙහෙයුම අද (08) දිනයේත් ක්‍රියාත්මකයි.

++++++++++++++++

(08.08.2021 – 06:57 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් එන්නත් වැඩපිළිවෙළේ එකදු මාත්‍රාවක් හෝ ලබා නො ගත් කොළඹ ප්‍රදේශයේ ජනතාව හට අද (08) දිනයේත් උදැසන 9 සිට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය සෞඛ්‍ය අංශ ඒකාබද්ධ ව ක්‍රියාත්මක කරනු ලබනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ මෙතෙක් වයස අවුරුදු 30 ට වැඩි එකදු මාත්‍රාවක් හෝ ලබා නො ගත් පුද්ගලයන් හට මෙම ස්ථානයෙන් එන්නත ලබාගැනීමේ හැකියාව පවතිනවා ෴

+++++++++++++++++++

(08.08.2021 – 07:30 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (07) දිනයේ දී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 118 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 53,571 ක් වනවා.

එමෙන්ම බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුල්වන ස්ථානවල දී සිදු කරනු ලැබූ පරික්ෂා කිරීම්වල දී පුද්ගලයින් 6,443 ක් ඔවුන් පැමිණි වාහන 3,264 ක් සමඟ පරීක්ෂාවට ලක් කර ඇති අතර පුද්ගලයින් 53 ක් ඔවුන් පැමිණි වාහන 33 ක් සමඟ හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා ෴

++++++++++++++++++

(08.08.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සතර මහා දේවාලවල කප් සිටුවීම හෙට (09) සිදු කෙරෙනවා.

ඒ අනුව හෙට (09) අලුයම 01:09 ට යෙදෙන සුබ නැකතට අනුව කප් සිටුවීමෙන් පසු 12 වනදා තෙක් දේවාල අභ්‍යන්තර පෙරහර 5 ක් පැවැත්වීමට නියමිතයි. ඊට අදාළව කප අද (08) පස්වරුවේ මහනුවර දළදා මාළිඟා පරිශ්‍රයට රැගෙන එනු ඇති.

ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහර මේ මස 13 වනදා වීථි සංචාරය කෙරෙනු ඇති. පුරා දින පහක් කුඹල් පෙරහර වීථි සංචාරය කරන අතර ප්‍රථම රන්දෝලි පෙරහර ආරම්භ වීමට නියමිතව ඇත්තේ මේ මස 18 වනදායි.

අවසන් රන්දෝලි පෙරහර මේ මස 22 වනදාට යෙදෙන නිකිණි පොහොය දා වීථි සංචාරය කිරීමෙන් පසුව ඊට පසුදා ගැටඹේ තොටේදී දිය කැපීම සිදු කරනු ලබනවා. පසුව දවල් පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව පෙරහැර මංගල්‍ය නිමාවට පත්වනු ඇති.

මෙවර පැවැත්වෙන පෙරහර මංගල්‍ය මෙන්ම සියලු ආගමික වතාවත් ජනතාවගේ සහභාගිත්වයෙන් තොරව දැඩි සෞඛ්‍ය නීතිරීතිවලට යටත්වයි පැවැත්වීමට නියමිතව ඇත්තේ ෴

++++++++++++++++++++

(08.08.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වූ මැති ඇමතිවරුන්ගේ ආශ්‍රිතයින් සොයා මේ වනවිට පාර්ලිමේන්තුවේ සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා.

දැනට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජානක තිස්ස කුට්ටිආරච්චි, රෝහණ දිසානායක සහ දිලිප් වෙදආරච්චි යන මහත්වරු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැණුනා.

පසුගිය සතිය තුළ පාර්ලිමේන්තු සැසිය පැවැත්වූ අවස්ථාවේදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා එකදු පාර්ලිමේන්තු සැසිවාරයකටවත් සහභාගිවී නැහැ.

රෝහණ දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ පසුගිය සතියේ එක් (1) දිනක් පමණයි.

එහෙත් ඔහු සහ අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සමීප ඇසුරක් සිදු වී නොමැති බවටයි දැනට සිදුකරන ලද සී සී ටී වී පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා ඉකුත් සතියේ පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී දින දෙකක් (2) පමණක් පැමිණ ඇති අතර, ඔහුද අනෙකුත් මන්ත්‍රීවරුන්, නිලධාරීන් සහ පාර්ලිමේන්තුවේ සේවකයින් සමඟ සමීප ඇසුරක් පවත්වා නැහැ.

කෙසේ වෙතත් තවදුරටත් සී සී ටී වී කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කෙරෙන බවයි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

++++++++++++++++++++

(08.08.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ (07) පන්දහසේ සීමාව ඉක්මවා ගියා.

ඊයේ (07) වාර්තා වු මරණ 98 ත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වුණේ 5,017 ක් ලෙසයි.

කොරෝනා ආසාදිතව පෙරේදා මියගිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (07) තහවුරු කළ මරණ 98 ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර තිබුණා.

එලෙස මියගිය පිරිස අතර, කාන්තාවන් 51 දෙනෙකු සිටින අතර, පිරිමි පුද්ගලයින් 47 දෙනෙකු වනවා. මියගිය අයගෙන් 78 දෙනෙකු අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එමෙන්ම ඊයේ (07) තවත් කොරෝනා ආසාදිතයන් 2815 ක් හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 327,038 ක් දක්වා ඉහළ ගියා.

ඉන් 2796 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර විදේශන්හි සිට පැමිණි 19 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගැණුනා.

ඒ අනුව ආසාදිතයින් 31,325 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 290,794ක්.

මේ අතර සංකූලතා නොමැති කොරෝනා ආසාදිතයන් නිවෙස් තුළ රඳවාගනිමින් අධීක්ෂණය කිරීමට ගත් ක්‍රියාමාර්ගය හෙට (09) සිට ආරම්භ කෙරෙන අතර ඊට අදාළ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලු පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් ඇතුලු සියලු සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙත පසුගියදා යොමු කෙරුණා.

ඒ අනුව 1390 දුරකථන අංකය හරහා පැය විසි හතර (24) පුරා රෝගීන්ට අවශ්‍ය තොරතුරු ලබාගත හැකියි.

සංකූලතා නොමැති අඩු අවදානම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන වයස අවුරුදු දෙකේ (2) සිට අවුරුදු 65 දක්වා වන වයස් කාණ්ඩවල රෝගීනුයි මෙලෙස නිවෙස්වල රඳවා අධීක්ෂණය කිරීමට කටයුතු කර ඇත්තේ.

යම් හෙයකින් රෝගී තත්වය උත්සන්න වුවහොත් කඩිනමින් රෝහල් ගත කිරීමටද පහසුකම් සළසා තිබෙනවා.

රෝගියා නිවෙස් තුළ රඳවා ප්‍රතිකාර ලබාගන්නේ නම් ඒ සඳහා ඔහුගේ කැමැත්ත ලබාගත යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියා.

මේ අතර කොරෝනා ආසාදිතයන් සීග්‍ර ලෙස වාර්තාවීමට හේතුව ඩෙල්ටා ප්‍රභේදය විය හැකි බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ.

ඩෙල්ටා ප්‍රභේදය පැතිර යන වකවානුවක අවදානම් සහගතව රැකියාවේ නිරතවන සෞඛ්‍ය අංශයේ පිරිසගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට තවත් එන්නත් මාත්‍රාවක් ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඒ, කොළඹ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකදියි.

පවතින තත්වය ඉතා අවදානම් බැවින් නිවසින් පිටවන සෑම මොහොතකම මුව ආවරණ පැළඳ සිටීම අනිවාර්යෙන් සිදු කළ යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර මෙරට රැඳී සිටින සියලු විදේශිකයන්ගේ වීසාවල වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ සැප්තැම්බර් මස හත්වනදා (07) දක්වා මෙලෙස වීසා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කර ඇති බවයි ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(07.08.2021 – 20:25 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපලේ මේ වන විට කිරි පිටි හිඟයක් පවතින බවට වෙළඳුන් මෙන්ම ජනතාව චෝදනා කරනවා.

ආනයනික කිරිපිටි මෙරට ජන ජීවිතයේ අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට පත්ව ඇති පසුබිමක වෙළඳපලේ ඉල්ලුමට සරිලන ආකාරයේ කිරිපිටි නොමැති වීම පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය සොයා බැලීමක් කළා.

මෙරට මාසික කිරිපිටි පාරිභෝජනය මෙට්‍රික් ටොන් 6,500 ක් පමණ වන අතර, කිරිපිටි ආනයනය කිරීම සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 360 ක් පමණ වැය කරනවා.

කෙසේ වුවත් වත්මන් කොරෝනා තත්ත්වයත් සමග මෙරට ආර්ථිකය පසුබෑමකට ලක්වී ඇති මොහොතක විදෙස් සංචිත ප්‍රමාණය ද පහත බැස තිබීම කිරිපිටි ආනයනය කෙරෙහිද බලපෑම් එල්ල කර අවසන්.

එවන් පසුබිමක ලෝක වෙළදපළේ කිරිපිටි මිල ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම මෙන්ම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම යන කරුණු මුල් කරගනිමින් මිල වැඩි කිරීමක් සිදුකරන ලෙසටයි කිරිපිටි සමාගම් රජයෙන් ඉල්ලා සිටියේ.

******************************************

වැලි කතරේ දහදිය, කඳුළු වගුරවන රට විරුවන්ගේ තීරුබදු සහනය කොල්ලකන හැටි

(07.08.2021 – 21:35 +0530 – hirunews.lk/sinhala)

වැලි කතරේ තම දහදිය, කඳුළු වගුරවමින් මෙරට විදේශ විනිමය උපයා දෙන රට විරුවන්, රණවිරුවන් සහ සුවවිරුවන් තරමටම මෙරටට ඉටුකරන්නේ අමිල මෙහෙයක්.

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ඔවුන් දරන වෙහෙස අපමණයි.

එහෙත් එම රට විරුවන්ට ලැබෙන තීරුබදු සහනය පවා කූට අයුරින් කොල්ලකෑමේ ක්‍රියාදාමයක් පිළිබඳවයි අද (07) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය.

46 හැවිරිදි තිලෝකා කුමුදුනී මහත්මිය පුරා තුන් (3) වසරක් කුවේට්හි ගෘහ සේවයේ නිරත වී යළි මෙරටට පැමිණ තිබුණේ පසුගිය ජුනි මාස 17 වැනිදායි.

******************************************

(08.08.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – පැල්මඩුල්ල ප්‍රදේශයෙන් සොයාගත් ලොව විශාලතම මැණික් පොකුර බවට පැවසූ මැණික නොවැම්බර් 05 වනදා චීනයේ ෂැංහයි නුවර පැවැත්වීමට නියමිත ලොව ප්‍රකට මැණික් වෙන්දේසියට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යාමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා ජනාධිපතිවරයා විශේෂිත ගුවන් යානයක්ද ලබාදී ඇති බවයි මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කළා.

කිලෝග්‍රෑම් 510 ක පමණ බරකින් යුත් මෙම මැණික් ගල ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් නැතහොත් රුපියල් කෝටි 2,000 කට අධික වටිකාමකින් යුක්ත බවට ඇස්තමේන්තු කර ඇති බවයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා කියා සිටියේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *