දෙවන (2) එන්නත් මාත්‍රාව දෙන ඕනෑම මධ්‍යස්ථානයකින්, 30 ට වැඩි අයට පළමු (1) මාත්‍රාවත්

දෙවන (2) එන්නත් මාත්‍රාව දෙන ඕනෑම මධ්‍යස්ථානයකින්, 30 ට වැඩි අයට පළමු (1) මාත්‍රාවත්

*********************************************

දෙවන (2) එන්නත් මාත්‍රාව දෙන ඕනෑම මධ්‍යස්ථානයකින්, 30 ට වැඩි අයට පළමු (1) මාත්‍රාවත්

(06.08.2021 – 18:34 +0530 – hirunews.lk/sinhala)

දෙවන (2) එන්නත් මාත්‍රාව ලබාදෙන ඕනෑම මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 30 ට වැඩි ඕනෑම අයෙකුට පළමු (1) මාත්‍රාව ලබාගැනීමේ පහසුකම් සැලසීමට තීරණය කර තිබෙනවා.

මෙම කරුණු අනාවරණ වූයේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (06) ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේදියි.

කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කොළඹ ඇතුලු ප්‍රධාන නගර කිහිපයක රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ඉහළ යාමක් සිදුව තිබෙනවා.

එලෙස පැමිණෙන රෝගීන් නිර්ණය කිරීමේදී ඇතිවන තදබදය හේතුවෙන් ඔවුන් අපහසුතාවට ලක් නොවිය යුතු බව සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා, රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නන් පළමුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතත්, පසුව රෝගියාගේ තත්වය නිරීක්ෂණය කර, රෝහල් වෙත යොමු කරන ලෙසයි උපදෙස් ලබාදුන්නේ.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ අවුරුදු 18 ට වැඩි සමස්ත ජනගහණයට එන්නත් මාත්‍රා දෙකම (2) සැප්තැම්බර් මාසයට පෙර ලබාදිය හැකි පරිදි එන්නත් ඇණවුම් කර ඇති බවයි.

එසේම තුන්වන (3) මාත්‍රාවක් සඳහා වුවද රජය සූදානම් බව ඔහු කියා සිටියා.

සෞඛ්‍ය උපදෙස් නොපිළිපැද ජන ඒකරාශීවීම් රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වී ඇතැයි බුද්ධි අංශ පෙන්වා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

ගතවූ මාසය තුළ රට පුරා උද්ඝෝෂණ 120 ක් පවත්වා ඇති අතර, මේ සෑම උද්ඝෝෂණයකටම අවම වශයෙන් 1,500 කට අධික පිරිසක් සහභාගිවී ඇති බවට බුද්ධි අංශය හෙළි කරගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියා.

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1910 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 323,339 ක් ලෙසටයි ෴

++++++++++++++++++++

(06.08.2021 – 19:56 +0530 – hirunews.lk/sinhala)

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සිදුවන එන්නත්කරණ වැඩසටහන අද (06) දිනයේත් පැය විසි හතර (24) පුරා ක්‍රියාත්මකයි.

ඒ අනුව ඕනෑම ස්ථානයකින් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් අයෙකුට විහාරමහාදේවි උද්‍යානය වෙත පැමිණ එහි දෙවන (2) මාත්‍රාව ලබාගත හැකි බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

එසේම වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින්ට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදීම ද කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී සිදු කෙරුණා.

මේ අතර දියත උයනේ එන්නත්කරණ වැඩසටහන අද (06) දිනයේ සිදු නොවුනු අතර, යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ සතියේ සෑම සඳුදා, අඟහරුවාදා සහ බදාදා යන දිනවලදී පමණක් එම ස්ථානයේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක බවයි.

එසේම පනාගොඩ – බෝධිරාජාරාමය, වේරහැර පළමුවන වෛද්‍ය බලකා කඳවුර සහ නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී හෙට (07) සිට වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින්ට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදීම සිදු කෙරෙනවා.

එසේම පසුගිය ජූලි 05 සහ 06 දින දෙකෙහි (2) ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලදී සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන (2) මාත්‍රාව ලබාදීම හෙට (07) සහ අනිද්දා (08) සිදු කෙරෙනවා.

ඒ, ගාල්ල – විද්‍යාලෝක විදුහලේදී සහ මාතර – මහින්ද රාජපක්ෂ මහ විද්‍යාලයේදියි ෴

++++++++++++++++++

(06.08.2021 – 20:08 +0530 – hirunews.lk/sinhala)

ගර්භනී මව්වරුන් 24,000 කට වැඩි පිරිසක් මේ වන විට එන්නත්කරණයට ලක් කර අවසන් කර ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසනවා.

මේ අතර, බන්ධනාගාර රැඳවියන් සඳහා සයිනොෆාම් එන්නත ලබාදීම ඊයේ (05) සිට ආරම්භ කෙරුණේ කොළඹ බන්ධනාගාරවලින්.

ඒ අනුව වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල රැඳවියන් 5000 කට එන්නත් ලබාදී අවසන් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළා.

දිවයිනේ සෙසු බන්ධනාගාරවල ද ලබන සතියේ සිට එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතයි ෴

++++++++++++++++++

(06.08.2021 – 21:30 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 882 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද (06) දිනයේ හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2792 ක්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 324,221 ක් හමුවී තිබෙනවා. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 98 ක් ඊයේ (05) දිනයේ තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4919 ක් ලෙසටයි.

මෙම මරණ අතර පිරිමි පුද්ගලයන් 54 ක් සහ කාන්තාවන් 44 ක් වනවා.

අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ එක් පිරිමි පුද්ගලයෙක් (1) මියගිය පිරිසට අයත්.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 27 ක් මේ අතර වනවා. ඒ කාන්තාවන් 11 ක් සහ පිරිමි 16 ක් වශයෙන්.

අවුරුද 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 70 ක් තහවුරු කරනු ලැබූ මරණ 98 ට අයත්. ඒ පිරිමි 37 ක් සහ කාන්තාවන් 33 ක් වශයෙන්.

මෙය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දෛනිකව තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාවයි ෴

++++++++++++++++++

(06.08.2021 – 22:31 +0530 – hirunews.lk/sinhala)

ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

(බොන්න කොත්තමල්ලි)

ඔහු මේවන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි සුනිල් පෙරේරා මහතාගේ පවුලේ සාමාජිකයෙකු ප්‍රකාශ කළේ.

මේ අතර ගිරිරාජ් කෞෂල්‍ය සහ නිරෝෂන් විජේසිංහ යන රංගන ශිල්පින් දෙදෙනාට (2) ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ ෴

(06.08.2021 – gossiplankanews.com)

ජිප්සීස් නායක සුනිල් පෙරේරා රංගන ශිල්පී ගිරිරාජ් කෞෂල්‍ය හා රංගන ශිල්පී නිරෝෂන් විජේසිංහ යන අය කොරෝනා රෝගයට ගොදුරුවී ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

ජිප්සීස් නායක සුනිල් පෙරේරා – රංගන ශිල්පී ගිරිරාජ් කෞෂල්‍ය – රංගන ශිල්පී නිරෝෂන් විජේසිංහ

සුනිල් පෙරේරා මහතාගේ පවුලේ එක් දියණියක හැරුණු විට පවුලේ ඥාතීන් අනෙකුත් සියලුම දෙනාට කොරෝනා ආසාදනය වී ඇති බවද සුනිල් පෙරේරා මහතාට ඔක්සිජන් ලබා දෙන බවද වාර්තා විය.

මේ වනවිට තවත් කලා ශිල්පීන් ගණනාවකටත් කොරෝනා වෛරසය ආසාදනය වී නිරෝධායනයේ පසුවෙති.

ඒ අය අතර නයනතාරා වික්‍රමාරච්චි, රන්ජන් රාමනායක, ශ්‍රියානි අමරසේන,ශලනි තාරකා, ජයසේකර අපොන්සු හා රොෂානා ඔන්ඩච්චි සිටිති ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(06.08.2021 – 18:43 +0530 – hirunews.lk/sinhala)

අහංගම – මිදිගම තුර්කි ගම්මානයේදී තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මිදිගම – ගස්මුල්ල වත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදෙරු පියෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

අහංගම ප්‍රදේශයේ අවන්හලකදී ඇති වූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදු වී ඇති අතර ‘අමිල විජේසේකර’ හෙවත් ‘දේනුවල පෝක් අමිල’ ඇතුළු පිරිසක් මෙම පහර දීම සිදුකර තිබෙනවා.

සිද්ධියෙන් තවත් අයෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරුට එරෙහිව මත්කුඩු ඇතුළු තවත් චෝදනා රැසක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වන බවයි පොලිසිය සඳහන් කළේ ෴

******************************************

(06.08.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala)

තමන්ට ණයවර ලිපි විවෘත කිරීමට පහසුකම් ලබා දෙන්නේ නම් සහ සාධාරණ මිලකට ගෑස් අලෙවියට අවස්ථාව ලබා දෙන්නේනම් හෙට වුවත් සමාගමට අවශ්‍ය කරන ගෑස් ගෙන ඒමට සූදානම් බව ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපතිවරයා පවසනවා.

ඔහු කියා සිටියේ සිය ගෑස් සමාගම සතුව ගෘහස්ථ පාරිභෝගිකයින් මිලියන දෙකක් (2) පමණ සහ වාණිජ පාරිභෝගිකයින් ලක්ෂ නවයකට (9) ආසන්න ප්‍රමාණයක් සිටින බවයි.

ගෑස් ගෙන්වීමට අවශ්‍ය ණයවර ලිපි විවෘත කරගත නොහැකි වීමෙන් සිය සමාගමට පසුගිය කාලය පුරා ගෑස් ආනයනය කිරීමට නොහැකි වූ අතර සමස්ත ඉල්ලුමෙන් සපුරාගත හැකි වූයේ සපුගස්කන්ද පිරිපහදුවෙන් ලබාගන්නා ගෑස් අලෙවියෙන් පමණක් බවත් ඔහුත් සඳහන් කළා.

ශ්‍රී ලංකාව තුළ ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් එකතුව ගෑස් සිලින්ඩර ලක්ෂ එකසිය පහළොවක් (115) පමණ තිබෙනවා.

මෙම ගෑස් අර්බුදය හේතුවෙන් මේ වනවිට ලාෆ් ගෑස් සිලින්ඩර මිලටගත් පාරිභෝගිකයින් මිලියන 2.9 ක් අතරමං වී ඇති අතර ඔවුන්ට විකල්පයක් ද නොමැති බවයි ලාෆ්ස් සභාපතිවරයා පවසන්නේ.

ලංකාවේ දෛනික ගෑස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 1600 ක් වන අතර ඒයින් මෙට්‍රික් ටොන් 350 ක් ලාෆ්ස් සමාගම බෙදා හරිනවා.

සපුගස්කන්ද රජයේ තෙල් පිරිපහදුවෙන් ලැබෙන ගෑස් මෙට්‍රික් ටොන් 25 ක් පමණක් දැනට එම සමාගමට නිකුත් කරනවා.

කෙසේ වෙතත් ණයවර ලිපි විවෘත කිරීම සඳහා ඩොලර් නොමැතිවීම, ආනයන මිල හා අලෙවි මිල අතර පරතරය හේතුවෙන් ලාෆ්ස් ආයතනය දැන් අලෙවි කරනු ලබන්නේ සපුගස්කන්දෙන් ලැබෙන ගෑස් පමණක් බවයි සභාපතිවරයා කියා සිටියේ.

රජයේ ගෑස් අලෙවි ප්‍රතිපත්තිය අනුව ඉදිරියේදී ලිට්රෝ සමාගමත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැනි මහජනයාගේ බදු මුදල් කාබාසිනියා කරන දැවැන්ත පාඩු ලබන රාජ්‍ය ආයතනයක් වීමේ ලකුණු මේ වන විටත් පෙන්නුම් කර ඇති බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

******************************************

(06.08.2021 – 19:44 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේදී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බ පුපුරවාගෙන මියගිය අලව්දීන් අහමඩ් මුවාත් නමැති මරාගෙන මැරුණු බෝම්බකරුගේ පියා සියලු චෝදනා වලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද (06) නියෝග කළා.

වසර එකහමාරක් (1½) පමණ කාලයක් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අහමඩ් ලෙබ්බේ අලව්දීන් නමැති මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතව පසුවුණා.

මෙම සැකකරු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර නීතිපතිවරයා ගෙන් උපදෙස් ඉල්ලා තිබුණා.

ඒ අනුව නීතිපතිවරයා විසින් සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් සැකකරුට එරෙහිව තවදුරටත් කටයුතු නොකරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇත්තේ ෴

******************************************

(06.08.2021 – 20:29 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවට විසඳුම් ඉල්ලීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවත් වෘත්තිය සමිති ගණනාවක සහයෝගය ලබා ගනිමින් ලබන සඳුදා (09) සිට පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර අදාළ ගැටලුවලට විසඳුම් අපේක්ෂාවෙන් මහනුවර සිට කොළඹ බලා පැමිණෙන පා ගමන අද (06) තුන්වන (3) දිනටත් පැවැත්වුණා.

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳන ලෙස ඉල්ලමින් මහනුවරින් ඇරඹි විරෝධතා පාගමන අද (06) තුන්වන (3) දිනට ආරම්භ වුණේ ගලිගමුව ප්‍රදේශයෙන්.

අද (06) පස්වරුවේ වරකාපොළ ප්‍රදේශයෙන් විරෝධතා පා ගමන අවසන් කෙරුණු අතර එය කොළඹට පැමිණීමට නියමිතව තිබෙන්නේ ලබන සඳුදා (09) යි.

ඊයේ (05) කෑගල්ල ප්‍රදේශයේදී මෙම පාගමනට විරෝධය පළකළ දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු නාමල් කුමාර අදත් (06) පාගමනට විරෝධය පළ කළා.

මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා අදත් (06) ප්‍රදේශ කිහිපයකම විරෝධතා සංවිධාන කර තිබුණා.

ගුරු වැටුප් සටනට සහය පළකරමින් අද (06) මිනුවන්ගොඩ නගරයේදී දෙමාපියන් පිරිසක් විසින් උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා.

එහිදී මිනුවන්ගොඩ පොලීසිය ඊට එක්ව සිටි දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන පසුව මුදා හැර තිබෙනවා.

ඊයේ (05) රාත්‍රී ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වූ ‘බලය’ දේශපාලන වැඩසටහනේ තේමාව වී තිබුණේද ගුරු වැටුප් ගැටලුවයි.

වැටුප් සටනේ නිරත ගුරුවරු අත්අඩංගුවට ගැනීම පිළිබඳව අද (06) පාර්ලිමේන්තුවේදී ද අදහස් පළවුණා.

******************************************

(06.08.2021 – 22:54 +0530 – hirunews.lk/sinhala)

රටේ රාජ්‍ය ආදායමෙන් විශාල ප්‍රතිශතයක් රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීමට වැය කරන පසුබිමක අපනයන වියදම්ද ඉහළ යාම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

මෙරටදී නිෂ්පාදනය ඇරඹූ තවත් ඖෂධ 2 ක් වෙළඳසැලට හඳුන්වාදීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ පවතින ගැටලුවලට ආනයන සීමාකිරීම තුළින් විසඳුම් සොයාගත යුතු බවයි.

ට්‍රැමඩෝල් සහ තයිරොක්සින් යන ඖෂධ මෙරට තුලදී නිෂ්පාදනය කිරීම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මඟින් ආරම්භ කර තිබෙනවා.

ට්‍රැමඩොල් ඖෂධය වේදනා නාශකයක් ලෙස වෛද්‍ය අනුමැතිය මත ලබා දෙන අතර තයිරොක්සින් ඖෂධය තයිරෝයිඩ් ග්‍රන්ති හා සම්බන්ධ රෝගවලට භාවිත කරනවා.

මෙරට ට්‍රැමඩොල් ඖෂධ අවශ්‍යතාව වසරකට මිලියන 9 ක් වන අතර තයිරොක්සින් අවශ්‍යතාවයද මිලියන 100 කට අධිකයි.

ඒ සඳහා වාර්ෂිකව රජය විශාල මුදලක් වැය කරනවා.

එම මුදල් ඉතිරි කරගත හැකිවන පරිදි මෙරටදී නිෂ්පාදනය කළ මෙම ඖෂධ මෙරට වෙළඳපොලට නිකුත් කිරීම අද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

******************************************

මාකොළ වාහන උකස්පොළ – උකුස්සාගේ අනාවරණයක්

(06.08.2021 – 20:29 +0530 – sinhala.adaderana.lk)

මාකොළ ප්‍රදේශයේ නීතිවිරෝධී අයුරින් පවත්වාගෙන ගිය වාහන උකසට ලබාගන්නා ස්ථානයක් පිළිබඳව ‘අද දෙරණ උකුස්සා’ පසුගිය දිනක රටට හෙළිදරව් කළේය.

එම මධ්‍යස්ථානය භාරයේ රඳවාගෙන තිබූ වාහන ඒවායේ අයිතිකරුවන් වෙත මුදාහරින ලෙස මහර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වෙයි.

ෆිනෑන්ස් සමාගම්වලට අය වියයුතු වාරික නොගෙවීම නිසා එම සමාගම් විසින් රැගෙන යාමේ අවදානමක් ඇති වාහන උකස්ගෙන තබා ගන්නා මාකොළ ප්‍රදේශයේ මෙම ස්ථානය පිළිබඳව ‘අද දෙරණ උකුස්සා’ පසුගිය වසරේ (2020) සැප්තැම්බර් 18 වනදා අනාවරණ කළේය.

මෙම කටයුත්ත පවත්වාගෙන ගොස් තිබුණේ නිසි නීතිමය පටිපාටීන්ගෙන් තොරව බව හෙළිවුනි.

යතුරුපැදි, මෘත ශරීර රැගෙන යන මෝටර් රථ, ගිලන් රථ මෙන්ම අධි සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු සියලුම වර්ගයේ වාහන 174 ක් එහි අංගනයේ ඇති අයුරු දැකගත හැකිවිය.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ ඒකකය ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකළ අතර මහර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද පවරනු ලැබීය.

අධිකරණය නියෝග කළේ එම වාහන පරම අයිතිකරුවන් වෙත හා ලියාපදිංචි අයිතිකරුවන් වෙත මුදාහරින ලෙසය.

ඒ අනුව වාහන 66 ක් හැර සෙසු වාහන සියල්ල ඒවායේ හිමිකරුවන් වෙත පොලීසිය විසින් මුදාහරිනු ලැබීය.

එම වාහන අතරින් 20 ක් රජයේ රස පරීක්ෂක වෙත යොමුකළේ ඒවායේ චැසි අංක වෙනස්කර ඇත්ද යන්න පිළිබඳව සොයාබැලීම සඳහාය.

ඉදිරියේදීත් මෙවැනි නීති විරෝධී ක්‍රියා රටට අනාවරණ කිරීමට ‘අද දෙරණ උකුස්සා’ අවධානයෙන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *