ගුරු විරෝධයට එක්වූ 44 ක් අත්අඩංගුවට – රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලටත් යොමු කරයි

ගුරු විරෝධයට එක්වූ 44 ක් අත්අඩංගුවට – රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලටත් යොමු කරයි

*********************************************

ගුරු විරෝධයට එක්වූ 44 ක් අත්අඩංගුවට – රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලටත් යොමු කරයි

(04.08.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවති ගුරු උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ මෙම පිරිස අතර ගුරුවරුන් 22 ක්, ගුරුවරින් 16 ක් සහ විරෝධතාවට සහභාගී වූ පිටස්තර පුද්ගලයන් 6 දෙනෙකු වන බවයි.

මෙම 44 දෙනාට කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා.

අත්අඩංගුවට ගත් පිරිස හෙට (05) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් (2) යොදවා රටේ පවතින වාතාවරණය හේතුවෙන් මෙලෙස උද්ඝෝෂණ නොකරන ලෙසට දැනුම්දීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් එම දැනුම්දීමට උද්ඝෝෂකයින් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඔවුන් පැමිණී වාහන 10 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලය අසළ පැවති විරෝධතාව නිම කර යළි ගමන් කරමින් සිටියදියි.

අයුතු අවහිරය, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, ජාතික මංමාවත් පනත යටතේ ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීම සහ ක්‍රියාත්මක වන නිරෝධායන නීති රීතින් උල්ලංඝණය කිරීම යන චෝදනා යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටළුවට විසඳුම් ඉල්ලා අද (04) උදෑසන කොට්ටාව, වැලිසර, කඩවත සහ මොරටුව යන ප්‍රදේශවලින් ගමන් ආරම්භ කළ මෙම විරෝධතා රථ පෙළපාලිය මාර්ග හතරක් (4) ඔස්සේ අද (04) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලය අසළට ළඟාවුණා.

ඒ හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය මෙන්ම අවට මාර්ගවලද ඇතිවූයේ දැඩි රථවාහන තදබදයක්.

විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට පැමිණි පසු වාහනවල නළා හඬවමින් විරෝධතාවයේ නිරතවුණා.

පසුව විරෝධතාව පැවැත්වෙන ස්ථානයට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු (2) පැමිණි අතර, එහිදි ඔවුන් සහ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් හා ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ අතර සංවාදයක්ද ඇතිවුණා.

මීට අමතරව ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති කිහිපයක් අද (04) උදෑසන මහනුවර සිට කොළඹ බලා විරෝධතා පා ගමනක් ආරම්භ කළා.

මහනුවර පොදු වෙළඳපොල අසළින් ආරම්භ කළ එම පා ගමන ලබන සඳුදා (09) කොළඹට ළඟාවීමට නියමිතව තිබෙනවා.

ඊට සමගාමීව අත්සන් දස ලක්ෂයක පෙත්සමකට අත්සන් ලබාගැනීමද සිදුකරනවා.

******************************************

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පිනි හයසින්ත් විජේරත්න මහත්මියගේ අවසන් කටයුතු සිදු කෙරේ

(04.08.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පිනි හයසින්ත් විජේරත්න මහත්මියගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද (04) පස්වරුවේ මාබෝල – ආරෝග්‍යමාතා දේවස්ථාන සුසාන භූමියේදී සිදු කෙරුණා.

ඒ, කලාකරුවන් ඇතුලු පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන්.

වත්තල – මාබෝල – කට්ටියාවත්ත ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසෙහි දේහය තැන්පත් කර තිබූ අතර, ඊට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (03) සහ අද (04) කලාකරුවන් ඇතුලු විශාල පිරිසක් පැමිණියා.

නුවරඑළිය ප්‍රදේශයේ රූගත කිරීමක් සිදුකර යළි කොළඹ බලා පැමිණෙමින් සිටියදී ඇය ගමන් ගත් වෑන් රථය හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ලිඳුල නගරය ආසන්නයේ දී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුවුණේ පසුගිය 30 වනදා රාත්‍රියේයි.

ඒ වනවිට රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න 75 වන වියේ පසුවුණා ෴

******************************************

(04.08.2021 – 20:10 +0530 – hirunews.lk/sinhala)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවක් සිදුකිරීමේදී පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුකිරීම ඇතුලු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත සහ එම පක්ෂයේ සාමාජිකාව ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් අද (04) පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ පනත් කෙටුම්පතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුලු තවත් සිවිල් සංවිධාන කිහිපයක සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් පැවති විරෝධතාව අතරතුර විරෝධතාකරුවන් පාලනය කිරීමට ගිය අවස්ථාවේ මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා තුවාල ලැබුවා.

මේ වනවිට ඔහු තලවතුගොඩ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර, පොලිස් ස්ථානාධිපතිවරයාගේ සුවදුක් විමසීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා ද අද (04) රෝහල වෙත පැමිණියා.

අදාළ උද්ඝෝෂණයේදී පොදු දේපලවලට හානි කිරීම, අයුතු ජන රාශිය සහ පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීමේ චෝදනාව මතයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම්වරයා සහ එම පක්ෂයේ තවත් සාමාජිකාවක් ඊයේ (03) අත්අඩංගුවට ගැනුනේ.

මේ අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව කොළඹ වෛද්‍ය පීඨය අසළ සිට අද (04) පා ගමනකද නිරතවුණා.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (04) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ අදාළ පනත් කෙටුම්පත සැළසුම් කළ පරිදි ලබන සිකුරාදා විවාදයට නොගන්නා බවයි.

+++++++++++

******************************************

(04.08.2021 – 20:20 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින ඩොලර් සංචිත හිඟය හේතුවෙන් ලාෆ් සමාගම ගෑස් ආනයනය සීමා කිරීමට පියවර ගැනීමත් සමඟ රට පුරා උග්‍ර ගෑස් හිඟයක් මතුව තිබෙනවා.

පාරිභෝගිකයින් මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව ඇත්තේ කිසිදු විකල්ප විසඳුමක් නොමැතිවීම හේතුවෙන්.

ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාමත් සමඟ මෙරට ගෑස් සමාගම් විවිධ අවස්ථාවලදී මිල ඉහළ දැමීම සඳහා රජයෙන් ඉල්ලීම් කළත්, ඒ සඳහා අවසර හිමිවුණේ නැහැ.

මේ අතර ඩොලර් සංචිත හිඟයත් සමඟ ණයවර ලිපි විවෘත කිරීමද සීමා කිරීම හේතුවෙන් ලාෆ් ගෑස් සමාගම ප්‍රකාශ කළේ ගෑස් ආනයනය කිරීමේ අර්බුදයකට මුහුණදී ඇති බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පසුගිය විසි (20) වනදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා නිවේදනයක් නිකුත් කළ අතර, එමඟින් දක්වා තිබුණේ ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කර ඇතත් එම ඉල්ලුමද ආවරණය කිරීමට ලිට්රෝ ගෑස් සමාගමට හැකියාව පවතින බවයි.

ලිට්රෝ ගෑස් සමාගම හරහා ඕනෑම වර්ණයක් ඇති ඕනෑම වර්ගයක සිලින්ඩරයකට ගෑස් සැපයීම සිදුකරන බවද සභාපතිවරයා කියා සිටියා.

කෙසේ වෙතත් ලිට්රෝ ගෑස් නියෝජිතයින් ප්‍රකාශ කළේ තමන්ට ලාෆ් ගෑස් සිලින්ඩර සඳහා ලිට්රෝ ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට සමාගමෙන් කිසිදු අවසරයක් මෙතෙක් ලබාදී නොමැති බවයි.

කෙසේ වෙතත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා කොළඹදී අද (04) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ වෙළඳපොලේ ගෑස් හිඟයක් නොමැති බවයි.

මේ අතර, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ ගෑස් ගැටළුව ඇතුලු අනෙකුත් කරුණු පිළිබදව දැනුම්වත් කිරීම සඳහායි.

එහිදී ගෑස් හිඟවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ ලෝක වෙළඳපොලේ පවතින ගෑස් මිල ඉහළ යාමේ තත්වයත් සමඟ මෙරට වෙළඳපොලේ ද ගෑස් පිළිබඳව ගැටළුවක් පවතින බවයි.

++++++++++

******************************************

ළමා අපයෝජන චෝදනා එල්ල වූ හිඟුරක්ගොඩ වල්සාදු රිමාන්ඩ්

(04.08.2021 – 20:39 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

ළමා අපයෝජන සිදුකළ බවට චෝදනා එල්ල වූ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පාසලක විදුහල්පති වල්සාදු අධිකරණයට භාරවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අප හිරු ප්‍රවෘත්ති ඔස්සේද පසුගිය 30 වැනිදා අනාවරණයක් සිදු කළා.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පාසලක දරුවන් අපයෝජනයන්ට ලක්කරන බවට එම පාසලේ විදුහල්පති වල්සාදුට දෙමව්පියන්ගෙන් චෝදනා එල්ල වූ අතර මාපියන් පිරිසක් පසුගිය 30 වැනිදා හිඟුරක්ගොඩ නගරයේදී විරෝධතාවකද නිරත වුණා.

එහිදී ඔවුන් හිඟුරක්ගොඩ පොලිසියටද චෝදනා කළේ අදාළ වල්සාදුට එරෙහිව නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකරන බව පවසමින්.

අපයෝජනයට ලක් වූ බව කියන වයස අවුරුදු 15 ක දරුවෙකු ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති වෙත අනාවරණ කළා.

චෝදනා එල්ල වූ අදාළ විදුහල්පති වල්සාදු අද (04) පෙරවරුවේ නීතිඥවරුන් දෙදෙනෙකු (2) මාර්ගයෙන් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ අතර එහිදී වල්සාදු ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

එම අවස්ථාවේදී අපයෝජනයන්ට ලක් වූ බව කියන දරුවන්ගේ මාපියන් අධිකරණ සංකීර්ණය අසල නිහඬ විරෝධතාවකද නිරත වුණා.

මේ අතර හිටපු අමාත්‍ය රීෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි ඉෂාලිනී දැරිය පිළිස්සී මියයාමේ සිද්ධියට අදාළව මේ වන විට කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වන අතර පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාසය අද (04) රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පරීක්ෂාවට ලක්කළා.

අදත් (04) වතුකරයේ විරෝධතා පැවැත්වුණා.

++++++++++++

******************************************

ඕෂධ සේනානායක ට නව තනතුරක්

(04.08.2021 – 21:10 +0530 – sinhala.adaderana.lk)

ඕෂධ සේනානායක මහතා ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ලෙස පත්කර ඇත.

ඔහු මේ වනවිට විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය ලලිත් ගමගේ මහතා ඉල්ලා අස්වීම නිසා සේනානායක මහතා එම තනතුරට පත්කර තිබේ.

@@@@@@@@@@@@@@

(04.08.2021 – 20:43 +0530 – hirunews.lk/sinhala)

අද (04) දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 823 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (04) දිනයේ හමුවූ ආසාදිතයන් ගණන 2543 ක්. ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 318,737 ක් හමුවී තිබෙනවා ෴

++++++++++++++++++

(04.08.2021 – 21:52 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 82 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4727 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (03) මෙම මරණ තහවුරු කර තිබෙනවා.

මෙම මරණ 82 අතර පිරිමි පුද්ගලයන් 41 ක් සහ කාන්තාවන් 41 ක් වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමි පුද්ගලයන් 14 ක් සහ කාන්තාවන් 8 ක් ඒ අතරට අයත්.

එමෙන්ම අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි පුද්ගලයන් 27 ක් සහ කාන්තාවන් 33 ක් මියගිය පිරිස අතර වනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබෙනවා.

චීනයේ මේ දක්වා සිදුව ඇත්තේ කොරෝනා මරණ 4636 ක් පමණයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *