කොවිඩ් එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීමට අවධානය

කොවිඩ් එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීමට අවධානය

*********************************************

කොවිඩ් එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීමට අවධානය

(31.07.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

රජයේ ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණ ජනතාව කොවිඩ් මර්ධන එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම පිළිබඳව කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ අවධානය යොමුවී තිබෙනවා.

මේ අතර දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි කොරෝනා එන්නත් නොගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා.

ඒ, කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග ඊයේ (30) පැවති සාකච්ඡාවකදීයි.

ඒ අනුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මගින් කඩිනමින් සංගණනයක් සිදුකර දින කිහිපයක් ඇතුළත එන්නත් ලබා නොගත් පිරිස පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

කොවිඩ් ආසාදිත සහ මියගිය පිරිස අතරින් සියයට 95 කට ආසන්න ප්‍රතිශතයක් එන්නත් ලබා නොගත් අය බව අනාවරණ වී තිබීම නිසා එන්නත ලබා ගැනීමට පෙළඹීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

++++++++++++++++++++++

(31.07.2021 – 06:57 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 ක කාලය තුල නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 93 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා කාලය තුල නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 52,719 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එමෙන්ම සංචරණ සීමා කඩකරමින් පළාත් මායිම් හරහා ගමන් කිරීමට පැමිණි 284 දෙනෙකු ආපසු හරවා යවා ඇති බවයි වාර්තා වන්නේ ෴

++++++++++++++++++++++

(31.07.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව අඛණ්ඩව දෙවන (2) දිනටත් ඊයේ (30) එන්නත් පන්ලක්ෂයේ සීමාව ඉක්මවා ලබාදී තිබෙනවා.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ ඊයේ (30) දිනයේදී එන්නත් මාත්‍රා 513,741 ක් ලබාදී ඇති බවයි ෴

++++++++++++++++++++++

(31.07.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

ජපානය කොවැක්ස් වැඩසටහන හරහා ලබා දෙන ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460 ක් අද (31) පස්වරුවේ ශ්‍රී ලංකාවට මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා.

ලබන සෙනසුරාදා (07) දිනයේත් මෙවැනිම ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් මෙරටට ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙසේ ලැබෙන එන්නත් මේ වන විට පළමු (1) මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා (කොවිෂීල්ඩ්) එන්නත ලබාගෙන සිටින පිරිසට දෙවන (2) මාත්‍රාව ලෙස ප්‍රමුඛතාවයෙන් ලබා දෙන අතර ඉතිරි ප්‍රමාණය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරන වැඩසටහනට යොමු කරන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ.

මේ අතර නව කොරෝනා ආසාදිතයින් 2,460 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 306,662 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින් අතරින් 2,455 දෙනෙකු ‘අලුත් අවුරුදු පොකුරේ’ ආසාදිතයින් වනවා.

විදේශයන්හි සිට පැමිණ නිරෝධායන වන පුද්ගලයින් 05 දෙනෙකුද ඊයේ (30) හඳුනාගත් ආසාදිතයින් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සුවය ලැබු මුළු ආසාදිතයින් සංඛ්‍යාව 275,212 ක් ලෙස දැක්වෙන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 27,126 ක්.

පසුගිය 29 වනදා සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 56 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4,380 ක් ලෙසින්.

ඒ අතර කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 38 දෙනෙකු සිටිනවා. අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 41 දෙනෙකු මිය ගිය පිරිස අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොළඹ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනි පුෂ්පා රම්‍යානි සොයිසා මෙනවිය කියා සිටියේ කොරෝනා ව්‍යාප්තියේ වර්ධනයක් පෙන්නුම් කරන බැවින් ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිලිපැදිය යුතු බවයි.

මේ අතර, ජුනි මාසය වනවිට එන්නත්කරණය හැර කොව්ඩි-19 ආශ්‍රිත සෙසු වියදම් සඳහා රුපියල් බිලියන 53 ක් වැයකර ඇති අතර, එන්නත් මිළදී ගැනිම සඳහා මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 110 ක් පමණ වැය කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

+++++++++++++++++++++

(31.07.2021 – 08:42 +0530 – hirunews.lk/sinhala)

ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ජංගම දුරකථන සහ පරිගණක භාවිතය සමග පාසල් සිසුන් අන්තර්ජාලය තුලින් අසභ්‍ය දර්ශන නැරඹීමේ සහ සයිබර් අපරාධ වලට ගොදුරුවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

එහි තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා සඳහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ එවැනි සිදුවීම් 8,700 ක් පමණ එම ආයතනය වෙත වාර්තා වී ඇති බවයි.

ෆේස්බුක්, මැසෙන්ජ්ර්, වට්ස්ඇප්, වයිබර්, ඉමෝ ඇතුළු සමාජ මාධ්‍ය තුළ පවතින ගෲප් හෙවත් මිතුරු සමූහයන් තුළින් මෙලෙස අසභ්‍ය දර්ශන ව්‍යාප්ත වන බව නිරීක්ෂණය වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පෙන්වා දෙනවා.

ඔවුන් පවසන්නේ නව තාක්ෂණික මෘදුකාංග භාවිතා කරමින් කුඩා දරුවන් ඔන්ලයින් අධ්‍යාපනය සඳහා භාවිතා කරන ජංගම දුරකථන සහ පරිගණක පාලනය කිරීමටත් ඒවා අධීක්ෂණය කිරීමටත් දෙමව්පියන් අවධානය යොමු කල යුතු බවයි.

ඒ පිළිබඳව නිසි දැනුම සහ උපදෙස් ලබා ගැනීමට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ 011 269 1692 දුරකථන අංකය භාවිතා කළ හැකියි.

අන්තර්ජාලය භාවිත කිරීමේදී කිසියම් දරුවෙකු පීඩාවට පත්වී ඇත්නම් නම් ඒ පිළිබඳව ජාතික ළමාරක්ෂණ අධිකාරිය වෙත දැනුම් දිය හැකියි.

අන්තර්ජාල භාවිතයේදී පීඩාවට පත්වන වයස 18 ඉක්ම වූ පුද්ගලයන් සඳහා සහය ලබාදීමට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා ෴

+++++++++

(31.07.2021 – 10:17 +0530 – hirunews.lk/sinhala)

ළමයින් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ හා ඡායාරූප සියයකට (100) ආසන්න සංඛ්‍යාවක් එක් (1) දිනයක් තුළදී අන්තර්ජාලයට මුදාහැර ඇති මහනුවර පදිංචි පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු වාර්තා වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථාපිත විශේෂ නිරීක්ෂණ ඒකකය සිදුකරන විමර්ශනවලදී මෙය අනාවරණ වී ඇති බවයි ෴

+++++++++

ඔන්ලයින් දුරකතනයෙන් වැරදි පාඩමක් ඉගෙනගත් රටම කතාවූ රෝස මලක මරණයේ අභිරහස (30.07.2021)

+++++++++++++++++

(31.07.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala)

පළාත් අතර දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන සදුදා (02) සිට ඉවත් කෙරෙන බව වාර්තා වී ඇති බැවින් එසේ වුවහොත් එදින සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව බස් සහ දුම්රිය සේවා සාමාන්‍ය පරිදි සිදු කළ හැකි වනු ඇති බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කියා සිටියේ ෴

+++++++++++++++++

(31.07.2021 – 09:57 +0530 – hirunews.lk/sinhala)

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය අනෙකුත් සියලු වෛරස අභිබවා දැඩි රෝගාබාධ තත්ත්වයන් ඇති කළ හැකි බවත්, පැපොල රෝගය මෙන් පහසුවෙන් පැතිරිය හැකි බවත්, අමෙරිකානු වසංගත රෝග පාලන ආයතනයේ වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.

ප්‍රසිද්ධියට පත් නොකළ එම වාර්තාවේ පිටපතක් නිව්යෝක් ටයිම්ස් පුවත්පතට ලැබී ඇති අතර, එහි දැක්වෙන්නේ පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ගෙන් පවා එන්නත් නොකළ පුද්ගලයින් සේම වෛරසය පැතිරවීමට හැකියාවක් ඇති බවයි.

එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ගේ පවා නාස් කුහර සහ උගුරේ සමාන වෛරස් ප්‍රමාණයක් පැවතිය හැකිවීම ඊට හේතුව බව අමෙරිකානු සී.ඩී.සී. ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය රොචෙල් වැලැන්ස්කි ඉදිරිපත් කර ඇති එම වාර්තාවේ දැක්වෙනවා.

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මර්ස්, සාර්ස්, එබෝලා, වසූරිය සහ සාමාන්‍ය ප්‍රතිශ්‍යාවටත් වඩා සම්ප්‍රේෂණ හැකියාවකින් යුක්ත බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

බී එක 617 දෙක ලෙස නම් කෙරුණු මුල්වරට ඉන්දියාවෙන් සොයාගත් ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය දරුණු රෝගාබාධ තත්ත්වයක් ඇති කරන නිසා වෛරසයට එරෙහි සටන වෙනස් වී ඇති බවයි අමෙරිකානු අභ්‍යන්තර වාර්තාවේ සඳහන් කර ඇත්තේ.

පූර්ණ එන්නත්කරණය ලැබූ අමෙරිකානුවන් අතරින් 35,000 කට පමණ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය වී තිබූ බව වාර්තාවේ සඳහන් තවත් කරුණක්.

කෙසේ නමුත්, එන්නත් මගින් කොරෝනා ආසාදනය නිසා ඇතිවන බරපතල රෝගාබාධ තත්ත්වය 90% ක් පමණ වළක්වන බවද එමඟින් අවධාරණය කර තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@

(31.07.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala)

කහටගස්දිගිලිය පොලිස් වසමේ කුකුලෑව ප්‍රදේශයේදී කාන්තාවක් දෙදෙනෙකුට (2) තියුණු ආයුධයකින් පහර දී සැකකාර පුද්ගලයා ගෙල වැලලාගෙන ඇති බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

අදාල පහරදීමෙන් එක් කාන්තාවක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර බරපතල තුවාල ලැබූ අනෙක් කාන්තාව රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාල කාන්තාවන් දෙදෙනා (2) මාර්ගයේ ගමන්කරමින් සිටින අතර තුර මෙම පහරදීම සිදුකර ඇති අතර සිද්ධියෙන් මිය ගිය කාන්තාව සැකකරුගේ බිරිඳ බවයි පොලිසිය සඳහන් කළේ.

එම කාන්තාව කුකුලෑව, සිප්පුකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි තැනැත්තියක්.

පහරදීම සිදුකර සියදිවි නසාගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 46 හැවිරිදි වියේ පසුවූ අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මොවූන් දෙදෙනා (2) කලක සිට වෙන් වෙන්ව ජීවත්වන බවට අනාවරණය වී ඇති අතර ඊයේ (30) පස්වරුවේ සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴

******************************************

(31.07.2021 – 08:46 +0530 – hirunews.lk/sinhala)

‘ජාතික මව්කිරි දීමේ සතිය’ හෙටින් (01) ආරම්භ වනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේ එය ලබන 07 වනදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිත බවයි.

මෙවර ජාතික මව්කිරි දීමේ සතිය ක්‍රියාත්මක වන්නේ සුරැකීම – මව්කිරි දීම – වගකීම අප සැමගේම යන්න තේමා කර ගනිමින්.

ශ්‍රී ලංකාව ළදරුවන්ට මව්කිරි දීම තුළ ප්‍රමුඛතාවයක් හිමි කර ගෙන ඇති අතර මෙරට මව්වරුන්ගෙන් සියයට 99 ක් සිය බිළින්දන්ට මව්කිරි ලබා දෙන බව සනාථ වී තිබෙනවා.

කෙසේ වෙතත්, පවතින කොරෝනා තත්වය හමුවේ ඇතැම් මව්වරුන් සිය බිළිඳන්ට මව්කිරි දීමට බිය වන ස්වභාවයක් නිරීක්ෂණය වී ඇති බවයි පවුල් සෞඛ්‍ය කාර්යංශය සඳහන් කළේ.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ඊයේ (30) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ කොරෝනා මර්දන එන්නත් ලබාගත් මව්වරුන්ට මෙන්ම කොරෝනා ආසාදිත මවකට වූවද තම බිළිඳාට ආරක්ෂිතව මව්කිරි ලබාදීම සිදුකළ හැකි බවයි.

මේ දක්වා මෙරටින් කොරෝනා ආසාදනය වූ ගැබිණි සහ කිරිදෙන මව්වරුන් 2,404 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඉන් 14 දෙනෙකු මිය ගොස් ඇති අතර, ඔවුන් සියලු දෙනා කොරෝනා 03 වන රැල්ලේදී වාර්තා වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ.

එලෙස මියගොස් ඇති බහුතරය නිධන්ගත රෝගවලින් පෙලෙන මව්වරුන් සහ අධික ස්ථූලතාවයෙන් යුතු අවරුදු 35 ට වැඩි මව්වරුන් බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

******************************************

(31.07.2021 – 08:50 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය ඉෂාලිනි ජූඩ් දැරියගේ මෘත ශරීරය පිළිබඳ 02 වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (31) සිදු කිරීමට නියමිතයි.

ඒ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේදීයි.

හැටන් – ඩයගම වත්තේ බටහිර කොටසේ පිහිටි පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබූ මෘත ශරීරය අධිකරණ නියෝග මත ඊයේ (30) ගොඩගනු ලැබූවා.

ඒ, නුවරඑළිය මහේස්ත්‍රාත් ලූෂාකා කුමාරි ධර්මකීර්ති ඉදිරියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුවයි.

විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සහ කොළඹ සිට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක්ද ඊට එක්ව සිටියා.

ගොඩගත් දේහය පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමටයි පියවර ගැණුනේ.

දැරිය මියයාමේ සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව් (4) දෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා ෴

******************************************

(31.07.2021 – 09:06 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම දේශීය වශයෙන් මෙහෙයවන පුද්ගලයින් හා එම ජාලයේ ප්‍රධානීන් 40 දෙනෙකු පමණ මේ වසරේ ජනවාරියේ සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ වසරේ මේ දක්වා කාලය තුළ රට පුරා සිදුකළ මෙහෙයුම් වලදී රුපියල් බිලියන 09 කට ආසන්න වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇති බවයි ෴

******************************************

(31.07.2021 – 11:08 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්මලානේ ‘කුඩු අංජු’ නැමැත්තාගේ, ගෝලයෙකු වන ‘ධර්මසිරි’ නැමැති පුද්ගලයා සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් මත්කුඩු ජාවාරමෙන් උපයා ගන්නා මුදල් බැංකු ගත කරමින් කටයුතු කළ කාන්තාවක් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී රුපියල් දහඅට ලක්ෂ හැත්තෑ පන්දහසක (18,75,000) මුදලක්, බැංකු පොත් දෙකක් (2), විදේශ ගමන් බලපත්‍රයක් සහ හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 ක් ඇය සන්තකයේ තිබී සොයා ගැනුණා.

අඟුලාන පොලීසියට ලද තොරතුරක් මත සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර 31 වන වියේ පසුවන ඇය මැදපෙරදිග රැකියාවක නියුතුව සිට පැමිණ ඇති බවට අනාවරණය වී තිබෙනවා.

සැකකාරිය අද (31) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *