අද (02) දිනයේ ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරන මධ්‍යස්ථාන පිළිබද තොරතුරු

අද (02) දිනයේ ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරන මධ්‍යස්ථාන පිළිබද තොරතුරු

*********************************************

අද (02) දිනයේ ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරන මධ්‍යස්ථාන පිළිබද තොරතුරු

(02.08.2021 – 10:36 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අද (02) දිනයේදීත් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙනවා.

මේ අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබන 06 වන දින දක්වා ලබාගත හැකි එන්නත් මධ්‍යස්ථාන පිළිබඳ විස්තර ඇතුළත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද (02) දිනයේ දී බත්තරමුල්ල – දියත උයන පරිශ්‍රයේ දී සහ විහාර මහා දේවී උද්‍යානයේ දී පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම සඳහා බත්තරමුල්ල දියත උයන එන්නත් මධ්‍යස්ථානය අද (02) දිනයේ සිට අගෝස්තු 04 වැනිදා දක්වා පැය 24 පුරා විවෘත බව වාර්තා වනවා.

මේ අතර අද (02) දිනයේ දිවයින පුරා ක්‍රියාත්මකවන කොවිඩ් මර්දන එන්නත්කරණ මධ්‍යස්ථාන පිළිබඳ විස්තර පහතින්.

[ එන්නත්කරණය සිදුකෙරෙන මධ්‍යස්ථාන ]

මෙරට තුළ ඕනෑම කොරෝනා මර්දන එන්නතක පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව කෝටිය ඉක්මවා තිබෙනවා.

සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 114,997 කට සහ මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 432 කුට ඊයේ (01) ලබාදීමත් සමඟයි පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගියේ.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ එම සංඛ්‍යාව 10,076,981 ක් බවයි ෴

+++++++++++++++++++

(02.08.2021 – 11:29 +0530 – hirunews.lk/sinhala)

රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන අතරතුර තමන්ට ජනතාව හැසිරවීමේ ක්‍රියාව ද සිදුකළ නො හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, රාජ්‍ය සේවකයින් යළිත් සේවය කැඳවීම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින්.

අදාළ කාරණාව සම්බන්ධයෙන් තමන් දිගින් දිගට ම දැනුම් දුන්න ද ඉන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවයි විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ.

පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යන පිරිස් ද ලාභ ප්‍රයෝජනය ලැබීමේ අරමුණින් කටයුතු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා චෝදනා කරනවා.

++++++++++++++++++++

(02.08.2021 – 12:25 +0530 – hirunews.lk/sinhala)

අද (02) සිට නව සාමාන්‍යකරන නීති රීති ඔස්සේ ආරම්භ කෙරුණු රාජ්‍ය සේවයට පහසුකම් සැලසීමේ අරමුණින් දුම්රිය සේවාවන් වැඩි කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසනවා

ඒ අනුව අද (02) උදෑසන සිට දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අතිරේක අන්තර් පළාත් දුම්රිය වාර පහළොවක් (15) පමණ ක්‍රියාත්මක කළ බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා පවසන්නේ.

මීට අමතරව ලබන සතිය වන විට අවශ්‍යතාවය අනුව දුම්රිය ගමන් වාර ප්‍රමාණය තවත් වැඩි කිරීමට අදාල නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් ඔහු කියා සිටියා.

පිට පළාත්වල සිට පැමිණෙන මෙම අතිරේක දුම්රිය 15 නැවතත් සවස අදාළ ගමනාන්ත කරා ගමන් කරන බවත්, ඉදිරියේදී ප්‍රවාහන අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නොත් නගරාන්තර දුම්රිය ධාවනය සඳහාත් කටයුතු කරන බවත් දුම්රිය සාමාන්‍යධිකාරීවරයා පැවසුවා.

එමෙන්ම බස්නාහිර පළාත, උතුරු පළාත, සහ මධ්‍යම පළාත තුළත් එම පළාත්වලට මගී ජනතාවගේ පහසුව සඳහා පළාත් වලට සීමා වූ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවත් ඔහු කියා සිටියා.

දුම්රිය දෙපාර්තමේන්තුව මේ අසීරු අවස්ථාවේදී මගී ප්‍රවාහනය සඳහා හැකිතාක් දුම්රිය ලබාදීමට කටයුතු යොදා ඇති බවත්, ඉදිරියේ දී එම ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරන බවත් දුම්රිය සාමාන්‍යධිකාරීවරයා පවසනවා.

පොදු ප්‍රවාහණ සේවාවන් භාවිතා කිරීමේ දී රජය මගින් ලබාදී ඇති සෞඛ්‍යය නියෝග අකුරටම අනුගමනය කරමින් කටයුතු කරන ලෙසත්, තවත් ‘දුම්රිය පොකුරක්’ ඇතිවීමට කටයුතු නොකරන ලෙස දුම්රිය සියලු මගීන්ගෙන් ඉල්ලා සිටින බවත් දුම්රිය සාමාන්‍ය සාමාන්‍යාධිකාරිවරයා මෙහිදී කියා සිටියා.

තමන් පෞද්ගලිකවම දුම්රිය ස්ථාන කිහිපයක් පරීක්ෂාකර බැලූ බවත් එම ස්ථාන වල ඇති සනීපාරක්ෂක පහසුකම් සෞඛ්‍ය නීති රීතිවලට අදාළ වන ලෙස වැඩිදියුණු කරන ලෙස ඔවුන්ට උපදෙස් ලබා දුන් බවත් ඔහු පවසනවා.

අපි සැම දෙනාම රටේ පුරවැසියන් විදියට තම ආරක්ෂාව ගැන සැළකිලිමත්ව සෞඛ්‍ය අංශ මඟින් ලබා දී ඇති උපදෙස් තරයේ පිළිපැදීමට කටයුතු කරන ලෙසත් දුම්රියේ ගමන් කිරීමේදී මුඛ ආවරණ පැළඳීම, දුම්රිය ස්ථානයට ඇතුළුවීමට පෙර අත් සෝදා ගැනීමට අනිවාර්‍යයෙන් කටයුතු කරන ලෙසත් දුම්රිය සාමාන්‍ය සාමාන්‍යාධිකාරිවරයා ඉල්ලා සිටිනවා ෴

+++++++++++++++++

(02.08.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව අද (02) රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සිය රාජකාරී සඳහා පැමිණියා.

කෙසේ වෙතත්, පාසල්වලට ගුරු සහ විදුහල්පතිවරුන්ගේ පැමිණීමේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කොරෝනා පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවමින් මීට පෙර රාජ්‍ය සේවා කටයුතු පවත්වාගෙන ගිය අතර, ජනාධිපති ලේකම්වරයා විසින් කළ දැනුම්දීමකට අනුවයි අද (02) සිට රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබුවේ.

ඒ අනුව බොහෝ රාජ්‍ය සේවකයින් අද (02) සිය සේවා කටයුතු සඳහා පැමිණ ඇති බව රාජ්‍ය සේවා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය සඳහන් කළා.

ගැබිණි මව්වරුන් ද අද (02) සිට සේවයට කැඳවා තිබූ අතර ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදුකරන බවයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා කියා සිටියේ.

මේ අතර, සියළුම පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල ද අද (02) සිට සේවයට වාර්තා කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා දැනුම් දී තිබුණා.

එමෙන්ම, සියලු ම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, කලාප හා කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් මෙන්ම කාර්ය මණ්ඩලය ද සේවයට වාර්තා කළ යුතු බවටයි අමාත්‍යාශ ලේකම්වරයා දැනුම් දී තිබුණේ.

කෙසේ වෙතත්, ගුරු – විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති අවස්ථාවක අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල පාසල් වෙත පැමිණීමෙන් වැළකී සිටින බව වර්ජනයේ නිරත ගුරු සංගම් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දී තිබුණා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද (02) දින කිසිදු ගුරු – විදුහල්පතිවරයෙකු හෝ අනධ්‍යයන සේවකයෙකු සේවයට වාර්තා කර නොමැති බවයි.

මේ අතර, අද (02) සිට සියළුම පොදු ප්‍රවාහන මගී සේවාවන් ද අන්තර් පළාත් අතර ධාවනය වීම ආරම්භ වුණා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අන්තර් පළාත් දුම්රිය වාර 15 ක් පමණ අද (02) උදෑසන ක්‍රියාත්මක කළ බවයි.

ඉදිරියේදීත් අවශ්‍යතාවය අනුව මගීන්ට දුම්රිය ගමන් වාර ප්‍රමාණය වැඩි කිරීමට පියවර ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උදෑසන කාලයේ ක්‍රියාත්මක කළ ආකාරයටම සවස් කාලයේදීත් එම දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.

එමෙන්ම, ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ ධාවනය ද අද (02) සිට ක්‍රියාත්මක කෙරුණ ද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ අද (02) දින බස් රථ ධාවනය සිදුවයේ සියයට 50 ක් පමණ බවයි.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවමින් සඳහන් කළේ රාජ්‍ය සේවයේ සියළුම දෙනා සේවයට කැදවා ඇති මොහොතක දුම්රිය සහ බස් රථවල තදබදයක් පැවති බවයි.

+++++++++++++++++

(02.08.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (01) වාර්තා වූ ආසාදිතයන් 2,510 දෙනාගෙන් ආසාදිතයන් 300 ඉක්මවා ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් 398 දෙනෙකුත්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 384 දෙනෙකුත් ඊයේ (01) වාර්තාවී ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

එමෙන්ම 100 ඉක්මවූ ආසාදිතයන් සංඛ්‍යාවක් කොළඹ, මහනුවර, ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, මාතලේ යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා.

පෙරේදා (31) සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (01) තහවුරු කරන ලද මරණ 67 ත් සමඟ මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4,508 ක් ලෙසයි.

මෙරට තුළ වෙනත් රෝගවලින් මියයන ප්‍රමාණයට වැඩි සංඛ්‍යාවක් කොරෝනා වෛරසයෙන් මියයන තත්වයක් පවතින බවයි ඇමරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ පර්යේෂණ විද්‍යාඥ, රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය අංශයේ මහාචාර්ය වෛද්‍ය සුනෙත් අගම්පොඩි මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර දිවයින පුරා විවාහ මංගල උත්සව ආශ්‍රිතව මේ වනවිට කොරෝනා පොකුරු වර්ධනය වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අතර අද (02) දිනයේ තවත් ජාන විශ්ලේෂණ පරීක්ෂණයක් ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ සාම්පල 96 ක් යොදාගනිමින් මෙම පර්යේෂණය සිදුකරන බවයි. දිවයිනම ආවරණය වන පරිදි එම සාම්පල ලබාගෙන ඇති බව ඔහු කියා සිටියා.

ඩෙල්ටා ප්‍රභේදය රට තුළ ව්‍යාප්තවීමත් සමඟ පවතින අවදානම සහ රෝගීන් සංඛ්‍යාව අවම කරගැනීම සඳහා ජනතාවට සමාජමය වගකීමක් ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ.

මේ අතර පිළියන්දල තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපති ඇතුලු 18 දෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගනු ලැබුවා.

එමෙන්ම ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන ෂේන් වෝන්ට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහු ස්වයං නිරෝධායනයට යොමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එංගලන්තයේ මේ වනවිට පැවැත්වෙන පන්දු සියයයේ ක්‍රිකට් තරගාවලියේ ලන්ඩන් ස්පිරිට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් ෂේන් වෝන් කටයුතු කරනවා.

++++++++++++++++++

(02.08.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දන එන්නත් එක් (1) මාත්‍රාවක් හෝ ලබාගත් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව අද වන විට කෝටිය ඉක්මවා තිබෙනවා.

එම සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 10,076,981 ක් ලෙසයි.

එමෙන්ම මෙරට වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 87 කට මේ වනවිට එන්නත්කරණය සිදුකර අවසන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

මේ අතර, එන්නත්කරණ වැඩසටහන අදත් (02) දිස්ත්‍රික්ක 19 ක මධ්‍යස්ථාන 270 කදී ක්‍රියාත්මකයි.

ඒ අනුව, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම මධ්‍යස්ථාන 109 කදී සිදුකෙරෙනවා.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක තවත් එන්නත්කරණ මධ්‍යස්ථානයක් දියත උයන පරිශ්‍රයේදීත් අද (02) සිට ලබන බදාදා (04) දක්වා ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

මීට අමතරව පැය 24 පුරාම ක්‍රියාත්මක තවත් එන්නත්කරණ මධ්‍යස්ථානයක් කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී මේ වන විටත් ක්‍රියාත්මක වනවා.

මේ අතර, ඊයේ (01) දිනයේ පුද්ගලයින් 69,266 දෙනෙකු සදහා ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාගෙන තිබෙනවා.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි එන්නත් මධ්‍යස්ථානයේ අද (02) දිනයේ මේ දක්වා ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 3000 කට ලබාදීමටයි කොළඹ මහනගර සභාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර ඇත්තේ.

එහිදී ආබාධිත පුද්ගලයින් සදහා එන්නත්කරණය ඔවුන් පැමිණි මෝටර් රථ තුළදීම සිදුකිරීම විශේෂත්වයක්.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම මේ සතිය පුරාම ක්‍රියාත්මක අතර මෙම එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් ස්ථානයෙන්ම දෙවන (2) මාත්‍රාව ලබා ගැනීම අත්‍යවශ්‍ය නොවන බවයි රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ ෴

කොවිඩ් ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 1958 ක් සුවය ලබා අද (02) දිනයේ රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 280,868 ක් දක්වා ඉහළ ගියා ෴

@@@@@@@@@@@@@@@

(02.08.2021 – 10:14 +0530 – hirunews.lk/sinhala)

මහනුවර නගරයේ වාහන තදබදයට මෙන්ම පරිසර දූෂණය අවම කිරීම සඳහා යෝජිත කේබල් කාර් ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනයට අවසර හිමිවී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය ප්‍රංශ ආධාර යටතේ සිදුකිරීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් මෙරට ප්‍රංශ තානාපති එරික් ලවෙර්ටූ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ මහතා අතර පෙරේදා හමුවක්ද පැවති බවයි ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව, මෙම කේබල් කාර් ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සඳහා පමණක් රුපියල් මිලියන 30 ක පමණ ආධාර මුදලක් ලබා දීමට ප්‍රංශ රජය එකඟතාව පල කර ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා ප්‍රකාශ කළා ෴

******************************************

(02.08.2021 – 10:32 +0530 – hirunews.lk/sinhala)

නඩත්තු කටයුත්තක් සඳහා මාවුස්සා කැලේ ජලාශයේ වාන් දොරටු ලබන 14 දක්වා වරින් වර විවෘත කරන බැවින්, කෙසල්ගමු ඔයේ හා කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකියි ෴

******************************************

(02.08.2021 – 12:03 +0530 – hirunews.lk/sinhala)

යාපනය නගරයේ පිහිටි හෝටලයකින් පාරිභෝගිකයෙකුට ආහාර පිණිස ලබාදුන් බිත්තර පැටිස් එකක් තුළ තිබී රුපියල් විස්සක මුදල් නෝට්ටුවක් හමුව තිබෙනවා.

මෙය හමුවීමත් සමඟ පාරිභෝගිකයා සහ හෝටලේ හිමිකරු අතර බහින්බස්වීමක් ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගිකයා සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමට කටයුතු කර නොමැති බව සඳහන්.

******************************************

(02.08.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (02) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවේදී මතභේදයට තුඩුදී ඇති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශව කිහිපයක් මේ වනවිටත් විරෝධය පළ කර තිබෙනවා.

මේ අතර මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක්ද හෙට (03) පාර්ලිමේන්තුවේදී සංවිධාන කර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන දෙවන (2) දින විවාදය ලබන සිකුරාදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත අතර, එදිනට අදාළ පනත් කෙටුම්පත සම්මත කරගැනීමටයි රජය තීරණය කර ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *