ගුරුවරුන්ගේ තීරණය හෙට (02)

ගුරුවරුන්ගේ තීරණය හෙට (02)

*********************************************

ගුරුවරුන්ගේ තීරණය හෙට (02)

(01.08.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala)

තමන් ක්‍රියාත්මක කර ඇති ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන්නේද නැද්ද යන්න හෙට (02) දිනයේ රැස්වන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ලබා දෙන ප්‍රතිචාරය මත තීරණය වන බව වර්ජනයේ නිරත ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති පවසනවා.

ඔවුන් ප්‍රකාශ කලේ සිය ගැටලු වලට විසඳුමක් ලැබෙන තෙක් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය, අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (01) 21 වන දිනටත් ක්‍රියාත්මක කෙරුණා.

වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දක්වමින් අදත් (01) නුවරඑළිය ඇතුලු ප්‍රදේශ කිහිපයක ගුරු විරෝධතා පැවති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මේ අතර යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත අහෝසි කරන ලෙස ඉල්ලමින් ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටින විශ්ව විද්‍යාල ආචාර්ය සහ මහාචාර්ය සංගම් වල නියෝජිතයින් අද (01) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී සාකච්ඡාවක නිරත වුණා.

මේ අතර, යෝජිත කොතලාවල ආරක්ෂක විද්‍යාල පනත් කෙටුම්පත නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියට පටහැනි බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා නායකත්වය දරණ ‘ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණ’ ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ මුදල් ගෙවීමේ පදනම මත උසස් අධ්‍යාපනය ලබාදීම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල ඇති කිරීම නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියට පටහැනි බවයි.

සියලු රාජ්‍ය සේවකයන් හෙට (02) සිට සේවයට කැඳවීමේ චක්‍රලේඛය අනුව, පාසල්වල අධ්‍යන-අනධ්‍යයන කාර්ය මණ්ඩල, පළාත් දෙපාර්තමේන්තු, කොට්ඨාස සහ කලාප කාර්යාලවල නිලධාරීන් ද කටයුතු කළ යුතු බව අධ්‍යාපන ලේකම් දන්වයි ෴

++++++++++++

(01.08.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

හෙට (02) දින සේවයට කැඳවා ඇති නමුත් ගුරු විදුහල්පති වර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

******************************************

බදියුදීන්ගේ මස්සිනාට තවත් අතවර චෝදනාවක්

(01.08.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා විසින් තමන්ට අතවර කළ බවට එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 29 හැවිරිදි තරුණියක විසින් පොලීසියට ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ පරීක්ෂණ සිදුකරන විශේෂ පොලිස් කණ්ඩායම අද (01) පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ කොළඹ පිහිටි නිවස වෙත ගොස් ඇය විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳ විමර්ශන සිදුකළ බවයි.

මේ අතර, හිෂාලිනී ජූඩ් දැරිය පිලිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (01) දිනයේදීත් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණා.

අධිකරණ නියෝග මත දැරියගේ ගොඩගත් දේහය පිළිබඳ දෙවන (2) පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (31) පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදුකෙරුණා. සිරුරේ විවිධ කොටස් වලින් ලබා ගත් සාම්පල රසායනාගාර පරීක්ෂණයක් සඳහා යොමු කිරීමටයි එහිදී තීරණය කෙරුණේ.

මේ අතර, හිෂාලිනි දැරියට සාධාරණය ඉටු කරදෙන ලෙස ඉල්ලා රත්තොට – රිවස්ටන් මාර්ගයේ මැදවත්ත ප්‍රදේශයේදී වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවක නිරත වුණා.

මීට අමතරව, හිෂාලිනී දැරියට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා පන්විල – කැලෑබොක්ක වතුයායේදී ද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.

මීට අමතරව, පූඩළුඔය නගරයේ සහ වටවල යන ප්‍රදේශවල ද තවත් විරෝධතාවයක් සංවිධානය කර තිබුණේ හිෂාලිනි දැරියට සාධාරණය ඉටු කර දෙන ලෙස බලකරමින්.

+++++++++++++

+++++++++++++

රිෂාඩ්ගේ වල් මස්සිනා තවත් තරුණියකට අතවර කරලා – කැලණියේ තරුණියකගෙන් පාපොච්චාරණයක්

(02.08.2021 – divaina.com)

= රිෂාඩ්ගේ මස්සිනා තවත් තරුණියකට අතවර කරලා – කැලණියේ තරුණියකගෙන් පාපොච්චාරණයක් =

හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේදී ඔහුගේ මස්සිනා විසින් තමන්ට ලිංගික අතවර කළ බවට 29 හැවිරිදි තවත් තරුණියක පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත.

කැලණිය ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම තරුණිය වසර 5 ක පමණ කාලයක් තිස්සේ හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදෙමින් සිට ඇති අතර එහිදී ඇය මෙම අතවරයන්ට ලක්වී තිබේ.

කැලණියේ පදිංචි 29 හැවිරිදි තරුණිය මෙම හෙළිදරව්ව කර ඇත්තේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වරුණි බෝගහවත්ත මහත්මිය හමුවේදීය.

මෙම තරුණියට සිදුවූ අතවර සම්බන්ධයෙන්ද පොලිසිය පුළුල් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇත.

අතවරයට පත් තරුණිය පොලිසිය හමුවේ ප‍්‍රකාශ කර ඇත්තේ රිෂාඩ් බදුර්දීන්ගේ මස්සිනා තමාගේ සිරුර බලහත්කාරයෙන් ස්පර්ශ කළ බවත් තමන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ තමා බදාගෙන සිපවැළඳ ගැනීම් කළ බවත්ය.

රිෂාඞ් බදුර්දීන්ගේ මස්සිනා විසින් මෙම තරුණියට සිදුකළ තවත් බොහෝ ලිංගික හිංසයනයන් පිළිබඳව ඇය පොලිසිය හමුවේ හෙළිදරව් කර ඇත.

රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තරුණියන් 11 දෙනකු අතරින් නව (9) දෙනෙකුගේ පොලිසිය ප‍්‍රකාශ ලබාගෙන තිබේ.

හේමන්ත රන්දුණු

******************************************

(01.08.2021 – 20:54 +0530 – hirunews.lk/sinhala)

බඩල්කුඹුර පරෙවියන් ඇල්ල අසල දිය වලක නෑමට ගිය දෙදෙනෙකු (2) දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවතක්ෂයට පත්ව ඇත්තේ වයස (30)ක පුද්ගලයෙක් හා ඔහුගේ සහෝදරිය බවයි පොලිසිය පැවසුවේ ෴

******************************************

විදුලොව ජයගත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවරිය

(01.08.2021 – 19:36 +0530 – sinhala.adaderana.lk)

ලොව සුපතළ ගුවන්යානා එන්ජින් නිෂ්පාදන සමාගමක් වන ‘රෝල්ස් රොයිස්’ සමාගමේ සේවය කරන ශ්‍රී ලාංකික ඉංජිනේරු නිපුනි කරුණාරත්න අද (01) උදෑසන ‘අද දෙරණ BIG FOCUS’ සංවාදයට එක්විය.

එය ඇය සහභාගී වූ පළමු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවයි.

එහිදී ඇය පැවසුවේ මෙරට තරුණ තරුණියන්ට ගෝලීය වශයෙන් ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සැළසීමේ සමාගමක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම සිය ප්‍රධාන අරමුණ බවය.

නිපුනි කරුණාරත්න අභ්‍යාවකාශ ඉංජිනේරුවරියක් ලෙස අද ලෝකය හමුවේ ශ්‍රී ලාංකේය නම ඔසවා තබා අවසන්.

ඇය මේවන විට සේවය කරනු ලබන්නේ ලොව අංක එකේ ගුවන්යානා එන්ජින් නිෂ්පාදන සමාගමක් වන එංගලන්තයේ පිහිටි ‘රෝල්ස් රොයිස්’ සමාගමේ ‘ඩිජිටල් ටෙක්නොලජි මොඩ්ල් ෆැක්ට්රි’ කළමණාකාරිනියක් ලෙසය.

2015 වසරේදී ඉංජිනේරුවරියක් ලෙස ‘රෝල්ස් රොයිස්’ සමාගමට එක්වන ඇය එම සමාගම් ඉතිහාසය තුළ ඩිජිටල් ටෙක්නොලජි මොඩ්ල් ෆැක්ටරි කලමණාකාරිනි තනතුරට පත් ළාබාලතම තැනැත්තියද වනවා.

ඇය තමන් ලද ජයග්‍රාහණය පිළිබදව ‘අද දෙරණ BIG FOCUS’ වැඩසටහනට සහභාගිවෙමින් අද (01) කරුණු පැහැදිලි කළාය.

“මට ආසාව තිබුණේ නාසා හරි රෝල්ස් රෝයිස් හරි යන්න තමයි. නාසා එකට යන්න අමාරුයි. මම US නෙමෙයි නේ ඉගෙන ගත්තේ. රෝස් රෝල්ස් පැත්ත මට හීනයක් වගේ තිබුණේ. සාමාන්‍ය ක්‍රමවේදය යටතේ අයඳුම් කළා. ඒකට ඕන කෙනෙකුට ඉල්ලුම් කරන්න පුළුවන්. ලක්ෂ ගාණක් තිබුණා ඉල්ලුම් පත්‍ර. 180 ක් වගේ තමා උපාධිධාරින්ව බඳවා ගත්තේ.”

රද්දොළුගම ගනේපොල උපත ලබන ඇය මූලික අධ්‍යාපනය ලබන්නේ කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයෙන් වන අතර අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයේ බෲනල් විශ්වවිද්‍යාලයට ඇය ඇතුළත් වනවා.

මේ වනවිට ඇයගේ ප‍්‍රධානත්වයෙන් යුත් ඉංජිනේරු කණ්ඩායමක් කෘතිම බුද්ධිය සහිත ගුවන් යානා එන්ජින් ලෝකයට හඳුන්වාදීම ව්‍යාපෘතියක නිරතවනවා.

ඇමරිකාවේ ඇට්ලන්ටා හි පිහිටි ලොව විශාලතම ගුවන් යානා එන්ජින් අලුත්වැඩියා මධ්‍යස්ථානය ඉදිකොට ඇත්තේ ඇය විසින් ලබාදුන් නායකත්වය සහ තාක්ෂණික උපදෙස් මතය.

“මම නායකත්වය දුන්නේ ඉංජිනේරු අංශයෙන්. එය ලෝකයේ විශාලතම නඩත්තු අංගණය විදියට ‘රෝල්ස් රොයිස්’ සමාගමෙන් ‘සෙටප්’ කරා. මට ඕන වුණේ පොඩි කාලේ ඉදලම ලංකාවට ඇවිල්ලා ලංකාවේ වැඩ කරන්න. ලංකාවට දෙයක් කරන්න. මෙරට තරුණ සිසුන්ට අවස්ථාව දෙන්න ඕන වුණා. ඒකේ ශාඛාවක් තමා හදන්නේ. දැනටම වැඩ පටන්ගෙන තියෙන්නේ.”

@@@@@@@@@@@@@@@

(01.08.2021 – 19:58 +0530 – hirunews.lk/sinhala)

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් හතරෙන් එකකටත් (25%) වැඩි ප්‍රමාණයක් පසුගිය ජූලි මාසයේදී සිදුව තිබෙනවා.

මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව මේ වනවිට 70 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

ඊයේ (31) සිදුවූ කොවිඩ් මරණ 67 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (01) තහවුරු කළා.

ඉන් 36 ක් පුද්ගලයින් වන අතර, කාන්තාවන් 31 ක් වනවා.

වාර්තා වූ මරණ 67 න් 56 ක්ම අවුරුදු 60 ඉක්මවූවන් වීමත් විශේෂත්වයක්.

කොවිඩ් මරණ වාර්තා වීම පිළිබඳ සලකා බැලීමේදී ඊයේ (31) දිනයෙන් අවසන් වූ ජූලි මාසයේදී පමණක් කොවිඩ් මරණ 1388 ක් සිදුව තිබෙනවා.

ඒ අනුව දිනක (1) සාමාන්‍ය මරණ ගණන සටහන් වන්නේ 44 ක් ලෙසයි.

අද (01) දිනය වනවිට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4508 ක් වන අතර ඉන් 1388 ක්ම ජූලි මාසයේදී සිදුව තිබීමත් විශේෂත්වයක්.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් 25% ටත් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ ගතවූ ජූලි මාසයේදීයි.

අද (01) දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1655 ක් මෙරටින් හඳුනාගෙන ඇති අතර ඒ සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 310,494 දක්වා ඉහළ ගියා.

මේ අතර කොවිඩ් ආසාදනය වු දරුවන් සංඛ්‍යාවේ වැඩිවීමක් සිදුව ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා පවසනවා.

මේ අතර ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය පවසනවා.

සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සහ පුද්ගල සංචරණයන් ඇතුළු කරුණු එම තත්ත්වයට හේතු වී ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය පද්ධති අඩපන වීමේ අවදානමක් පවතින බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරනවා.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පයාගල – ගොරකදෙණිය ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම් කර තිබියදී සෞඛ්‍ය අංශ විසින් නවතා දැමූ මල්වර උත්සවයක් හේතුවෙන් පුද්ගලයින් 85 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මෙම උත්සවය පසුගිය 24 වනදා පැවැත්වීමට සූදානම් කර තිබී ඇති අතර ඊට උදව්දීම සඳහා පුද්ගලයින් 35 දෙනෙකු පමණ එම නිවසට පැමිණ ඇති බවයි හෙළි වී ඇත්තේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම මල්වර උත්සවය නවතා දැමීම හේතුවෙන් එහි පිසින ලද ආහාර, නිවෙස් හිමියා විසින් උත්සවයට ආරාධනා කළ පුද්ගලයින්ගේ නිවෙස් වෙත පාර්සල් කර ගොස් දී තිබෙනවා.

මෙම සිද්ධියෙන් ප්‍රදේශයේ පවුල් 40 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා.

මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් බේරුවල පාදාගොඩ ප්‍රදේශයේ සංවිධානකර තිබූ මල්වර උත්සවයක් නවතා දැමීමටද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කළා.

අද (01) දිනයේ දී තවත් කොවිඩ් ආසාදිතයින් 835 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. මෙම ආසාදිතයින් 835 දෙනා සමඟ අද (01) දිනයේ මේ දක්වා හඳුනාගත් මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2490 ක් වනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *