ඊයේ (31) පුද්ගලයින් තුන්ලක්ෂයකට (300,000) වැඩි පිරිසකට කොරෝනා එන්නත්

ඊයේ (31) පුද්ගලයින් තුන්ලක්ෂයකට (300,000) වැඩි පිරිසකට කොරෝනා එන්නත්

*********************************************

ඊයේ (31) පුද්ගලයින් තුන්ලක්ෂයකට (300,000) වැඩි පිරිසකට කොරෝනා එන්නත්

(01.08.2021 – 10:08 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තීකරණ වැඩසටහන අදාළව ඊයේ (31) දිනයේදී පුද්ගලයින් 330,868 දෙනෙකුට කොරෝනා මර්දන එන්නත් ලබාදී තිබෙනවා.

ඒ අනුව, ඊයේ (31) දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 36,507 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 20,100 ක්.

මීට අමතරව, ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 2395 දෙනෙකුට සහ මෝඩර්නා එන්නතේ පලමු (1) මාත්‍රාව පුද්ගලයින් 1866 දෙනෙකුට ඊයේ (31) ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී අද (01) උදෑසන 08:30 ට ආරම්භ වූ අතර එය පැය 24 පුරා ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

++++++++++++++++

(01.08.2021 – 10:52 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (31) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2177 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, එම දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 441 ක්.

ඊට අමතරව ආසාදිතයින් 389 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර, මාතර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 158 දෙනෙකු ඊයේ (31) හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

එසේම, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 125 ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 119 ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 112 දෙනෙකු සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 100 දෙනෙකු ඊයේ (31) වාර්තා වුණා ෴

++++++++++++++++++

(01.08.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (31) දිනය වනවිට මෙරට වයස අවුරුදු 30 ට වැඩි ජනතාවගෙන් සියයට 83 ක ප්‍රතිශතයකට කොරෝනා මර්දන එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදී තිබෙනවා.

එම සංඛ්‍යාව දැක්වෙන්නේ 99,44,683 ක්, එනම් එක් කෝටියකට ආසන්න සංඛ්‍යාවක් ලෙසයි.

ඒ අනුව, ඉදිරි සති දෙකක (2) කාලසීමාව තුල මෙම එන්නත්කරණ වැඩපිළිවෙල සියයට සියයේ (100%) ඉලක්කය පසුකරගෙන (?) යනු ඇති බවයි රජය පවසන්නේ.

මෙරට ප්‍රධාන වශයෙන් භාවිත කරනු ලබන්නේ කොවිෂීල්ඩ්, සයිනොෆාම්, ස්පුට්නික්, ෆයිසර් සහ මොඩර්නා එන්නත්.

ඊයේ (31) දිනයේදීත් පුද්ගලයින් 330,868 දෙනෙකුට කොරෝනා මර්දන එන්නත් ලබාදී තිබෙනවා.

ඒ දින දෙකක් (2) තුල කොරෝනා එන්නත් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ලබාදීමෙන් අනතුරුවයි.

ඊයේ (31) දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 306,507 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 20,100 ක්.

ඊට අමතරව, ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 2395 දෙනෙකුට සහ මොඩර්නා එන්නතේ පලමු (1) මාත්‍රාව පුද්ගලයින් 1866 දෙනෙකුට ඊයේ (31) ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

පසුගිය ජනවාරි මාසයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලබාදුන් පන් ලක්ෂයකට (5,00,000) අධික පිරිසකට දෙවන (2) මාත්‍රාව ලබාදීම පිලිබඳ පසුගිය මාසය තුල ඇතිව තිබුණේ දැඩි කතාබහක්.

ඉන්දියාවේ පැවති කොවිඩ් ව්‍යාප්තිය සමග ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිෂ්පාදනය පිලිබඳව උද්ගතව වූ ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් දෙවන (2) මාත්‍රා ප්‍රමාණය සපයා ගැනීම ප්‍රමාද වුණා.

කෙසේ වෙතත්, කොවැක්ස් පහසුකම යටතේ ජපානය විසින් ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් පරිත්‍යාග කිරීමට එකඟ වූ අතර, ඒ අනුව, මාත්‍රා 728,460 ක් ඊයේ (31) දිනයේදී දිවයිනට ළගා වුණා.

අද (01) දිනයේදී බස්නාහිර පළාතේ ස්ථාන 76 කදී ඇස්ට්‍රාසෙනකා දෙවන (2) මාත්‍රාව ලබාදීම ආරම්භ කෙරුණා. කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ ශ්‍රී ලංකා යුද හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන එන්නත්කරණ මධ්‍යස්ථානය පැය 24 පුරා එන්නත්කරණ කටයුතු වෙනුවෙන් විවෘතව තැබෙනවා.

අද (01) දිනයේදී මුල් පැය (1) තුලදී පමණක් එම එන්නත්කරණ මධ්‍යස්ථානයේ 2000 කට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදී තිබුණා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ 20,000 ක පමණ ජනකායක් විහාරමහා දේවි උද්‍යානය අවට එන්නත් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින බවයි.

කෙසේ වෙතත්, එම ස්ථානයට පැමිණි ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ ඇසට්‍රාසෙනෙකා දෙවන (2) මාත්‍රාව ලබා ගැනීමට අනවශ්‍ය ලෙස කළබල නොවිය යුතු බවයි.

අවශ්‍ය ප්‍රමාණයටත් වඩා එන්නත් තොග ලැබී ඇති හෙයින් ක්‍රමානුකූලව සියලුදෙනාටම ලැබෙන පරිදි එන්නත් ලබාදීම සිදුකරන බව අද (01) පෙරවරුවේ විහාරමහා දේවි උද්‍යානය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, ලොවපුරා එන්නත්කරණ විශේෂඥයන් ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තිය හමුවේ සෑම පුද්ගලයෙකුම කොරෝනා එන්නත ලබා ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණා.

(01.08.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කළුතර – පයාගල – ගොරකදෙණිය ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම් කර තිබියදී සෞඛ්‍ය අංශ විසින් නවතා දැමූ මල්වර උත්සවයක් හේතුවෙන් පුද්ගලයින් 85 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මෙම මල්වර උත්සවය පසුගිය 24 වනදා පැවැත්වීමට සූදානම් කර තිබී ඇති අතර ඊට සහය දීම සඳහා පුද්ගලයින් 35 දෙනෙකු පමණ එම නිවසට පැමිණ ඇති බවයි හෙළි වී ඇත්තේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම මල්වර උත්සවය නවතා දැමීම හේතුවෙන් එහි පිසින ලද ආහාර, නිවෙස් හිමියා විසින් උත්සවයට ආරාධනා කළ පුද්ගලයින්ගේ නිවෙස් වෙත පාර්සල් කර ගොස් ලබාදී තිබෙනවා.

උත්සවය පැවැත්වීමට සූදානම් කර තිබූ නිවසේ ආහාර සැකසීමට පැමිණි පුද්ගලයාට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති අතර, පසුගිය දිනවල සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ පුද්ගලයින් 85 දෙනෙකුට පමණ වෛරසය ආසාදනය වී ඇති බවයි.

මෙම සිද්ධියෙන් පසු ප්‍රදේශයේ පවුල් 40 කට වැඩි ප්‍රමාණයක් නිරෝධායනයට ලක් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා.

නව කොරෝනා ආසාදිතයින් 2,177 දෙනෙකු ඊයේ (31) මෙරටින් හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 308,812 දක්වා ඉහළ ගියා.

ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2177 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැණුනා.

ඒ අනුව, එම දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 441ක්.

ඊට අමතරව ආසාදිතයින් 389 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබූ අතර, මාතර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 158 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා ෴

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1,792 දෙනෙකු සුවය ලබා අද (01) දිනයේ රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 278,910 ක් ලෙසයි ෴

@@@@@@@@@@@@@@@

(01.08.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

පළමුවන (1) ශ්‍රේණියේ රෝහල් සේවා හෙද නිලධාරී තනතුරුවල පවත්නා පුරප්පාඩුවලින් 35% ක් පිරවීම සඳහා දෙවන (2) ශ්‍රේණියේ, පළමුවන (1) ශ්‍රේණියේ සහ අධිශ්‍රේණියේ සුදුසුකම් සහිත අය තෝරා ගැනීමේ ක්‍රමවේදය ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකා හෙද සේවයේ සේවා ව්‍යවස්ථාව සංශෝධනයට ලක්වනු ඇති.

අදාළ පළමුවන (1) ශ්‍රේණියේ රෝහල් සේවා හෙද නිලධාරී තනතුර සඳහා පත් කිරීමට ඉහත සඳහන් ශ්‍රේණිවල සුදුසුකම් ලැබූ නිලධාරීන් අතරින් තෝරා ගන්නා පිරිසක් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරිය යුතු වනවා.

එලෙස හෙද නිලධාරීන් තෝරා ගැනීමේ ලිඛිත තරඟ විභාගයක් පැවැත්වීමට නියමිත බවයි මෙම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

මෙහිදී ඉතිරි 65% ක පුරප්පාඩු ප්‍රමාණය සඳහා දෙවන (2) ශ්‍රේණියේ, පළමුවන (1) ශ්‍රේණියේ සහ අධිශ්‍රේණියේ සිටින සුදුසුකම් සහිත නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය, කුසලතාව, යෝග්‍යතාව, වැඩ හා හැසිරීම අනුව සෞඛ්‍ය ලේකම් විසින් අනුමත කරන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ඉන් සමත්වන නිලධාරීන්ද අදාළ ඩිප්ලෝමාව හැදෑරීම සඳහා තෝරා ගැනීමට නියමිතයි.

එම 65% කාණ්ඩය සඳහා අයදුම් කළ හැක්කේ අවසන් වසර 05 තුළ නියමිත වැටුප් වර්ධක සියල්ලම උපයා රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ අනුව විනයානුකූල දඬුවමක් නොලැබූ නිලධාරීන් පමණයි.

එමෙන්ම, වයස අවුරුදු 52 නොඉක්මවන උසස්වීම් දිනට පෙර වසර 05 තුළ ඉහළ කාර්ය සාධනයක් ඔවුන් විසින් පෙන්නුම් කර තිබිය යුතු බවයි සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

මෙහිදී එක් එක් දිස්ත්‍රික්කයේ වෙන් කරනු ලබන තනතුරු සංඛ්‍යාව එම දිස්ත්‍රික්කයේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව අනුව තීරණය කෙරෙන අතර, සුදුසුකම් සම්පූර්ණ කළ නිලධාරියෙකුට එක් ධාරාවක් යටතේ උපරිම වශයෙන් දිස්ත්‍රික්ක 03 ක් සඳහා තම මනාපය අනුව අයදුම්පත් ඉදිරිපත් කළ හැකියි ෴

******************************************

(01.08.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

පොලිතීන්වලින් නිෂ්පාදනය කරනු ලබන නොදිරන ලන්ච් ෂීට් භාවිතය අද (01) සිට තහනම් කෙරෙනවා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ඒවා නිෂ්පාදනය හා බෙදා හැරීමද අද (01) සිට තහනම් කෙරෙන බවයි.

මේ අතර, වහාම භාවිතයෙන් ඉවත් කිරීම සඳහා තවත් පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 8 ක් තහනම් කිරීමේ ලැයිස්තුවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළා.

ඒ අනුව, එක් වරක් භාවිත කරන බීම බට හා කලතන, තනි භාවිත ප්ලාස්ටික් වලින් නිෂ්පාදිත හැදි, ගෑරප්පු, යෝගට් හැඳි සහ පිහි මෙන්ම, නියමිත පරිමාවට අඩු සිලිසිලි බෑග්, ප්ලාස්ටික් ඉදිආප්ප වට්ටි, පොලිතින් යොදා ඇසුරුම් කරන සුවඳකූරු හා පහන්තිර ඇසුරුම්, ප්ලාස්ටික් මල්මාලා සහ ප්ලාස්ටික් කෝප්ප ද එම තහනම් කෙරෙන ලැයිස්තුවට ඇතුළත් ෴

******************************************

(01.08.2021 – 08:35 +0530 – hirunews.lk/sinhala)

පිරිපහදු ඉන්ධන සහනදායී ක්‍රමවේදයක් යටතේ ශ්‍රී ලංකාවට ලබා දීමට ඇති හැකියාව සොයා බලන බව මෙරට ඉන්දුනීසියානු තානාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවකදීයී.

ජපානය ඇතුළු තවත් රටවල් 06 ක තානාපතිවරුන් අදාළ සාකච්ඡාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා තාක්ෂණික, මූල්‍ය, ආයෝජන සහ ණය නොවන ප්‍රදාන ලබාදීම සම්බන්ධයෙන් අඛණ්ඩව සහය ලබා දෙන බවයි ජපාන තානාපතිවරයා එහිදී පවසා ඇත්තේ.

බීජ පර්යේෂණ සහ පශු සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බව නෙදර්ලන්ත තානාපතිනිය මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා ෴

******************************************

(01.08.2021 – 09:01 +0530 – hirunews.lk/sinhala)

මීට සය (6) වසරකට පෙර නැවතී තිබූ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ඍජු ගුවන් ගමන් සේවා යළි ආරම්භ කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයක් මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපල වෙත අද (01) උදෑසන ළඟා වුණා.

රුසියාවේ මොස්කව් නුවර දොමොදෙදෝවෝ ගුවන් තොටුපලින් නික්මුණු යූ.එල්. 534 දරන යානය උදෑසන 06:30 ට කටුනායක ගුවන් තොටුපල වෙත ළඟා වූ බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

එමගින් දෙස් විදෙස් සංචාරකයින් 51 දෙනෙකු පැමිණ ඇති අතර, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංස මහතා ද ඒ අතර සිටි බව සඳහන්.

මෙම ගුවන් ගමන සඳහා ඒ 330-300 වර්ගයේ එයාර්බස් යානයක් යොදවා තිබූ අතර, එහි ආසන ධාරිතාවය 297 ක්. මේ අනුව සතියේ සෑම සිකුරාදාවකම රාත්‍රි 10:20 ට රුසියාවේ මොස්කව් බලා නික්මෙන මෙම ශ්‍රී ලංකන් ගුවන් යානය ඉරිදා උදෑසන 06:10 ට යළි කටුනායක ගුවන් තොටුපල වෙත ළඟා වනු ඇති ෴

******************************************

(01.08.2021 – 11:41 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා යම්තාක් දුරට ලිහිල් කිරීමත් සමගම පළාත් අතර දුම්රිය බස්රථ සේවාවන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව අද (01) යළි ආරම්භ කෙරුණා.

අන්තර් පළාත් බලා බස් රථ ධාවනය ආරම්භ කිරීමත් සමඟ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් පිට පළාත් සඳහා යාමට බස් රථ යොදවා තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඒ අනුව ගාල්ල, මාතර, බෙලිඅත්ත, තංගල්ල, සියඹලාණ්ඩුව, ඇඹිලිපිටිය ඇතුළු ප්‍රදේශ ගණනාවකට බස්රථ ධාවනය සඳහා එක්කර තිබුණා.

කෙසේවෙතත් බස් රථවල ගමන් කිරීම සඳහා මගීන්ගේ අඩුවක් අද (01) උදෑසන එම ස්ථානයේ දක්නට ලැබුණා.

බැස්ටියන් මාවත පෞද්ගලික බස්රථ අංගනයට මෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මධ්‍යම බස් නැවතුම් පොළට ජනතාව පැමිණි අතර ජනතාවට සරිලන පරිද්දෙන් බස් රථ යොදා තිබුණු ආකාරයක් දක්නට ලැබුණා.

මේ අතර සංචරණ සීමා ලිහිල් වීමත් සමග අන්තර් පළාත් දුම්රිය ගමනා ගමනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරියේ ධම්මික ජයසුන්දර මහතා කියාසිටියා.

ඒ අනුව මුහුදුබඩ මාර්ගය, හලාවත සහ මහනුවර සිට කාර්යාල දුම්රිය ආරම්භ කරන බවයි ඔහු සඳහන් කළේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට (02) සිට පිට පළාත්වල සිට දුම්රිය 15 ක් කොළඹට ධාවනය කිරීමට නියමිත බවයි.

මේ අතර, ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද (01) දිනයේ ලංගම බස් රථ පළාත් අතර ධාවනයට යෙදවූ බවයි.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා සඳහන් කළේ ආසන ධාරිතාවයෙන් පමණක් බස් රථ ධාවනය කරන ලෙසටයි උපදෙස් ලබා දී ඇති බවයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා කියා සිටියේ ලංගම සතු සියළු අන්තර් පළාත් සහ පළාත් අතර ධාවනය කෙරෙන බස් රථ මේ සඳහා යොදවන බවයි.

අද (01) සිට අන්තර් පළාත් පෞද්ගලික බස් රථ ද ධාවනයට පියවර ගන්නා ලෙස පළාත් සභා වෙත දැනුම් දුන් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා.

******************************************

හිෂාලිනිගේ මරණය ගැන අදත් (01) ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගැනේ

(01.08.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී හිෂාලිනී ජූඩ් දැරිය පිලිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (01) දිනයේදීත් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි.

ඒ අනුව, විශේෂ පොලිස් කණ්ඩායම් අද (01) කටුනායක සහ කොළඹ – තුම්මුල්ල යන ප්‍රදේශ වෙත ගොස් අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමට අපේක්ෂා කරනවා.

අධිකරණ නියෝග මත දැරියගේ ගොඩගත් දේහය පිළිබඳ දෙවන (2) පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (31) පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදුකෙරුණා. සිරුරේ විවිධ කොටස් වලින් ලබා ගත් සාම්පල රසායනාගාර පරීක්ෂණයක් සඳහා යොමු කිරීමටයි එහිදී තීරණය කෙරුණේ.

එම වාර්තාව මත පදනම්ව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

මේ අතර, හිෂාලිනි දැරියට සාධාරණය ඉටු කරදෙන ලෙස ඉල්ලා රත්තොට – රිවස්ටන් මාර්ගයේ මැදවත්ත ප්‍රදේශයේදී වතු කම්කරුවන් පිරිසක් අද (01) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *