ඇස්ට්‍රාසෙනෙකා 02 වන මාත්‍රාව අද (01) සිට බස්නාහිර ස්ථාන 76 කදී – විහාරමහාදේවී උද්‍යානයේ පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත් මධ්‍යස්ථානයක්

ඇස්ට්‍රාසෙනෙකා 02 වන මාත්‍රාව අද (01) සිට බස්නාහිර ස්ථාන 76 කදී – විහාරමහාදේවී උද්‍යානයේ පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත් මධ්‍යස්ථානයක්

*********************************************

ඇස්ට්‍රාසෙනෙකා 02 වන මාත්‍රාව අද (01) සිට බස්නාහිර ස්ථාන 76 කදී – විහාරමහාදේවී උද්‍යානයේ පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත් මධ්‍යස්ථානයක්

(01.08.2021 – 06:54 +0530 – hirunews.lk/sinhala)

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව අද (01) උදෑසන 08:30 සිට කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම එම එන්නත් මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එය මෙරට පැය 24 පුරා ක්‍රියාත්මක පළමු එන්නත් මධ්‍යස්ථානය වීම විශේෂත්වයක්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ දිවයිනට රැගෙන ආ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460 ක් අද (01) සිට බස්නාහිර පළාතේ ස්ථාන 76 කදී එන්නත් කිරීමේ කටයුතු ආරම්භ වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ජපානයෙන් ප්‍රදානයක් ලෙස හිමි වූ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා හත් ලක්ෂයකට (7,00,000) වැඩි තොගයක් ඊයේ (31) පස්වරුවේ දිවයිනට රැගෙන ආවා.

ඒ අනුව බස්නාහිර පළාතේ ස්ථාන 76 කදී ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි (2) මාත්‍රාව ලබාදීමට සැළසුම් කර තිබෙනවා.

එන්නත් ලබාගැනීමට පැමිණීමේදී තම අනන්‍යතාව තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත සහ පළමු (1) මාත්‍රාව ලබාගත් එන්නත් කාඩ්පත රැගෙන ඒම අනිවාර්ය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේ.

මේ අතර නව කොරෝනා ආසාදිතයින් 2,177 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 3,08,812 දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින් අතරින් 2,150 දෙනෙකු ‘අලුත් අවුරුදු පොකුරේ’ ආසාදිතයින් වනවා. විදේශයන්හි සිට පැමිණ නිරෝධායන වන පුද්ගලයින් 27 දෙනෙකුද ඊයේ (31) හඳුනාගත් ආසාදිතයින් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සුවය ලැබු මුළු ආසාදිතයින් සංඛ්‍යාව 277,118 ක් ලෙස දැක්වෙන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 27,314 ක්.

පසුගිය 30 වනදා සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 61 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (31) තහවුරු කළා.

ඒ අතර කාන්තාවන් 36 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 25 දෙනෙකු සිටිනවා.

අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 42 දෙනෙකු මිය ගිය පිරිස අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4,441 ක් ලෙසින්.

++++++++++++++++++++

(01.08.2021 – 06:29 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ගතවූ පැය 24 ක කාලය තුල පුද්ගලයන් 125 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 52,844 ක් වන බවයි.

එමෙන්ම බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුලුවන ස්ථාන 13 කදී සිදුකළ පරීක්ෂාවන්වලදී පුද්ගලයන් 6165 දෙනෙකු පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

ඒ ඔවුන් පැමිණි වාහන 2969 ක් ද සමගින්.

පුද්ගලයන් 72 ක් පළාත් සංචරණ මායිම් උල්ලංඝණය කර ගමන් කිරීමට පැමිණීමේදී පැමිණි වාහන 42 ක් ද සමග අවවාද කිරීමෙන් අනතුරුව නැවත හරවා යවා තිබෙනවා.

පොලිසිය දැනුම් දෙන්නේ මෙම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි ෴

++++++++++++++++

(01.08.2021 – 06:46 +0530 – hirunews.lk/sinhala)

වාලච්චේන ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට උදැල්ලකින් පහරදුන් අයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බරපතල තුවාල ලැබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වාලච්චේන රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට මාරුකර යවා ඇතැයි සඳහන්.

සැකකරු මුව ආවරණයක් නොපැළඳ සිටීම හමුවේ එය පළඳින ලෙසට ප්‍රකාශ කිරීම හේතුවෙන් ඇතිවූ බහින්බස්වීමක් මත මෙම පහරදීම සිදුකර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ සෞඛ්‍ය සේවයේ නිරත නිලධාරීන්ට පහරදීම, අඩන්තේට්ටම් කිරීම මෙන්ම සාපරාධී බලහත්කාරය පෑම යන කරුණු සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

මෙම පහරදීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු වාලච්චේන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය පිළිබඳ වාලච්චේන පොලිසියයි විමර්ශණ සිදුකරන්නේ ෴

++++++++++++++++++

(01.08.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala)

අන්තර් පළාත් සියළු බස් සහ දුම්රිය සේවා සෞඛ්‍ය උපදෙස්වලට අනුව අද (01) සිට යළි ආරම්භ කෙරනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා සඳහන් කළේ ආසන ධාරිතාවයෙන් පමණක් බස් රථ ධාවනය කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා කියා සිටියේ ලංගම සතු සියළු අන්තර් පළාත් සහ පළාත් අතර ධාවනය කෙරෙන බස් රථ මේ සඳහා යොදවන බවයි.

අද (01) සිට අන්තර් පළාත් පෞද්ගලික බස් රථ ද ධාවනයට පියවර ගන්නා ලෙස පළාත් සභා වෙත දැනුම් දුන් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා.

මේ අතර, දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා කියා සිටියේ ප්‍රවාහන ලේකම්වරයාගේ උපදෙස් මත පළාත් අතර දුම්රිය ධාවනයේ යොදවන බවයි ෴

@@@@@@@@@@@@@@@

(01.08.2021 – 06:14 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් සඳහා භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන බර වාහනවලින් ඉන්ධන සොරකම් කිරීමේ නිරතවූ සැකකරුවන් 7 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුනු තොරතුරකට අනුවයි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (31) පස්වරුවේ වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේදී වැටලීම සිදුකර ඇත්තේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බවයි.

එහිදී ඉන්ධන සොරකම් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු (2) සහ බර වාහන රියදුරන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී ට්‍රැක්ටරයකට සම්බන්ධ කර ඇති බවුසරයක් මෙන්ම ට්‍රක් රථ 5 ක් ද අත්අඩංගුවට ගෙන වේයන්ගොඩ පොලිසියට භාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

ඊට අමතරව ජංගම දුරකතන 8 ක් සහ රුපියල් 42,200 ක මුදලක් ඔවුන් සතුව තිබී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

++++++++++++

******************************************

(01.08.2021 – 06:23 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 ක කාලය තුල රිය අනතුරුවලින් මරණ 9 ක් වාර්තාවී ඇතැයි පොලිසිය පවසනවා.

ඉන් මරණ 9 ක්ම ඊයේ (31) දිනයේ රිය අනතුරුවලින් සිදුවූ මරණ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

අනෙක් මරණ 3 ඊට පෙර දිනවලදී සිදුවූ අනතුරුවලින් තුවාල ලබා රෝහල්ගත කර සිටි පුද්ගලයන්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ පසුගිය ජුලි මස 24 වනදා සිට 30 වනදා දක්වා කාලය තුල ශ්‍රී ලංකාව තුල රිය අනතුරු 385 ක් වාර්තාවී ඇති බවයි.

එම සංඛ්‍යාව සලකා බැලීමේදී එක් (1) දිනකට වාර්තාවන රිය අනතුරු සංඛ්‍යාව 50 කට ආසන්නයි.

මෙම අනතුරුවලින් පුද්ගලයන් 51 ක් මරණයට පත්ව ඇති අතර 260 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඉන් 108 දෙනෙකු බරපතල තත්වයේ පසුවන අතර 152 ක් සුලු තුවාල ලබා ඇති බවටයි වාර්තාවී ඇත්තේ.

මෙම රිය අනතුරුවලට වැඩි වශයෙන් ලක්ව ඇත්තේ යතුරුපැදි සහ ත්‍රී රෝද රථ වන අතර එම අනතුරුවලින් සියයට 73 ක්ම නොසැලකිලිමත් ධාවනයෙන් බවට ද හෙළිවී තිබෙනවා.

වැඩිම රිය අනතුරු ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ බස්නාහිර වයඹ සහ දකුණු පළාත් ආශ්‍රිතව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

එමෙන්ම වැඩි වශයෙන් අනතුරු වාර්තාවී ඇත්තේ සෙනසුරාදා, ඉරිදා සහ බදාදා දිනවලයි.

එමෙන්ම සවස 4 සහ රාත්‍රී 8 අතර කාලය තුල රිය අනතුරු වැඩි වශයෙන් සිදුවන බවට ද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ දිනකට රිය අනතුරු හමුවේ පුද්ගලයන් 10 දෙනෙකු මියගිය හොත් වසරකට 3650 ක පමණ ප්‍රමාණයක් මියයන බවයි.

එය අවාසනාවන්ත තත්වයක් වන අතර රිය අනතුරු වලක්වා ගැනීමට රියදුරන් පදිකයන් මෙන්ම මගීන්ට ද වගකීමක් පැවරෙන බවයි ඔහු පෙන්වා දුන්නේ ෴

******************************************

ශාන්තිකර්මයක් මුවාවෙන් 19 හැවිරිදි තරුණියකට සහ කාන්තාවකට අතවර කළ දේවාල වල්කපුවා අල්ලයි

(01.08.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

ශාන්තිකර්මයක් සිදුකරන මුවාවෙන් 19 හැවිරිදි තරුණියක් සහ 45 හැවිරිදි කාන්තාවක් ලිංගික අපයෝජනයකට ලක් කළ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වල් කපුවා

හාලිඇල බෝගොඩ ලන්දේවෙල ප්‍රදේශයේ නිවසකට පිටස්තර පුද්ගලයන් විසින් කරනු ලැබු දෝශයක් ඉවත් කිරීමට බව පවසමිනුයි ඊයේ (31) මෙම ශාන්තිකර්මය සිදුකර ඇත්තේ.

අදාළ යකැදුරා කැඳවා ඇත්තේ මැදිරිගිරිය අඹගස්වැව ප්‍රදේශයෙන්.

සැකකරු ඊයේ (31) අලුයම් කාලයේ අදාළ ශාන්තිකර්මය සිදුකරන අතර නිවසේ සිටි පිරිමි පුද්ගලයන්ට නිවසින් ඉවත්වී ඒ ආසන්නයේ පිහිටි මංසන්ධිවලට ගොස් රැඳී සිටින ලෙසට දන්වා තිබෙනවා.

අනතුරුව ශාන්තිකර්මය සිදුකරන මුවාවෙන් නිවසේ සිටි 45 හැවිරිදි කාන්තාවක් දූෂණය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

එම නිවසේ සිටි 19 හැවිරිදි තරුණියකට ද මෙම පුද්ගලයා ලිංගික අතවර සිදුකර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල පොලිසියට ලැබුනු තොරතුරකට අනුවයි සැකකාර යකැදුරා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

42 හැවිරිදි මෙම පුද්ගලයා අද (01) බදුල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර හාලිඇල පොලිසිය විසින් තවදුරටත් පරීක්ෂණ සිදුකරනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *