රාගම රෝහලේ කොවිඩ් රෝගීන් ගැන සමාජ මාධ්‍යයේ පළවූ වීඩියෝව සහ රත්නපුර රෝහලේ හදිසි තත්ත්වය

රාගම රෝහලේ කොවිඩ් රෝගීන් ගැන සමාජ මාධ්‍යයේ පළවූ වීඩියෝව සහ රත්නපුර රෝහලේ හදිසි තත්ත්වය

*********************************************

රාගම රෝහලේ කොවිඩ් රෝගීන් ගැන සමාජ මාධ්‍යයේ පළවූ වීඩියෝව සහ රත්නපුර රෝහලේ හදිසි තත්ත්වය

(04.08.2021 – nethnews.lk)

කොවිඩ් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමග ආසාදිතයින් වාර්තා වීම වැඩිවීම හේතුවෙන් රාගම රෝහලේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ඒකකය රෝගීන්ගෙන් පිරි ගොස් තිබෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යය තුල හුවමාරු වෙමින් තිබෙනවා. එම වීඩියෝව අනුව ආසාදිත රෝගීන්ට ප්‍රමාණවත් ඇදන් නොමැතිවීම හේතුවෙන් ඔවුන් රෝහලේ වාට්ටුව තුල මෙන්ම ඉන් පිටතත් බිම නිදාගෙන සිටින අයුරු දැක්වෙනවා.

මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ මෙම වීඩියෝව කුමන කාලයේදී ගත් එකක් ද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමක් සිදුකර නොමැති බවත්, එහි දැක්වෙන්නේ රාගම රෝහලද යන්න සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලිවම ප්‍රකාශ කිරීමට හැකියාවක් නොමැති බවයි. නමුත් එම වීඩියෝව තමන් ද දුටු බව ඔහු ප්‍රකාශ කර සිටියා.

“මේ වෙනකොට රටේ කොවිඩ් ව්‍යාප්තිය වගේම ඩෙංගු රෝගයත් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඒ නිසා රෝගීන්ගේ ඉහළ යාමක් සිදුවනවා. ඒ අවස්ථාවේදී ඇතැම් රෝහල්වල මෙවැනි තත්ත්වයන් ඇතිවෙන්න හැකියාව තිබෙනවා. අපි සෑම දිනකදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැස්වීමක් පවත්වනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අපි මේ සම්බන්ධයෙන් සාකච්ජා කරනවා. ඒ වගේම රෝගීන් ඉහළ යාමත් සමග රෝහල් තුල මෙවැනි තත්ත්වයන් ඇතිවීම වලක්වා ගැනීමට අප අවශ්‍ය කටයුතු සිදුකරනවා” යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටියා.

මේ අතර ඊයේ (03) රාත්‍රියේ සිට රත්නපුර ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට රෝහල් වෛද්‍ය අධිකාරී අනෝජ් රුද්‍රිගෝ මහතා පියවර ගෙන තිබෙනවා. ඒ එම රෝහලට ඇතුළත් කරන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යෑමත් සමග බවයි අප නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ සම්බන්ධව කළ විමසීමකදී රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටියේ කොරෝනා ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීම පුළුල් කර ඇති බවත්, සෙසු වෛද්‍ය ප්‍රතිකාර අංශ කිහිපයකට සීමා කිරීමට සිදුකර ඇති බවයි.

රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩ් සත්කාර ඒකකයේ ඇඳන් 04 ම කොරෝනා රෝගීන් ගෙන් පිරි ඇති බවත් තවත් දැඩි සත්කාර ඇදන් කිහිපයක් ඉක්මනින් එක්කිරීමට කටයුතු කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

මේ වන විට රත්නපුර ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ධාරිතාවය ද උපරිම මට්ටමේ පවතින අතර කහවත්ත මුලික රෝහලේ කොරොනා ප්‍රතිකාර ඒකකයේ ඇදන් 50 ද රෝගින්ගෙන් පිරි ඇතැයි වාර්තා වේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම කොරොනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ද රෝගි ධාරිතාවය උපරිමයට ළගාවි ඇති බව සඳහන්.

මේ අතර රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව සඳහන්.

++++++++

++++++++++++++++++++

ජනප්‍රිය රංගන ශිල්පිණී ශලනි තාරකාට කොරෝනා අසාදනය වෙයි (04.08.2021)

‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලි නාට්‍යයේ රූගතකිරීම අතරතුර ශිල්පින්ට කොරෝනා ආසාධිත වීම හේතුවෙන් 31 වන දින සවස සිට නිවැසියන්ගෙන් ඈත්ව ස්වයං නිරෝධායනයට ලක්වුනෙමි.

නමුත් පසුදින සිට ඇතිවු සැකසහිත රෝග ලක්ෂණ හේතුවෙන් කල PCR පරීක්ෂණයෙන් අද (04) දින මා covid positive රෝගියෙකු ලෙස හදුනාගෙන ඇත.

මේ වන විට Sinopharm එන්නත් මාත්‍රා දෙකම (2) ලබාගෙන ඇති අතර තවමත් කිසිම අපහසුතාවක් නැත.

පසුගිය දිනයන්හි මා රංගනයෙන් දායක වු දර්ශන තල දැනුවත් කරඇති අතර ඒ දිනයන්හි මා හමුවු අයට ස්වයං නිරෝධායනට ලක්වන ලෙසද ඉල්ලා සිටිමි.

මේ මොහොතේ ලැබෙන දුරකථන ඇමතුම් සියල්ලටම පිලිතුරුදීමට නොහැකි වීම ගැන අමනාප නොවන්න.

සොයා බැලු සියලු දෙනාටම ස්තූතියි !

සුලුවට හිතන්න එපා.. පුංචි හරි රෝග ලක්ෂණයක් පෙන්නද්දි හංගන් ඉන්න එපා.. රෝගය පතුරන වාහකයෙක් වෙන්න එපා..

ඉක්මනින් ප්‍රතිකාර වලට යොමු වෙන්න..

[ https://www.facebook.com/shalani.live ]

++++++++++++++++++++++

From FB:Thilakshani Maduwanthi
05.08.2021

ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන් මම ඇස් දෙකෙන් දකිනවා …

දැන් වෙලාව අලුයම 1 යි විනාඩි 20 යි.
මේ කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටුව.
වාට්ටුවේ එක් ඇඳක රෝගීන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙක්.
ඔවුන් අසාධ්‍ය රෝගීන්.
වාට්ටුවේ බිම ඇඳන් යට තවත් පිරිසක් ඔක්සිජන් ලබා ගනිමින් ජීවිතය බේරගන්න සටන් කරනවා.
අඩි තියා ඇවිදින්න බය හිතෙන තරමටම බිම රෝගීන්.

ඉතිරි සියලු ආසාදිතයින් (සියය ඉක්මවූ පිරිසක්) එළිමහනේ බංකු, පුටු මත හෝ ගස් පාමුල.
තවත් පිරිසක් වැලි පොළවේ ඇතිරිල්ලක් හෝ නොමැතිව.
මේ පාන්දරත්, ඇඩ්මිෂන් පෝලිම ගොඩක් දිගයි.

අපහසුවෙන් සොයාගත් පුටුවක් මත අම්මා තබා මා ගල් බැම්මක් උඩට වී ඇයට උපස්ථාන කරනවා.

සීතලේ මදුරුවන් තලමින්, මේ හැමෝම කොරෝනා එක්ක සටන් කරනවා.
මගේ ඇස් ඉදිරිපිටම පැය කිහිපයක් තුළ දෙදෙනෙකු මිය ගියා.
ඇතමුන් ක්ලාන්ත වී ඇද වැටෙනවා.

කාර්ය මණ්ඩලය සීමිතයි.
ඔවුන් දේවකාරිය තරමටම රාජකාරිය ඉටු කරන්නේ වෙහෙස නොබලා.

මගේ අම්මා මේ විදිහට කොරෝනා එක්ක සටන් කරද්දි තාත්තා දින ගණනාවක් ඔක්සිජන් මැෂිමකට ජීවිතය දීලා බලන් ඉන්නවා.

මේ ජීවිතය ඇතුළේ මීට වඩා විඳින්න දුකක් නෑ.
මීට වඩා අසරණකමකුත් නෑ.
හෙට මමත් ආසාදිතයෙකු වෙයි.

මට කියන්න තියෙන්නෙ එකම දෙයයි.
කොරෝනා සුළුවෙන් තකන්න එපා.
පුළුවන් තරම් පරිස්සම් වෙන්න.
පවුලේ හැමෝම පරිස්සම් කරගන්න.

ඉන්දියාව ගැන මම කියපු නිවුස් අද මම මගේ රටේදි ඇස් දෙකෙන් දකිනවා.
පරිස්සම් වෙන්න.. හොඳටම පරිස්සම් වෙන්න….

~ තිලක්ෂණී මධුවන්ති ~
(SIRASA TV, News 1st at MBC/MTV Head Office)

+++++++++++++++++++

චමුදිත ඇතුළු ‘හිරු සලකුණ සියළු මාධ්‍යවේදීන්’ නිරෝධායනයට.. චමුදිත ධම්මික පැණිය බිවු අයෙක්..

(05.08.2021 – 10:40 +0530 – lankacnews.com)

හිරු රූපවාහිනියේ ‘සලකුන’ වැඩ සටහන මෙහෙයවන ප්‍රධාන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඇතුළු වැඩසටහනේ සියලු මාධ්‍යවේදීන් නිරෝධායනයට ලක්වී තිබේ.

පසුගියදා ‘හිරු සලකුණ’ වැඩසටහන සහභාගිවූ මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා කොරෝනා ආසාදිත වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

චමුදිත සමරවික‍්‍රම මහතා සමග සමග මධුෂාන් ද සිල්වා මහතා සහ කලිදු විදානගේ මහතා මෙසේ නිරෝධායනයට ලක්ව ඇත.

එමෙන්ම එම වැඩසටහනට සහභාගී වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා ද නිරෝධායනයට ලක්ව සිටී.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා මරධනය සදහා හදුන්වා දුන් පැණිය සිය වැඩසටහනක් අතුරතුරදී චමුදිත සමරවික‍්‍රම මහතා පානය කලේය ෴

++++++++++++++++++++

(05.08.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවයේ සියලුදෙනා සේවයට කැඳවමින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට විරෝධය පළ කර අද (05) උදෑසන හතේ (7) සිට දහවල් 11 දක්වා දිවයිනේ සියලු රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පරිපූරක හා අතුරු වෛද්‍ය, හෙද සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එක්වීමට නියමිත බවයි වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් කියා සිටියේ.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ආරම්භ කළ දෙදින (2) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (05) උදෑසන අවසන් වුණා ෴

++++++++++++++++++

(05.08.2021 – 08:30 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් කිසිදු එන්නතක් ලබාගෙන නොමැති කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට එන්නත්කරණ කටයුතු අද (05) ආරම්භ කෙරෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව මධ්‍යස්ථාන 5 කදී ලබාදීම අද (05) පෙරවරු 08:30 සිට ආරම්භ කරන බවයි.

අවුරුදු 60 ට වැඩි කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, අයි.ඩී.එච්. රෝහල, අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහල සහ විහාරමහාදේවි උද්‍යානයේදී ලබාදීම සිදු කෙරෙනවා ෴

@@@@@@@@@@@@@@@

‘ටීවී දෙරණ යූ ටියුබ් චැනලය’ තවත් සන්ධිස්ථානයක් පසුකරයි

(04.08.2021 – 12:09 +0530 – sinhala.adaderana.lk)

මිලියනය 3 ක ග්‍රාහකයින් සිටින, ශ්‍රී ලාංකීය රූපවාහිනී නාලිකාවක් සතු එකම සහ ප්‍රථම යු ටියුබ් චැනලය බවට ‘ටීවී දෙරණ යු ටියුබ් චැනලය’ පත්වී ඇත.

ප්‍රේක්ෂක ජනතාවට නිරන්තරයෙන් නවමු අත්දැකීම් තිළිණ කරන අප ඉදිරියටත් ‘අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන’ ඔබ වෙත සමීපවීමට සූදානම්.

[ https://www.youtube.com/channel/UCRDDfbYPHX_GUJ4lcQYTc8A ]

******************************************

ටීනියා රෝග ලක්ෂණ ඇත්නම් වහාම රෝහලක් වෙත යොමු වෙන්න

(04.08.2021 – nethnews.lk)

ටීනියා දිලීර රෝග ලක්ෂණ ඔබට හෝ ඔබගේ පවුලේ අයෙකුට වැළඳි ඇත්නම් වහාම ළඟම පිහිටි රජයේ රෝහලේ චර්ම රෝග සායනය වෙත පැමිණෙන්න ලෙස චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා.

කොවිඩ් වසංගතය පවතින කාලයේ ම ටීනියා නැමැති සමේ වැවෙන දිලීර රෝගය වේගයෙන් පැතිර යාම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමක් අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැත්වුණා.

වසර ගණනාවකට පෙර මෙය කුඩා දරුවන් අතර පැතිර ගිය රෝගයක් බවත් මේ වන එය වැඩිහිටියන්ට සම්ප්‍රේෂණය වීමේ අවධානමක් ඇතැයි කොළඔ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට මහතා පැවසුවා.

ටීනීයා රෝගය පුස් වර්ගයක් වන අතර (Ringworm) ලෙසින් මෙය හඳුන්වනු ලැබේ. සම මතුපිට කැසීමක් මඟින් මෙම රෝගය ඉස්මතු වන අතර කළවා, කිහිළි හා ශරිරයේ දාඩිය ඉතිරි වන ස්ථානවල දි වැඩිපුර පැතිරේ. ශරිරයේ ප්‍රතිශක්තිකරණය අඩු අය හා කුඩා දරුවන් මෙම රෝගයෙන් ප්‍රවේශම්විය යුතු අතර මේ වන විට මෙම රෝග ප්‍රභේදය වෙනස් වි ඇතැයි රිජ්වේ ළමා රෝගලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය පැවසුවා.

පෞද්ගලික පිරිසිදුතාවය හා සම වියළිව තබා ගැනීමෙන් සහ නිසි ලෙස වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීමෙන් රෝගය වළක්වා ගත හැකි බවත් විශේෂ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති ෴

What You Should Know About Ringworm – WebMD

******************************************

(05.08.2021 – 07:03 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පති විරෝධතා රථ පෙළපාලියට සහභාගිවී නැවත යමින් සිටියදී අත්අඩංගුවට ගත් හතළිස් හතරදෙනා (44) අද (05) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊයේ (04) අත්අඩංගුවට ගත් මෙම පිරිසට කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති අතර, එහිදී ඔවුන් කිසිවෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන නැහැ.

වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගනිමින් දැනට ඔන්ලයින් ඉගැන්වීමේ වර්ජනයක නිරතව සිටින ගුරු විදුහල්පතිවරුන් ඊයේ (04) මාර්ග හතරක් (4) ඔස්සේ රථ පෙළපාලියකින් කොළඹට පැමිණියා.

ජනාධිපති කාර්යාලය ඉදිරියට පැමිණි මොවුන් පසුව එහි විරෝධතාවක නිරතවුණා. ඔවුන් විසිර ගියේ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු (2) සමඟ ද සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

මේ අතර විරෝධතාව අවසන් කර නැවත යමින් සිටියදී 44 දෙනෙකු වාහන 10 කුත් සමඟ පොලිසිය අත්අඩංගුවට ගත්තා.

මොවුන් අතර ගුරුවරුන් 22 කු, ගුරුවරියන් 16 දෙනෙකු සහ පිටස්තර පුද්ගලයින් හයදෙනෙකු (6) ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් පිරිස කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර කොවිඩ් පරීක්ෂණයක් සිදුකර ඇති අතර, එහිදී ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති ඊයේ (04) මහනුවර නගරයෙන් ආරම්භ කළ විරෝධතා පා ගමන අද (05) දෙවන (2) දිනටත් ක්‍රියාත්මකයි. ඔවුන් ලබන සඳුදා (09) කොළඹට ළඟාවීමට නියමිතයි ෴

******************************************

(05.08.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

මහාධිකරණවල විභාග කෙරෙන ළමා අපචාරවලට අදාළ නඩු සඳහා නිශ්චිත දිනයක් වෙන් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව සමඟ සිදුකළ සාකච්ඡාවකින් පසු එකඟතාවකට පැමිණ ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ප්‍රකාශ කළා.

මීට අමතරව අදාළ දිනයේදී ළමයින්ට සම්බන්ධ නඩුවලට ප්‍රමුඛතාව ලබාදීමටත් එම නඩු හඳුනාගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසීමටත් අධිකරණ සේවා කොමිෂන් සභාව සියලු මහාධිකරණ විනිසුරුවරුන් වෙත චක්‍රලේඛයක්ද යොමුකර ඇති බව සඳහන්.

පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමකදී මේ බව අනාවරණ වූයේ ඊට කැඳවා තිබූ ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා කළ කරුණු දැක්වීමේදියි.

මීට අමතරව වින්දිත දරුවන් උසාවිවලට නොකැඳවා දුරස්ථ වෙනත් ස්ථානවල සිට අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීමේ මධ්‍යස්ථාන 9 ක් සෑම පළාතකම පිහිටුවීමට කැබිනට් අනුමැතියද හිමිව තිබෙනවා.

කොරෝනා වසංගත තත්වය තුළ ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ලැබී ඇති විමසීම් සංඛ්‍යාව 55,000 ක්. මීට අමතරව පසුගිය මාස හය (6) තුළදී පමණක් ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 4,740 ක් ලැබී තිබෙනවා.

මේ අතර ඊයේ (04) පාර්ලිමේන්තුවේදී ළමයින්ට සිදුවන හිංසන ක්‍රියා සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයක් පැවති අතර, එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ ළමා අපචාරවලට සමාජ මාධ්‍ය බොහෝ සෙයින් දායකවන බැවින් ඒවා නියාමනය කිරීමට කටයුතු කළ යුතු බවයි.

එසේම සමාජ මාධ්‍ය තහනම් කළ යුතු බවටද තමා අදහස් කරන බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ෴

******************************************

(05.08.2021 – 08:27 +0530 – hirunews.lk/sinhala)

විස සංඝටක සහිත පොල්තෙල් වෙළඳපොලේ ඇත්දැයි අනාවරණ කරගැනීම සඳහා පොල් සංවර්ධන අධිකාරිය විසින් සාම්පල ලබාගනිමින් සිදුකළ පරීක්ෂණවල රසායනික වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගිය දිනවල වෙළඳපොලේ පිළිකාකාරක අඩංගු විෂ සංඝටක සහිත පොල්තෙල් වෙළඳපොලේ පවතින බවට වාර්තා පළව තිබුණා. ඒ අනුව සමාජයේ ඒ පිළිබඳව දැඩි කථාබහක්ද ඇතිවූ අතර, එහිදී පොල් සංවර්ධන අධිකාරිය විසින් දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පරික්ෂණ සඳහා පොල්තෙල් සාම්පල් 125 ක් ලබාගෙන තිබුණා.

එහිදී එම සාම්පල් 125 සම්බන්ධයෙන් රසායනික වාර්තා ලබාගැනීමටයි පොල් සංවර්ධන අධිකාරිය කටයුතු කළේ.

එම රසායනික වාර්තාවලට අනුව සාම්පල්වල විස සංඝටක නොමැති බවට පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර තිබුණා.

එහෙත් අදාළ පොල්තෙල් සාම්පල්වල විෂ සංඝටක පවතින බවට වාර්තාවී ඇති බවත්, ඒවා සඟවා තැබීමට පොල් සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇති බවත් අධිකරණයට ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ විසින් කරුණු වාර්තාකර තිබුණේ මීට පෙරයි.

ඒ අනුවයි එම කරුණු සළකා බලමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම පොල්තෙල් සාම්පලවල රසායනික වාර්තා ලබන 23 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේ ෴

******************************************

(05.08.2021 – 08:29 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තාක්ෂණික සහය ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය කැමැත්ත පළ කර තිබෙනවා.

මෙරට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් ජෝන් හොලි ඊයේ (04) මුදල් අමාත්‍යාංශයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවෙමින් මේ බව සඳහන් කළා.

මීට අමතරව මුදල් අමාත්‍යවරයා ඊයේ (04) මෙරට ප්‍රංශ තානාපතිවරයා සහ නවසීලන්ත මහ කොමසාරිස්වරයාද හමුවී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Sri Lankans are a wierd lot. During Prabhakaran’s era of terrorism, when a crowd got to know that there was an unidentified explosive device, they rock to the vicinity of the device out of curiosity. Then when the device exploded on their faces, their relatives complain when they got blown up with the device in the process. With COVID it is a similar phenomenon. The government advise the public how to stay safe; it is in the media, on TV on radio, on bill boards everywhere. yet the public in general, and shit stirring politicians and NGOs have a healthy habit of ignoring good advice, disobeying, challenging this natural disaster the COVID virus. Such an ill disciplined nation, they never be disciplined unless the nature itself send them to their death. There is no reason for the hosptals to be overflowing, and writers complaining, if they or their fellow citizens learnt to abide by the rules for health and safety reasons. Those that did not, then it is pay back time. Yes we are mourning for them,but it is self inflicted injury.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *