මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 324,223 ක්

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 324,223 ක්

*********************************************

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 324,223 ක්

(07.08.2021 – 12:39 +0530 – hirunews.lk/sinhala)

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5000 සීමාවට ආසන්න වී තිබෙනවා. ඒ ගෙවුණු දිනයේ තවත් කොවිඩ් මරණ 98 ක් තහවුරු කිරීමත් සමඟයි.

එවන් පසුබිමක ඇතැම් රෝහල්වල මෘත ශරීරාගාරවලද ඉඩකඩ ප්‍රමාණවත් නොවන තත්ත්වයක් හටගෙන තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (06) තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 98 ක්. මියගිය අය අතරින් 70 දෙනෙකුම අවුරුදු 60 ට වැඩි අයයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 4,919 දක්වා ඉහළ ගියා.

මේ හේතුවෙන් රෝහල්වල මෘත ශරීරාගාරවලද ඉඩකඩ ප්‍රමාණවත් නොවන තත්ත්වයක් දක්නට ලැබෙනවා.

බොහෝ ආදාහනාගාරවල කොවිඩ් මරණ මෙන්ම සාමාන්‍ය මරණද ආදාහනය කරන බැවින් ඒවායේ කාර්යබහුලත්වය මෙම තත්ත්වයට හේතුව බවයි පැවසෙන්නේ.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ සියලුම ආදාහනාගාර 24 පැය පුරා විවෘතව තැබීමට දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ගෙවුණු දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 2,794 දෙනෙකු වාර්තා වුණා. ඒ අතරින් ආසාදිතයන් 2,792 ක් දේශීයව හඳුනාගත් ආශ්‍රිතයන්. තවත් දෙදෙනෙකු (2) විදෙස් රටවල සිට මෙරටට පැමිණි අයයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 324,223 දක්වා ඉහළ ගියා.

මේ වන විට පුද්ගලයන් 288,307 ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් ආසාදිතයන් 31,095 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ඊයේ (06) එම සංඛ්‍යාව දැක්වුණේ ආසාදිතයින් 30,337ක් ලෙසයි.

දෛනික ආසාදිතයන් 2500 ඉක්මවමින් අඛණ්ඩව වාර්තා වන පසුබිමක මෙරට රෝහල් පද්ධතියේ ධාරිතාවද තවදුරටත් අර්බුදයක් වී තිබෙනවා.

මේ අතර මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අද (07) තවදුරටත් පුළුල් කෙරෙනවා.

ඒ අනුව පනාගොඩ බෝධිරාජාරාමය, වේරහැර පළමුවන වෛද්‍ය බලකා කඳවුර සහ නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී අද (07) සිට අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදෙනවා.

පසුගිය ජූලි 05 සහ 06 දින දෙකෙහි (2) ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට එහි දෙවන (2) මාත්‍රාව ලබාදීමද අද (07) සහ හෙට (08) සිදුකෙරෙනවා.

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සහ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී එම සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාගත හැකියි.

මීට අමතරව කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ එන්නත්කරණ වැඩසටහන පැය 24 පුරා අදත් (07) ක්‍රියාත්මකයි.

ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් ඕනෑම අයෙකුට විහාරමහාදේවි උද්‍යානය වෙත පැමිණ එහි දෙවන (2) මාත්‍රාව ලබාගත හැකි බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදීත් ඇස්ට්‍රාසෙනෙකා දෙවන (2) මාත්‍රාව අද (07) පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා ලබාදෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

මේ අතර කොවිඩ් ව්‍යාප්තිය රටපුරා යළි හිස ඔසවන පසුබිමක ඇතැමුන් තවමත් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් කටයුතු කරන අයුරු දක්නට ලැබෙනවා.

බණ්ඩාරවෙල සති පොලේද අද (07) දිනයේ සෞඛ්‍ය නීති නොතකමින් ජනතාව කටයුතු කරන අයුරු දක්නට ලැබුණා.

මේ අතර බණ්ඩාරවෙල – හාපත්ගමුව ප්‍රදේශයේ නිවසක පිරිසක් මත්පැන් සාදයකට සහභාගිවී සිටින බවට ලද තොරතුරක් මත එම ස්ථානයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සාදයට සහභාගිව සිටි 12 දෙනෙකුට පමණ අවවාද කොට නිවෙස් නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මේ අතර නිරෝධායන උපදෙස් කඩකරමින් මස්කෙලිය නගරයේ ව්‍යාපාර කටයුතු සිදුකළ වෙළඳසැල් කිහිපයක් වසා දමා වෙළෙඳුන්ට දැඩි අවවාද කිරීමට මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා.

මේ අතර කොවිඩ් වැළඳී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා මේ වන විට සුවය ලබමින් සිටින බව ඔහුගේ පවුලේ සමීපතමයින් සඳහන් පවසනවා ෴

++++++++++++++++++++

(07.08.2021 – 12:16 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරය තුළ මේ දක්වා කොවිඩ්-19 එකම එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් පුද්ගලයින් සොයා ඔවුන්ට එන්නත් ලබාදීමේ පිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙල යටතේ ‍ප්‍රජා පොලිස් ඒකක හා සෞඛ්‍ය අංශ එක්ව කොළඹ නගරයේ සිටිනා එකදු එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් පුද්ගලයින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට රැගෙන ගොස් ඔවුන්ට පළමු (1) එන්නත් මාත්‍රාව ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ වන විටත් එම වැඩපිළිවෙළ කොළඹ නගරය තුළ ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා ෴

+++++++++++++++++

(07.08.2021 – 12:48 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ් වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා ආපදා කළමනාකරණය පනත යටතේ විශේෂ සභාවක් පිහිටුවීමට යෝජනාකර ඇති බවත් කොවිඩ් මැඩලීම සඳහා විපක්ෂයේ සහය බලාපොරොත්තුවන බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

++++++++++++++++++++

නොපමාව එන්නත් ලබා ගන්න – අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසෙන් පිටතට නොයන්න !

(07.08.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය වේගයෙන් පැතිර යන බැවින් නොපමාව එන්නත් ලබා ගන්නා ලෙසත් අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසෙන් පිට නොවන ලෙසත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලා තිබෙනවා.

+++++++++++++++++++

(07.08.2021 – 14:55 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 2487 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව මේ වනවිට ආසාදිතයින් 290,794 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් සහ නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති බවයි ෴

++++++++++++++++++++

(07.08.2021 – 15:19 +0530 – hirunews.lk/sinhala)

අගෝස්තු 06 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ඩුබායි බලා පියාසර කරන ගුවන් ගමන් සියල්ල අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ ඩුබායි ආගමන විගමන බලධාරීන් විසින් ඉල්ලා සිටි සෞඛ්‍ය සුදුසුකමක් සපුරා ලීමට මෙරට ආගමන විගමන බලධාරීන් සහ සෞඛ්‍ය අංශ අසමත්වීම හේතුවෙන්.

මීට දින කිහිපයකට පෙර එක්සත් අරාබි එමිර් රාජ්‍යය දකුණු ආසියානු රටවල් 5 කට පනවා තිබූ ගුවන් ගමන් තහනම ඉවත් කරනු ලැබුවා.

ඒ අනුව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැකියාවන්හි නිරතව සිටි ශ්‍රී ලංකාව ඇතුළු තවත් දකුණු ආසියානු රටවල් ගණනාවක් වෘත්තිකයින්ට එරටට නැවත ඇතුළු වීමේ අවස්ථාව හිමි වුණා.

නමුත් මෙලෙස ඩුබායි රාජ්‍යයට ඇතුළු වන සියලු වෘත්තිකයින් රැපිඩ් පී.සී.ආර්. (rapid P.C.R.) පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල ඉදිරිපත් කළ යුතු බවට එරට රජය විසින් නව කොන්දේසියක් ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම රැපිඩ් පී.සී.ආර් (rapid P.C.R.) පහසුකම තවමත් මෙරට තුළ ක්‍රියාත්මක වන්නේ නැහැ.

අවසන් මොහොතේ ඩුබායි ආගමන විගමන බලධාරීන් විසින් පනවන ලද මෙම නීතිය හේතුවෙන් ඩුබායි රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතව සිටි විදෙස් ශ්‍රමිකයින් බොහෝ පිරිසකට දැඩි අසාධාරණයක් සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

මතුව ඇති තත්ත්වය අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් ඩුබායි රාජ්‍ය වෙත රැකියා සඳහා යාමට කිසිවෙකුට නොහැකිවී තිබෙනවා.

එමෙන්ම මාස ගණනාවක් පුරා මැදපෙරදිග රාජ්‍යයන් වෙත යාමට නොහැකිව තමන්ගේ රැකියා අහිමිව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විශාල සංඛ්‍යාවක් අද (07) සහ හෙට (08) ඩුබායි බලා යාමට ගුවන් ප්‍රවේශපත් පවා වෙන්කරගෙන තිබුණා.

නමුත් හදිසියේ පැනවූ මේ නියෝගය අනුව මේ වනවිට බොහෝ දෙනෙකුට රැකියා අහිමි වීමේ අවදානමක් පවා මතුව ඇති බවටයි වාර්තා වන්නේ.

මීට විකල්පයක් ලෙස ගුවන් ගමන් නියෝජිතයන් ක්‍රම දෙකක් (2) යෝජනා කර ඇති අතර ඉන් එක් යෝජනාවක් වන්නේ මාලදිවයින හරහා ඩුබායි වෙත ගමන් කිරීමයි.

දෙවැනි (2) යෝජනාව ලෙස ඔවුන් ඉදිරිපත් කරන්නේ ජෝර්ජියාව හරහා ඩුබායි වෙත ගමන් කිරීමයි.

අදාල රටවල් දෙකේම (2) ඩුබායි ආගමන විගමන බලධාරීන් ඉල්ලා සිටින රැපිඩ් පී.සී.ආර් (rapid P.C.R.) පහසුකම් ඇති නමුත් එම විකල්පයන් දෙකම (2) ප්‍රායෝගික නොවන සහ මිල අධික විකල්පයන් බවටයි වාර්තා වන්නේ.

මෙම ගුවන් ගමන් දෙක සඳහා පමණක් සාමාන්‍ය මුදලට වඩා සිව් (4) ගුණයක පමණ වියදමක් දැරීමට මෙරට ශ්‍රමිකයින්ට සිදුවනවා.

මේ අතර මැද පෙරදිග බොහෝමයක් හාම්පුතුන් මේ වනවිටත් ඊමේල් මාර්ගයෙන් සිය සේවකයින්ට දන්වා ඇත්තේ එළැඹෙන විසි වනදාට (20) ප්‍රථම රාජකාරි සඳහා වාර්තා නොකරන සියලු දෙනා සේවය හැර ගියා සේ සළකා කටයුතු කරන බවටයි.

මේ අනුව ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුගේ මැදපෙරදිග සේවා ගිවිසුම් අවලංගු වීමේ අවධානමට අමතරව අද (07) සහ හෙට (08) ගුවන් ගමන් පවතින බව මුලින් ප්‍රකාශ කිරීම නිසා අධික මුදලක් ගෙවා PCR පරීක්ෂණ දෙවරක් හෝ තුන්වරක් සිදු කිරීමටත් මේ පිරිසට සිදුව තිබෙනවා.

මැදපෙරදිග රැකියා අපේක්ෂිත මෙරට ශ්‍රමිකයන් පවසන්නේ රැපිඩ් පී.සී.ආර් (rapid P.C.R.) පරීක්ෂණ පහසුකම් ශ්‍රී ලංකාව තුළ නොමැති පසුබිමක ඒ පිළිබඳව මැදපෙරදිග බලධාරීන් දැනුවත් කර සාධාරණ විසඳුමකට පැමිණීම දෙරටේ තානාපති කාර්යාල හා රජය මැදිහත් වී සිදු කළ යුතු කාර්යයක් බවයි.

එසේ නොමැතිව අදාල බලධාරීන් නිහඬව සිටීම තුළින් මැදපෙරදිග රැකියා අපේක්ෂිත මෙරට ශ්‍රමිකයින් රැසකට බලවත් අසාධාරණයක් සහ පීඩාවක් සිදු වන බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

මේ ගැටළුව පිලිබඳ සොයා බලා එයට රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් ලබාදීම රජයේ සහ මැදපෙරදිග තානාපති කාර්යාලවල වගකීම වුවද තවමත් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය සහ තානාපති අංශ මේ පිළිබඳව මුනිවත රැකීම කණගාටුවට කරුණක් බවයි ඔවුන් පවසන්නේ.

එබැවින් මෙම ගැටළුව වහාම විසඳීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස රැකියා අපේක්ෂිත ශ්‍රමිකයින් ඉල්ලීමක් කරනවා ෴

+++++++++++++++++++

(07.08.2021 – 16:05 +0530 – hirunews.lk/sinhala)

වරාය අධිකාරියේ සේවකයින් 600 කට කොරෝනා ආසාදනය වී ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍යය බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

වරාය අධිකාරියේ වර්තමාන සේවක සංඛ්‍යාව 9,000 ක් පමණ වන බවත්, දැනට ඉන් ආසාදිතවී ඇත්තේ සේවකයින් 31 දෙනෙකු වැනි සුළු පිරිසක් පමණක් බවයි වරාය අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ පිරිසද මේ වනවිට රෝහල් ඇතුලු ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකර අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරමින් සිටින බව අදාළ නිවේදනයේ දැක්වෙනවා ෴

ජපානයෙන් පරිත්‍යාගයක් ලෙසට හිමිවූ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,000 ක් රැගත් ගුවන්යානයක් දිවයිනට ළගාවී තිබෙනවා ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(07.08.2021 – 12:44 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගත තත්ත්වය ඉහළ ගිය පසුබිම යටතේ රෝගීන්ගෙන් වාට්ටුවලට අමතරව රෝහල් භූමිද මේ වනවිට පිරී යමින් පවතිනවා.

එවන් තත්ත්වයක් තුල රෝහලක් වසා දැමීමෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවට පත්ව සිටින පුවතක් පිළිබඳවයි අද (07) ‘රතු මිනිතුවේ’ අවධානය.

මේ සබරගමුව පළාත් සභාවෙන් පාලනය වන බලංගොඩ, පෙට්ටිගල රජයේ රෝහලයි.

ජනතා බදු මුදලින් රෝහලේ ගොඩනැගිලි ස්ථාපිත කර තිබුන ද මෙහි ඖෂධ නිකුත් කිරීම සඳහා වෛද්‍යවරයෙක් නොමැති කමින් ප්‍රදේශවාසී ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන් පවසන්නේ පසුගිය කාලයේදී රුපියල් ලක්ෂ 57 ක වියදමින් මෙහි ගොඩනැගිලි ද අළුත්වැඩියා කර ඇති බවයි.

වෛද්‍යවරයෙක් නොමැතිව අතහැර දැමීම හේතුවෙන් මෙම රෝහල මේ වනවිට කැලෑවට ගොස් ඇත්තේ මේ අයුරින්.

ඒ සමග මෙම භූමිය සමාජ විරෝධීන්ගේ හා මත්ලෝලීන්ගේ තෝතැන්නක් වී ඇති බවටයි ජනතාව චෝදනා කරන්නේ.

මීට කලකට පෙර වෛද්‍යවරයෙකු මෙම ස්ථානය භාරව සිටි සමයේ ප්‍රදේශයේ පවුල් 400 කට පමණ මෙම රෝහලෙන් සෙත සැලසී තිබුනා.

එහෙත් මේ වනවිට ඔවුන්ට සිදුව ඇත්තේ විශාල මුදලක් වැය කර ප්‍රතිකාර සදහා බලංගොඩ රෝහලට පැමිණීමටයි.

මෙම පුවත හරහා හෝ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී පෙට්ටිගල රෝහලට වෛද්‍යවරයෙකු ලබාදුන හොත් පීඩාවට පත්ව සිටින මෙම ජනතාවට එය මාහැඟි උපකාරයක් වනු ඇති.

******************************************

(07.08.2021 – 14:34 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුව – නව යෝන් වීදියේ පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලක හට ගත් ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා.

ප්ලාස්ටික්, ඇලුමිනියම්, වීදුරු ගබඩාවක් වන එහි ඇති වූ ගින්න මැඬ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 6 ක් පමණ යොදවා ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

******************************************

(07.08.2021 – 16:09 +0530 – hirunews.lk/sinhala)

මස්කෙළිය – කැනියොන් ජලාශයේ පාවෙමින් තිබූ කොටියෙකුගේ සිරුරක් වනජීවී නිලධාරීන් විසින් අද (07) සොයාගෙන තිබෙනවා.

අඩි හයක් (6) දිගැති, අවුරුදු 8 ක් පමණ වයසැති මෙම කොටියා ජලාශය හරහා එගොඩවීමට ගිය අවස්ථාවේදී දියේ ගිලී මෙලෙස ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවටයි වනජීවී නිලධාරීන් සැක පළ කරන්නේ.

බටහිර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන වැසිත් සමඟ කැනියොන් ජලාශයේ ජල මට්ටමද මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *