ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වාදෙන ඇඟ කිලිපොලා යන සත්‍යය – අතිශය භයානක ඩෙල්ටා ව්‍යාප්තියක්

ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වාදෙන ඇඟ කිලිපොලා යන සත්‍යය – අතිශය භයානක ඩෙල්ටා ව්‍යාප්තියක්

*********************************************

ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වාදෙන ඇඟ කිලිපොලා යන සත්‍යය – අතිශය භයානක ඩෙල්ටා ව්‍යාප්තියක්

(05.08.2021 – 21:26 +0530 – hirunews.lk/sinhala)

මෙරට සමාජය තුල කෝවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය කෙතරම් සීඝ්‍රයෙන් පැතිර යන්නේ දැයි පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

මෙම ට්විටර් පණිවිඩයට ඩෙල්ටා ප්‍රභේදයේ ජූලි මාසයේ ව්‍යාප්තිය පෙන්වා දෙන රූප සටහනක් එක් කරන ආචාර්ය ජීවන්දර මහතා සඳහන් කරන්නේ මේ වනවිට කොළඹ නගරය තුළ කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය සිත සසල කරන මට්ටමින් පැතිර යන බවයි.

ජූලි මස මුල් සතිය තුළදී කොළඹ නගරයේ කොවිඩ්-19 ආසාධිතයින් ගෙන් 75% කට වැඩි ප්‍රතිශතයක් ඇල්ෆා ප්‍රභේදය සතු කරගෙන තිබුණු අතර ආචාර්ය ජීවන්දර මහතා ට්විටර් පණිවිඩය හරහා නිකුත් කළ සටහනේ දැක්වෙන ආකාරයට මෙම තත්ත්වය ජුලි 31 වන විට උඩු යටිකුරු වී තිබෙනවා.

මෙරට කොරෝනා රෝග තත්ත්වය සහ ව්‍යාප්තිය පිළිබඳ වඩාත් විශ්වසනීය තොරතුරු සපයන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ‍ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයෙහි ආචාර්ය වරයාට අනුව ජූලි මස 31 වනදා වන විට කොළඹ නගරයේ කොරෝනා ආසාධිතයින් ගෙන් 90% ට වැඩි ප්‍රමාණයකට ඩෙල්ටා ප්‍රභේදය වැළඳී ඇති බවටයි ඔහු පෙන්වා දෙන්නේ.

ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය අතිශයින් සැලකිලිමත් විය යුතු බරපතළ තත්ත්වයක් බවටයි.

+++++++++++++++++++++

(05.08.2021 – 20:44 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 784 ක් වාර්තාවී තිබෙනවා.

අද (05) දිනයේ මේ දක්වා හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2669 ක් ෴

++++++++++++++++++++++

(05.08.2021 – 20:08 +0530 – hirunews.lk/sinhala)

මෙරට නිපදවන සමස්ත ඔක්සිජන් ප්‍රමාණය දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින්ට ලබාදීමට සිදුව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ නිසා ඉදිරියේදී ඔක්සිජන්, සිංගප්පූරුවෙන් සහ ඉන්දියාවෙන් ආනයනය කරන බවයි ඔහු කියා සිටියේ. එසේම කොරෝනා ව්‍යාප්තිය සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ රාජ්‍ය සේවකයින්ට සේවයට වාර්තා කිරීමේ නව නිර්දේශ ඇතුළත් චක්‍රලේඛයක් ද ඉදිරියේදී නිකුත් කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියා.

මේ අතර රෝහල්වල ධාරිතාව තවදුරටත් ඉක්මවා යමින් පවතින තත්වය හමුවේ රත්නපුර සහ රාජගිරිය ආයුර්වේද රෝහල් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කිරීමට අද (05) පියවර ගැනුනා.

කොරෝනා ආසාදිත දරුවන් දිනකට 20 ඉක්මවා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වීම හේතුවෙන් එහි ධාරිතාව මේ වනවිට උපරිමයට පැමිණ ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා කියා සිටියේ.

මේ අතර, කරාපිටිය සහ රත්නපුර ශික්ෂණ රෝහල්වල ආසාදිතයන් සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ එම රෝහල් තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට රෝහල් බලධාරීන් ඊයේ (04) පියවර ගනු ලැබුවා.

ඒ අනුව අද (05) රත්නපුර ආයුර්වේද රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කළ බවයි සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා කියා සිටියේ.

එම රෝහලට අවශ්‍ය ඔක්සිජන් ඇතුලු සෙසු පහසුකම් මෙන්ම අවශ්‍ය කාර්ය මණ්ඩල ශික්ෂණ රෝහල මගින් සැපයෙනු ඇති.

එමෙන්ම කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 93 දෙනෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා ප්‍රකාශ කළා.

වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් 54 දෙනෙකු ද ඒ අතර වනවා.

එම රෝහලේ කොරෝනා රෝගීන්ගේ ඇඳන් ධාරිතාවද ඉක්මවා ගොස් ඇති අතර, පවතින තත්වය හමුවේ අසාධ්‍ය තත්වයේ පසු නොවන ආසාදිතයන් නිවෙස්වල සිට ප්‍රතිකාර ලබාගැනීමේ එකඟතාව මත නිවෙස් වෙත යවා ඇති බවයි වාර්තාවන්නේ.

කළුබෝවිල රෝහල තුළද ඇඳන් ධාරිතාව ඉක්මවා රෝගීන් වාට්ටුවලින් පිටත රැඳී සිටින ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ වනවිට සමාජ මාධ්‍යවල හුවමාරු වනවා.

+++++++++++++++++++++

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක කොවිඩ් පොකුරක්

(06.08.2021 – 07:00 +0530 – sinhala.adaderana.lk)

කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් 14 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ප්‍රාදේශීය ලේකම්වරිය ද මෙම කොවිඩ් ආසාදිතයින් අතර සිටින බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව ඔවුන් සියලුදෙනා වෛද්‍ය අධීක්ෂණය යටතේ මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇත.

ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගනිමින් ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි ෴

++++++++++++++++++++++

රෝහලෙන් භාර නොගත් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු (2) පැයක් ගිලන් රථයේ

(05.08.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala)

ගිලන් රථවලින් රැගෙන ආ කොවිඩ් ආසාදිතයින් දෙදෙනකුව (2) රෝහල විසින් භාර නොගැනීම හේතුවෙන් ඔවුන්ට පැයක (1) පමණ කාලයක් ගිලන් රථ තුළම රැඳී සිටිමට සිදුවිය.

ඒ බලපිටිය මූලික රෝහල් පරිශ්‍රයේදීය.

දිවයිනේ සියලු රෝහල්වල කාර්යමණ්ඩල අද (05) පෙරවරු 7 සිට උදෑසන 11 දක්වා සේවයෙන් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී සිටීම හේතුවෙන් බලපිටිය මූලික රෝහලේ මෙම තත්ත්වය ඇතිවී තිබුණි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන තිබුණේ රාජ්‍ය සේවයේ සියලුදෙනා සේවයට කැඳවමින් පසුගියදා නිකුත් කෙරුණු චක්‍රලේඛයට විරෝධය පළ කරමිනි.

පරිපූරක, අතුරු වෛද්‍ය සහ හෙද නිලධාරීන් ද වර්ජනයට එක්වීම හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත්විය.

කෙසේවෙතත් අද (05) දහවල් වනවිට වර්ජනය අවසන් කෙරුණි.

මේ අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටු 3 ක ඇඳන් 70 ක් කොවිඩ් ආසාදිතයින් සඳහා වෙන්කර තිබුණ ද එම රෝහලේ මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 210 දෙනෙකු ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටු 5 ක ඇඳන් 100 ක් කොවිඩ් රෝගීන් සඳහා වෙන් කර තිබේ.

එහෙත් එම රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 286 කි.

රත්නපුර ශික්ෂණ රෝහලේ වාට්ටු දෙකක ඇඳන් 61 ක් වෙන් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 106 ක් වෙයි.

රාගම රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා වාට්ටු 10 ක ඇඳන් 236 ක් වෙන් කර තිබුණ ද මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 311 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.

මහනුවර රෝහලේ වාට්ටු දෙකක ඇඳන් 108 ක් කොවිඩ් ආසාදිතයින් වෙනුවෙන් වෙන් කර ඇතත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 188 ක් බව රෝහල් බලධාරීන් සඳහන් කරයි.

‍මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ අද (05) වනවිට රෝහලෙන් දිනකට කොවිඩ් ආසාදිතයින් 25 ක් වාර්තා වන බවය.

+++++++++++++++++++

දැනට පේන්නේ වෛරසය දිනන තත්ත්වයක් – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

(05.08.2021 – 14:19 +0530 – sinhala.adaderana.lk)

මේ වනවිට රටේ පවතින තත්ත්වය අනුව දෛනිකව හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සැබෑ ප්‍රමාණය නොවන බවත් සැබෑ ආසාදිතයින් සංඛ්‍යාව ඊට කිහිප ගුණයකින් වැඩි බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් තත්ත්වය අනුව පෙනෙන්නට ඇත්තේ එන්නත්කරණය අතරේ ඊට ඉදිරියෙන් වෛරසය දිනන තත්ත්වයක් බවය.

සෑම පැයකටම තිදෙනෙකු (3) වැනි ප්‍රමාණයක් මිය යන තත්ත්වයක් ඇතිවී තිබෙන බවද විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා සඳහන් කළේය.

“මේ ආසාදිතයින් 2,000 ගණන මම විශ්වාස කරන්නේ නෑ. ඒ ගාන නෙමෙයි හරි ගාන. ඒ බලන PCR ප්‍රමාණය අනුව නේ. ඒ දවස්වල PCR 20,000 ක් බලනකොටත් 2,000, 3,000 තිබුණා. දැන් PCR 10,000 කින් 12,000 කින් තමයි මේ ගාන එන්නේ. අනික මේ ඩෙල්ටා ප්‍රභේදය 10 දෙනෙකුට විතර සීග්‍රයෙන් පැතිරෙනවා. එතකොට යම් ප්‍රතිශතයක් පොසිටිව් වෙනකොට තව ඒ වගේ 5,6 ගුණයක් ඉන්න පුළුවන් නොදැන. මේක 4 වෙනි රැල්ලක් තත්ත්වයක තමයි අපි ඉන්නේ. එන්නත්කරණය අතරේ ඊට ඉදිරියෙන් වෛරසය දිනන තත්ත්වයක් තමයි දැනට පේන්නේ.”

“මිය යන ප්‍රමාණය බලන්න. සෑම පැයකටම තිදෙනෙක් වගේ ප්‍රමාණයක් මිය යනවා. අන්න එහෙම හිතලා බලන්න මේකෙන් ඇතිවෙන බලපෑම. වෛරසය සහ එන්නත්කරණය අතර තිබෙන තරගයෙන් අපි ජය ගන්න අවශ්‍ය නම් ඉතා කෙටි කාලයකට පුළුවන් ආකාරයෙන් සංචරණ සීමා තමයි එකම පිළිතුර.”

++++++++++++++++++++

එන පොට හොද නෑ.. ඩෙල්ටා දරුවන් අතර වේගයෙන් පැතිරෙනවා.. ඇතුලත් කරන්න රෝහල් නෑ..- රිජ්වේ රෝහලෙන් රටට කියයි..

(06.08.2021 – 03:22 +0530 – lankacnews.com)

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ දරුවන් අතර ශීඝ්‍රයෙන් පැතිරී යමින් තිබෙන බවත් පවතින තත්ත්වය අනුව ඉදිරියේදී දරුවන් ඇතුළත් කිරීමට රෝහලක් පවා සොයාගැනීමේ අපහසුවක් ඇතිවිය හැකි නිසා දරුවන් දැඩි ලෙස ආරක්ෂා කරගත යුතු බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානී, ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා අවධාරණය කරයි.

“කොවිඩ් සහ ළමයි සම්බන්ධයෙන් කතා කරන කොට ඉතාමත් කෙටියෙන්ම කියන්න තියෙන්නේ එනපොට හොඳ නෑ කියලයි. අපිට කියන්න තියන පණිවුඩය තමයි දරුවන් ආරක්ෂා කරගන්න. දරුවන් පරිස්සම් කරගන්න. මම මෙහෙම කියන්නේ ඇයි? මේකට හේතු ගණනාවක් තියනවා. රිජ්වේ ආර්යා ළමා රෝහල විතරක් නෙවෙයි, බොහෝ රෝහල්වල දරුවන්ට කොවිඩ් වැළඳුනහම ප්‍රතිකාර කරන වාට්ටු දැන් පිරි ඉතිරී යමින් තිබෙනවා. කෙටියෙන්ම කියනවා නම් දරුවෙකුට කොවිඩ් වැළඳුනොත් රෝහලක් හොයාගන්න අමාරු තත්ත්වයක් දැන් ඇතිවෙලා තියනවා.”

“දෙමව්පියන්ගෙන් සියයට අනූවක්ම මට කතා කරන්නේ කොවිඩ් සම්බන්ධයෙන්. මගේ දරුවට කොවිඩ් හැදිල තියනවා. මොකද කරන්නේ ? ‘මම කොහේටද යන්නේ’ කියලයි ඔවුන් අහන්නේ. ඔබ කළ යුත්තේ ඔබේ ප්‍රදේශයේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ වෛද්‍යවරයෙකු හමුවෙලා ඒ ගැන සාකච්ඡා කර කුමක්ද කළ යුත්තේ කියන එක තීරණය කරන එකයි.”

ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

@@@@@@@@@@@@@@

(06.08.2021 – 06:55 +0530 – hirunews.lk/sinhala)

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ජපුර සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප අද (06) අළුයම පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ විරෝධතාවක් අතරතුර මහරගම ස්ථානාධිපතිවරයාට තුවාල සිදුකිරීමේ චෝදනාව යටතේ බවටයි වාර්තා වන්නේ ෴

******************************************

(05.08.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවකගේ මළ සිරුරක් ගෝනියක දමා වාලච්චේන වෙළඳසලකින් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

වෙළඳ සැලේ ගෝනි දෙකක් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය එම ගෝනි දෙක පරීක්ෂාවට ලක් කර ඇති අතර එක් ගෝනියක පොහොර ද සෙසු ගෝනියෙ කාන්තාවගේ මළසිරුරක්ද තිබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

වාලච්චේන ප්‍රදේශයේ අතුරුදහන් වූ 55 හැවිරිදි කාන්තාවක් අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර පොලිසිය සැක කරන්නේ මේ ගෝනියේ ඇති මළ සිරුර එම කාන්තාවගේ බවයි.

මෙම කාන්තාව බැංකුවට යන බව පවසා නිවසෙන් පිටත්ව ගොස් ඇති අතර පසුව නිවසට නොපැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙළඳ සැලේ හිමිකරු සහ තීරෝද රථ ත්‍රිරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාවගේ මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (06) පැවැත්වීමට නියමිතයි ෴

******************************************

(05.08.2021 – 07:22 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ගතවූ පැය 24 ක කාලය තුල පුද්ගලයන් 123 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 53,266 ක් වන බවයි.

එමෙන්ම බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුලුවන ස්ථාන 13 කදී සිදුකළ පරීක්ෂාවන්වලදී පුද්ගලයන් 6589 දෙනෙකු පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

පුද්ගලයන් 96 ක් පළාත් සංචරණ මායිම් උල්ලංඝණය කර ගමන් කිරීමට පැමිණීමේදී පැමිණි වාහන 53 ක් ද සමග අවවාද කිරීමෙන් අනතුරුව නැවත හරවා යවා තිබෙනවා ෴

******************************************

(05.08.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

75 වන නිදහස් සැමරුම වෙනුවෙන් ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සමරු උත්සවයක් පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර විදේශ අමාත්‍යාංශයේදී ඊට අදාළව පසුගිය දා සාකච්ඡාවක් ද පැවති බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මෙම හමුවේදී ලක් රජය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි දක්වන ප්‍රමුඛතාව පිළිබදව අවධාරණය කළ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනයන් සදහා ඉන්දියාවේ ආයෝජකයන්ට ආරාධනාවක් ද සිදු කර තිබෙනවා.

කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබාදුන් සහය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා මෙහිදී ස්තූතිය පළ කරනු ලැබුවා.

ඉන්දියානුවන්ට මෙරටට ඇතුළුවීමට පැවති තිබූ සීමා ඉවත් කිරීම පිළිබදව ද අගය කළ ඉන්දීය මහකොමසාරිස්වරයා එමඟින් මෙරට සංචාරක ක්ෂේත්‍රයට ප්‍රතිලාභ ලැබෙන ඇති බවද කියා සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *