අලුත් කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 75 ක් එන්නත් නොගත් අය බව හෙළිවේ

අලුත් කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 75 ක් එන්නත් නොගත් අය බව හෙළිවේ

*********************************************

අලුත් කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 75 ක් එන්නත් නොගත් අය බව හෙළිවේ

(29.07.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල රෝහල් ගතවන කොරෝනා ආසාදිතයින් අතරින් 75% ක්ම කිසිදු කොරෝනා එන්නතක් ලබාගෙන නොමැති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

මේ අතර, සිය ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදිත බව තහවුරුවීමෙන් පසු තමන් දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමුවන බව කර්මාන්ත ආමාත්‍ය විමල් වීරවංශ මහතා සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළා.

සමාජ වගකීමක් ලෙස සලකා මෙලෙස තමන් අද (29) සිට දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමුවන බවත්, කර්මාන්ත අමාත්‍යාංශයේ සිය කාර්යාලය විෂබීජහරණයට කිරීමටත් පියවර ගෙන ඇති බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, අමාත්‍යාංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවද එහි දැක්වෙනවා.

මේ අතර, සෞඛ්‍ය ආමාත්‍යංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු එන්නත් මාත්‍රා ද්විත්වයම ලබාගත් පුද්ගලයකු වන අතර පළමු (1) මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත් දෙවැනි (2) මාත්‍රාව ලෙස ෆයිසර් එන්නතත් ලබා ගත් අයෙක්.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ දෙවැනි (2) මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාගෙන මේ වනවිට මාසයකට (1) ආසන්න කාලයක්ද ගතවී ඇති බවයි.

ඔහුට අමතරව, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ සේවය කළ තවත් කිහිප දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

එසේම, මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ‍ මන්ත්‍රීවරු දෙදෙනෙකුට (2) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන් දෙදෙනාද (2) සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම (2) ලබාගත් පුද්ගලයින්.

මේ අතර, මේ වසරේ දෙසැම්බර් වනවිට මෙරට ජනගහනයෙන් මිලියන 15 ක් එන්නත් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කළා.

ඒ, කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට පැරණි චාර්ටඩ් බැංකු ගොඩනැගිල්ලේ බිම් මහලේ ඉදිකෙරුණු ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කිරීමේ අවස්ථාවට අද (29) එක්වෙමින්.

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගෙන් 80% ත්, 85% ත් අතර ප්‍රමාණයක් කිසිදු එන්නතක් ලබානොගත් අය බවයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

මේ අතර, ගුවන් මගීන් රැගෙන ඒම සඳහා ගුවන් සමාගම්වලට පනවා තිබූ සීමා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව සංචාරක මණ්ඩලයේ ජෛව බුබුළ ක්‍රමවේදය යටතේ පැමිණෙන සහ පූර්ණ එන්නත්කරණයට ලක්ව දින 14 ඉක්ම වූ ගුවන් මගීන් රැගෙන ඒම සඳහා ගුවන් සමාගම් වලට කිසිදු සීමාවක් පැන වෙන්නේ නැහැ.

කෙසේ වෙතත්, ඉහත කාණ්ඩ දෙකට (2) අයත් නොවන ගුවන් මගීන් රැගෙන එන්නේ නම් එය තවදුරටත් එක් ගමන් වාරයකට මගීන් 75 දෙනෙකුට සීමා විය යුතු වනවා.

මේ අතර මැදවච්චිය, ඇතාකඩ සමෘද්ධි බැංකු පරිශ්‍රයේ සෞඛ්‍ය අංශ අවසරයකින් තොරව පවත්වාගෙන ගිය රැස්වීමක් නවතා දැමීමට මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් අද (29) කටයුතු කළා.

අද (29) සුවය ලබා පිටව ගිය ආසාදිතයින් සංඛ්‍යාව 1641 ක්.

+++++++++++++++++++

(29.07.2021 – 20:05 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සිදුවූ තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 66 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (28) තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4324 ක් ලෙසටයි.

මෙම මරණ අතර පිරිමි පුද්ගලයන් 41 ක් සහ කාන්තාවන් 25 ක් වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමි පුද්ගලයන් 12 ක් සහ කාන්තාවන් 5 ක් මියගිය පිරිස අතර වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි පුද්ගලයන් 29 ක් සහ කාන්තාවන් 20 ක් ද මියගිය 66 දෙනා අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴

අද (29) දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 479 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (29) දිනයේ හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2329 ක්. මෙරටින් මේ දක්වා හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 304,161 ක් වනවා ෴

(30.07.2021 – 06:31 +0530 – hirunews.lk/sinhala)

අද (30) උදෑසන 06 සිට ක්‍රියාත්මකවන පරිදි යාපනය දිස්ත්‍රික්කයේ පේදුරු තුඩුව පොලිස් බල ප්‍රදේශයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලාභාවයෙන් ඉවත්කර තිබෙනවා ෴

++++++++++++++++++

(30.07.2021 – 07:19 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව දිනක් තුළදී ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ (29) ලබාදී තිබෙනවා. ඒ අනුව ඊයේ (29) දිනයේදී පුද්ගලයින් 5,15,830 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බවයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ.

එහිදී සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 4,18,494 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 56,738 ක්.

ෆයිසර් එන්නත් මාත්‍රා 38,430 ක්ද ඊයේ (29) ලබාදී තිබෙනවා.

මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව ඊයේ (29) පුද්ගලයින් 2,168 දෙනෙකුට ලබාදී තිබෙනවා.

+++++++++++++++++++

(30.07.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

දින 36 කට පසු යළි දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවනු ලැබුවා.

ඒ අනුව ඊයේ (29) දිනයේදී නව කොරෝනා ආසාදිතයින් 2,370 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 304,202 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (29) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2,370 දෙනා අතරින් 2,329 දෙනෙකු ‘අලුත් අවුරුදු පොකුරේ’ ආසාදිතයින් වනවා.

විදේශයන්හි සිට පැමිණ නිරෝධායන වන පුද්ගලයින් 41 දෙනෙකුද ඊයේ (29) හඳුනාගත් ආසාදිතයින් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සුවය ලැබු මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2,73,496 ක් ලෙස දැක්වෙන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 26,448 ක්.

පසුගිය 28 වනදා සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 66 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (29) තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4,324 ක් ලෙසින්.

ඒ අතර කාන්තාවන් 25 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 41 දෙනෙකු සිටිනවා.

අවුරුදු 60 ට වැඩි පුද්ගල 49 දෙනෙකු මිය ගිය පිරිස අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, කොරෝනා පරික්ෂණ සාම්පල ලබා ගැනිම සඳහා යළි හෙද කාර්ය මණ්ඩලය අවශ්‍ය සහය ලබා දෙන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ප්‍රකාශ කළා ෴

@@@@@@@@@@@@@

15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධිය – ප්‍රධාන සැකකරු ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

(29.07.2021 – 16:58 +0530 – sinhala.adaderana.lk)

15 හැවිරිදි බාල වයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම අයථා ලෙස මුදල් ඉපයීමේ ජාවාරමට සම්බන්ධ වී ඇති බව ළමා හා කාන්තා කාර්යාංශය අද (29) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

එම පැමිණිල්ල අද (29) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් මෙම දැනුම් දීම සිදුකළහ.

ඒ අනුව ප්‍රධාන සැකකරු විසින් සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම හා අයථා ලෙස මුදල් ඉපයීමේ ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වෙන් වෙන්ව පරීක්ෂණ සිදුකරන බව එම කාර්යාංශයේ අධිකරණයට දන්වා සිටියේය.

වැඩිදුරටත් අධිකරණය කරුණු දැක්වූ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් එම සිද්ධියට සම්බන්ධ බාලවයස්කාර දැරිය නිරුවත් කොට ඇයගේ විවිධ ලිංගික දර්ශන රූගත කර අන්තර්ජාලයට මුදා හැර ඒවා විවිධ පුද්ගලයින්ට විකුණා එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු විසින් මුදල් උපයාගෙන ඇතැයි ද පෙන්වා දුන්නේය.

මෙලෙස අන්තර්ජාලයට මුදා හරින ලද අසභ්‍ය දර්ශන අඩංගු විනාඩි 05 සිට 10 දක්වා වූ වීඩියෝවක් නැරඹීම සඳහා එම සැකකරු විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් 5000 සිට රුපියල් 8000 දක්වා මුදලක් අයකර ගෙන ඇති බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද එම කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.

එම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත් දුරකථන අංක හා සම්බන්ධතා ඔස්සේ ඊට අදාළ විමර්ශන ඉදිරියට පවත්වාගෙන යන බවත් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේ වින්දිත දැරිය ගණිකාවක් වශයෙන් මෙම අධිකරණය කිසිසේත් නොසලකන බවය.

මේ අපරාධය පිළිබඳව පුළුල්ව පරීක්ෂණ පවත්වා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය විසින් ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කළාය.

මේ අතර එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු, දෑරියගේ දැන්වීම් පළ කළ වෙබ් අඩවියේ හිමිකරු සහ එහි මුදල් පාලක යන සැකකරුවන් ලබන 11 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය ෴

******************************************

කොතලාවල පනතට අපි විරුද්ධ වෙන්නේ කාරනා 5 ක් නිසා – වෛද්‍ය වසන්ත බණ්ඩාර (29.07.2021)

******************************************

ගෘහස්ථ විදුලි රැහැන්වල මිල අගෝස්තු 01 සිට අඩුකෙරේ

(29.07.2021 – 16:09 +0530 – sinhala.adaderana.lk)

ගෘහස්ථ විදුලි රැහැන්වල මිල 11% කින් අඩුකිරීමට නිෂ්පාදන සමාගම් එකඟවූ බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

මෙරට ට අවශ්‍ය ගෘහස්ථ විදුලි රැහැන් දේශීය සමාගම් විසින් නිෂ්පාදනය කරන අතර අපනයන වෙළෙඳපොළ සඳහා ද එම නිෂ්පාදන සැපයේ.

මෙම නිෂ්පාදන සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය වන කොපර් (තඹ) ආනයනය කරනු ලබන අතර මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 5,000 සිට 10,000 දක්වා වැඩිවීම නිසා පසුගිය දින වලදී ගෘහස්ථ විදුලි රැහැන් (වයර්)වල මිල ඉහළ ගියේය.

මිල සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යංශය සහ එම නිෂ්පාදන සමාගම්වල නියෝජිතයින් අතර සාකච්ඡා වට තුනක් (3) පැවැත්විණි.

මින් ඉදිරියට විශේෂිත වූ තත්ත්වයක් හැරුණු විට මිල වැඩි නොකිරීමටත් දැනට තිබෙන උපරිම සිල්ලර මිලෙන් ඔවුන්ගේ නිෂ්පාදන වලින් 90% කම නිෂ්පාදන වර්ගවල මිල 11% කින් ද එක් නිෂ්පාදනයක් පමණක් 5% කින් ද අඩු කිරීමට එම සමාගම් එකඟවී තිබේ.

ඒ අනුව එම මිල අඩුකිරීම අගෝස්තු 01 වනදා ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.

මිල අඩුවන ආකාරය දැක්වෙන සටහන මෙසේය :

******************************************

(30.07.2021 – 06:39 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි හි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘සලිඳු මලීෂ’ හෙවත් ‘කුඩු සලිඳු’ට අයත් රුපියල් කෝටි 40 කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් අද (30) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවා.

බණ්ඩාරගම – රේරුකාන ප්‍රදේශයේදී මෙම මත්කුඩු තොගය අත්අඩංගුවට ගනු ලැබුවේ කළුතර දිසා අපරාධ කොට්ඨාශය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ වැටලීමකදීයි.

23 හැවිරිදි තරුණයෙකු මෙම හෙරොයින් තොගය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

වැඩිදුර පරික්ෂණ වලදී හෙළි වී ඇත්තේ ඩුබායි හි සිට එවා ඇති මෙම මත්කුඩු තොගය බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම සඳහා තවත් ජාවාරම්කරුවෙකුට ලබාදීමට රැගෙන යමින් සිටි බවටයි.

මීට සති කිහිපයකට ඉහතදී ද ‘කුඩු සලිඳු’ට අයත් රුපියල් ලක්ෂ 75 ක වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 750 ක් අත්අඩංගුවට ගනු ලැබුවේ පානදුර – පින්වත්ත ප්‍රදේශයේදීයි.

එහිදී එම ජාවාරම මෙහෙයවූ ‘සලිඳු’ගේ සමීපතමයෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා.

දිවයින පුරා සිදුවූ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් ද ඩුබායි හි සැඟව සිටින ‘කුඩු සලිඳු’ හෙවත් ‘සලිඳු මලීෂ’ට චෝදනා එල්ල වී තිබෙනවා ෴

(30.07.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

අද (30) උදෑසන බණ්ඩාරගම ප්‍රදේශයේදී කළුතර දිසා කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහයවන ‘කළිඳු මන්ෂිත’ නොහොත් ‘පානදුරේ කළිඳු’ට අයත් මත්ද්‍රව්‍ය තොගයක් බව ඒ සම්බන්ධයෙන් මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී හෙළිකරගෙන තිබෙනවා.

එමෙන්ම අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මෙම ජාවාරමට සම්බන්ධ තවත් දෙදෙනෙකුගේ (2) තොරතුරු හෙළිවී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමටත් පරීක්ෂණ කටයුතු මෙහෙයවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

අද (30) උදෑසන මෙලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රවය තොගයේ බර කිලෝග්‍රෑම් 40 ක් ලෙස සඳහන් වුවද ඒ පිළිබඳව සිදුකළ අවසන් ගණනයේදී එම තොගයේ නිශ්චිත බර කිලෝග්‍රෑම් 45 ක් බවටත් අනාවරණ වී තිබෙනවා.

අද (30) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මෙලෙස අත්අඩංගුවට ගැනුණු හෙරොයින් ප්‍රමාණයේ වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 45 ක අධික බවයි ෴

******************************************

(30.07.2021 – 07:38 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය පිළිබඳ විශේෂ කාරක සභාව ලබන මාසයේ දින 4 ක් රැස්වන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කාරක සභාව රැස්වූ අවස්ථාවේදී පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 6 ක් කැඳවා තිබෙනවා.

මැතිවරණවලදී කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සකස් කළ යුතු බව ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කර තිබුණේ පූර්ණ කේවල ක්‍රමයක් යටතේ ඡන්දය පැවැත්වීම මගින් විශාල අසමතුලිතතාවයක් හට ගන්නා බවයි.

මේ අතර අගෝස්තු 03 වනදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාව වෙත කැඳවා තිබෙනවා.

එමෙන්ම, රජයේ ගිණුම්කාරක සභාව වෙත පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව ද අගෝස්තු 03 වනදා කැඳවීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව රජයේ ගිණුම් කාරක සභාව හා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාරක සභා රැස්වීම් 13 ක් අගෝස්තු පළමු සතිය තුලදී පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සඳහන් කළේ.

කෝප් කමිටුව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අතර රජයේ ගිණුම්කාරක සභාව මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සහභාගිත්වයෙන් රැස්වනු ඇති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *