විශේෂ අවශ්‍යතා සහිත 24 හැවිරිදි තරුණියකට 14 හැවිරිදි පාසල් සිසුවෙකුගෙන් ලිංගික අතවර

විශේෂ අවශ්‍යතා සහිත 24 හැවිරිදි තරුණියකට 14 හැවිරිදි පාසල් සිසුවෙකුගෙන් ලිංගික අතවර

*********************************************

විශේෂ අවශ්‍යතා සහිත 24 හැවිරිදි තරුණියකට 14 හැවිරිදි පාසල් සිසුවෙකුගෙන් ලිංගික අතවර

(05.08.2021 – 12:57 +0530 – hirunews.lk/sinhala)

දරුවන්ට සිදුවන විවිධාකාරයේ ලිංගික හිංසන, මේ දිනවල සමාජයේ බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවක්.

එවන් තවත් එක් අවසනාවන්ත සිද්ධියක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මේ අතවරයට මුහුණ දී ඇත්තේ වයස අවුරුදු 24 ක විශේෂ අවශ්‍යතා සහිත තරුණියක් වන අතර ඊට චෝදනා එල්ල වන්නේ 14 හැවිරිදි පාසල් සිසුවෙකු වීම විශේෂත්වයක්.

ප්‍රබෝදා සෙව්වන්දි මෙළොව එළිය දකින්නේ විශේෂ අවශ්‍යතා සහිත දැරියක ලෙසයි.

ඇයට මේ වනවිට වයස අවුරුදු 24 ක්.

ප්‍රබෝධාට වයස අවුරුදු 8 ක් වෙද්දී ඇගේ මව ඇය හැරදා ගොස් තිබූ බැවින් එතැන් සිට වසර 18 ක් පුරා ඇයට රැකවරණය දෙන්නේ ඇයගේ ආදරණීය පියාණන්.

වෘත්තියෙන් බස් කොන්දොස්තරවරයෙකු වන ප්‍රබෝදාගේ පියාට සිය රැකියාව සඳහා නිවසින් පිටවීමට සිදුව ඇත්තේ සිය දියණිය නිවසේ තනිකර දමමින්.

ඒ ඇය රැක බලා ගැනීමට කිසිවෙකුගේ හෝ හව්හරණක් නොමැතිවීම හේතුවෙන්.

පසුගිය දිනක එලෙස රැකියාවට ගොස් පැමිණෙන විට ඔහු මුහුණ දී ඇත්තේ අනපේක්ෂිත සිදුවීමකටයි.

රටේ හෙට දවස භාර ගැනීමට සිටින දරුවන් මෙවන් වූ තත්ත්වයකට පත්ව ඇත්තේ ඇයි?

ඒ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කිරීම තවදුරටත් ප්‍රමාද නොකළ යුතුයි.

දරුවන් වරදට පොළඹවා ගැනීම වැළැක්වීම මෙන්ම ඔවුන් වරදට පෙළඹීම වැළැක්වීමත් මේ අර්බුදකාරී කාලවකවානුවේ මව්පියන්ට පැවරෙන වගකීමක් බවත් අප අවධාරණය කරනවා.

******************************************

(05.08.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

රිලවුන් සහ අයාලේ යන සුනඛයන් සාමාන්‍ය ජන ජීවිතයට එල්ල කරන බලපෑම සුළුපටු නැහැ.

මේ එවැනි සතුන්ගෙන් බලපෑම් එල්ල වී ඇති ප්‍රදේශ 2 ක් පිළිබඳවයි.

ඓතිහාසික පොළොන්නරුව – ගල්විහාර භූමියයි.

මේ වන විට රට විවෘත කර ඇති පසුබිමක සංචාරකයන්ද ක්‍රම ක්‍රමයෙන් මේ භූමියට පැමිණෙමින් තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුනට මහත් හිසරදයක් වී ඇත්තේ රිලවුන් සහ අයාලේ යන සුනඛයන්.

පූජා භූමියට පැමිණෙන රිලවුන් සංචාරකයන්ගේ බඩු භාණ්ඩ ආදියද පැහැරගන්නා අතර රථ වාහනවලටද හානි කරන බවටයි වාර්තා වන්නේ.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ සංචරණය සීමා කර තිබූ පසුගිය කාලයේ පොළොන්නරුව, ගල්විහාරය, රන්කොත් වෙහෙර, වටදාගෙය ඇතුළු ඓතිහාසික බිම් ප්‍රදේශවල අණසක පතුරුවාගෙන සිටි මෙම සතුන් මෙහි පැමිණෙන ජනතාව වෙත දක්වන්නේ දැඩි ආක්‍රමණශීලී ස්වරූපයක්.

රිලවුන්ට නොදෙවෙනි හිසරදයක් වී ඇත්තේ සුනඛයන්.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ පිටස්තරයන් රාත්‍රී කාලයේ පූජා භූමියට ගෙනැවිත් දමා යන සුනඛයන් මෙලෙස නිදැල්ලේ සැරිසරන බවයි.

රංචු ගැසුනු ඇතැම් සුනඛයන් පූජාභූමියේ සැරිසරන මුවන් දඩයම් කිරීමේ අවස්ථා කිහිපයක්ද වාර්තා වනවා.

වන සතුන් නිසා එවැනිම පීඩාවකට පත්වූ තවත් ප්‍රදේශයක් වන්නේ බුත්තල – යුදගනාව ජනපදයේ පීල්ලවෙල ගම්මානයයි.

මෙහි පවුල් 200 කට ආසන්න පිරිසක් ජීවත් වනවා.

කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් මෙම ගම්වැසියන්ගේ ජන ජීවිතයට මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්මානය පුරා පැතිරී ඇති රිලා ග්‍රහණය හේතුවෙන්.

භෝග වගාවන මෙන්ම දේපළවලටද හානිකරන මෙම සතුන් පීල්ලවල ජනතාවට දැඩි හිසරදයක් වී තිබෙනවා.

******************************************

(05.08.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

මෙවර ඔලිම්පික් තරගාවලියට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිංහ ධජය සහිත පොදු ඇඳුමකින් සැරසී නොසිටීම සම්බන්ධයෙන් තමන් ජාතික ඔලිම්පික් කමිටුවෙන් වාර්තාවක් කැඳවා ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ ඇතැම් ක්‍රීඩකයන් තමන්ට පහසු ඇඳුමකින් තරගවැඳීමට අවශ්‍ය බව ඔලිම්පික් කමිටුවට ප්‍රකාශකර ඇතැයි තමන්ට දැන ගැනීමට ලැබී ඇති බවයි.

******************************************

(05.08.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

විදේශ අමාත්‍යාංශය යටතේ පවතින කොන්සියුලර් සේවා විමධ්‍යගත කිරීමේ අරමුණින් බදුල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය කාර්යාල දෙකක් (2) ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ කොන්සියුලර් සේවාවන් ලබාගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දිනකට කොළඹ පිහිටි විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයට 2,000 කට වැඩි පිරිසක් පැමිණෙන බවයි.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ජනතාවගේ පැමිණීම සීමා කිරීමට විදේශ අමාත්‍යාංශයට සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් අපහසුතාවට පත්වන ජනතාවට සහන සැළසීමේ අරමුණින් පළාත් මට්ටමින් කොන්සියුලර් ප්‍රාදේශීය කාර්යාල ආරම්භ කිරීමටයි විදේශ අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.

ගතවූ මාස 10 ක කාලය තුළ මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලද එවැනිම ප්‍රාදේශීය කාර්යාල ආරම්භ කරනු ලැබුවා ෴

******************************************

(05.08.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳව මහා සංඝරත්නයේ සහ විද්වතුන්ගේ යෝජනා ලබාගැනීම අද, හෙට සහ අනිද්දා (05, 06, 07) දිනවල සිදු කෙරෙනවා.

ඒ සඳහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා විද්වත් සභාවක් කැඳවා ඇති බවයි බුද්ධශාසන අමාත්‍යාංශය සඳහන් කළේ.

අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට පෙර සියලු පාර්ශවවල අදහස් සහ යෝජනා සැළකිල්ලට ගනිමින් අවශ්‍ය සංශෝධන එක් කිරීමේ අරමුණින් මෙම විද්වත් සභාව කැඳවා තිබෙනවා ෴

******************************************

(05.08.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි අක්කර 13 ක ඉඩමක් පෞද්ගලික සමාගමකට සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ලබාදීම වහාම අත්හිටුවිය යුතු බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ප්‍රකාශ කළා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා මේ බව කියා සිටියේ කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

******************************************

(05.08.2021 – 15:32 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පති විරෝධතා රථ පෙළපාලියට සහභාගිවී නැවත යමින් සිටියදී ඊයේ (04) අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු හතළිස් හතරදෙනා (44) මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරුවන් සදහන් කළේ ඔවුන්ට සහය පළ කිරීම සඳහා එම ස්ථානයට පැමිණ සිටින ගුරු – විදුහල්පතිවරුන් පිරිසක් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ද මතුවූ බවයි.

ඔවුන් පැමිණි යතුරුපැදි ඇතුළු වාහන අධිකරණය අසළින් ඉවත් කරන ලෙසට පොලීසිය කළ දැනුම්දීමත් සමඟයි මෙම උණුසුම් තත්ත්වය හට ගත්තේ ෴

******************************************

(05.08.2021 – 15:35 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී පිළිස්සී මිය ගිය ඉෂාලිනී ජූඩ් දැරියට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා අදත් (05) වතුකරයේ විරෝධතා පැවැත්වුණා.

නාවලපිටිය – බෝහිල් වතුයායේ කොටස් තුනක (3) වතු කම්කරුවන් කැටබුලාව මං සන්ධියේදී උද්ඝෝෂණයක නිරත වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

වතු කම්කරුවන් සිය සේවා කටයුතුවලට නොගොස් මෙලෙස විරෝධතාවයේ නිරත වී තිබෙනවා.

******************************************

(05.08.2021 – 16:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අවිධිමත් මූල්‍ය කළමනාකරණය පිළිබඳ තොරතුරු රැසක් පසුගියදා පැවති කෝප් කමිටු රැස්වීමේ දී හෙළිදරව් වුණා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය දෙවැනි (2) වරටත් කෝප් කමිටුව හමුවේ පෙනී සිටියේය පෙරේදා (03) දිනයේදීයි.

මෙහිදී 2021 වසරේ පාපන්දු නිළවරණය පැවැත්වීම වෙනුවෙන් නිලවරණ කමිටු සභාපතිවරයාට සහ අනෙක් සාමාජිකයින් දෙදෙනාට (2) රුපියල් 19,050,000.00 ගෙවීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ දැඩි අවධානය යොමුවුනා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අප්‍රේල් 22 දා කෝප් කාරක සභාව හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙම මුදල් ප්‍රදානය පිළිබඳ කිසිදු සදහනක් නොකිරීම සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පාපන්දු සම්මේලන සභාපතිවරයාගෙන් දැඩිව ප්‍රශ්න කලා.

කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී විමසා සිටියේ නිලවරණ කමිටු සභාපති ට රුපියල් 750,000.00 ක් සහ අනෙක් සාමාජිකයින් දෙදෙනාට රුපියල් 600,000.00 බැගින් ලබා දුන්නේ කුමන පදනමක් මතද යන්නයි.

මෙම මුදල් ප්‍රධානයන් පිළිබඳව අභ්‍යන්තර විමර්ශනයක් සිදුකර සති දෙකක් (2) ඇතුළත කෝප් සභාවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැනුම් දුන්නා.

මීට අමතරව පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු විසින් වැය කළ නමුත් විගනන වාර්තා නොමැති රුපියල් මිලියන ගණනාවක් පිලිබඳවත් මෙහිදී ප්‍රශ්න කලා.

මේ යටතේ කලුතර පාපන්දු ක්‍රීඩාංගන ඉදි කිරීම සඳහා ඉතාලි පාපන්දු ක්‍රීඩකයින්ගේ සංගමය මගින් පරිත්‍යාග කළ යුරෝ 40,400 (රු. 6,287,670.00) ක්, ආසියානු පාපන්දු සම්මේලනය මගින් තරග පැවැත්වීම සඳහා ලබා දුන් අමෙරිකානු ඩොලර් 60,000 (රු.6,415,290.00)ක් සුනාමියෙන් විපතට පත් අයට නිවාස විස්සක් (20) ඉදිකිරීම සඳහා පෞද්ගලික සමාගමක් ලබාදුන් රුපියල් මිලියන 10 ක මුදලක් සහ ආසියානු පාපන්දු සම්මේලනය විසින් පරිත්‍යාග කරන ලද අමෙරිකානු ඩොලර් 200,000 (21,384,300.00) ක මුදලක් හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු විසින් අවභාවිත කරනු ලැබීම පිළිබඳ කාරක සභාවේ විශේෂ අවධානය යොමු වුණා.

මෙලෙස අවභාවිත කරන ලද සම්පූර්ණ මුදල රුපියල් 44,087,260.00 ට අධිකයි.

රජයේ විගණන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විගණනයන් ගෙන් හෙළි වී ඇති මෙම තොරතුරු පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වා කඩිනම් වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසත් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජයකෝන් මහතාට මහාචාර්ය චරිත හේරත් මහතා දැනුම් දුන්නා.

එමෙන්ම පාපන්දු සම්මේලනයේ හිටපු මුදල් කළමනාකාරවරයා විසින් වරින් වර පාපන්දු විනිසුරුවන් ලෙස ව්‍යාජ නම් අතුලත් කර රුපියල් කෝටි හතරකට (4) අධික මුදලක් වංචා කිරීම පිළිබඳවත් එම මුදල් මෙතෙක් අයකරගැනීමට පාපන්දු සම්මේලන බලධාරින් කටයුතු කර නොතිබීම පිලිබදවත් මෙහිදී දැඩි ලෙස ප්‍රශ්න කෙරුණා.

මෙලෙස වංචා කෙරුණු රුපියල් 46,860,672.00 කට අධික මුදල සම්බන්ධයෙන් කෝප් කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නා.

මීට අමතරව පාපන්දු සම්මේලනය මගින් ක්‍රීඩා තරගාවලි, සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීම සඳහා තරඟ සංවිධායකයින්ට ලබාදී තිබු පියවා නොතිබුණු අත්තිකාරම් මුදල් වල එකතුව 2018 වර්ෂයේ රුපියල් 2,252,067.00 ක් ලෙසත් 2019 වර්ෂයේ රුපියල් 1,465,997.00 ක් බවත් මෙහිදී අනාවරණය වුණා.

මේ මුදල් වහාම අයකර ගැනීමට කටයුතු කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයා පාපන්දු සම්මේලන සභාපතිවරයාට දැනුම් දුන්නා.

එමෙන්ම පාපන්දු සම්මේලන නිලධාරීන්ගේ දූර කාලය වසර එකේ (1) සිට වසර 4 දක්වා වැඩි කිරීමට ඇති ඉඩකඩ සොයා බලන ලෙසත් කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී දන්වා සිටියා.

පාපන්දු සම්මේලන විධායක සභාවට ඡන්දයෙන් සාමාජිකයින් දහදෙනකු (10) පත් කෙරෙන විට සභාපතිවරයාට තවත් සාමාජිකයින් 18 දෙනකු පත් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව මෙහිදී බරපතළ ලෙස ප්‍රශ්න කෙරුණ.

කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පෙන්වා දුන්නේ මේ හරහා ක්‍රීඩා සමාජවල ඡන්ද අයිතියට බරපතළ ලෙස හානි පැමිණෙන බවයි.

මෙම තත්ත්වය නිවැරදි කිරීමට වහාම පියවර ගත යුතු බව පෙන්වා දුන් කෝප් කමිටු සභාපතිවරයා ඒ හරහා පාපන්දු සම්මේලන සාමාජිකයින්ගේ අයිතීන් තහවුරු කිරීමට කටයුතු කරන ලෙසත් දන්වා සිටියා ෴

******************************************

(05.08.2021 – 17:07 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් 62 නෙකු මේ මස 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.එම්. රිස්වාන් හමුවට අද (05) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ෴

@@@@@@@@@@@@@@@

(05.08.2021 – 15:12 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1841 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 286,365 ක් ලෙසටයි ෴

++++++++++++++++++++++

(05.08.2021 – 15:22 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර නව නගරයේ පිහිටි ආයුර්වේද රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර තිබෙනවා.

දැනට රත්නපුර ශික්ෂණ රෝහල කොරෝනා ආසාදිතයින්ගෙන් පිරී පැවතීම හේතුවෙන් ආයුර්වේද රෝහල මෙලෙස කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පත් කළ බවයි සබරගමුව පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළේ.

මෙහි නේවාසිකව රෝගීන් 80 කට පමණ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව පවතිනවා ෴

++++++++++++++++++++

(05.08.2021 – 15:38 +0530 – hirunews.lk/sinhala)

යාපනය ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික මංගල්‍යය සියදෙනෙකුගේ (100) උපරිම සීමාවකට යටත්ව පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන 13 වනදා සිට නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යයේ සියලු කෝවිල් උත්සව ආරම්භ කෙරෙන බවයි එම කෝවිලේ භාරකාර මණ්ඩලය ප්‍රකාශ කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *