රට අතිශය බරපතළ තත්ත්වයකට යන්න පුළුවන් – නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් අනතුරු අඟවයි

රට අතිශය බරපතළ තත්ත්වයකට යන්න පුළුවන් – නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් අනතුරු අඟවයි

*********************************************

රට අතිශය බරපතළ තත්ත්වයකට යන්න පුළුවන් – නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් අනතුරු අඟවයි

(29.07.2021 – 12:18 +0530 – hirunews.lk/sinhala)

රට තුළ කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් සහ එය පාලනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා කොවිඩ් මර්දන අංශ ගෙන ඇති තීන්දු තීරණ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම් සඳහා අද (29) උදෑසන ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා අදහස් ප්‍රකාශ කලා.

මේ වන විට රටේ තිබෙන තත්වය ගැන කිසිසේත් සතුටු වෙන්න පුළුවන් කමක් නෑ.

ඊයේ (28) දිනයේ රෝගීන් 1900 ක් වාර්තා වෙනවා මරණ 63 ක් වාර්තා වෙනවා.

දැන්ම අපි පුරෝකථනයක් කළ යුතු නැහැ. නමුත් මේ තත්වය තව තවත් වර්ධනය වී හෙට දිනයේ රෝගීන් 2000 ක් ඊළඟ දිනයේ රෝගීන් 2500 ක් දක්වා ගියහොත් අපි අර මැයි මාසයේ සිටි බරපතළ තත්ත්වයට නැවත යාමට ඉඩ තිබෙනවා.

එම නිසා සංචාරක සීමාවන්ට ලබා දී තිබෙන නිදහස, ආර්ථික සමාජයීය වශයෙන් ලබාදී තිබෙන නිදහස, කාලෝචිතව විනයගරුකව භාවිතා කර රෝගය වැලඳීම අවම කර ගැනීමට කටයුතු කරන ලෙස ඉතාම බැගෑපත්ව ඉල්ලා සිටිනවා.

කාර්යාල වල සුපිරි වෙළඳ සැල් වල පහුගිය කාලයේ තිබුණු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රමයෙන් අඩුවෙලා ගිහිල්ල තිබෙන ආකාරයක් දකින්නට පුළුවන්.

අත සෝදාගෙන ඇතුළු වීම, උෂ්ණත්වය පරික්ෂා කිරීම විස්තර සටහන් කර ගැනීම් වැනි කාරණා නිසියාකාරයෙන් සිදු නොවන බවක් පේනවා.

එම කටයුතු ඒ ආකාරයෙන්ම අඛණ්ඩව පවත්වාගැනීමට කටයුතු කළ යුතුයි.

එහෙම නැති වුනොත් සමාජීය වශයෙනුත් ආර්ථික වශයෙනුත් සීමාවන් පනවන්නට සිදුවීම නොවැලැක්විය හැකි කරුණක් වේවි.

අපට හැමදාම රට වහලා තියා ගන්න බෑ සමාජයීය ආර්ථික කටයුතු සඳහා රට විවෘත කළ යුතුයි.

ඩෙල්ටා වෛරසයෙන් බලපෑමක් අපට ඇති වන්නේ නෑ අපි රෝගය නිසියාකාරයෙන් වළක්වා ගැනීමට කටයුතු කරනවා නම් යනුවෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා ෴

++++++++++++++++++

(29.07.2021 – 09:31 +0530 – hirunews.lk/sinhala)

අද (29) දිනයේත් කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 20 ක මධ්‍යස්ථාන 256 කදී කොරෝනා එන්නත්කරණ කටයුතු සිදු කෙරෙනවා.

[ එම මධ්‍යස්ථාන ]

+++++++++++++++++

(29.07.2021 – 10:36 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවලින් පැමිණෙන මගී ගුවන් යානා සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය පනවා තිබූ තහනම අගෝස්තු 07 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව, ඩුබායිහි ප්‍රමුඛ ගුවන් සේවය වන එමිරේට්ස් නිවේදනය කළේ ශ්‍රී ලංකාව ඇතුළු එම රටවල නිෂ්චිත මගී ගුවන් ගමන් එතෙක් අත්හිටුවා ඇති බවයි.

එමෙන්ම, පසුගිය දින 14 තුල ශ්‍රී ලංකාව ඇතුළු එම රටවලට සම්බන්ධ වූ පුද්ගලයන්ට එක්සත් අරාබි එමීරයේ වෙනත් ගමනාන්තයන් වෙත ද ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ.

මේ අතර, ඉන්දියාවේ සිට පැමිණෙන මගී ගුවන් යානා ජුලි 07 වනදා දක්වා අත්හිටුවා ඇති බව අබුඩාබි සිට ක්‍රියාත්මක එටිහාඩ් ගුවන් සේවය ද ප්‍රකාශ කළා ෴

@@@@@@@@@@@@@@

(29.07.2021 – 10:50 +0530 – hirunews.lk/sinhala)

‘ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය’ අද (29) පෙරවරුවේ විවෘත කරනු ලැබුවා. ජනාධිපති මාධ්‍ය අංශයේ කටයුතු තවත් පුළුල් කරමින් මෙම මාධ්‍ය ඒකකය විවෘත කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිසි ආකාරයෙන් ලබාදීම මෙහි අරමුණයි ෴

******************************************

(29.07.2021 – 10:55 +0530 – hirunews.lk/sinhala)

ඉඟිණියාගල පොලිස් වසමේ නාමල්තලාව ප්‍රදේශයේ දඩයමේ ගිය පිරිසක් අතරින් එක් පුද්ගලයෙක් ට වෙඩි වැදී ජීවිතක්ෂයට පත්ව තිබේනවා.

ඉඟිණියාගල පොලිසිය පැවසුවේ ඊයේ (28) රාත්‍රීයේ දඩයමේ ගොස් සිටි පුද්ගලයින් තිදෙනෙකු (3) ගෙන් එක් අයක් සතෙකුට තැබු වෙඩි පහරක් තවත් පුද්ගලයෙකුට වැදී මෙම අනතුර සිදුව තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 27 ක් වු නාමල්ඔය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවටයි වාර්තා වන්නේ.

එම වෙඩි තැබීම සිදුකළ සැකකරු මෙරට නිෂ්පාදිත ගිනි අවිය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(29.07.2021 – 11:00 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පතට සිදු කිරීමට යෝජිත සංශෝධන අඩංගු ලේඛනයක් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් අද (29) දෙවන (2) දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් විසින් මෙම ලේඛනය ඉදිරිපත් කල බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

මෙම පෙත්සම් විභාගය ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිදුකෙරෙනවා.

පෙත්සම් ඊයේ (28) විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති හතක් (7) සංශෝධනයට ලක් කරන බව ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා විසින් ප්‍රකාශ කර තිබුණා.

අදාල පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව විසින් පෙත්සම් 8 ක් ඉදිරිපත් කර තිබුණා ෴

******************************************

(29.07.2021 – 11:46 +0530 – hirunews.lk/sinhala)

‘POLISH, RABUKKANA’ යනුවෙන් සඳහන්කර ඇති නිල් පැහැති ජීප් රථයක ඡායාරූපයක් මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වෙනවා.

මේ පිලිබඳ සාමාජ මාධ්‍ය ඔස්සේම අදහස් දක්වන බොහෝ දෙනෙක් එහි ඉංග්‍රීසි අක්ෂර භාවිතය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තුමේන්තුවට චෝදනා එල්ල කර තිබුනා.

ඒ පොලිසියට ඉංග්‍රීසි බැහැ, ඉංග්‍රීසි වැරදිලා, යනුවෙන් යෙදු උපහාසාත්මක වැකි භාවිත කරමින් කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන පොලිස් මාධ්‍ය අංශය පවසන්නේ ඡායාරූපයට අදාළ ජීප් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනුනේ මිට මාස 03 කට පමණ පෙර බවයි.

අදාළ පුද්ගලයා සහ ජීප් රථය අප්‍රේල් 10 වන දින වාරියපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත වැඩි දුර ප්‍රශ්න කිරීම් සිදුකර ඇප මත මුදා හැරි බව පොලිස් මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයේ සඳහන්.

එහිදී අදාළ පුදගලයාට ‘POLISH, RABUKKANA’ යනුවෙන් ජීප් රථයේ සඳහන් කර ජනතාව නොමඟ යැවීමේ වරදට චෝදනා එල්ල කර බවයි අදාළ පොලිස් මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ ෴

******************************************

(29.07.2021 – 12:47 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය, ආනපල්ලගම තුනේ කණුව ප්‍රදේශයට පැමිණි දළ ඇතෙකු මාර්ගය අසළ සිටි ප්‍රදේශවාසීන් පසුපස ලුහුබැඳ ගොස් නිවසක් අසළ නවතා තිබූ ත්‍රිරෝද රථයකට සහ යතුරුපැදියකට පහර දෙන ආකාරය අදාළ නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්.

******************************************

(29.07.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය හිෂාලිනි දැරියගේ දේහය ගොඩගෙන දෙවන (2) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ විමර්ශන අංශයේ නිලධාරින් ඇතුළු පිරිසක් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙලෙස කරුණු වාර්තාකළ අතර, එහිදී බී වාර්තාවක් ද ඉදිරිපත් කරනු ලැබුවා.

නුවරඑළිය මහේස්ත්‍රාත් ලුෂිකා කුමාරි ජයරත්න හමුවේ කොළඹ අපරාධ කොට්ඨාශයේ විමර්ශන අංශයේ නිලධාරින් කරුණු දක්වමින් සඳහන් කළේ දැරියගේ මෘත දේහය ගොඩගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබාදී ඇති බවයි.

හෙට (30) දිනයේ දැරියගේ සිරුර ගොඩගන්නා ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් නුවරඑළිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

මේ වනවිට දැරිය මිහිදන් කර ඇති ඩයගම වත්තේ බටහිර කොටසේ පොදු සුසාන භූමියට දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබෙනවා.

මේ අතර, මියගිය දැරිය දේහය සම්බන්ධයෙන් දෙවන (2) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඊයේ (28) පත් කළා.

ඒ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණය වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්ය ජීන් පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමීර ගුණවර්ධන මහතා මෙන්ම, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රභාත් සේනසිංහ මහතා එහි සෙසු සාමාජිකයන්.

එසේම, මෙම දැරියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන පොලිස් කණ්ඩායම් අද (29) දිනයේත් එම ප්‍රදේශයේදී විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් පසුගිය දින දෙකෙහිදීම (2) දැරිය පදිංචිව සිටි ඩයගම ප්‍රදේශයෙන් විමර්ශන කටයුතු සිදුකරනු ලැබුවා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ 2010 වසරේ සිට සේවය කර ඇති මෙහෙකාරියන් 11 දෙනාගෙන් පස් දෙනෙකුගේ (5) ඊයේ (28) ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

එම ප්‍රකාශවලින් ගම්‍ය වන කරුණු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මේ අතර, මෙරට තුලදී ළමයින් පිලිබඳ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට එක් කිරීමේ සිද්ධීන් 17,625 ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු නවීනතම තාක්ෂණික පහසුකමක් පළමු වතාවට භාවිත කිරීමට නියමිතයි.

******************************************

(29.07.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 600 කට ආසන්න වටිනාකමකින් යුතු මුදලක් තම බැංකු ගිණුම්වල තැන්පත් කිරීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් කාන්තාවට මුදල් ලැබී ඇත්තේ ප්‍රාදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් බවට හෙළිව තිබෙනවා.

දෙහිවල පදිංචි 41 හැවිරිදි ‘සංජීවනී හෙට්ටිආරච්චි’ නමැති ඇය මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ඊයේ (28) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකය විසින් ලබාදුන් තොරතුරුවලට අනුව සිදුකළ විමර්ශනවලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකල බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

******************************************

(29.07.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් සහ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකරමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය අද (29) 18 වන දිනටත් ක්‍රියාත්මකයි.

වෘත්තීය සමිති සඳහන් කළේ අද (29) දිනයේදී සිසුන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ කටයුතු සිදුකිරිමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව අද (29) පස්වරු 6 සිට රාත්‍රී 8 දක්වා දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් දියත් කරන බව ද ඔවුන් සඳහන් කළා.

මේ අතර, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මේ බව සඳහන් කළේ ‘හිරු වන් ටු වන්’ විශේෂාංගය සමඟ සංවාදයකට එක්වෙමින්.

මේ අතර, නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණ සිදුකරන්නන් සහ මහජන ඒකරාශි වීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා නිර්දේශ නිකුත් කිරීමට සූදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළා.

මේ අතර, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන අගෝස්තු 06 වනදාට පෙර එනම්, අගෝස්තු 03 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා ෴

******************************************

(29.07.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල විවාදය පැවැත්වෙන අගෝස්තු 06 වැනිදාට පෙර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඇමති චමල්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ලබා දී තිබෙනවා.

පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ අනුව,ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, පනත් කෙටුම්පත දෙවනවර (2) කියවීමේ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට යෝජනා වී ඇත්තේ, 2021 අගෝස්තු 06 වනදා සිකුරාදායි.

කෙසේ වෙතත් ඊට පෙර එනම්, 2021 අගෝස්තු 03 අඟහරුවාදා ප.ව. 2.00 ට, එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද ලබා දී තිබෙනවා.

ඒ අගෝස්තු 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති ගැටලු තවදුරටත් සාකච්ඡා කර නිරාකරණය කර ගැනීම සඳහායි.

අදාල සාකච්ඡාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා ෴

******************************************

(29.07.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු වෛරස් කාණ්ඩ 4 ම මේ වනවිට දිවයින තුල සංසරණය වන බවට හඳුනාගෙන තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ මෙයින් වෛරස් කාණ්ඩ 2 හා 3 දිවයින තුල වැඩි වශයෙන් සංසරණය වන අතර වසර කිහිපයකට පසු ඩෙංගු වෛරස් කාණ්ඩ 1 නැවතත් මෙරට තුල සංසරණය වන බව ද තහවුරු වී ඇති බවයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතන එක්ව සිදුකළ පර්යේෂණයකදී මේ බව අනාවරණ වී තිබෙනවා.

මෙලෙස සංසරණය වන වෛරස් කාණ්ඩවල වෙනසක් සිදුවන අවස්ථාවන් වලදී ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කෙරෙන අතර මේ සම්බන්ධයෙන් මහජනතාව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙනවා.

මේ අතර, ටීනියා නමැති දිලීර රෝගය මේ වනවිට උතුරුමැද පළාත මෙන්ම තවත් ප්‍රදේශ කිහිපයකම සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ සම්බන්ධයෙන් ද ජනතාව වැඩි අවධානයකින් පසුවිය යුතු බවයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය හේමා වීරකෝන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *