උද්ඝෝෂණ ගැන පොලිසියට නිර්දේශ ලබා දෙනවා – මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්

උද්ඝෝෂණ ගැන පොලිසියට නිර්දේශ ලබා දෙනවා – මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්

*********************************************

උද්ඝෝෂණ ගැන පොලිසියට නිර්දේශ ලබා දෙනවා – මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්

(29.07.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් සහ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ආණුඩුවට බල කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය අදත් (29) ක්‍රියාත්මකයි.

මේ අතර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ අනවශ්‍ය මහජන ඒකරාශීවීම් සහ උද්ඝෝෂණ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නිර්දේශ පොලිසිය වෙත ලබා දීමට කටයුතු කරන බවයි.

වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පතිවරුන් ආරම්භ කළ වර්ජනය අඛණ්ඩව 18 වැනි දිනටත් ක්‍රියාත්මක බව ගුරු සංගම් සඳහන් කළා.

+++++++++++++++++

(29.07.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

වැලිපැන්න ප්‍රදේශයේ දින තුනක් (3) වයසැති බිළිඳෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇති අතර ගෙවුණු දිනයේ එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 596 ක්.

ගෙවුණු දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 1,940 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 21 දෙනෙක් විදෙස්ගතව සිට දිවයිනට පැමිණි පුද්ගලයින්.

ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 596 ක්.

ඉන් 187 දෙනෙක්ම වාර්තා වී තිබුණේ කොළඹ මහ නගර සභා සීමාවෙන්.

කළුතර දිස්ත්‍රික්කයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 382 ක්.

ගෙවුණු දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණේ අසාදිතයින් 97 දෙනෙක් පමණයි.

ඒ අනුව බස්නාහිර පළාතෙන් වාර්තා වු ආසාදිතයින් සංඛ්‍යාව දෙවැනි දිනටත් 1000 ඉක්මවා ගියා.

මීට අමතරව යාපනය, අම්පාර හා ගාල්ල යන දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබුණා.

මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4258 දක්වා ඉහළ ගියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 63 ක් ඊයේ (28) තහවුරු කිරීමත් සමගයි.

මේ අතර දින තුනක් (3) වයසැති බිළිදෙකු කොවිඩ් ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නාගොඩ රෝහලේදී මෙම මරණය සිදුව ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කළා. අදාළ බිළිඳා උපත ලැබීමෙන් පසු වැලිපැන්න – ලෙව්වන්දූව ප්‍රදේශයේ නිවෙස වෙත රැගෙන යාමෙන් පසු ඇති වූ අසනීප තත්ත්වයක් මත යලි නාගොඩ රෝහල වෙත රැගෙන ගොස් තිබුණා. එහිදී බිළිඳා ජීවිතතක්ෂයට පත්ව ඇති අතර පසුව සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ දරුවාට කොවිඩ් ආසාදනය වී ඇති බවයි.

කළුතර – උතුර සතිපොළ භුමිය තුළ වෙළෙඳුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නේද සොයා බැලීම සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සොයා බැලීමක් සිදු කළා.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගතවූ දිනයේදී ලබාදී ඇති එන්නත් මාත්‍රා ගණන 417,815 ක්.

ඒ යටතේ පුද්ගලයින් 334,458 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදී තිබෙනවා.

එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 32,288 ක්.

එසේම, ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 40,912 දෙනෙකුට ලබාදී ඇති අතර මොඩර්නා එන්නතේ පළමු (1)මාත්‍රාව පුද්ගලයින් 157 දෙනෙකුට ගෙවුණු දිනයේදී ලබා දී තිබෙනවා.

මේ අතර ගතවූ දින තුනේදී (3) පළමු (1) මාත්‍රාව ලෙස මිලයනයකට වැඩි පිරිසකට සයිනොෆාම් එන්නත් ලබාදී තිබීම විශේෂත්වයක්.

අද (29) දිනයේත් කොරෝනා ආසාදිතයන් 1641 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මුළු සංඛ්‍යාව 273,496 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1850 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 303,682 ක් ලෙසටයි ෴

++++++++++++++++++++

(29.07.2021 – 14:46 +0530 – hirunews.lk/sinhala)

පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ ගුවන් මගීන් සඳහා ගුවන් යානයක පැමිණිය හැකි මගීන් සංඛ්‍යාවට පනවා තිබූ සීමාව සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් ඉවත් කර තිබෙනවා.

ඒ සඳහා ඔවුන් අදාළ එන්නත් මාත්‍රා සංඛ්‍යාව ලබා දින 14 ක් ගත වී තිබිය යුතු අතර, එම එන්නත්කරණ සහතික ඉදිරිපත් කළ යුතුයි.

එමෙන්ම, ශ්‍රී ලංකා සංචාරක ජෛව බුබුළ වැඩසටහන යටතේ පැමිණෙන ගුවන් මගීන්ට ද එම සීමාව බලනොපවත්වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

එලෙස ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ජෛව බුබුළ ඔස්සේ නොපැමිණෙන සහ පූර්ණ එන්නත්කරණය නොලැබූ ගුවන් මගීන් 75 දෙනෙකුට පමණක් එක් ගුවන් යානයකින් පැමිණිය හැකි බවයි එමගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ලබන පළමුවනදා (01) සිට මෙම නව රෙගුලාසි ක්‍රියාත්මක වන අතර, ඉහත සෑම ආකාරයකින්ම පැමිණෙන ගුවන් මගීන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් ඔවුන් පැමිණෙන අවස්ථාවේ පනවා ඇති උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතු වනවා.

@@@@@@@@@@@@@@

(29.07.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ජනතාවට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති කඩිනම් කිරීමට සමගාමීව ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය සඳහා වහා පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජල සම්පාදන අමාත්‍යාංශයට නියෝග කර තිබෙනවා.

ඒ ජල සම්පාදන අමාත්‍යාංශයේ නිලධාරින් සමග අරලියගහ මන්දිරයේ ඊයේ (28) පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

ඒ අනුව, ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය කරමින් එම ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශය හා ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා එහිදී ජල සම්පාදන අමාත්‍යවරයා ඇතුළු නිලධාරින්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ ෴

******************************************

(29.07.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

එල්.එන්.ජී විදුලි බලාගාර මෙරට තිබුණ ද ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා නිසි යටිතල පහසුකම් නොමැතිවීම හේතුවෙන් විදුලිබල ක්ෂේත්‍රය අර්බුද රැසකට මුහුණදී ඇති බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

ඊයේ (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා සඳහන් කළේ ඊට අදාළව ඉදිරිපත් කළ ටෙන්ඩරය මගින් අර්බුද රැසක් නිර්මාණය වී ඇති බවයි.

******************************************

(29.07.2021 – 14:15 +0530 – hirunews.lk/sinhala)

වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොලැබීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ගොවීන් තවදුරටත් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

ඔවුන් ඉල්ලා සිටින්නේ වගාවන් සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

වී හා එළවළු වගාවන්ට පොහොර ලබාදෙන ලෙස ඉල්ලා ඌව පරණගම මස්පන්න ප්‍රදේශයේ ගොවීන් මස්පන්න නගරයට පැමිණ විරෝධතාවක නිරත වුණා.

පසුව ඔවුන් වගාවන්ට අවශ්‍ය රසායනික පොහොර කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලා සකස් කල ලිපියක් මස්පන්න ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය නිලධාරීවරයා ට බාරදුන්නා.

මේ අතර වගා හානිවලට වන්දි ඉල්ලා පඹන ගල්ගමුව මීගලෑව, බණ්ඩාරගම ප්‍රදේශයේ ගොවීන් විරෝධතා පා ගමනින් සිය කුඹුරුවලට පැමිණ එහිදී විරෝධතාවක නිරත වුණා.

මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයයි.

මේ බෝගහ කුඹුර ප්‍රදේශයේ වගා කටයුතුවල නිරත ප්‍රදීප් ගජසිංහ මහතායි.

ඔහු මේ වන විට බෝංචි කාබනික පොහොර යොදාගනිමින් බෝංචි වගාවක් ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යනවා.

යල කන්නය සඳහා ගලෙන්බිදුණුවැව මොරකන්දාගම ප්‍රදේශයේ වගා කළ උදු වගාවට කොළ කහවීමේ රෝගයක් වැලඳීම නිසා වගාවන් විනාශ වෙමින් පවතින බවට ගොවීන් මැසිවිලි නගනවා.

එමෙන්ම වර්ෂාව නොමැතිව වගා කටයුතු කිරීම නිසාද එම ගොවීන් පත්ව ඇත්තේ දැඩි තත්ත්වයකටයි.

කාබණික පොහොර සහ කාබණික කෘමි නාශක භාවිත කරමින් කුඹුරක් අස්වැද්දීමට හලාවත – ආරච්චිකට්ටුව, කරුක්කුලිය ශ්‍රී ජයතිලකාරාමාධිපති පුජ්‍ය නවදන්කුලමේ මේධානන්ද හිමියන් සමත් වී තිබෙනවා.

එම විහාරස්ථානය වටා කුඹුරු යායක් ඇතත් එය වගා කෙරෙන්නේ රසායනික පොහොර සහ කෘමි නාශක භාවිත කරමින්.

ඒ අනුව විහාරස්ථාන භූමියේ ඇති ප්‍රයෝජනයට නොගන්නා භූමියක් කුඹුරක් ලෙස සකස් කර එය අස්වැද්දීමට විහාරාධිපති හිමියන් කටයුතු කර තිබෙනවා.

මහවැලි කාබනික වගා ප්‍රවර්ධන සතියට සමගාමීව මහවැලි සී කලාපයට අයත් ගිරාඳුරුකෝට්ටේ සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම් වැඩසටහනක් නිරීක්ෂණයට මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බණ්ඩාර කොටගම මහතා පැමිණියා.

මේ අතර වෙරළ සංරක්ෂන හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා කෙරවලපිටිය කසල කලමනාකරන අංගනයේ අද නිරීක්ෂණයක නිරත වුණා.

මෙමගින් දෛනිකව කාබනික පොහොර ටොන් 15 ක් නිෂ්පාදනය කෙරෙනවා.

ඉදිරියේදී පොහොර ටොන් 50 ක් පමණ නිෂ්පාදනය කිරීමට බලා පොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ.

කන්තලේ අක්කර 500 යාය, වෙන්ඩ්‍රාසන්පුර ගම්මානයේ ගොවි ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂයන මහත්වරුන් පැමිණියා.

******************************************

(29.07.2021 – 15:00 +0530 – hirunews.lk/sinhala)

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී පිලිස්සී මිය ගිය දැරිය සම්බන්ධයෙන් මහා සංඝරත්නය හා පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

++++++++++++

රිෂාඩ්ගේ නිවසේදී පිලිස්සී මියගිය දැරියගේ දේහය පේරාදෙණිය රෝහලට ගෙන යන්න නියෝග

(29.07.2021 – 15:20 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය හිෂාලිනි දැරියගේ දේහය නිරෝධායන උපදෙස්වලට අනුකූළව ගොඩගෙන දෙවන (2) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යන ලෙස නියෝග කර තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද (29) කොළඹ අපරාධ කොට්ඨාශයේ විමර්ශන අංශයේ නිලධාරින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

නුවරඑළිය මහේස්ත්‍රාත් ලුෂිකා කුමාරි ජයරත්න හමුවේ නිලධාරින් කරුණු දක්වමින් ඔවුන් සඳහන් කළේ දැරියගේ මෘත දේහය ගොඩගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබාදී ඇති බවයි.

එමෙන්ම, මිය ගිය දැරියගේ සිරුර යළි ගොඩ ගැනිම නුවරඑළිය මහේස්ත්‍රාත්වරියගේ අධික්ෂණය යටතේ සිදු කළ යුතු බවයි. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් බී වාර්තාවක් මගින් කරුණු දක්වමින්, රජයේ අධි නිතීඥවරයා කියා සිටියේ.

ඒ අනුව, කරුණු සලකා බැලු නුවරඑළිය මහේස්ත්‍රාත් ලුෂිකා කුමාරි ජයරත්න එහිදි නියෝග කරනු ලැබුවේ නිරෝධායන සෞඛ්‍ය උපදෙස් වලට අනුව විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ඉදිරියේ හෙට (30) පෙරවරු 08:30 ට සිරුර ගොඩගෙන දැඩි පොලිස් ආරක්ෂාව යටතේ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ගෙන යන ලෙසටයි.

එසේම, මෙම දැරියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන පොලිස් කණ්ඩායම් අද (29) දිනයේත් ඩයගම ප්‍රදේශයේදී විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ 2010 වසරේ සිට සේවය කර ඇති මෙහෙකාරියන් 11 දෙනාගෙන් පස් දෙනෙකු (5) ගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

එම ප්‍රකාශවලින් ගම්‍ය වන කරුණු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එසේම, ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති , පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිතීඥ අජිත් රෝහණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබෙනවා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී හිෂාලිනි දැරිය පිලිස්සී මියගිය යාමේ සිද්ධියට විරෝධය පළකරමින් අද (29) දිනයේත් නාවලපිටිය සහ හැටන් ප්‍රදේශ වල විරෝධතා පැවැත්වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *