ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවූ 42 ක් පොලිස් අත්අඩංගුවට

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවූ 42 ක් පොලිස් අත්අඩංගුවට

*********************************************

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවූ 42 ක් පොලිස් අත්අඩංගුවට

(04.08.2021 – 16:18 +0530 – hirunews.lk/sinhala)

රථ පෙළපාලියකින් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ උද්ඝෝෂණයේ නිරතවූ 42 ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවූ පිරිසකට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් (2) යොදවා රටේ පවතින වාතාවරණය හේතුවෙන් මෙලෙස උද්ඝෝෂණ නොකරන ලෙසට දැනුම්දීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

කෙසේවෙතත් එම දැනුම්දීමට උද්ඝෝෂකයින් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

කාන්තාවන් 16 දෙනෙකු සහ පිරිමි 26 දෙනෙකු අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව සඳහන්.

ඔවුන් පැමිණී වාහන 10 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිසගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අයුතු අවහිරය, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, ජාතික මංමාවත් පනත යටතේ ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීම සහ ක්‍රියාත්මක වන නිරෝධායන නීති රීතින් උල්ලංඝණය කිරීම යන චෝදනා යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.

******************************************

(04.08.2021 – 16:20 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් ඊයේ (03) පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත සහ එම පක්ෂ සාමාජිකාවක් ලබන 11 වනදා දක්වාරක්ෂිත බන්ධාගාර ගත කර තිබෙනවා.

රජයේ දේපළවලට අනර්ථයක් සිදුකිරීම, අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම සහ මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට තුවාල සිදුකිරීමේ චෝදනා මතයි ඔවුන් අත්අඩංගුවට ගැනුනේ.

විරෝධතාව අතරතුර තුවාල ලැබූ මහරගම පොලීසියේ ස්ථානාධිපතිවරයා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා ෴

(04.08.2021 – 16:27 +0530 – hirunews.lk/sinhala)

ශල්‍යකර්මයකට ලක්ව තලවතුගොඩ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන මහරගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. ජනකාන්ත මහතාගේ සුවදුක් විමසීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා අද (04) එම රෝහලට ගොස් තිබෙනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ නිදහස් අධ්‍යාපන උදෙසා සිසු ජන ව්‍යාපාරය පාර්ලිමේන්තු පිවිසුම අසළ ඊයේ (03) සංවිධානය කර තිබූ විරෝධතාව අතරතුර සිදුවූ අනතුරකින් පොලිස් ස්ථානාධිපතිවරයාගේ වම් අතේ ඇඟිලි දෙකකට (2) හානි සිදුවුණා.

මේ අතර යෝජිත නව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළළ කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (04) පස්වරුවේ කොළඹ – ලිප්ටන් වටරවුම අසළ විරෝධතාවක නිරතවුණා ෴

******************************************

(04.08.2021 – 16:23 +0530 – hirunews.lk/sinhala)

වටරැක එළිමහන් සිර කඳවුරේ නව අංශයේ රඳවා සිටින කොරෝනා රෝගීන්ට ලබාදීම සඳහා රැගෙන විත් තිබූ දුම්කොළ 25 ක් සහ ලයිටර් 11 ක් සමග එහි සේවය කරන බන්ධනාගාර සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කදවුරේ අධිකාරීවරයාට ඊයේ (03) ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් යොදවා මොහු පැමිණි යතුරුපැදිය හදිසි පරීක්ෂාවකට ලක් කර ඇති අතර, එහි අසුන යට බහාලුමක සඟවා තිබියදී මෙම ද්‍රව්‍ය සොයා ගැනුණා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා කියා සිටියේ අත්අඩංගුවට ගත් එම බන්ධනාගාර සැරයන්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගත් බවයි ෴

******************************************

(04.08.2021 – 16:59 +0530 – hirunews.lk/sinhala)

දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැති අතර දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිතා කළ යුතු බවට ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනස්කමක් සිදුකර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඉදිරියේදී එම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බවට ද රජය දන්වා සිටින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් 2021 මැයි මස 31 දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ස්වභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක යොදා ගනිමින් සැකසූ ශාඛ පෝෂක ආනයනය කිරීමට වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණා.

එම ස්වාභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක මේ වන විට අංක 2226/48 දරන ගැසට් පත්‍රය මගින් ආනයනය කිරීම තහනම් කර තිබූ සංකේතාංක (HS Code) යටතේ ආනයනය වන බැවින්, ඉහත දක්වන ලද, කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට ලබා දී තිබු අමාත්‍ය මණ්ඩල අනුමැතිය ක්‍රියාත්මක කිරීම සඳහා අංක 2226/48 ගැසට් පත්‍රය සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා විසින් 2021 ජූලි 30 වන දින නිකුත් කර ඇති 2021 අංක 11 දරන ආනයන හා අපනයන (පාලන) නියමයන් (Regulations) අනුව පහත සඳහන් වර්ගවල විශේෂිත වූ පොහොර ආනයනය සඳහා පමණක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා අදාළ අනෙකුත් ආයතන හරහා විශේෂ වූ බලපත්‍ර ක්‍රමවේදයක් යටතේ අවසර ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කළ හැකි පොහොර වන්නේ අන්තර් ජාතික කාබනික පොහොර ප්‍රමිතීන්වලට අනුකූල අනුමැතිය ලබා දී ඇති කාබනික පොහොර පමණක්ම වනු ඇති.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන විසින් සිදුකරන ලද සංගණනයන්ට අනුව එම ආයතනවල සෘජු අධික්ෂණය යටතේ මාස 6 ක කාලයක් සඳහා නිකුත් කරන බලපත්‍ර මගින් හරිතාගාර (greenhouse) තුළ සංරක්ෂිත කෘෂිකාර්මික කටයුතු සඳහා ලියාපදිංචි ආයතන වෙත සහ ජල පෝෂක වගා (hydroponics) හා වායු පෝෂක වගා (aeroponics) සහ විසිතුරු මල් වගා (floriculture) කටයුතු සඳහා පමණක් නයිට්‍රජනීය ඛනිජ හෝ රසායනික පොහොර සහ කිලේටකරණය (chelated) කරන ලද ඛනිජ සහ ශුද්‍ර පෝෂක ආනයනය සඳහා අවසර ලබා දී තිබෙනවා.

එමෙන්ම ඉහත සඳහන් බලපත්‍ර මගින් ඛනිජ හෝ රසායනික නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් යන ශාක පෝෂක තුනම අඩංගු මිශ්‍රිත පොහොර ඒවායින් දෙකක් අඩංගු මිශ්‍රණවලින් සකස් කරන ලද පොහොර කරල් (capsule) හෝ එවැනි නිෂ්පාදන අඩංගු බර 10kg හෝ ඊට වඩා අඩුවෙන් සකස් කරන ලද පැකට් සඳහා ද අවසර ලබා දී තිබෙනවා.

මෙම සියලු පොහොර ආනයනය අදාළ අවශ්‍ය ආයතන මගින් අවශ්‍යතා අනුව හෝ එම අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ප්‍රමාණයන් සඳහා පමණක් නිකුත් කරන විශේෂ වූ බලපත්‍ර යටතේ පමණක් ආනයනයට අවසර පවතිනවා.

මීට අමතරව නයිට්‍රජන් නිස්සාරණ (කාබනික) හා ඛනිජ ගණයේ පොටෑසියම් ආනයනය කළ හැකි අතර, ඒවා රසායනික පොහොර ලෙස වර්ග නොකෙරෙන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

“නිරෝගිමත් සහ ඵලදායි පුරවැසියෙක් බිහිකිරීමට රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමට එම නිෂ්පාදන වේගවත් කළයුතුය.” යන්න ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දුව බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙනවා ෴

******************************************

(04.08.2021 – 19:21 +0530 – hirunews.lk/sinhala)

වී අලෙවි මණ්ඩලයේ හෝ මෝල් හිමියන් හැර වෙනත් ජාවාරම්කරුවන් ගොවීන්ගෙන් වී මිලදී ගෙන සහල් මිල ඉහළ නැංවීමේ අරමුණින් වී ගබඩා කර තබා ගන්නේ නම් එවැනි වී තොග රාජසන්තක කිරීමට අවශ්‍ය නීති සම්මත කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේබව සඳහන් කළේ අද (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඔහු පෙන්වා දුන්නේ මෙම පියවර ගනු ලබන්නේ පාරිභෝගික ආරක්ෂණය පාරිභෝගිකයන්ගේ යහපත සහ නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිරත ගොවීන්ගේ යහපත උදෙසා බවයි.

රජය නියම කර ඇති උපරිම සිල්ලර මිලට වැඩියෙන් සහල් අලෙවි කරන පුද්ගලයන්ට පාරිභෝගික ආරක්ෂක පනත යටතේ නියම කෙරෙන රුපියල් 2500 ක දඩ මුදල රුපියල් 100,000 දක්වා වැඩි කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජාවාරම්කරුවන් සිතා මතා සහල් හිගයක් ඇති කිරීමට කටයුතු කළ හොත් ඊට විකල්පයක් ලෙස සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් (100,000) ආනයනය කර එවැනි අවස්ථාවලදී පාරිභෝගිකයාට පාලන මිලට සහල් ලබාදීම සඳහා ගබඩා කරන බව ද වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

@@@@@@@@@@@@@@@

හෙට (05) සෞඛ්‍ය සේවක වර්ජනයක්

(04.08.2021 – 17:12 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවයේ සියලුදෙනා සේවයට කැඳවමින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට විරෝධය පළ කරමින් හෙට (05) උදෑසන හයේ (6) සිට දහවල් 12 දක්වා දිවයිනේ සියලු රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට සෞඛ්‍ය වෘත්තිය සමිති 44 ක් එක්වන බවයි එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේ ෴

++++++++++++++++++

රෝහල් රැසක් කොරෝනා ආසාදිතයින්ගෙන් පිරී යයි – 60 ට වැඩි අයට සයිනොෆාර්ම් එන්නතේ පළමු (1) මාත්‍රාව හෙට (05)

(04.08.2021 – 18:01 +0530 – hirunews.lk/sinhala)

දැනට කිසිදු කොරෝනා එන්නතක් ලබා නොගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදීම හෙට (05) උදෑසන 08:30 සිට විශේෂ මධ්‍යස්ථාන 5 කදී සිදුකෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, අයි.ඩී.එච්. රෝහල, අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහරෝහල සහ විහාරමහාදේවි උද්‍යානයේදී එම එන්නත්කරණය සිදුකෙරෙන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

මෙරට එන්නත්කරණ වැඩසටහන කඩිනම් කිරීම සදහා විසි හතර (24) පැය පුරා ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන දෙකක් (2) බත්තරමුල්ල දියත උයනේ සහ විහාරමහාදේවි උද්‍යානයේ ස්ථාපිත කර තිබෙනවා.

දිවයිනේ තවත් ස්ථාන කිහිපයකදීම එන්නත්කරණ කටයුතු අදත් සිදුකෙරුණු අතර ඊයේ (03) දිනය තුළ පමණක් මෙරට එන්නත්කරණයට ලක් කර ඇති සංඛ්‍යාව 297,314 ක්.

අද (04) දිනයේ මේ දක්වා කාලය තුළ අලුතින් කොරෝනා ආසාදිතයින් 1720 දෙනෙකු හදුනා ගැනීමත් සමග සමස්ත ආසාදිත සංඛ්‍යාව 317,914 දක්වා ඉහළ ගියා.

එමෙන්ම, කොරෝනා ආසාදිතව සිටි 1754 දෙනෙකු අද (04) සුවය ලැබීමත් සමග සුවය ලැබූ මුළු සංඛ්‍යාව දැක්වෙන්නේ 284,524 ක් ලෙසයි.

මේ අතර, කරාපිටිය රෝහලේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කිරීම සහ රෝහල් කාර්ය මණ්ඩලය තුළින් ද ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන තත්ත්වයක් උද්ගතව ඇති බැවින් කොරෝනා ප්‍රතිකාර සදහා වෙන් කර ඇති වාට්ටුවල ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා විසින් අද (04) සිට එම රෝහල තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, රෝහල්වල ඇඳන් ධාරිතාව ඉක්මවා ඇති බවට පළ වූ වාර්තා සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (04) රාගම රෝහල් හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ රාජ්‍ය සේවයේ සියලුදෙනා සේවයට කැඳවමින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට විරෝධය පළ කරමින් හෙට (05) උදෑසන හයේ (6) සිට දහවල් 12 දක්වා දිවයිනේ සියලු රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි.

මීට අමතරව මෙරට දී පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය ඇමරිකාවේ ලාස් වේගාස් හිදී පැවැත්වීමට තරඟ සංවිධායකයින් තීරණය කර තිබෙනවා. පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තරගාවලිය ලබන වසරේ ජනවාරි 9 වන දා සිට 16 වන දා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

++++++++++++++++++++

(04.08.2021 – 18:09 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1720 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් මේවන විට හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛයාව 317,914 ක්.

එමනේම කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1754 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 284,524 ක් ලෙසටයි.

රාගම ශික්ෂණ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ධාරිතාවද මේ වන විට ඉක්මවා ගොස් ඇති බවටද මේ වන විට වාර්තා වනවා.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ කොවිඩ් මරණ 74 ක් ඊයේ (03) වාර්තා කළා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4645 දක්වා ඉහළ ගියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *