රාජ්‍ය සේවයේ නිරත ගැබිණි මව්වරුන්ට නිවසේ සිට සේවය කළ හැකි පරිදි චක්‍රලේඛයක්

රාජ්‍ය සේවයේ නිරත ගැබිණි මව්වරුන්ට නිවසේ සිට සේවය කළ හැකි පරිදි චක්‍රලේඛයක්

*********************************************

රාජ්‍ය සේවයේ නිරත ගැබිණි මව්වරුන්ට නිවසේ සිට සේවය කළ හැකි පරිදි චක්‍රලේඛයක්

(05.08.2021 – 16:05 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයත් සමඟ රාජ්‍ය සේවයේ නිරත ගැබිණි මව්වරුන්ට නිවසේ සිට සේවය කිරීමට හැකි වන පරිදි රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එමෙන්ම රාජ්‍ය සේවකයන් සඳහා සතියට මුර දෙකක් (2) හඳුන්වා දීමට අදාල චක්‍රලේඛයක් ද නිකුත් කරන බවයි ඔහු කියා සිටියේ.

මීට අමතරව සයිනොෆාම් මිලියන 02 ක් හෙට දිවයිනට ලැබීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++

(05.08.2021 – 16:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසනවා. අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ අවශ්‍ය මුදල් අනුමත කිරීම් සඳහා පාර්ලිමේන්තුවේදී සහය ලබාදීමට සූදානම් බවයි.

මෙම අවස්ථාවේදී අවශ්‍ය වී ඇත්තේ ජාතික ප්‍රශ්ණයක් විසඳා ගැනීමට මිස දේශපාලනය කිරීමට නොවන බව රනිල් වික්‍රමසිංහ කියාසිටියා.

රනිල් වික්‍රමසිංහ සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය :

“ගරු කථානායකතුමනි, ඩෙල්ටා වර්ගය දැං සීග්‍රයෙන් පැතිරෙමින් යනවා ලෝකෙ පුරා.අපිට මේක පාලනය කරන්න උවමනායි. විශේෂයෙන් එංගලන්තේ සහ ඊශ්‍රායලය කරපු පරීක්ෂණ බැලුවම ඇස්ට්‍රසෙනෙකා එන්නතතෙන් ආරක්ෂා වෙන්න පුළුවන් 60% යි. ෆයිසර් එක ඊටත් අඩුයි. දැං එන්නත වැඩිපුර දෙන්න පටන් ගත්තා විතරයි. මේක ආරම්භය විතරයි. අපි දන්නෑ මේක පැතිරෙන්නේ කොහොමද කියලා. අනෙක අගමැතිතුමා දකුණු අප්‍රිකාවෙන් එන එක කොහොමත් අපි නවත්ත ගන්න ඕන. දැන් වෙලා තියෙන්නේ හැමතැනම තියෙන සංඛ්‍යාව වැඩිවෙනවා. අපිට මේක පාලනය කරන්න බැරි වෙලා.

මම කියන්නේ ඇත්ත වශයෙන්ම මේක අපිට කරන්න පුලුවන්. මේ ඔක්සිජන් ලබා ගන්න ප්‍රසම්පාදන කටයුතු වලට යන්න එපා. අපි හදිසියේ මේ වගේ වැඩ ඔනතරන් කරලා තියෙනවා. ගන්න තියෙන තැනකින් ගන්න. පාර්ලිමේන්තුවට ගන්න. පස්සේ අපි ඒවා අනුමත කරන්නම්. මේවා අරගෙන එන්න. අනෙක මේ මිනිස්සු නිදාගෙන ඉන්න හැටි. මම මේ රජයට කියනවා යුද්ද හමුදාවෙම තියෙනවා ක්ෂේත්‍ර රෝහල්. නැත්ත්න් අපිට පුළුවන් ටකරං දාලා උඩින් පොල් අතු දාලා හරි හදන්න. යුද්ධ හමුදාවටයි ඉංජිනේරු අංශ වලටයි කිව්වම මේක හදලා දෙයි.

මම කියන්නේ අපිට පුළුවන් උදව් කරන්න. ඒත් මම එකක් කියනවා කණගාටුවෙන්. ඒ තමයි සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියපු එකට මටත් එකඟ වෙන්න සිද්ධ වෙනවා. මේ තියෙන ‘කාර්ය සාධක බලකාය’ තියෙනකන් අපිට තියෙන්නේ බලාගෙ ඉන්න විතරයි. මිනිස්සු මැරෙනවා. මේක සිදුවෙන්නේ නෑ. ඒ නිසා කැබිනට් මණ්ඩලය මේක අරගෙන ක්‍රියාත්මක කරන්න. මෙතන ඉන්න අගමැතිතුමා ඇතුලු කට්ටිය මට මතකයි සුනාමිය වෙලාවේ දවස් තුන හතරකින් රටට සහන දුන්න අය. ඒ නිසා මම කියන්නේ මේක කැබිනට් මණ්ඩලයෙන් භාර ගන්න මේ සභාවට ගේන්න. අපි ඔබ තුමියට උදව් කරන්නං. අඩු ගානේ කැබිනට් මණ්ඩලය මෙතෙන්ට වග කියනවානේ. අපිට ඔන මේක ජාතික ප්‍රශ්ණයක් නිසා විසඳගන්න. දේශපාලනය කරන්න නෙවෙයි.”

+++++++++++++++++

(05.08.2021 – 17:30 +0530 – hirunews.lk/sinhala)

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් හෙට (06) දිනයේදී මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

එන්නත් ලබා නොගත් කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 60 ඉක්ම වූ පිරිසට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදීම අද (05) ස්ථාන 5 කදී සිදුකෙරුණා.

ඒ අනුව කොළඹ ජාතික රෝහල, අයි.ඩී.එච්., දකුණු කොළඹ ශික්ෂණ රෝහල සහ අවිස්සාවේල්ල යන රෝහල්වලදී මෙන්ම කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී අද (05) පෙරවරුවේ සිට එම කටයුතු සිදු කෙරුණා.

එසේම අද (06) දිනයේත් දිවයිනේ තවත් ප්‍රදේශ රැසකම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වූ අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීමද අද (05) දිනයේ සිදු කෙරුණා.

එම එන්නතෙහි පළමු (01) මාත්‍රාව ලබා ගත් ලක්ෂයකට පමණ දෙවන (2) මාත්‍රාව ලබාදීමට නියමිතව තිබෙනවා.

මේ අතර, කොරෝනා පරීක්ෂණ සඳහා පෞද්ගලික අංශය විවිධ මිල ගණන් අය කිරීම හේතුවෙන් පාලන මිලක් ගෙන ඒමට කටයුතු කරන බවයි පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

මේ අතර, පරිසරයට බැහැර කරන මුහුණු ආවරණ විධිමත් පරිදි බැහැර කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය එක්ව මාර්ගෝපදේශ මාලාවක් සකස් කර තිබෙනවා.

ඒ අනුව පරිසරයට එක්වන මුහුණු ආවරණ එකතු කිරීමේදී පළාත්පාලන ආයතන විසින් පහසු දිනයක් නම් කර ඒවා වෙනමම එකතු කිරීම යෝග්‍ය බවටයි සාකච්ඡා වී තිබෙන්නේ.

දිරාපත්වීමට දීර්ඝ කාලයක් ගතවන බැවින් මුහුණු ආවරණ ඝන අපද්‍රව්‍ය ගණයට එක් කර ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළා ෴

++++++++++++++++++

(05.08.2021 – 18:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1885 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් මේ දක්වා හමුවී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 320,640 ක් ෴

++++++++++++++++++

(05.08.2021 – 19:05 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සීමිත සේවාලාභීන් පිරිසක් සඳහා විදේශ ගමන් බලපත්‍ර ලබාදීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන්.

එම තත්වය හමුවේ අවම සේවක සංඛ්‍යාවක් යටතේ සේවාවන් ලබාදීමටයි තීරණය වී ඇත්තේ.

මේ අනුව සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටවන අතර අත්‍යවශ්‍ය සේවා අවශ්‍යතා ඇති සේවාලාභීන් සඳහා පමණක් එක්දින සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාදීම සිදු කෙරෙනු ඇති ෴

++++++++++++++++++

(05.08.2021 – 19:27 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදුවූ තවත් මරණ 94 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (04) තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4821 ක් ලෙසටයි.

මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් 49 ක් සහ කාන්තාවන් 45 ක් වනවා.

අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කාන්තා මරණ දෙකක් (2) ද මෙම පිරිසට අයත්.

අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමි පුද්ගලයන් 12 ක් සහ කාන්තාවන් 7 දෙනෙකු ද මෙම මරණ අතර වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි පුද්ගලයන් 37 ක් සහ කාන්තාවන් 36 ක් ද මියගිය පිරිසට අයත් ෴

++++++++++++++++++++

(05.08.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත තුල පමණක් මෙතෙක් ක්‍රියාත්මක වූ සංකූලතා නොමැති කොරෝනා වෛරස ආසාදිත රෝගීන් නිවෙස් තුල සිටියදීම වෛද්‍ය අධීක්ෂණයට ලක් කිරීමේ වැඩසටහන ලබන 09 වනදා සිට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා ෴

@@@@@@@@@@@@@@@@

(05.08.2021 – 17:52 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පති විරෝධතා රථ පෙළපාලියට සහභාගිවී නැවත යමින් සිටියදී ඊයේ (04) අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු හතළිස් හතරදෙනා (44) රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරියා.

ඒ, ඔවුන් කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊට අදාළ නඩුව සැප්තැම්බර් මස 17 වන දා නඩුව යළි කැදවීමට නියමිතව තිබෙනවා.

මේ අතර, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ ඔවුන්ට සහය පළ කිරීම සඳහා එම ස්ථානයට පැමිණ සිටි ගුරු – විදුහල්පතිවරුන් පිරිසක් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ද මතුවුණා.

ඒ, ඔවුන් පැමිණි යතුරුපැදි ඇතුළු රථ වාහන අධිකරණය අසළින් ඉවත් කරන ලෙසට පොලීසිය කළ දැනුම්දීමත් සමඟයි.

මේ අතර, වැටුප් විෂමතා ගැටළුවට කඩිනමින් විසදුමක් ලබාදෙන ලෙස ඉල්ලා ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් ඊයේ (04) මහනුවරින් ආරම්භ කළ විරෝධතා පා ගමන අද (05) දෙවන (2) දිනට මාවනැල්ල නගරයෙන් ගමන් ආරම්භ කෙරුණා.

එම පා ගමන කෑගල්ල – කරඩුපන ප්‍රදේශයට පැමිණෙද්දී දූෂණ විරෝධී පෙරමුණේ කැදවුම්කරු නාමල් කුමාර ඊට විරෝධය පල කළා.

කෙසේ වෙතත් පා ගමනේ නිරත වූ ගුරුවරුන් ද ඔහුට විරෝධය පළ කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

******************************************

(05.08.2021 – 18:35 +0530 – hirunews.lk/sinhala)

භූමි තෙල් මිශ්‍ර ඉන්ධන විකිණීමේ චෝදනාව යටතේ හෝමාගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් මුද්‍රා තැබීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඒ තරුණයකු විසින් සිදු කළ පැමිණිල්ලකට අනුවයි.

පසුගිය දිනෙක අදාළ තරුණයා එම ඉන්ධන පිරවුම්හලට ගොස් සිය යතුරුපැදියට ඉන්ධන ලබා ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ පෙට්‍රල් තුළින් භූමිතෙල් ගඳක් වහනය වීම නිසා ඔහු ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂාවක් සිදුකර තිබෙනවා.

එහිදී පෙට්‍රල් වලට භූමිතෙල් මිශ්‍ර කර ඇති බවට හඳුනාගත් අදාළ තරුණයා පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය මෙම ඉන්ධනහල මුද්‍රා තබා ඇති බවයි වාර්තා වන්නේ.

පසුව මෙම තරුණයා තමන් ලබාගත් ඉන්ධන අතරින් ඉන්ධන සාම්පලයක් පොලිසියට භාරදී තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පැමිණිලි කිරීම සඳහා ඔහු අද (05) දිනයේ පාරිභෝගික සේවා අධිකාරිය වෙත පැමිණිය ද එහිදී පැමිණිල්ල ලබා ගැනීමක් සිදුව නැහැ.

පසුව තරුණයා විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැමිණිල්ලක් කර තිබෙනවා ෴

******************************************

(05.08.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුල ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ළමා අයිතිවාසිකම් ආරක්ෂා වන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම හා ඊට අදාළ නීති සම්පාදනය කිරීම 2021 වර්ෂය වන විට ද ඉටු ‍නොවීම කණගාටුවට කරුණක් බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා.

මහාචාර්යවරයා මෙම අදහස් පළ කළේ ඔහුගේ සභාපතීත්වයෙන් පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදීයි.

මෙහිදී ළමුන් සම්බන්ධ පුවත් වාර්තාකරණයේදී ඒ සඳහා වූ ක්‍රමවත් නීති පද්ධතියක් සකස් කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේ අවධානයට ‍යොමුවී තිබෙනවා.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ 2016, 2017 සහ 2018 වර්ෂවල විගණන වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය ඊයේ (04) රාජ්‍ය ගිණුම් කාරක සභාවේ පරීක්ෂාවට ලක් වුණා.

මෙහිදී පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබුණ පැමිණිලි අතරින් 485 ක් සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබු බව ද අනාවරණය වී තිබෙනවා.

මෙහිදී පැහැදිළි වූයේ දරුවන්ගේ පැමිණිලි සඳහා ලබාදුන් විසඳුම්වල ප්‍රගතිය හෝ පසුවිපරමක් හෝ එම දෙපාර්තමේන්තුව විසින් සිදු කර නොමැති බවයි ෴

******************************************

(05.08.2021 – 19:47 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සවි කර තිබූ සී.සී.ටී.වී කැමරා 16 ක් පරීක්ෂා කළ ද ඉෂාලිනි ජූඩ් දැරිය ගිනි තබාගත් බව කියන දර්ශන හා ගින්න නිවූ බව කියන දර්ශන ඒවායේ සටහන් වී නොමැති බව පොලිසිය ප්‍රකාශ කළා.

පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාශ නිලධාරීන් පිරිසක් ඊයේ (04) මෙම කැමරා පරීක්ෂා කළ අතර, ඉන් දෙකක් (2) අක්‍රියව තිබූ බවයි එහිදී හෙළි වී ඇත්තේ.

නිවස අභ්‍යන්තරයේ පිහිටි එම කැමරා අක්‍රිය වීමට හේතුව සොයා පොලීසිය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර, තම නිවසේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පළමු වරට අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ ඉෂාලිනි දැරිය සිය නිවසට පැමිණෙන විට ඇගේ වයස අවුරුදු 16 ඉක්මවා තිබූ බවයි.

එමෙන්ම, දෙමව්පියන් කිසිවෙකු ඇය සමග නොපැමිණි බවත් දැරියට සිය නිවසේ වෙනම කාමරයක් ලබාදීමට පියවර ගෙන තිබූ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.

සිද්ධිය වූ දින උදෑසන 06:45 ට දැරිය කෑගසන ශබ්දය ඇසී නිවසේ සිටි බිරිදගේ පියා සහ මව විසින් ඇයව බේරාගැනීමට උත්සාහ කර ඇති බවත් අනතුරුව 07:33 ට දැරිය රෝහල්ගත කල බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ගින්න නිවීම සදහා සිදුකළ උත්සාහයට අදාලව සහ ඒ අවස්ථාවේ ලබා ගත් දුරකථන ඇමතුම් පටිගත වී ඇති බව ද මන්ත්‍රීවරයා එහිදි සදහන් කළා.

කෙසේ වෙතත්, ඉෂාලිනි දැරිය පෙරවරු 08:45 ට රෝහල්ගත කල බවට පොලිස් වාර්තාවල දැක්වෙන බවයි ඔහු කියා සිටියේ.

දැරියට ප්ලාස්ටික් සැත්කමක් සිදුකිරීම සදහා ලක්ෂ 7 ත් 10 ත් අතර මුදලක් වැය වන බවට රෝහල කළ දැනුම් දීමට අනුව ඊට තම නිවැසියන් කැමැත්ත පළකර ඇති බවයි ඔහු කියා සිටියේ.

එහෙත් ඇතැමුන් දැරියගේ මරණය සම්බන්ධයෙන් වෙනස් මත ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා ඇයට මෙහෙකාරියකට සේ නොසැලකු බව සඳහන් කළා.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අදහස් දැක්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර්, සහ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර අදහස් දැක්වු අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ද මැදිහත් වුණා.

******************************************

(05.08.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala)

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර, මරණ තර්ජන සිදුකර වනජීවි නිලධාරියෙකුට පහර දුන් බවට චෝදනා ලැබ සිටින යුද හමුදාවේ 21 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් මොහාන් රත්නායකට ලබන මස 02 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස කැකිරාව මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ නියෝග කළා.

ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව ගොනු කර ඇති පැමිණිල්ල අද (05) කැදවූ අවස්ථාවේදියි.

එහිදී වනජීවි දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ අඩවි ආරක්ෂක නීතිඥ ඒ.පී.කේ.ටී. ජයවර්ධන කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ ගොනු කර ඇති පැමිණිල්ලට අදාළව විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාදෙන ලෙස මේජර් ජෙනරාල්වරයාට නිළ වශයෙන් දැනුම් දුන්න ද ඔහු එය පැහැර හරිමින් සිටින බවයි.

මෙහිදී පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥවරයා, වනසතුන් සහ ස්වභාවධර්මය ආරක්ෂා කිරීමට රාජකාරීමය වශයෙන් හා නීතියෙන් බැදී සිටින වනජීවි නිලධාරීන්ට නිළ බලය යොදා තර්ජනය කිරීම බරපතල තත්ත්වයක් බව සදහන් කළා.

මෙම සිද්ධියට සම්බන්ධ හමුදා වාහන දෙක (2) මෙතෙක් පොලීසියට ඉදිරිපත් කර නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා සැකකාර මේජර් ජෙනරාල්වරයාට නියෝග කළේ ලබන මස 02 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලීසිය ගොනු කළ තවත් නඩුවක් ද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතිනවා ෴

******************************************

(05.08.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala)

ළමා මෙහෙකාර සේවය පිළිබද අනාවරණ වී ඇති තොරතුරුවලට අනුව ඉහළ ප්‍රතිශතයක් වතු ආශ්‍රිත දරුවන් වන අතර වළක්වා ගැනීම සඳහා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළා.

ළමා ආරක්ෂක අධිකාරිය හා රේඛීය ආයතන සමඟ ජනාධිපති කාර්යාලයේ අද (05) පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ වෙනත් රටවල ළමා සංවර්ධනය සඳහා කර ඇති පර්යේෂණ අධ්‍යයනය කර නාගරිකව හා ග්‍රාමීයව එම ක්‍රමවේදයන් ක්‍රියාත්මක කළ හැකි බවයි.

වතු ආශ්‍රිත පවුල්වල තොරතුරු ග්‍රාම නිලධාරීන් සතුව පවතිනවා.

යම් නිවසක දරුවෙකු නොමැති බවට ලැබෙන තොරතුරු මත කඩිනමින් ක්‍රියාත්මක වී ළමා මෙහෙකාර සේවය නතර කිරීමට පියවර ගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

අනිවාර්ය කර ඇති පෙර පාසල්, පාසල් හා දහම් පාසල් අධ්‍යාපනයට සියළු දරුවන් යොමු කරවීමත්, ළමුන් පාසල් නොයාමට හේතු සොයා ඊට පිළියම් යෙදීම ළමා ආරක්ෂක අධිකාරිය සතු ප්‍රධාන වගකීම බව ද ජනාධිපතිවරයා සිහිපත් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *