සිව්වන (4) දිනටත් කොරෝනා ආසාදිතයන් 2000 ඉක්මවයි – දියත උයනේදීත් අද (02) සිට පැය 24 පුරා එන්නත්කරණය

සිව්වන (4) දිනටත් කොරෝනා ආසාදිතයන් 2000 ඉක්මවයි – දියත උයනේදීත් අද (02) සිට පැය 24 පුරා එන්නත්කරණය

*********************************************

සිව්වන (4) දිනටත් කොරෝනා ආසාදිතයන් 2000 ඉක්මවයි – දියත උයනේදීත් අද (02) සිට පැය 24 පුරා එන්නත්කරණය

(02.08.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

අඛණ්ඩව 04 වන දිනයටත් මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (01) 2000 සීමාව ඉක්මවා ගියා.

ඊයේ (01) නව ආසාදිතයන් 2,510 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 311,349 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 2,490 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි විසි දෙනෙකු (20) ද ආසාදිතයන් ලෙස හඳුනාගැනුනා.

ඒ අනුව ආසාදිතයන් 27,998 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 2,78,910 ක්.

පෙරේදා (31) සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (01) තහවුරු කරන ලද මරණ 67 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 4,508 දක්වා ඉහළ ගියා.

මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත දරුවන් වෙනුවෙන් රාජගිරිය ප්‍රදේශයේ වෙනම ගොඩනැගිල්ලක් වෙන් කර ගෙන ඔවුන්ට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය පී. විජේසූරිය මහතා සඳහන් කළා.

එමෙන්ම ශ්‍රී ලංකාව මිලදීගත් තවත් ෆයිසර් එන්නත් 104,000 ක ප්‍රමාණයක් අද (02) අලුයම 02:15 ට කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන විත් තිබෙනවා.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම ආරම්භ කළ ඊයේ (01) දිනයේ පමණක් 69,266 දෙනෙකුට එන්නත්කරණය සිදුකර ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළා.

ඇය තවදුරටත් කියා සිටියේ සයිනොෆාම් එන්නතේ (1) පළමු මාත්‍රාව ඊයේ (01) දිනයේදී 114,997 දෙනෙකුටත්, එහි දෙවන (2) මාත්‍රාව 31,223 දෙනෙකුටත්, මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව 432 කුටත් ලබාදී ඇති බවයි.

එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම මේ සතිය තුළම ක්‍රියාත්මක අතර, මෙම එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් ස්ථානයෙන්ම දෙවන (2) මාත්‍රාව ලබාගැනීමට යාම අවශ්‍ය නොවන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට තමන්ට ආසන්නතම ස්ථානයෙන් දෙවන (2) මාත්‍රාව ලබාගැනීමට හැකියාව පවතින බවයි ඔහු කියා සිටියේ.

මේ අතර කොරෝනා ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අදාළව එන්නත්කරණ කටයුතු අද (02) දිනයේදීත් ක්‍රියාත්මකයි.

ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ 02 වන මාත්‍රාව ලබා දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක තවත් මධ්‍යස්ථානයක් අද (02) සිට බත්තරමුල්ල – දියත උයන පරිශ්‍රයේද ක්‍රියාත්මක වනවා.

ඇස්ට්‍රාසෙනෙකා 2 වන මාත්‍රාව ලබා දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථානයක් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදීද ඊයේ (01) සිට ආරම්භ කෙරුණා ෴

+++++++++++++++++++

මංජුල විජේසූරිය සමුගනියි.

ඊයේ (31) රාත්‍රියේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් වතුපිටිවල රෝහලට ඇතුළත් කල අපගේ සහෘදයා මංජුල විජේසූරිය Rapid Antigen පරීක්ෂාව positive වීම නිසා සාමාන්‍ය ICU එකකට ඇතුලත් කල නොහැකි විය. අද (01) උදෑසන සිට රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වල covid ICU එකක් සොයා ගැනීමට කොතෙක් උත්සාහ දැරුවත් එම සියලුම උත්සාහයන් අසාර්ථක විය.

අවසානයේ ඔහු අපෙන් සමුගෙන ගොසිනි. ආදරණීය මානවහිතවාදී සහෘදය, ඔබට නිවන් සුව පතමු !

සියලු දෙනා හැකිතාක් ප්‍රවේශම් වන්න.

තිස්ස ජනනායක FB (01.08.2021)

++++++++++++++++++

දුම්රිය හා බස්වල පැමිණිය හැක්කේ රාජකාරී කටයුතු සඳහා පමණයි

(01.08.2021 – 19:14 +0530 – sinhala.adaderana.lk)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැනවූ අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බැවින් රාජකාරි කටයුතු සඳහා පමණක් අන්තර් පළාත් බස්රථ හා දුම්රිය සේවා භාවිත කරන්නැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ, සභාපති, කිංස්ලි රණවක මහතා පවසා සිටියේ, “සේවය සඳහා පැමිණෙන අයට කිසිදු ගැටලුවක් නොමැතිව අපි බස්රථ ලබාදෙනවා.” යනුවෙනි.

එසේ නොමැති අයව පළාත් හුවමාරු ස්ථානයන්හීදි පොලිසිය විසින් නවත්වා ගනු ඇතැයි ද ඒ මහතා පැවසීය.

හෙට (02) සිට සාමාන්‍ය පරිදි සියලුම රාජ්‍ය සේවකයින් යළි සේවයට කැඳවීමට රජය තීරණය කර ඇති අතර නිවසේ සිට රාජකාරි කිරීම හා සීමිත කාර්ය මණ්ඩල ක්‍රමයට අදාළ සියලු චක්‍රලේඛ අදින් අවලංගු කෙරේ. මීට සමගාමීව අන්තර් පළාත් බස්රථ සේවා අද (01) සිට ආරම්භවිය.

ඒ අනුව අන්තර් පළාත් මගී ප්‍රවාහනය වෙනුවෙන් දුම්රිය 15 ක් හෙට (02) උදෑසන සිට ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

= සඳුදා සිට ධාවනය වන දුම්රිය =

මහනුවර සිට දුම්රිය – 02
පොල්ගහවෙල සිට දුම්රිය – 02
මහව සිට දුම්රිය – 01
හලාවත සිට දුම්රිය – 01
බෙලිඅත්ත සිට දුම්රිය -01
ගාල්ල සිට දුම්රිය – 01

++++++++++++++++++

(02.08.2021 – 07:47 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව අද (02) සිට සියලු රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවා තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම්වරයා විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා වෙත කළ දැනුම්දීමට අනුවයි.

කොරෝනා පාලනය පහසු කිරිම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවමින් සහ නිවසේ සිට රාජකාරි කිරීමට අදාළව නිකුත් කර ඇති සියලු චක්‍රලේඛ අවලංගු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා මීට පෙර දැනුම් දී තිබුණා.

ඒ අනුව, සියලු පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද අද (02) සිට සේවයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා දැනුම් දී තිබෙනවා.

මීට අමතරව, සියලුම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, කලාප හා කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලවල නිලධාරින් මෙන්ම කාර්ය මණ්ඩලය ද සේවයට වාර්තා කළ යුතු බවටයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇත්තේ.

කෙසේවෙතත් ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වන තත්ත්වයක් යටතේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල පාසල් වෙත පැමිණීමෙන් වැළකී සිටින බව වර්ජනයේ නිරත ගුරු සංගම්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා.

ගැබිණි මව්වරුන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳව සලකා බැලීමක් සිදුකරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සඳහන් කළා.

මේ අතර සියලු රාජ්‍ය සේවකයින් අද (02) සිට සේවයට කැඳවීමත් සමඟ පළාත් අතර සංචරණයේදී බාධාවකින් තොරව ඔවුන්ට රාජකාරි ස්ථාන වෙත වාර්තා කිරීමට කටයුතු සළසා දෙන ලෙස සියලු පොලිස් ස්ථාන වෙත ඊයේ (01) දිනයේ නියෝගයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

කෙසේ වෙතත් යම් අවස්ථාවකදී අදාළ රාජකාරි ස්ථානයේ සේවය කරන බවට සනාථ කිරීමට අවශ්‍ය හැඳුනුම්පත් හෝ ලියකියවිලි ඉදිරිපත් කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියහොත් ඒ සඳහා කාරුණිකව කටයුතු කරන්නැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියා ෴

++++++++++++++++++

(02.08.2021 – 08:04 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරියට කැඳවීමට සමගාමීව අන්තර් පළාත් දුර ගමන් සේවා දුම්රිය 30 ක් අද (02) සිට යළි ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා කියා සිටියේ දුම්රිය මගීන් ප්‍රමාණය අනුව මේ සතියේදී ධාවනය කෙරෙන දුම්රිය සංඛ්‍යාව තවදුරටත් ඉහල නැංවීමට සැලසුම් කර ඇති බවයි.

අන්තර් පළාත් ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් රථද ඊයේ (01) සිට ධාවනයට එක් කර තිබුණා ෴

++++++++++++++++++++

(02.08.2021 – 09:12 +0530 – hirunews.lk/sinhala)

රාජකාරි සඳහා පැමිණෙන රාජ්‍ය සේවකයින්ට අවශ්‍ය ප්‍රවාහන සේවා දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මෙන්ම පිට පළාත්වල සිට රාජ්‍ය සේවකයින්ට රාජකාරි ස්ථාන වෙත ගමන් කිරීමට අවශ්‍ය ශ්‍රී ලංගම බස් රථ වැඩි ප්‍රමාණයක් යොදවා ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර ගැබිණි මව්වරුන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳව සලකා බැලීමක් සිදුකරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළා.

රාජ්‍ය සේවකයින් අද (02) සිට සේවයට කැඳවීමත් සමඟ පළාත් අතර සංචරණයේදී බාධාවකින් තොරව ඔවුන්ට රාජකාරි ස්ථාන වෙත වාර්තා කිරීමට කටයුතු සළසා දෙන ලෙස සියලු පොලිස් ස්ථාන වෙත ඊයේ (01) දිනයේ නියෝගයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.

කෙසේ වෙතත් යම් අවස්ථාවකදී අදාළ රාජකාරි ස්ථානයේ සේවය කරන බවට සනාථ කිරීමට අවශ්‍ය හැඳුනුම්පත් හෝ ලියකියවිලි ඉදිරිපත් කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියහොත් ඒ සඳහා කාරුණිකව කටයුතු කරන්නැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියා ෴

@@@@@@@@@@@@@@@

කෝවිලක් තුළ දී දැරියක් අපයෝජනය කළ පූසාරි සොයා පොලිස් මෙහෙයුම්

(01.08.2021 – 17:40 +0530 – sinhala.adaderana.lk)

සෙත් ශාන්තියක් සිදුකර ගැනීමට කුලියාපිටිය බෝහිංගමුව ප්‍රදේශයේ කෝවිලකට ගිය දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ බව පැවසෙන පූසාරිවරයෙක් සොයා කුලියාපිටිය පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

15 හැවිරිදි බෝහිංගමුව ප්‍රදේශයේ පදිංචි අදාළ දැරිය ප්‍රේම සබඳතාවකින් ගලවාගැනීමට ඇගේ මව විසින් පසුලිය 26 වනදා කෝවිල වෙත කැටුව ගොස් ඇති බව වාර්තා වේ.

එහිදී පූජකවරයා විසින් දැරිය ලිංගික අපයෝජනයට ලක්කර තිබේ.

සැකකාර පූසාරිවරයා මේ වන විට ප්‍රදේශය අතහැර පළාගොස් ඇති අතර කෝවිල ද වසාදමා ඇති අයුරු එහි ගිය අප වාර්තාකරුවන් ට දැකගත හැකි විය.

සැකකාර පූසාරිවරයා පිළිබඳ පොලීසිය හෙට (02) දිනයේදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමතය.

******************************************

රට ව්‍යාකූල නොකරන්න… – විශේෂඥ වෛද්‍යවරුන් රජයට දැනුම් දේ …

(02.08.2021 – 08:40 +0530 – lankacnews.com)

මාධ්‍ය නිවේදනයයි

යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනත

දැනට ඉතාමත් දැඩි ලෙස සමාජ කතිකාවකට ලක්ව ඇති, යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පණත පිළිබඳව, ලංකාවේ උසස් අධ්‍යාපනය සහ විශේෂයෙන් ගුණාත්මක වෛද්‍ය වෘත්තිකයන් බිහි කිරීම පිළිබඳව ඉතා උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වශයෙන් අපි අපගේ අදහස් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය යනු ආධුනික හමුදා නිලධාරීන් වෙනුවෙන්, ඔවුන්ගේ උසස් අධ්‍යාපනය සඳහා ම පමණක් විශේෂයෙන් වෙන් කළ විශ්ව විද්‍යාලයක් ලෙස දැනට හැදින්විය නොහැකිය. මුදල් ගෙවා විවිධ උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ආධුනික හමුදා නිලධාරීන් නොවන අයට එයට ඇතුළත් වීමට ඇති හැකියාව මෙම යෝජිත පනත මගින් සනාථ කරන අතර මෙම ‘අන්‍ය උපාධි අපේක්ෂකයන්’ බඳවා ගැනීමේදී අනුගමනය කරන ක්‍රමවේදය යෝජිත නව පනත මගින් වූවද පැහැදිලි ලෙස විස්තර කර නැත.

තවද කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පීඨය සඳහා මුල්‍ය ප්‍රතිපාදන රජය විසින් දරනු ලබන අතර (උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නොවන නමුත්) එය සිදුවන්නේ ප්‍රධාන වශයෙන් රජයට ලැබෙන බදු මුදල් මගින් බැවින්, එම විශ්ව විද්‍යාලය සදහා ඇතුළත් වීමට තිබිය යුතු සුදුසුකම් මෙන්ම එහි ඇති පාඨමාලා ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් හා එම පාඨමාලා වල ගුණාත්මක බව නිර්ණය සදහා ඇති එයට අනුබද්ධ අනිකුත් ආයතන වලින් (ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වැනි) පවත්වාගෙන යන ගුණාත්මක බව පාලනය කිරීමේ ක්‍රියාදාමයට සම විය යුතු බව අපි දැඩි සේ විශ්වාස කරමු.

මෙම ‍යෝජිත නව පනත යටතේ කොතලාවල ආරක්ෂක පීඨය ට ලැබෙන නීතිමය බලය මත එහි පාලන අධිකාරියට අවශ්‍ය ආකාරයෙන් විශ්වවිද්‍යාල මට්ටමේ නොමැති ආයතන වුවද විශ්වවිද්‍යාල මට්ටමට පිළිගැනීමට හැකියාවක් ලැබීම රජයේ විශ්ව විද්‍යාල වලට සමාන්තර පෞද්ගලික විශ්ව විද්‍යාල පද්ධතියක් ඇති කිරීම වැනි දෙයකි.

තවද, මෙම යෝජිත පනත යටතේ ‘වෙනත් ආකාරයේ විශේෂ සිසුන්’ එම විශ්වවිද්‍යාල පද්ධතියට බඳවා ගැනීමට හැකි අතර ඔවුන්ට හමුදා සේවයට නොබැඳී නැවත සිවිල් සමාජයට යාමට හැකියාව ඇත. මේ තත්ත්වය මත අපගේ මතය වන්නේ මෙහි පාලන බලය සහ එහි ආචාර්යවරුන් වැඩි වශයෙන් සිවිල් සමාජයේ අය විය යුතු අතර එය යෝජිත පරිදි වැඩි වශයෙන් හමුදා නිලධාරීන්ගේ පාලනයට නතුවුවහොත් ආයතනයේ සියලුම කටයුතු හමුදාමය හා දේශපාලන බලපෑම් මත සිදුවීමේ හැකියාව ඉතා වැඩි බවයි.

පෞද්ගලික ආයතන මගින් පවත්වාගෙන යන නොයෙකුත් අධ්‍යාපන පාඨමාලා උපාධි පාඨමාලා වශයෙන් පිලිගැනීමේ බලය කොතලාවල විද්‍යා පීඨයට ලබා දුනහොත් හා එම උපාධි කොතලාවල පීඨයේ උපාධි වශයෙන් පිළිගැනීමට ලක් වුවහොත්, එමගින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පරිබාහිරව උපාධි ප්‍රදානය කිරීමට හැකියාවක් ඇති ආයතනයක් බිහිවෙනු ඇත. මෙමගින් විශ්ව විද්‍යාල පනත හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ප්‍රතිපාදන කොමිසමේ අවශ්‍යතාව හා එහි බලතල සම්පූර්ණයෙන්ම බිඳවැටී යනු ඇත.

එමෙන්ම හමුදාවේ ක්‍රියාකාරකම් සඳහා ඇති උපාධි පාඨමාලා ඇගයීම හා එහි පාලනය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලබාදුනහොත් එයින් හමුදා පාඨමාලාවල ඇති රහස්‍යභාවය මෙන්ම ඒවායේ ඇති ගුණාත්මක බවට හානියක් විය හැකි බව අපගේ හැඟීමයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා එවැනි වෘත්තිමය පාලක සභාවන් විසින් දැනට පවත්වාගෙන යනු ලබන වෘත්තීමය තත්වයේ උසස් බව රැක ගැනීම මෙවැනි ක්‍රියාවන් නිසා විශාල වශයෙන් බලපෑම් වලට යටත් වීමේ හැකියාව නිසා ගුණාත්මකභාවයෙන් අඩු වෘත්තිකයන් බිහිවීම තවදුරටත් වැඩි විය හැකි බව අපගේ හැඟීමයි. මෙහිදී අප සඳහන් කළ යුත්තේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ අවම සුදුසුකම් නීතිගත කිරීම බොහෝ කාලයක් තිස්සේ සිදු කළ අරගලයකින් පසු මේ රජය යටතේ ඉතා අපහසුවෙන් ලබාගත් ජයග්‍රහණයකි. එමගින් වෛද්‍ය වෘත්තිකයන්ගේ ගුණාත්මක භාවය පාලනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලැබුණු අතර යම් හෙයකින් මෙම හැකියාව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ගිලිහී ගියහොත් එය ඉදිරියේදී ගුණාත්මක වෛද්‍යවරුන් බිහි කිරීමට අභියෝගයක් වනු ඇත.

ප්‍රතිපත්තියක් වශයෙන් ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, වෛද්‍ය වෘත්තියට ඇතුළත් වීමට මූලික සුදුසුකම් ඇති අය සඳහා මුදල් ගෙවා ගුණාත්මක වෛද්‍යවරුන් වීමේ ඇති අයිතියට කිසිසේත් විරුද්ධ නොවන අතර අපගේ අවධානය යොමු වී ඇත්තේ අවශ්‍ය මූලික සුදුසුකම් නොමැතිව මුදලට පමණක් මෙම අධ්‍යාපනය ලබාගත හැකි ආයතන බිහිවීමේ අවදානම පිලිබඳවයි.

ඉහත සඳහන් සියලුම කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු අප විසින් රජයට යෝජනා කරන්නේ, මෙයට සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන් හා සාකච්ඡා කර තීරණයකට එළඹෙන තුරු මෙම පනත සම්මත කිරීම තාවකාලිකව කල් දමන ලෙසයි.

තවද මේ අවස්ථාවේදී අප ජනාධිපතිතුමා ඇතුළු රජයෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හා සයිටම් වෛද්‍ය විද්‍යාලය නිසා, පොදුවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයද විශේෂයෙන්ම වෛද්‍ය අධ්‍යාපනයද පසුගිය සමයේ දී පත් වූ ව්‍යාකූල තත්වයට නැවතත් පත් නොවන ලෙසට කටයුතු කරන ලෙසයි.

මෙහිදී අප සියල්ලන්ගේම වගකීම වන්නේ ඉතා ගුණාත්මක විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් රට තුල ඇති කිරීමට අවශ්‍ය අඩිතාලම දැමිම හා එය දිගටම පවත්වාගෙන යෑමට අවශ්‍ය පහසුකම් සැපයීම බව අපි යලිත් අවධාරණය කරනු කැමැත්තෙමු.

ස්තුතියි.

විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු
විශේෂඥ වෛද්‍ය R. ඥාණසේකරම්

******************************************

මුහුණු පොතින් ආ හෙර

(02.08.2021 – 07:10 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ තුනක් (3) පමණ වටිනා රන් මාලයක් සොරකම් කළ තරුණියක් සීදූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

සීදූව, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක් මීට මාස කිහිපයකට ඉහත සැකකාර තරුණිය මුහුණු පොත ඔස්සේ හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඇයට සිය නිවසට පැමිණෙන ලෙස 23 හැවිරිදි තරුණිය ආරාධනා කර ඇති අතර එම ආරාධනයට අනුව පසුගිය ජනවාරි මාසයේදී සැකකාර තරුණිය අදාල නිවසට ගොස් තිබෙනවා.

එහිදී නිවසේ තිබූ රන් අත් පළඳනාවක් සොරාගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන් අනතුරුව යළි පෙරේදා (31) දිනයේ සැකකාරිය සිය මිතුරියගේ නිවසට ගොස් ඇති අතර එම අවස්ථාවේදී ඇය විසින් රුපියල් ලක්ෂ තුනක් (3) පමණ වටිනා රන් මාලය සොරාගෙන ගොස් ඇති බවට හෙළිව තිබෙනවා.

අනතුරුව නිවැසියන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් 24 හැවිරිදි සැකකාර තරුණිය අද (02) දිනයේදී මීගමුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා ෴

******************************************

(02.08.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් ලබන 19 වනදා පෙරවරු 09:30 ට පැවැත්වීමට නියමිතයි.

ඉදිරි මැතිවරණ සහ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ ඇතුළු කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබඳව මෙහිදී දේශපාලන පක්ෂ ලේකම්වරුන් දැනුවත් කිරිමට ද මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කරනවා ෴

******************************************

(02.08.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුවට අද (02) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම මගින්ද සාධනීය විසඳුමක් නොලැබුනහොත් ලබන බදාදා (04) කොළඹ දී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝෂෆ් ස්ටාලින් කියා සිටියේ එම විරෝධතාවයට දිවයින පුරා සිටින ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සහභාගී වීමට නියමිත බවයි.

එමෙන්ම, සිය ගැටලු වලට විසඳුමක් ලැබෙන තෙක් ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (02) 22 වන දිනටත් ක්‍රියාත්මක වනවා.

ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් විසින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කර ඇත්තේ වැටුප් විෂමතා ගැටලුවට විසඳුමක් ලබා දීම සහ යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත අහෝසි කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

මේ අදාල වෘත්තීය ක්‍රියාමාර්ගය සහ ඉදිරි වැඩපිළිවල සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂෆ් ස්ටාලින් කියා සිටියේ අද (02) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තම ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවට මීට පෙර පොරොන්දුවක් ලබාදුන් බවයි.

ඒ අනුව අද (02) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව තම ඉදිරි වෘත්තිය ක්‍රියාමාර්ග තීරණය කරන බවයි ඔහු කියා සිටියේ ෴

******************************************

(02.08.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 46,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (04) සිදුකෙරෙනවා.

මහ බැංකුව ප්‍රකාශ කළේ දින 91 කින් කල් පිරෙන මිලියන 14,000 ක බිල්පත් සහ දින 182 කින් කල් පිරෙන මිලියන 18,000 ක මෙන්ම, දින 364 කින් කල් පිරෙන මිලියන 14,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි ෴

******************************************

(02.08.2021 – 10:08 +0530 – hirunews.lk/sinhala)

ඩෙවෝන් දිය ඇල්ලේ පහළ ප්‍රදේශයේ ජලයේ පාවෙමින් තිබියදී කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (01) සවස සොයාගත් බව දිඹුල – පතන පොලීසිය පවසනවා.

මෙම මළ සිරුර මීට දින හයකට (6) පමණ පෙර ඩෙවෝන් දිය ඇල්ලෙන් පහලට වැටී අතුරුදහන්ව සිටි පතන කඩවීදීයේ පදිංචි මලර්විලී නමැති වයස අවුරුදු (55)ක කාන්තාවකගේ බවට ඇගේ ඥාතීන් විසින් හදුනාගෙන තිබෙනවා.

මළසිරුර බෙහෙවින් නරක් වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

පසුගිය 18 වන දින තරුණියක්ද මෙසේ ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට වැටී අතුරුදහන් වූ අතර එම තරුණිය පිළිබදව තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බව පොලිසිය පවසනවා.

දිඹුල-පතන පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.

******************************************

02-08-2021
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *