රෝහල්වල ධාරිතාව තවදුරටත් ඉක්මවයි

රෝහල්වල ධාරිතාව තවදුරටත් ඉක්මවයි

*********************************************

රෝහල්වල ධාරිතාව තවදුරටත් ඉක්මවයි

(06.08.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (05) වාර්තා වූ ආසාදිතයින් 2,674 දෙනාගෙන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 466 ක්. ඊට අමතරව කළුතරින් 377 ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 266 ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 239 ක් ඊයේ (05) වාර්තා වී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (05) වාර්තාවී ඇත්තේ ආසාදිතයන් 177 දෙනෙකු පමණයි. අනුරාධපුර, මාතර සහ අම්පාර යන දිස්ත්‍රික්කවලින් ද වැඩි ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට සමීක්ෂණවලින් අනාවරණ වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියා.

එවන් පසුබිමක බස්නාහිර පළාතේ ප්‍රධාන පෙළේ රෝහල්වල මෙන්ම පිට පළාත්වල රෝහල්වල ධාරිතාව ඉක්මවා යන තත්ත්වයක් දක්නට ලැබෙන බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

දික්ඔය මූලික රෝහලේ ද අද (06) වන විට කොරෝනා ඇඳන් ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා. මීට අමතරව ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ රෝගී සත්කාරක සේවා අත්‍යවශ්‍ය ප්‍රතිකාර සඳහා පමණක් සීමා කර ඇති බව හිරු වාර්තාකරු සඳහන් කළා.

+++++++++++++++++

(06.08.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ මෙරට පුද්ගලයින්ගේ සංඛ්‍යාව 117 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් නිකුත් කළ වාර්තාවකට අනුවයි මෙලෙස ඩෙල්ටා ආසාදිතයන් ඉහළ ගොස් ඇති බවට සඳහන් වුණේ.

මේ අතර, මෙරට සමාජය තුල කෝවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය කෙතරම් සීඝ්‍රයෙන් පැතිර යන්නේ දැයි පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

මෙම ට්විටර් පණිවිඩයට ඩෙල්ටා ප්‍රභේදයේ ජූලි මාසයේ ව්‍යාප්තිය පෙන්වා දෙන රූප සටහනක් එක් කරන ආචාර්ය ජීවන්දර මහතා සඳහන් කරන්නේ මේ වනවිට කොළඹ නගරය තුළ කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය සිත සසල කරන මට්ටමින් පැතිර යන බවයි.

ජූලි මස මුල් සතිය තුළදී කොළඹ නගරයේ කොවිඩ්-19 ආසාධිතයින් ගෙන් 75% කට වැඩි ප්‍රතිශතයක් ඇල්ෆා ප්‍රභේදය සතු කරගෙන තිබුණු අතර ආචාර්ය ජීවන්දර මහතා ට්විටර් පණිවිඩය හරහා නිකුත් කළ සටහනේ දැක්වෙන ආකාරයට මෙම තත්ත්වය ජුලි 31 වන විට උඩු යටිකුරු වී තිබෙනවා.

මෙරට කොරෝනා රෝග තත්ත්වය සහ ව්‍යාප්තිය පිළිබඳ වඩාත් විශ්වසනීය තොරතුරු සපයන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ‍ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයෙහි ආචාර්ය වරයාට අනුව ජූලි මස 31 වනදා වන විට කොළඹ නගරයේ කොරෝනා ආසාධිතයින් ගෙන් 90% ට වැඩි ප්‍රමාණයකට ඩෙල්ටා ප්‍රභේදය වැළඳී ඇති බවටයි ඔහු පෙන්වා දෙන්නේ.

ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය අතිශයින් සැලකිලිමත් විය යුතු බරපතළ තත්ත්වයක් බවටයි ෴

++++++++++++++++++

(06.08.2021 – 13:50 +0530 – hirunews.lk/sinhala)

මෙරට පළමු (1) ආදිවාසී කොරෝනා මරණය වාර්තාවී තිබෙනවා.

බණ්ඩාරවෙල දිසා රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී මෙලෙස මියගොස් ඇත්තේ දඹානේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු කළක සිට විවිධ රෝගාබාධවලින් පෙලුනු අයෙකු බවයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++++

මංගල, අවමංගල උත්සවවලට යළි සීමා – රාජ්‍ය උත්සවත් නවතී

(06.08.2021 – 15:12 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමත් සමඟ විවාහ ඇතුළු අනෙකුත් උත්සව පැවැත්වීමේදී පනවා තිබූ සීමාවන් දැඩි කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (06) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව මංගල උත්සව පැවැත්වීමේදී 500 ක ධාරිතාවයකින් යුත් ශාලා සඳහා උපරිම සහභාගි විය හැක්කේ පුද්ගලයින් 150 කට පමණයි.

එමෙන්ම, 500 ට වඩා අඩු ධාරිතාවකින් යුත් ආසන සහිත ශාලා සඳහා සහභාගි විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 100 දක්වා සීමා කර තිබෙනවා.

මීට අමතරව සියළුම රාජ්‍ය උත්සව සැප්තැම්බර් 01 දක්වා කල් දැමීමට අද (06) පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී තීරණය වූ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

එමෙන්ම, අවමංගල්‍ය උත්සව සඳහා සහභාගි විය හැකි සංඛ්‍යාව 25 කට අඩු කර තිබෙනවා.

දැනට පවතින කොරෝනා ව්‍යාප්තියත් සමග රාජ්‍ය සේවකයින්ගේ පැමිණීම ද යළි සීමා කර ඇති අතර ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි කැදවීමටයි අද (06) පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී තීරණය වී ඇත්තේ.

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට මෙම සංශෝධන බල පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

කොවිඩ් මර්දන කාර්ය සාධන බලකාය සහ සෞඛ්‍ය අංශ එකතුව මේ වනවිට ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙල්ටා වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් ගත් යුතු තීන්දු තීරණ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දීර්ඝ සාකච්ඡාවක් සිදුකර තිබෙනවා.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය අංශයේ අමාත්‍යවරුන් සහ අමාත්‍යවරියන්, යුද හමුදාපතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙහිදී රට නැවත වසා දැමීමක් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව ඇති අතර එහිදී අදහස් පළ වී ඇත්තේ පවතින තත්ත්වය මත රට නැවත සහමුලින් වසා දැමුවහොත් බරපතල ප්‍රතිවිපාක රැසකට මුහුණ දීමට සිදුවන බවයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද නිරෝධායන නීති රීතිවලට අදාළ ගැසට් පත්‍රය නැවත සලකා බලා එහි සිදු කළ යුතු යම් සංශෝධන ඇත්නම් ඒ පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙසටත් මෙම සාකච්ඡාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝග කර තිබෙනවා.

මෙහිදී රටේ පවතින තත්වය තවදුරටත් සමාලෝචනය කර ඉදිරියේදී ඇතිවන තත්ත්වයන් අනුව සීමා පැනවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව මෙම සාකච්ඡාවේදී දීර්ඝව අදහස් හුවමාරු වී තිබෙනවා.

++++++++++++++++++

(06.08.2021 – 15:47 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 1942 ක් අද (06) දිනයේදීත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 288,307 ක්.

තවදුරටත් පුද්ගලයින් 28,301 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරටින් මේ වනවිට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 321,429 ක්.

කොරෝනා මරණ 4821 ක් මේ වනවිට වාර්තාවී තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@@@

(06.08.2021 – 12:41 +0530 – hirunews.lk/sinhala)

මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් ඊයේ (05) රාත්‍රී ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වූ ‘බලය’ දේශපාලන වැඩසටහනේදීත් සංවාද මතු වුණා.

ඊට එක්ව සිටි ජෝසෆ් ස්ටාලින් ප්‍රකාශ කළේ දේශපාලන භේදයකින් තොරව එක්වී ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට කඩිනම් විසඳුම් ලබා ගත යුතු බවයි.

******************************************

(06.08.2021 – 12:47 +0530 – hirunews.lk/sinhala)

ලාෆ් ගෑස් සිලින්ඩරවලට ලිට්‍රෝ ගෑස් ලබාදෙන බවට ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා නිකුත් කර තිබූ නිවේදනය හේතුවෙන් මෙරට ලාෆ් ගෑස් පාරිභෝගිකයන් මේ වන විට පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසන්නේ එවැනි කටයුත්තක් සිදුකිරීමට පවතින නීතිය යටතේ හැකියාවක් නොමැති බවයි.

මෙරට තුළ පවතින ඩොලර් සංචිත හිඟයත් සමග ණයවර ලිපි විවෘත කිරීම ද සීමාකිරීම හේතුවෙන් ගෑස් අනයනය කිරීමේ අර්බුදයකට මුහුණ දී ඇති බව පසුගිය ජුලි මාසයේදී ලාෆ් ගෑස් සමාගම ප්‍රකාශ කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා මෙම නිවේදනය නිකුත් කොට තිබුණේ පසුගිය ජුලි 20 වැනිදායි.

එහි දැක්වුනේ ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කර ඇතත් එම ඉල්ලුම ද ආවරණය කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගමට හැකියාව පවතින බවයි.

ලිටෝ ගෑස් සමාගම හරහා ඕනෑම වර්ණයක් ඇති ඕනෑම වර්ගයක සිලින්ඩරයකට ගෑස් සැපයීම සිදුකරන බවයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කලේ.

සභාපතිවරයාගේ ප්‍රකාශය විශ්වාස කොට අස්වැසිල්ලක් ලැබූ ලාෆ් ගෑස් පාරිභෝගිකයින් මේ වනවිට පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවටයි.

ඒ ලිට්‍රෝ ගෑස් නියෝජිතයන් ලාෆ් ගෑස් සිලින්ඩර සදහා ලිට්‍රෝ ගෑස් සිලින්ඩර නිකුත් නොකිරීම හේතුවෙන්.

මේ අතර ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ඊයේ (05) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් තමන් වැඩභාරගත් දිනයේම ලාෆ් ගෑස් හිඟයට පිළියම් යෝජනා කළ බව මෙලෙස ප්‍රකාශ කළා.

සභාපතිවරයාගේ මෙම ප්‍රකාශය අනුව ඔහු වැඩ භාරගෙන තිබෙන්නේ පසුගිය ජුලි මස 26 වන දිනයි.

ලාෆ් ගෑස් හිඟයට මුහුණදීමට ලිට්‍රෝ සමාගමට හැකියාව ඇතැයි ඔහු නිවේදනයක් නිකුත් කරන්නේ ජූලි 20 වැනිදායි.

ඒ අනුව වැඩ භාරගැනීමට දින හයකට (6) පෙර එනම් ජූලි 20 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා ඔහු මෙවැනි මෙලෙස ප්‍රකාශයක් නිකුත් කරන්නේ කෙලෙසද ?

වැඩ භාරගැනීමට පෙර සිය වගකීම සම්බන්ධයෙන් වහසිබස් දෙඩීමට අමතරව මෙම සභාපතිවරයා රටේ පවත්නා නීතිය සම්බන්ධයෙන් ද අවබෝධයක් නොමැති අයෙකු බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ මෙම ප්‍රකාශය හමුවේ පැහැදිලි වන කරුණක්.

******************************************

(06.08.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)

විද්‍යාත්මක කරුණු මත යම් යම් තීන්දුවලට එළඹියද කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් නොමැති බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පෙන්වා දෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

******************************************

(06.08.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala)

මීගොඩ – වටරැක මංසන්ධියේ පසුගියදා සිදුවූ රිය අනතුරෙන් මියගිය කුඩා බිළිඳියට සහ මිත්තනියට කොරෝනා ආසාදනය වී ඇති බවට සිදුකළ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදුවූ මෙම අනතුරෙන් මියගිය ත්‍රිරෝද රථයේ රියදුරුට කොරෝනා ආසාදනය වී නොමැති බවටයි හෙලිවී ඇත්තේ.

සිද්ධියෙන් තුවාල ලැබූ බිළිඳියගේ මව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

03-08-2021

******************************************

(06.08.2021 – 14:54 +0530 – hirunews.lk/sinhala)

දැනට සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහු අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔහු මේ වනවිට සිරගතව සිටින්නේ ද අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේයි.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පසුගියදා සිය ඥාති නිවසක පැවති අවමංගල්‍ය උත්සවයකට ද පැමිණ සිටියා.

එම අවස්ථාවට පැමිණ සිටි දේශපාලනඥයන් කිහිප දෙනෙකු ද මන්ත්‍රීවරයා සමග සුහද කතා බහක නිරතවුනා.

කොරෝනා ආසාදනය වූ හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මේවන විට අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුට අවශ්‍ය ප්‍රතිකාර එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී ලබාදෙමින් පවතින බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා කියාසිටියේ.

******************************************

(06.08.2021 – 16:03 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගැනුණු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ අසේල සංදීප මේ මස 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කෙරුණා.

ඒ, ඔවුන් අද (06) කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ පසුගිය 03 වනදා පැවති විරෝධතාව අතරතුර මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු පස්දෙනෙකු (5) ඊයේ (05) අත්අඩංගුවට ගත්තා.

කෙසේ වෙතත් ඉතිරි තුන්දෙනා (3) ඇප මත නිදහස් කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

මේ අතර වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති මහනුවර නගරයෙන් ආරම්භ කළ විරෝධතා පා ගමන අද (06) තුන්වන (3) දිනටත් ක්‍රියාත්මක වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *