විසදුම් ඉල්ලා ගුරු විදුහල්පතිවරුන් ප්‍රදේශ හතරකින් කොළඹට

විසදුම් ඉල්ලා ගුරු විදුහල්පතිවරුන් ප්‍රදේශ හතරකින් කොළඹට

*********************************************

විසදුම් ඉල්ලා ගුරු විදුහල්පතිවරුන් ප්‍රදේශ හතරකින් කොළඹට

(04.08.2021 – 12:43 +0530 – hirunews.lk/sinhala)

දින 24 ක් තිස්සේ ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වී සිටින ගුරු විදුහල්පතිවරුන් අද (04) රථ පෙළපාලි හතරකින් (4) කොළඹට පැමිණියා.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණෙන පිරිස එහිදී සිය වැටුප් සටන වෙනුවෙන් විරෝධතාව දැක්වීමට නියමිතයි.

මේ අතර, ගුරු විදුහල්පති වෘත්තීය සංගම් ආරම්භ කළ විරෝධතා රථ පෙළපාළි කොළඹ නගරයට ආසන්න වෙමින් පවතිනවා.

හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන රථ පෙළපාලිය මේ වනවිට වැල්ලවත්ත ප්‍රදේශය පසු කරමින් පවතින අතර මීගමුව පාර ඔස්සේ වැලිසර සිට පැමිණෙන රථ පෙළපාළිය මේ වනවිට ඉඟුරුකඩේ මංසන්ධිය වෙත ළඟා වී තිබෙනවා.

කඩවත සිට පැමිණෙන රථ පෙළපාළිය මේ වන විට කැලණිය ප්‍රදේශය පසුකරමින් පවතින අතර මොරටුවේ සිට පැමිණෙන රථ පෙළපාළිය මේ වන විට ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේයි.

වැටුප් විෂමතා ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පතිවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වී අදට දින 24 ක්.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් ගුරු විදුහල්පතිවරුන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සමග ඊයේ (03) දිනයේත් සාකච්ඡාවක නිරත වූ අතර එය විසඳුමකින් තොරව අවසන් වුණා.

ඒ අනුව සිය වෘත්තිය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යන බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාර්ලින් මහතා සඳහන් කළා.

ඒ අනුව නුවර පාරේ කඩවත ප්‍රදේශයෙන් ගුරු විදුහල්පතිවරුන්ගේ රථ පෙළපාලි අද (04) පෙරවරුවේ ආරම්භ වුණේ මෙලෙසින්.

මේ අතර අදාළ රථ පෙළපාළිය නතර කරන්නැයි කඩවත පොලිසිය, මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක්ද ලබාගෙන තිබුණා.

මේ අතර මීගමුව මාර්ගයේ වැලිසර ප්‍රදේශයෙන්, ගාලුපාරේ මොරටුවෙන්, හයිලෙවල් මාර්ගයේ කොට්ටාවෙන් ආරම්භ වූ විරෝධතා පෙළපාළි කොළඹ දක්වා පැමිණියා.

මීගමුව මාර්ගයේ වැලිසර ප්‍රදේශයෙන්ද විරෝධතා පාගමන ආරම්භ වූයේ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන ඇති පසුබිමකයි.

මේ අතර තවත් විදුහල්පතිවරුන් පිරිසක් මහනුවර සිට කොළඹ දක්වා දින 6 ක් අඛණ්ඩ පා ගමනක නිරතවනවා.

(04.08.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පති විරෝධතා රථ පෙළපාලිය ජනාධිපති කාර්යාලය අසළට මේ වන විට ළඟා වී තිබෙනවා. මේ හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය ඇතුළු අවට මාර්ගවල රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

සිය වැටුප් විෂමතා ගැටළුවට කඩිනමින් විසදුමක් ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් අද (04) පෙරවරුවේ මෙම විරෝධතා රථ පෙළපාලිය ආරම්භ කළේ වැලිසර, කඩවත, කොට්ටාව සහ මොරටුව – කොරලවැල්ල ප්‍රදේශවලින්.

රථ පෙළපාලියෙන් ජනාධිපති කාර්යාලය අසළට පැමිණි ගුරු – විදුහල්පති වෘත්තීය සමිතිවල නියෝජිතයින් සහ ජනාධිපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා ෴

******************************************

(04.08.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු රෝගීන් වාර්තාවීම මේ වන විට යළිත් ඉහළ යමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ කොවිඩ් රෝගයට ඇති බිය හේතුවෙන් බොහෝ පිරිසක් රෝහල් වෙත පැමිණීමට මැළි වීමෙන් ඩෙංගු රෝගීන් මිය යාමේ අවදානමක් ද උද්ගතව ඇති බවයි.

මෙම වසරේ ගෙවුණු මාස 7 ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 10,356 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙනවා.

ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 2,983 ක්.

ඊට අමතරව අදාළ කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් 1,397 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 1,078 ක් ඩෙංගු රෝගීන් වාර්තාවනවා.

මෙම තත්ත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් පවතින බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

ඩෙංගු රෝගයේ සහ කොවිඩ් රෝගයේ රෝග ලක්ෂණ බොහෝ සෙයින් සමාන වීම හේතුවෙන් බොහෝ පිරිසක් කොවිඩ් රෝගයට බියෙන් රෝහල් වෙත පැමිණිමේ මැළිකමක් දක්වන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

දරුවන් ද මේ දිනවල වැඩි වශයෙන් රැඳෙන්නේ නිවෙස් තුළ.

එවන් පසුබිමක දරුවන් අතර ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානම ඉහළ බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

මේ නිසා ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම ඔබ සතු වගකීමක්.

මේ අතර මදුරු කීටයන් හඳුනාගැනීම සඳහා පොලිස් නිල සුනඛයන් යොදා ගැනීමේ නව පරීක්ෂණයක් සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත්ව තිබෙනවා.

ඒ අනුව මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසයට අනුයුක්ත ‘ජොනී’ සහ ‘රොමා’ නමැති නිල සුනඛයින් යොදා ගනිමින් මදුරු කීටයන් හඳුනා ගැනීම මෙලෙස සිදු කෙරුණා.

******************************************

ඉෂාලිනී මියගිය බොරැල්ලේ පිහිටි රිෂාඩ්ගේ නිවසෙහි CCTV කැමරා පරීක්ෂාවට

(04.08.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී ඉෂාලිනී ජූඩ් දැරිය පිළිස්සී මිය යාමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ පිහිටි සී.සී.ටී.වී. කැමරා පද්ධතිය අද (04) පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාශය පරීක්ෂාවට ලක් කළා.

ආරක්ෂක කැමරා ස්ථාපිත කර ඇති ස්ථාන සහ ඒවායේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එම කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙහිදී විමර්ශනයට ලක් කර තිබෙනවා.

මේ අතර, දැරිය මිය යාමේ සිද්ධියට අදාළව සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා අදත් වතුකරයේ ස්ථාන කිහිපයක විරෝධතා පැවැත්වුණා.

එමෙන්ම, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇති වූ සංවාදයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (04) උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

එම අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටියා.

******************************************

(04.08.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම – සාලියවැව පොලීසියේ අධිකරණ කටයුතු භාරව සිටින පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවෙකුට ඇප ලබා ගැනීමේදී අධිකරණය හමුවේ විරෝධය පළ නොකර සිටීම සඳහා මොහු රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගෙන ඇති බවයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴

******************************************

(04.08.2021 – 13:40 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය, ඇමරිකාවේ ලාස් වේගාස්හිදී පැවැත්වීමට තරගාවලි සංවිධායකයන් තීරණය කර තිබෙනවා.

වසංගතය හමුවේ අදාළ තරගාවලිය ශ්‍රී ලංකාවේ නොපවත්වන බවත් ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය සංවිධානය කමිටුව නිවේදනය කර තිබෙනවා.

මෙම ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය 2022 ජනවාරි 09 වැනිදා සිට 16 වැනිදා දක්වා ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ දී පැවත්වීමට නියමිත බවයි නිවේදනය කර ඇත්තේ ෴

******************************************

(04.08.2021 – 15:03 +0530 – hirunews.lk/sinhala)

යල කන්නය සඳහා අර්තාපල් අස්වනු නෙලීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

වැලිමඩ, ඌව පරණගම, කැප්පෙටිපොල, බොරලන්ද සහ බෝගහකුඹුර යන ප්‍රදේශවල වැඩිවශයෙන් අර්තාපල් වගා කෙරෙන අතර, මෙවර හෙක්ටයාර 2,000 ක පමණ අර්තාපල් වගාකර ඇති බව සඳහන්.

අර්තාපල් කිලෝවක් රුපියල් 140 ක පමණ තොග මිලකට අලෙවි කරන බවයි ගොවීන් පෙන්වා දෙන්නේ ෴

******************************************

(04.08.2021 – 15:14 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 4,76,00,000 වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 200 ක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු (3) සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තල ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදියි මොවුන් ඊයේ (03) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් වත්තල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද (04) දින වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

(04.08.2021 – 15:55 +0530 – hirunews.lk/sinhala)

රාගම ලන්සියා වත්ත ප්‍රදේශයේ නිවසක තිබී කේරළ ගංජා කිලෝ දහසකට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසිනුයි වැටලීම සිදුකර ඇත්තේ.

අදාළ නිවසේ ඇඳක් යට ඉතා සූක්ෂමව මෙම කේරළ ගංජා තොගය සගවා තිබූ බව සඳහන්.

ඒවා සඟවා තබා ගැනීමේ වරදට වැටලීමේදී අවුරුදු හතළිහක (40) සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මෙම නිවසේ කුලී පදනම මත රැඳී සිටිමින් දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 17 කට අධික බවට අනාවරණ වී තිබෙනවා.

@@@@@@@@@@@@@@@

(04.08.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

අද (04) සිට ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරු අත්අඩංගුවට ගෙන නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන්නැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා පොලිස්පතිවරයාට ලිඛිත දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ අනුව එලෙස ප්‍රමාණය ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ බස් රථ 11 ක් සිය භාරයට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

මෙරට ක්‍රියාත්මක කඩිනම් එන්නත්කරණ වැඩසටහන යටතේ දියත උයන පරිශ්‍රයේ පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මකයි.

ගෙවුණු දිනයේත් එන්නත් ලබාගැනීම සඳහා ජනතාව දැඩි උනන්දුවකින් සහභාගී වීසිටියේ මෙලෙසින්.

විහාරමහා දේවි එළිමහන් රංග පීඨ පරිශ්‍රයේද යුද හමුදාව මැදිහත්ව පැය 24 පුරා ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩසටහනට ඉහළ ජනතා සහභාගීත්වයක් දක්නට ලැබෙනවා.

ඒ අනුව ගෙවුණු දිනයේ කොවිෂීල්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයන් 25,509 කට සහ දෙවන (2) මාත්‍රාව පුද්ගලයන් 116,664 කට ලබාදී තිබෙනවා.

සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ඊයේ දිනයේ 144,766 කට ලබාදී ඇති අතර එහි දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයන් ගණන 9220 ක්.

ඊට අමතරව මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව ගෙවුණු දිනයේ පුද්ගලයන් 1155 කට ලබාදී තිබෙනවා.

ඒ අනුව ගෙවුණු දිනයේ පමණක් මෙරට එන්නත්කරණයට ලක් වූ සමස්ත පුද්ගලයන් ගණන 297,314 ක්.

ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 2425 දෙනෙකු හඳුනා ගැණුනා.

ඉන් 2423 දෙනෙකු දේශීයව හඳුනාගත් අලුත් අවුරුදු පොකුරේ ආශ්‍රිතයන්වන අතර දෙදෙනෙකු (2) විදෙස් රටවල සිට පැමිණි අයයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3,16,219 දක්වා ඉහළ ගියා.

මේ වන විට කොවිඩ් ආසාදිතයන් 282,770 ක් පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයන් 28,878 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

රාගම ශික්ෂණ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ධාරිතාවද මේ වන විට ඉක්මවා ගොස් තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ කොවිඩ් මරණ 74 ක් ඊයේ (03) වාර්තා කළා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4645 දක්වා ඉහළ ගියා.

අතුරුගිරිය පෝරේ ශ්‍රී මහා විහාරය ඇතුළු විහාර ගනයේ අධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික කොළඹ නව කෝරලයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය රුක්මලේ ධම්මකිත්ති නායක හිමියන් කොවිඩ් ආසාදනය වීමෙන් අපවත් වී තිබෙනවා.

අපවත්වන විට උන්වහන්සේ පසු වූයේ 63 වන වියේයි.

මේ අතර වැඩිහිටියන් කොවිඩ් මර්දන එන්නත කඩිනමින් ලබාගැනීම තුළින් මරණ අනුපාතය අවම කරගත හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මේ අතර ගිරිඋල්ල – පුස්කොළදෙණිය ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයෙකු ප්‍රතිකාර වෙත යොමු කිරීමට යාමේදී නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට අදාළ ආසාදිතයාගේ පියා පහරදීමට තැත් කර කෙළ ගැසූ සිද්ධියක් වාර්තාවනවා.

මේ අතර කෑගල්ල මහ රෝහලට කෝටි 2 ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ සහ අධි ප්‍රතිකාර ඒකකයට අවශ්‍ය ඇදන් පරිත්‍යාග කිරිමක් ප්‍රදේශයේ ධානපතියන්ගේ ආධාරයෙන් සිදු කෙරුණා.

මේ අතර අද (04) සිට ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරු අත්අඩංගුවට ගෙන නිරෝධායන නීතිය යටතේ කටයුතුකරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයාට ලිඛිත දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ අනුව පොලිසිය අද (04) දිනයේ මගී බස් රථ පරීක්ෂාවට ලක්කරන අයුරු නිරීක්ෂණය වුණා.

පොලිසිය පැවසුවේ ප්‍රමාණය ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ බස් රථ 11 ක් සිය භාරයට ගත් බවයි.

කෙසේ වෙතත් පොදු ප්‍රවාහන සේවාවක්වන ‘දුම්රිය සේවය’ සම්බන්ධයෙන් එවැනි නියෝගයක් (*) නිකුත් කර නොමැති අතර අදත් (04) දුම්රිය වල මගීන් විශාල පිරිසක් ගමන් කළේ මෙලෙසින්.

(*) දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අත්අඩංගුවට ගෙන නිරෝධායන නීතිය යටතේ කටයුතු කිරීම

++++++++++++++++++++++

(04.08.2021 – 15:28 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1754 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 284,524 ක් ලෙසටයි ෴

++++++++++++++++++++++

(04.08.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රි ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයක ගුවන් මගීන් හට සිය රටට ඇතුලු වීම සහ රට හරහා යෑම තහනම් කරමින් පනවා තිබූ සීමා ඉවත් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබෙනවා.

මේ අනුව හෙට (05) සිට මෙරට සංචාරකයන්ට සහ වෘත්තිකයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයයට ඇතුලු වීමට අවස්ථාව හිමි වනවා.

පවතින කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල් 5 ක ගුවන් මගීන් හට එරටට ඇතුළු වීම සඳහා වාරණ පැනවූයේ මීට සති දෙකකට (2) පෙරාතුවයි.

ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, ශ්‍රී ලංකාව මෙන්ම උගන්ඩාව සහ නයිජීරියාව ද තහනම් කර තිබූ රටවල් අතරට අයත්.

මේ අනුව අදාළ රටවල්වලින් පැමිණෙන ගුවන් මගීන් අවශ්‍ය සුදුසුකම් සපුරා තිබිය යුතු වනවා.

එහිදී ඔවුන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීමට හෝ ඒ හරහා යෑමට අවසර හිමිවනු ඇති.

ඒ සඳහා පැමිණෙන මගීන් එරටට ඇතුළු වීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කළ යුතු අතර අදාළ මගියා පිටත්වීමට පැය 48 කට පෙර ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත්කළ යුතුයි.

මෙම තීරණය හෙට (05) සිට ක්‍රියාත්මක වන බවයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *